A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පුරවැසි බලය වෙත ආදරයෙනි: සමනලීගෙන් ඉගෙන ගන්න



යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීම උදෙසා මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ව සිංහාසනාරූඪ කිරීමේ ව්‍යපෘතියේ පුරවැසි බලය මේ  මොහොත වන විට සැළකිය යුතු මෙහෙවරක් සිදු කරමින් සිටී. තර්කයක් නැත. මහින්ද රාජපක්ෂව පැරදවීමට නම් මෛත්‍රීපාල සිරිසේනව දිනවිය යුතුය. එහෙත් පුරවැසි බලයේ වෙහෙස එතැනින් නිමා විය යුතුද? අප සමනලීගෙන් ඉගෙන ගන්න යැයි කීවේ එබැවිනි.

පසුගිය දා සමනලී-පරාක්‍රම-ධර්මසිරි-අනෝමා ඇතුළු පුරවැසි බලය හා සබැඳි  කලාකරුවන් කිහිපදෙනෙකු උදෙසා ආණ්ඩුවේ වන්දිභට්ටයන් විසින් එල්ල කරන ලද මඩ ප්‍රහාරයකට එරෙහිව පැවති මාධ්‍ය සාකච්චාවේදී කතා කළ සමනලී ෆොන්සේකා පැවසූවේ ඇගේ සටන ජනවාරි 8 වෙනිදායි න් නිමා නොවන බවත් සිංහල මෙන්ම දෙමළ හා මුස්ලිම් කලා කරුවන්ට කලාවෙහි නියැලීමේ අයිතිය වෙනුවෙන් ඈ සැමදාමත් පෙනී සිටින බවත්ය. අපට සමනලීගේ හෙට දවස ගැන වගකීමක් / පැහැදිලි වැටහීමක් නැතත් ඇත්තටම එම ප්‍රකාශය සමස්ත පුරවැසි බලයේ සිටින සෑම කලා කරුවෙකුගේම ලේඛකයෙකුගේ ම මුවින් පිටවිය යුත්තක් නොවෙද? මෛත්‍රීපාල සිරිසේන ව ජනාධිපතිධූරයේ පිහිට වීමෙන් පසු සියලු නපුරු අහෝසි වී රටට නිදහස සෞභාග්‍යය උදාවේ යැයි අහිංසක-මහින්ද හා අහිංසක-චන්ද්‍රිකා ගෙන් පාඩම් ඉගෙන ගෙන තියෙන අපට තියෙන විශ්වාසය කුමක්ද? විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන හෙළ උරුමය සමඟ බද්ධව ගෙන යන ජාතිකවාදී වැඩ පිළිවෙල යටතේ පෙනී සිටි දෙමළාට හා මුස්ලිම් වරුන්ට ඉතිරිවන හෙට දවස ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිද? 

දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි උතුරු නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන්නේත් නැත්තම්, යුද අපරාධකරුවන් ආරක්ෂා කරනවානම්, මහින්දගේ ජාතිවාදී පරපුරම මෛත්‍රීත් වට කරගෙන ඉන්න ගමන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනාවානම්, මහින්ද රාජපක්ෂ වාගේම මිත්‍යා ගුලි මෛත්‍රීත් මිට මොළොවා ගෙන රට වටේ යනවා නම්, සිංහලකරණය කිරීමට අක්කර පනස්දාහකටත් වැඩියෙන් කොල්ලකා ඇති දෙමළ මිනිසුන්ගේ ඉඩම් ආපහු පවරා දෙන බැව් පවස්න්නේත් නැත්තම්, බුද්ධාගම පැතිරවීමට උතුරු නැගෙනහිර හන්දියක් හන්දියක් ගානේ බලහත්කාරයෙන් ඉදිකරන බුදු පිළිම ඉවත් කරන බැව් පවසන්නේත් නැත්තම්, ලක්ෂයකට වඩා සංහාරය කර මංකොල්ල කා ස්ත්‍රීන් දූෂණය කර ජීවිත නැත්තට ම නැති කළ අපේ රටේ ඒ පුරවැසියා ගැන හිතන්නේත් නැත්තම් පුරවැසි බලයේ කාර්‍යය ජනවාරි 8 වෙනිදායින් අවසන් වේද?

මහින්දව පරාජය කිරීමට තමන්ගේ සියළු දෑ කැපකර  මහත් උවමනාවෙන් ඒ හා බැඳී සිටින පුරවැසි බලයේ  බොහෝ දෙනෙකුන් අතීතයේ රටේ තීරණාත්මක අවස්ථාවල ජාතිවාදයට ආගම් වාදයට එරෙහිව මෙන්ම අන් ජාතීන්ගේ ආගමිකයින් සතු අයිතීන් වෙනුවෙන් කොටි ලේබල් වැදී වැදීත් තීරණාත්මකව පෙනී සිටි අය වූ බැවින් ඔවුන් වෙත අප හද තුළ ඇත්තේ ගෞරවාන්විත හැඟීමකි. එහෙත් 

“හරි හරි ඕවා කියලා මේ යකාව (මහින්ද රාජපක්ෂව) එලවන්න පුළුවන්ද? ඉස්සෙල්ල මූව එලවලා ඉමු“ 

වැනි සරල ප්‍රතිචාර පමණක් නො දක්වා ජනවාරි 8 වෙනිදායින් පසුවත් මුස්ලිම් දෙමළ සිංහල යහපාලනයක් සදහා සටන් වැදීම හා එය ප්‍රකාශයට පත් කීරීම පුරවැසි බලයේ වගකීමයි. එය සිදු විය යුත්තයි. 

එමෙන්ම තේරුම් ගත යුතුව ඇත්තේ පුරවැසි බලයට වෙනස් කළ හැක්කේ දැනටමත් මහින්ද සතු ඡන්ද හෝ ඡන්ද ගුණ්ඩු වලට වැනෙන ඡන්ද නොව මහින්ද හා මෛත්‍රී දෙදෙනා කෙරෙහිම විවේචනාත්මකව බලන සබුද්ධික පිරිසගේ ඡන්ද වීමයි. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේනව පුරවැසි බලයේ වේදීකාවට නැග්ගවීමත් පුරවැසි බලයේ අය මෛත්‍රී ගේ දේශපාලන වේදිකාවට නැගීමත්, මෛත්‍රී වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමත් යුධ විජයග්‍රහණයන් හෝ හමුදාවේ කීර්තිය ගැන අතිශෝක්තියෙන් පෙනී සිටීමටත් ඔවුනට අවශය නොවේ. 

සෘජුව පැවසිය යුත්තේ මහින්ද රාජපක්ෂව පරාජය කරන ගමන් ඔළු ගෙඩි මාරුවට එහායින් සියළු ජාතීන් සඳහා යහපාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සිදුවන අරගලයක් මේ ලංකාව තුළ ඊයේ අද මෙන්ම හෙටත් පුරවැසි බලයට හා එහි ක්‍රියා කාරීන්ට ඇති බවයි. එවිට එය තවත් එක් “කලා සංධානය“ ක් නොවී එහි ක්‍රියාකාරිකයින් හට ජනවාරි 8 වෙනිදායින් පසුවත් පණ ඇතිව සජීවී මිනිසුන් ලෙසින් ජීවත් වීමට හැකි වෙයි. 


මෛත්‍රී සහ පරපුර අහසින් බිමට නො බසින්නේ නම්...




2015 හදිසි ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සති කිහිපයකි. ඇසට අසුවන මායිමේ අපට දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය දැනටමත් සහතික කොට මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින මෛත්‍රී සහ පරපුරය. අන්තර්ජාලය තුළින් හා එහි සංගණන තුළින් පමණක් ලංකාව දකින්නේ නම් එය සැබෑවකි. එමෙන්ම නාගරික හා අර්ධ නාගරික ප්‍ර‍දේශයන්හි මෙන් ම මෛත්‍රීගේ ගොවි බිම් කලාපය වන උතුරු මැද පමණක් සලකන්නේ නම් මහින්ද රාජපක්ෂ බරපතල අර්බුදයක බැව් පෙන්නුම් කරණ මුත් රටෙහි අනෙකුත් ප්‍රදේශයන් සලකා බැලුවහොත් මෛත්‍රී තවමත් සිටින්නේ පියවර ගණනක් පිටුපසිනි. එහෙත් මේ තත්වය මෛත්‍රී හො ඔහුගේ පරපුර අවබෝධ කරගෙන ඇති සැටියක් නොපෙනේ.

පසුගියදා මෛත්‍රීට සහාය දක්වන වෙබ් අඩවියක ම අවදානමක් සේ පෙන්වා තිබුණු පරිදි මෛත්‍රීගේ මාධ්‍ය ඒකකය යනු නිකරුණේ කාලය කා දමන කිහිප දෙනෙකුගේ කල්ලියකි. ප්‍රාදේශිය වශයෙන් ගත් කළ මෛත්‍රී ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු අතිශයින් දුබලය. පෝස්ටරයක් අත් පත්‍රිකාවක් ගෙන් ගෙට යාමක් ඇත්තේ නැති තරම්ය. පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරණායක පැවසූ පරිදි උතුරු නැගෙනහිර හංසයෙක් ගැන දන්නේ නැත (මෛත්‍රී හෙළ උරුමය සමඟ ගැසූ ගිවිසුම අනුව දෙමළගේ මුහුණ වත් බැලීමට නොහැකි වීම වෙනම කාරණයකි). සරත් ෆොන්සේකාට සිදු වූ පරිදිම ගම් මට්ටමේ යූඑන්පී කාරයින් මෛත්‍රීට වැඩ කරන්නේ නැත. එහෙත් ෆොන්සේකාගේ සහාය සඳහා ප්‍රාදේශිය දේශපාලනයට ජවිපෙ සිටියද මෙවර ජවිපෙ මෛත්‍රීට එලෙසින් සහාය දක්වන්නේ නැත. එපමණක් නොව අංකුර ජවිපෙ ඡන්ද දුමින්ද නාගමුවට යෑමේ අවදානමක් ඇති බව ද අපට ආරංචි වේ.

මහින්ද රාජපක්ෂ යනු මොර්තෙ දේශපාලනයේ කෙල පැමිණියෙකි.  ඉතිහාසය පුරාම මහින්දට බලයට පැමිණිමට හා බලය රැක ගැනීමට ඉවහල් වූයේ ඔහු සතු වූ නිසඟ කපටි කමයි. අවධානම අවබෝධ කරගත් ඔහු මෙවර ප්‍රාදේශිය රැස්වීම් වලට පවා සහභාගීවීමට තීරණය කර ඇත්තේ එබැවිණි. ගමට, ගැමි කමට, ගැමියාට කතා කළ යුතු භාෂාව ඔහු දනී. ගමේ මිනිස්සුන්ට යහපාලනය, දූෂණ අක්‍රමිතා නැති කිරීම, නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම වැනි දෑ වැඩක් නැත. ඊට වඩා මහින්ද ඔවුන් ළඟට ගොස් ළමයෙක් හුරතල් කර වඩා ගැනීමේ වටිනාකම ඡන්ද කිහිපයක් එහා මෙහා කිරීමට සමත් වීම ලංකාවේ යථාර්තයයි.

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරය පුරාම සරත් ෆොන්සේකා ඇතුළු පරපුරම සිටියේ මෙවැනි සිහින ලොවකය. එහෙත් ඡන්ද ප්‍රතිඵල විසින් ඔහුව මහ පොලොවට අතහැරියා පමණක් නොව කෙළවර වූයේ වැලිකඩ හිරගෙදරනි. මෙවර වාස්තවික තත්වයන් වෙනස් නමුදු මහින්ද සතු බලය (මැර), හැකියාව සහ මුදල් අත දිගහැර වියදම් කිරීම වෙනස් වී නැත. ඒවා ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිද්දෙන් මෙවර ඔහු යොදාගන්නේ බලයෙන් පහවීම යනු ඔහුට හෝ රාජපක්ෂ පරම්පරාවට විකල්පයක් නොවන නිසාවෙනි.

ඉතිරි සති කිහිපය ඇතුලත සුවිශේෂී ප්‍රාතිහාර්යයක් සිදු නොවන්නේ නම් මෛත්‍රී සහ පරපුර පොලොවට බැස මේ ඇත්ත තේරුම් නොගෙන දේශපාලනය නොකළහොත් ජනවාරි 9 දා එළඹෙණු ඇත්තේ හංසයාගේ තෙවැනි පරාජයත් සමඟිනි.

අපට අනුව නම් මේ ක්‍රමය ඇතුලත මහින්ද අතහැර මෛත්‍රී ගෙන් මහා වෙනසක් බලාපොරෙත්තු විය නොහැක. එය එකම පංතියක බලය හුවමාරු වීමක් පමණකි. එලෙසම මෛත්‍රී එන්නේ රටේ සිංහල ජනාධිපති වීමටය. ඔහු දෙමළාව උවමනාවෙන්ම හා උපක්‍රමශිලිව නොසළකා හැර ඇත. විධායකය අහෝසි කිරීම  හෝ රටට වැඩදායී වෙනත් සුබසාධන මට්ටමේ දේවල් සිදුවන්නේ නම් එය අතුරු කතාවකි. එහෙත් මේ මොහොතේ මහින්ද ව පරාජය කිරීමට ඇති හේතු සාධක උවමනාවටත් වඩා දකුණේ සිංහල සමාජයට ඇත. ඒ අතර තමන්ගේම සිස්ටම් එක තවදුරටත් තමන්ටම උවමනා පරිදි හසුරුවා තුන්වැනි වරටත් හෝ අසීමාන්තිකව බලය තහවුරු කරගැනීමට සැරසීම ද මෛත්‍රී විසින් තවදුරටත් ආරක්ෂා කරනවා යැයි පැවසූවද විධායකයේ සිටින තාක් කල් ලක්ෂයක් දෙමළ ජනයා සංහාරය කිරීමට අණ දීමේ ජන ඝාතකයා නීතිය තුළ සුරක්ෂිත වීම ද ප්‍රධානය. එමෙන්ම මෙය මැතිවරණයකින් මහින්ද-බැසිල්-ගෝඨා-නාමල් රාජපක්ෂ (ලා) ගෙන් බලය ලබා ගැනීමේ අවසාන අවස්ථාව වීමට ද බොහෝ සේ ඉඩ ඇත.

මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජය කිරීමට හේතූන් ඇති තරම් ඇති මුත් මෛත්‍රී දිනවීමට ඇති එකම හේතුව මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජය කිරීම ම පමණකි. මක් නිසාද යත් මහින්ද ව පරාජය කිරීමට ඇති අනෙකුත් හේතු කාරණා මෛත්‍රී සහ ඔහුගේ සහචරයන්ගේ පාලනයක් යටතේ නැවතත් එලෙසින් ම සිදු නොවේ යැයි විශ්වාස කිරීමේ හැකියාවක් අපට නැති බැවිනි.