A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඉතිරි වී ඇති අන්තරය හා නජිත් ඉන්දික


ලංකාවේ ශත්තිමත් ගොවි-කම්කරු-ධීවර පංතියක් නොමැති වුව එම ප්‍රජාවන්ගේ දරුවන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තු සැමවිටමත් දැල්වේ. එහි ශක්තිමත් බව හා කැපකිරීම්  අතීතයේ විටින් විට ඔප්පු කර ඇති අතර එහි තීරණාත්මක ඉම වූයේ ජවිපෙ මූලිකත්වයෙන් දකුණේ පැන නැඟුණු 87-89 අරගලයයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවා වූයේ අන්තරයයි. එමෙන්ම තවමත් එවන් ශිෂ්‍ය ව්‍යාපරයක් ගැන කිසිවෙකු කතා කරන්නේ නම් ඒ වෙනුර-බාලේ-ත්‍රීමා ගේ අන්තරයයි. ඒ අන්තරයට නජිත් ඉන්දික නම් වූ වෛද්‍ය ශිෂ්‍යයෙකු නව කැඳවුම්කරු වශයෙන් පත්ව තිබේ.

ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව ගැන කවුරු කෙසේ සඳහන් කළ ද එවකට අන්තරය සතු වූ ශක්තිය, ජවය හා විශ්වාසනීය බව මේ මොහොතේ එය සතුව නැත. කොළඹ, යාපනය  හා මොරටුව පමණක් නොව එහි බලය පවත්වාගෙන සිටින අනෙකුත් සරසවි වල පවා වරෙක අන්තරය යනු අධ්‍යාපනයේ ගැලවුම්කරු වශයෙන් පවත්වාගෙන සිටි ප්‍රතිභාව අධ්‍යාපනයේ කඩාකප්පල්කාරයා දක්වාම බොහෝ විට පහත වැටී ඇත. සමාජ ඛේදවාචකයම එහි ප්‍රතිනිර්මාණය වන නමුදු හැමවිටම සමාජයට වඩා ඉදිරිගාමී ව සිටි ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්වයට පත්වීමට 90 දශකයෙන් පසු ජවිපෙ හා මේ මොහොතේ පෙසප ද වගකිවයුතුව ඇත. එහි ආසන්නම නිර්ලජ්ජිත ස්වභාවය නජිත් ඉන්දික අන්තරයට පත් කිරීමට යෑමේ දී සිදු වූ ජවිපෙ-පෙසප කුමන්ත්‍රණය පසුගිය දා අන්තර්ජාලයේ තැනින් තැන පළ වී තිබුණි. එය ශිෂ්‍ය ව්‍යාපාරයක් සඳහා නායකයෙකු පත් කරගැනීමට වඩා වූයේ  පෙසප විසින් තමන්ගේ බලය අන්තරය තුළ රැක ගැනීමේ හා ජවිපෙ තමන්ගේ බලය අන්තරය තුළ නැවත ලබා ගැනීමේ ප්‍රාථමික දේශපාලන උගුලක් ලෙසිනි.

අන්තරයට සැමදාමත් තිබුණේ වාමාංශික භාවිතාවකි. ඊටත් වඩා රාජ්‍ය කප්පාදුවන්ට හා රාජ්‍ය මර්ධනයට එරෙහිව ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ හැකියාවකි. සමාජ අරගලයන් හීදී සමාජයට වඩා ඉදිරියෙන් සිටීමට හෝ ඒ හා බද්ධව අරගල කිරීමේ ශක්තියකි. අතීතයේ අන්තරයට ජවිපෙ නැඹුරුවක් තිබුණ ද එහි නායකත්වය ජවිපෙ අතකොළු නොවූ බොහෝ අවස්ථා තිබුණි. (සුදත් ගැන කථා කිරීම වෙනම මාතෘකාවක් නමුදු එවන් නායකත්වයක අවසාන පුරුක වූයේ සුදත් අලහකෝන් සහෝදරයායි. ඔහුගේ පරිණත නායකත්වයයි). නායකත්වයේ බලය තමන් සතු වූවද  වූවද එය වෙනස්ම ධාරාවක් ලෙස පක්ෂයට සමාන්තරව ගමන් කිරීමට ජවිපෙ ඉඩහැර තිබුණි. මක් නිසාද යත් එහි ශක්තිය ජවිපෙ නායකත්වය එවකට මැනවින් දැන සිටි බැවිණි. එබැවින් ම එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට හෝ සටන්පාඨ වලට කෙළින්ම මැදිහත් නොවී ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පමණක් මැදිහත් වීම නිසාවෙන් අන්තරයට බහුතරයක් ශිෂ්‍ය ප්‍රජාවකගේ ආදරය ද ගෞරවය  ද නිතැතින්ම හිමිවිය.

සුදත්ගෙන් පසු අන්තරය යනු එවකට ජවිපෙට මේ මොහොතේ පෙසපට ද විවෘතව ම තමන්ගේ බලය පෙන්වීම සඳහා වූ අතකොළුවකි. බේදවාචකය වන්නේ ජවිපෙ හා පෙසප පටු දේශපාලන මතවාදයන් මේ මොහොතේ ඉතිරි වී ඇති අන්තරය තුළින් නිර්ලජ්ජී ලෙස ඉස්මතු වීමයි. ප්‍රබල සටන් පාඨ තේරීමේ දී හැමදාමත් දැඩි විනයක් ද ශක්තියක් සතු වූ අන්තරයට අද දවසේ පෙසපේ ලසිත් (පුබුදු හෙවත් ගැටළුවා) සහෝදරයාගේ ප්‍රාථමික හා ලාබ දේශපාලණ උපක්‍රම මතැ යැපීමට සිදුව ඇත. නජිත් ඉන්දික ගේ පැමිනීමට පෙරාතුව පසුගිය ජනවාරි 27 පැවති “නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි“ සිසු ජන පෙලගැස්ම මෑතකම උදාහරණයයි.  පෙසපේ උවමනාවට මෙවැනි ප්‍රධාන ධාරාවේ අසාර්ථක දේශපාලන නිමිති තෝරා ගැනීමට පළමුව අන්තරය මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ශිෂ්‍ය ප්‍රජාව අතර ගිලි හී ඇති විශ්වාසය දිනාගැනීම, සිසු සටන් සඳහා දෙමාපියන්ගේ සහයෝගය දිනාගැනීම හා සරසවි පාලන අධිකාරිය හා උරෙන් උර සටන වැදිය හැකි ජවයක් ගොඩනැඟීමයි.

පසුගියදා ලක්බිම පුවත් පතෙහි නජිත් ඉන්දිකගේ සාකච්චාවේ දී සඳහන් කළ පරිදි තමන් මාක්ස් ලෙනින් වාදියෙක්ය වෛද්‍ය වෘත්තියට වඩා  දේශපාලනය කිරීම වැදගත්ය වැනි දිලිසෙන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ පරාජිත හො පහසුවෙන් අතහැර දමන අරගල වෙනුවට (අන්තරය විසින් ලසිත්ලාව මෙහෙයවූ යුගයේ දී මොරටුව සරසවියෙන් එන්ඩීටී පාඨමාලාව ඉවත් නොකිරීම ට තරම් ශක්තියක් එහි වූව ද ලසිත්ලා විසින් අන්තරය මෙහෙයවන කල් හී එන්ඩීටී පාඨමාලාව මොරටුව සරසවි භූමියෙන් ඉවත්කර ගෙන යාමට සිදු වීම එක් උදාහරණයකි) ජයග්‍රහණයෙන් කෙළවර කරගත හැකි ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැඟීමයි. එහි වූ ප්‍රෞඪත්වය හා ගෞරවාන්විත බව නැවත ඇතිකර ගැනීමයි. තමන්ගේ දේශපාලන මතවාදයන් බැහැර කර තමන්ගේ දේශපාලන ගුරුන් මඟහැර එහි ඉත්තෙකු නොවී බලය ලැබුණු මේ මොහොතේ නජිත් ඉන්දික සතුවිය යුත්තේ එම අභියෝගයයි. එවන් නායකත්වයක් සඳහා අපගේ ආශිර්වාදය ද හිමි වෙයි.

එහෙත් තමන්ගේ උපාධිය අවසන් නොකිරීම පටන් ගත් තැනම ප්‍රකාශ කරන ශිෂ්‍ය නායකයෙකු (අරගලය විසින් අවසානය වෙනස් ලෙස තීන්දු කිරීම වෙනමම කතාවකි) වේ නම් ඔහු කෙරහි විශ්වාසය තබන්නට කිසිවෙකු නොවන බව තේරුම් ගන්නට උසස් පෙළ සමත් විය යුතු නොවේ. එය එසේ වෙනතාක් කල් එස්බී වැනි වාචාලයන්ට හා සරසවි පාලකයින්ට අන්තරය යනු විභාග පාස් වෙන්න බැරි කාලකණ්ණි පිරිසකගේ කණ්ඩායමක් වශයෙන් හැඳින්වීමට අපහසුවක් ද නොවේ (එසේ පැවසීම සැළකිය යුතු කාරණාවක් යැයි අපි නොඅදහමු). එමෙන්ම තමන්ගේ දේශපාලන සගයින් පමණක් වටකරගත් හුදෙකලා ශිෂ්‍ය කණ්ඩායමක නියමුවෙක් වී අවසානයේ පෙසප හෝ ජවිපෙ පටු දේශපාලනයේ තවත් ගොදුරක් ව ඔවුන්ගේ තවත් එක් පළාත් සභා හෝ මහා මැතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් සමාජගත විම පමණක් ම අනිවාර්‍යවේ.