A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

Murder as Spectator Sport - ඊශ්‍රායලය හා ලංකාව


සුපුරුදු පරිදි නැවත වතාවක් ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව සිය ම්ලේච්ච ප්‍රහාරයන් උත්සන්න කර තිබේ. මේ වන විට  දින හයක් ඇතුලත කාන්තාවන් හා දරුවන් ඇතුළුව නිරායුධ පලස්තීන වැසියන් 150 කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර මඟින් මරා දමා ඇත. 1000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. ප්‍රහාරයට ලක් වූ ස්ථාන අතර නිවාස, රෝහල්, පාසල්, ළමා නිවාස, ආබාධිත නිවාස ද වේ. ඊශ්‍රායලයේ මුරුග ප්‍රහාරයන් නවතා දමන්නැයි බල නොකර ඊශ්‍රායලයේ එම ප්‍රහාරයන් සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කරන පලස්තීනයේ ආයුධ සන්නද්ධ හමාස් ව්‍යාපරයේ ප්‍රහාරයන් නවතා දමන්න යැයි ඇමෙරිකා ඇතුළු බටහිර රටවල් බල කරමින් විහිළු සපයන්නේ මේ වන විට ඊශ්‍රායල පුරවැසියන් කිසිවෙකුත් මිය ගොස් නොතිබියදී ය. බටහිර රටවල් වල පූර්ණ ආශිර්වාද ය සහිතව එල්ල කරන මෙම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයන් තව දුරටත් වර්ධනය කරන බවට ඊශ්‍රායල නැවත නැවතත් අනතුරු අඟවන්නේ ඝාතනය වන නිරායුධ පලස්තීන වැසියන් ගැන ඔවුන්ගේ කිසිදු තැකීමක් නොමැති බැව් පෙන්වා දෙමිනි. ලොව විවිධ නගරයන් හී පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ මෙම වර්ග සංහාරයට එරෙහිව රැස් ව උද්ඝෝෂණය කරන ප්‍රගතිශිලි ජනයාගේ ලේ කැකෑරෙන හඬ හැරෙන්නට වෙන කිසිදු බාධාවක් ඔවුනට නැති බැව් ඊශ්‍රායලය දනී.

මේ සටහනට පාදක වූ තවත් කරුණකි. ඊශ්‍රායලයේ ස්ඩෙරට් නගර වැසියන් එක් රැස්ව ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර වල වෙඩි හඬ ඇසෙන වාරයක් පාසා අත් පොළසන් දෙමින් විනෝද වන බැව් සඳහන් කරමින් අන්තර්ජාලය පුරා ඡායාරූපයකි (Murder as spectator sport හෙඩිම යටතේ). එය ෆේස්බුකිය තුළ සංසරණය වන්නේද  ඊමේල් මඟින් ප්‍රචාරය වන්නේ “මෙහෙමත් තිරිසන් ජාතියක්“ බැව් සිංහල අපට අඟවමිනි.  එහෙත් අවුරුදු පහකට පසුව අපට අමතකව ඇත්තේ හෝ අමතක යැයි ඇඟවීමට උත්සහ කරන්නේ දකුණේ ලංකිකයා ද නිරායුධ ඊලාම් දෙමළ ජනතාව ජීවත්ව සිටින බැව් නොතකා සිදු කරණ ලද ලංකා ආණ්ඩුවේ ම්ලේච්ච ප්‍රහාරයන් චැනලයන්  උඩ යට මාරු කරමින් රූපවාහිනී ඉදිරිපිට වී තමන් ද Murder as spectator sport ත්‍රිල් වූ බවයි. සාමාන්‍ය වැසියන් ගේ නිවාස, රෝහල්, පාසල්, ළමා නිවාස මතට ගුවන් ප්‍රහාර සිදුකරමින් ලක්ෂයකට අධික දෙමළ මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කළ එම වර්ග සංහාරයේ උච්චතම අවස්තාවේ දකුණේ සිංහලයින් මෙන්ම නාන(අබ)සාරගේ බලකායෙන් මැරුම්කන මුස්ලිම් ජනයා ද පාරවල් පුරා සිංහ කොඩි වනමින් රබන් ගහමින් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් කමින් විනෝද වූහ. කණ්නාඩියක් ඉදිරිපිට සිට ගනිමින් ඔවුන්ට ද දැන්වත් සිහිය ඇවිත් නම් ඇසීමට ඇත්තේ “ අපි වගේ අසික්කිත ජාතියක්?“ යන්නය.

ඊශ්‍රායලය වෙනුවට ලංකාව ආදේශ වන්නේ නම් පලස්තීනය වෙනුවට ඊලාම් දෙමළ ජනයා ආදේශවන්නේ නම් එහි ඇති සමානකම් හඳුනා ගැනීමට වැඩි උත්සාහයක් යෙදවීම අවශ්‍ය නොවේ. පලස්තීන ජාතීන්ගේ පීඩාව වඩාත් සමාන වන්නේ ස්වයං නිර්ණය අයිතිය හෝ වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින ඊලාම් දෙමළ ජනයා පත්ව ඇති පීඩාවටයි (තාරකා හොරා - ලූප්හෝල්ස්).

මතු කළ යුතු අනෙක් කරුණ වන්නේ ඊශ්‍රායලායේ මුරුග ප්‍රහාරයන් ට එරෙහිව ලංකාව ඇතුලේ දකින්නට ලැබෙන ගල් නිශ්ශබ්දතාවයයි. සිරියාවේ අල් අසාද් ට හා ලිබියාවේ ගඩාෆි ට සහයෝගයට පාරට බැස්ස පෙසප/ජවිපෙ රතු හැට්ට හා වීරවංශ පංචායුධ කල්ලිය හොයා ගන්නටවත් නැත. පලස්තීනයේ පාරකට ද තමන්ගේ නම දමා පලස්තීනයෙන් තාරකා සම්මාන උස්සන් ආ මහින්ද රාජපක්ෂ ද මීක් හඬක් වත් නොනංවයි. ලෝකයේ විවිධ රට වල් හා සංවිධාන පලස්තීනය වෙනුවෙන් පෙරට එද්දී පලස්තීන අරගල ඉතිහාසය පුරාම ලංකාවේ ප්‍රගතිශිලි කඳවුරෙන් ලැබුණු සහයෝගය මේ වන විට වැළලී ගොසිනි. සමාවන්න. ලංකාවේ ප්‍රගිතිශිලී කඳවුර ම 2009 මැයි දහ අට දා සිට නැවත මතු නොවෙනු පිණිස වැළලී ගොසිනි.