A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

පුරවැසි බලය වෙත ආදරයෙනි: සමනලීගෙන් ඉගෙන ගන්න



යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීම උදෙසා මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ව සිංහාසනාරූඪ කිරීමේ ව්‍යපෘතියේ පුරවැසි බලය මේ  මොහොත වන විට සැළකිය යුතු මෙහෙවරක් සිදු කරමින් සිටී. තර්කයක් නැත. මහින්ද රාජපක්ෂව පැරදවීමට නම් මෛත්‍රීපාල සිරිසේනව දිනවිය යුතුය. එහෙත් පුරවැසි බලයේ වෙහෙස එතැනින් නිමා විය යුතුද? අප සමනලීගෙන් ඉගෙන ගන්න යැයි කීවේ එබැවිනි.

පසුගිය දා සමනලී-පරාක්‍රම-ධර්මසිරි-අනෝමා ඇතුළු පුරවැසි බලය හා සබැඳි  කලාකරුවන් කිහිපදෙනෙකු උදෙසා ආණ්ඩුවේ වන්දිභට්ටයන් විසින් එල්ල කරන ලද මඩ ප්‍රහාරයකට එරෙහිව පැවති මාධ්‍ය සාකච්චාවේදී කතා කළ සමනලී ෆොන්සේකා පැවසූවේ ඇගේ සටන ජනවාරි 8 වෙනිදායි න් නිමා නොවන බවත් සිංහල මෙන්ම දෙමළ හා මුස්ලිම් කලා කරුවන්ට කලාවෙහි නියැලීමේ අයිතිය වෙනුවෙන් ඈ සැමදාමත් පෙනී සිටින බවත්ය. අපට සමනලීගේ හෙට දවස ගැන වගකීමක් / පැහැදිලි වැටහීමක් නැතත් ඇත්තටම එම ප්‍රකාශය සමස්ත පුරවැසි බලයේ සිටින සෑම කලා කරුවෙකුගේම ලේඛකයෙකුගේ ම මුවින් පිටවිය යුත්තක් නොවෙද? මෛත්‍රීපාල සිරිසේන ව ජනාධිපතිධූරයේ පිහිට වීමෙන් පසු සියලු නපුරු අහෝසි වී රටට නිදහස සෞභාග්‍යය උදාවේ යැයි අහිංසක-මහින්ද හා අහිංසක-චන්ද්‍රිකා ගෙන් පාඩම් ඉගෙන ගෙන තියෙන අපට තියෙන විශ්වාසය කුමක්ද? විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන හෙළ උරුමය සමඟ බද්ධව ගෙන යන ජාතිකවාදී වැඩ පිළිවෙල යටතේ පෙනී සිටි දෙමළාට හා මුස්ලිම් වරුන්ට ඉතිරිවන හෙට දවස ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිද? 

දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි උතුරු නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන්නේත් නැත්තම්, යුද අපරාධකරුවන් ආරක්ෂා කරනවානම්, මහින්දගේ ජාතිවාදී පරපුරම මෛත්‍රීත් වට කරගෙන ඉන්න ගමන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනාවානම්, මහින්ද රාජපක්ෂ වාගේම මිත්‍යා ගුලි මෛත්‍රීත් මිට මොළොවා ගෙන රට වටේ යනවා නම්, සිංහලකරණය කිරීමට අක්කර පනස්දාහකටත් වැඩියෙන් කොල්ලකා ඇති දෙමළ මිනිසුන්ගේ ඉඩම් ආපහු පවරා දෙන බැව් පවස්න්නේත් නැත්තම්, බුද්ධාගම පැතිරවීමට උතුරු නැගෙනහිර හන්දියක් හන්දියක් ගානේ බලහත්කාරයෙන් ඉදිකරන බුදු පිළිම ඉවත් කරන බැව් පවසන්නේත් නැත්තම්, ලක්ෂයකට වඩා සංහාරය කර මංකොල්ල කා ස්ත්‍රීන් දූෂණය කර ජීවිත නැත්තට ම නැති කළ අපේ රටේ ඒ පුරවැසියා ගැන හිතන්නේත් නැත්තම් පුරවැසි බලයේ කාර්‍යය ජනවාරි 8 වෙනිදායින් අවසන් වේද?

මහින්දව පරාජය කිරීමට තමන්ගේ සියළු දෑ කැපකර  මහත් උවමනාවෙන් ඒ හා බැඳී සිටින පුරවැසි බලයේ  බොහෝ දෙනෙකුන් අතීතයේ රටේ තීරණාත්මක අවස්ථාවල ජාතිවාදයට ආගම් වාදයට එරෙහිව මෙන්ම අන් ජාතීන්ගේ ආගමිකයින් සතු අයිතීන් වෙනුවෙන් කොටි ලේබල් වැදී වැදීත් තීරණාත්මකව පෙනී සිටි අය වූ බැවින් ඔවුන් වෙත අප හද තුළ ඇත්තේ ගෞරවාන්විත හැඟීමකි. එහෙත් 

“හරි හරි ඕවා කියලා මේ යකාව (මහින්ද රාජපක්ෂව) එලවන්න පුළුවන්ද? ඉස්සෙල්ල මූව එලවලා ඉමු“ 

වැනි සරල ප්‍රතිචාර පමණක් නො දක්වා ජනවාරි 8 වෙනිදායින් පසුවත් මුස්ලිම් දෙමළ සිංහල යහපාලනයක් සදහා සටන් වැදීම හා එය ප්‍රකාශයට පත් කීරීම පුරවැසි බලයේ වගකීමයි. එය සිදු විය යුත්තයි. 

එමෙන්ම තේරුම් ගත යුතුව ඇත්තේ පුරවැසි බලයට වෙනස් කළ හැක්කේ දැනටමත් මහින්ද සතු ඡන්ද හෝ ඡන්ද ගුණ්ඩු වලට වැනෙන ඡන්ද නොව මහින්ද හා මෛත්‍රී දෙදෙනා කෙරෙහිම විවේචනාත්මකව බලන සබුද්ධික පිරිසගේ ඡන්ද වීමයි. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේනව පුරවැසි බලයේ වේදීකාවට නැග්ගවීමත් පුරවැසි බලයේ අය මෛත්‍රී ගේ දේශපාලන වේදිකාවට නැගීමත්, මෛත්‍රී වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමත් යුධ විජයග්‍රහණයන් හෝ හමුදාවේ කීර්තිය ගැන අතිශෝක්තියෙන් පෙනී සිටීමටත් ඔවුනට අවශය නොවේ. 

සෘජුව පැවසිය යුත්තේ මහින්ද රාජපක්ෂව පරාජය කරන ගමන් ඔළු ගෙඩි මාරුවට එහායින් සියළු ජාතීන් සඳහා යහපාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සිදුවන අරගලයක් මේ ලංකාව තුළ ඊයේ අද මෙන්ම හෙටත් පුරවැසි බලයට හා එහි ක්‍රියා කාරීන්ට ඇති බවයි. එවිට එය තවත් එක් “කලා සංධානය“ ක් නොවී එහි ක්‍රියාකාරිකයින් හට ජනවාරි 8 වෙනිදායින් පසුවත් පණ ඇතිව සජීවී මිනිසුන් ලෙසින් ජීවත් වීමට හැකි වෙයි. 


මෛත්‍රී සහ පරපුර අහසින් බිමට නො බසින්නේ නම්...




2015 හදිසි ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සති කිහිපයකි. ඇසට අසුවන මායිමේ අපට දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය දැනටමත් සහතික කොට මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින මෛත්‍රී සහ පරපුරය. අන්තර්ජාලය තුළින් හා එහි සංගණන තුළින් පමණක් ලංකාව දකින්නේ නම් එය සැබෑවකි. එමෙන්ම නාගරික හා අර්ධ නාගරික ප්‍ර‍දේශයන්හි මෙන් ම මෛත්‍රීගේ ගොවි බිම් කලාපය වන උතුරු මැද පමණක් සලකන්නේ නම් මහින්ද රාජපක්ෂ බරපතල අර්බුදයක බැව් පෙන්නුම් කරණ මුත් රටෙහි අනෙකුත් ප්‍රදේශයන් සලකා බැලුවහොත් මෛත්‍රී තවමත් සිටින්නේ පියවර ගණනක් පිටුපසිනි. එහෙත් මේ තත්වය මෛත්‍රී හො ඔහුගේ පරපුර අවබෝධ කරගෙන ඇති සැටියක් නොපෙනේ.

පසුගියදා මෛත්‍රීට සහාය දක්වන වෙබ් අඩවියක ම අවදානමක් සේ පෙන්වා තිබුණු පරිදි මෛත්‍රීගේ මාධ්‍ය ඒකකය යනු නිකරුණේ කාලය කා දමන කිහිප දෙනෙකුගේ කල්ලියකි. ප්‍රාදේශිය වශයෙන් ගත් කළ මෛත්‍රී ගේ ඡන්ද ප්‍රචාරක කටයුතු අතිශයින් දුබලය. පෝස්ටරයක් අත් පත්‍රිකාවක් ගෙන් ගෙට යාමක් ඇත්තේ නැති තරම්ය. පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරණායක පැවසූ පරිදි උතුරු නැගෙනහිර හංසයෙක් ගැන දන්නේ නැත (මෛත්‍රී හෙළ උරුමය සමඟ ගැසූ ගිවිසුම අනුව දෙමළගේ මුහුණ වත් බැලීමට නොහැකි වීම වෙනම කාරණයකි). සරත් ෆොන්සේකාට සිදු වූ පරිදිම ගම් මට්ටමේ යූඑන්පී කාරයින් මෛත්‍රීට වැඩ කරන්නේ නැත. එහෙත් ෆොන්සේකාගේ සහාය සඳහා ප්‍රාදේශිය දේශපාලනයට ජවිපෙ සිටියද මෙවර ජවිපෙ මෛත්‍රීට එලෙසින් සහාය දක්වන්නේ නැත. එපමණක් නොව අංකුර ජවිපෙ ඡන්ද දුමින්ද නාගමුවට යෑමේ අවදානමක් ඇති බව ද අපට ආරංචි වේ.

මහින්ද රාජපක්ෂ යනු මොර්තෙ දේශපාලනයේ කෙල පැමිණියෙකි.  ඉතිහාසය පුරාම මහින්දට බලයට පැමිණිමට හා බලය රැක ගැනීමට ඉවහල් වූයේ ඔහු සතු වූ නිසඟ කපටි කමයි. අවධානම අවබෝධ කරගත් ඔහු මෙවර ප්‍රාදේශිය රැස්වීම් වලට පවා සහභාගීවීමට තීරණය කර ඇත්තේ එබැවිණි. ගමට, ගැමි කමට, ගැමියාට කතා කළ යුතු භාෂාව ඔහු දනී. ගමේ මිනිස්සුන්ට යහපාලනය, දූෂණ අක්‍රමිතා නැති කිරීම, නීතියේ ස්වාධිපත්‍ය ඇති කිරීම වැනි දෑ වැඩක් නැත. ඊට වඩා මහින්ද ඔවුන් ළඟට ගොස් ළමයෙක් හුරතල් කර වඩා ගැනීමේ වටිනාකම ඡන්ද කිහිපයක් එහා මෙහා කිරීමට සමත් වීම ලංකාවේ යථාර්තයයි.

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරය පුරාම සරත් ෆොන්සේකා ඇතුළු පරපුරම සිටියේ මෙවැනි සිහින ලොවකය. එහෙත් ඡන්ද ප්‍රතිඵල විසින් ඔහුව මහ පොලොවට අතහැරියා පමණක් නොව කෙළවර වූයේ වැලිකඩ හිරගෙදරනි. මෙවර වාස්තවික තත්වයන් වෙනස් නමුදු මහින්ද සතු බලය (මැර), හැකියාව සහ මුදල් අත දිගහැර වියදම් කිරීම වෙනස් වී නැත. ඒවා ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිද්දෙන් මෙවර ඔහු යොදාගන්නේ බලයෙන් පහවීම යනු ඔහුට හෝ රාජපක්ෂ පරම්පරාවට විකල්පයක් නොවන නිසාවෙනි.

ඉතිරි සති කිහිපය ඇතුලත සුවිශේෂී ප්‍රාතිහාර්යයක් සිදු නොවන්නේ නම් මෛත්‍රී සහ පරපුර පොලොවට බැස මේ ඇත්ත තේරුම් නොගෙන දේශපාලනය නොකළහොත් ජනවාරි 9 දා එළඹෙණු ඇත්තේ හංසයාගේ තෙවැනි පරාජයත් සමඟිනි.

අපට අනුව නම් මේ ක්‍රමය ඇතුලත මහින්ද අතහැර මෛත්‍රී ගෙන් මහා වෙනසක් බලාපොරෙත්තු විය නොහැක. එය එකම පංතියක බලය හුවමාරු වීමක් පමණකි. එලෙසම මෛත්‍රී එන්නේ රටේ සිංහල ජනාධිපති වීමටය. ඔහු දෙමළාව උවමනාවෙන්ම හා උපක්‍රමශිලිව නොසළකා හැර ඇත. විධායකය අහෝසි කිරීම  හෝ රටට වැඩදායී වෙනත් සුබසාධන මට්ටමේ දේවල් සිදුවන්නේ නම් එය අතුරු කතාවකි. එහෙත් මේ මොහොතේ මහින්ද ව පරාජය කිරීමට ඇති හේතු සාධක උවමනාවටත් වඩා දකුණේ සිංහල සමාජයට ඇත. ඒ අතර තමන්ගේම සිස්ටම් එක තවදුරටත් තමන්ටම උවමනා පරිදි හසුරුවා තුන්වැනි වරටත් හෝ අසීමාන්තිකව බලය තහවුරු කරගැනීමට සැරසීම ද මෛත්‍රී විසින් තවදුරටත් ආරක්ෂා කරනවා යැයි පැවසූවද විධායකයේ සිටින තාක් කල් ලක්ෂයක් දෙමළ ජනයා සංහාරය කිරීමට අණ දීමේ ජන ඝාතකයා නීතිය තුළ සුරක්ෂිත වීම ද ප්‍රධානය. එමෙන්ම මෙය මැතිවරණයකින් මහින්ද-බැසිල්-ගෝඨා-නාමල් රාජපක්ෂ (ලා) ගෙන් බලය ලබා ගැනීමේ අවසාන අවස්ථාව වීමට ද බොහෝ සේ ඉඩ ඇත.

මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජය කිරීමට හේතූන් ඇති තරම් ඇති මුත් මෛත්‍රී දිනවීමට ඇති එකම හේතුව මහින්ද ඇතුළු රාජපක්ෂ හවුල පරාජය කිරීම ම පමණකි. මක් නිසාද යත් මහින්ද ව පරාජය කිරීමට ඇති අනෙකුත් හේතු කාරණා මෛත්‍රී සහ ඔහුගේ සහචරයන්ගේ පාලනයක් යටතේ නැවතත් එලෙසින් ම සිදු නොවේ යැයි විශ්වාස කිරීමේ හැකියාවක් අපට නැති බැවිනි.

Murder as Spectator Sport - ඊශ්‍රායලය හා ලංකාව


සුපුරුදු පරිදි නැවත වතාවක් ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව සිය ම්ලේච්ච ප්‍රහාරයන් උත්සන්න කර තිබේ. මේ වන විට  දින හයක් ඇතුලත කාන්තාවන් හා දරුවන් ඇතුළුව නිරායුධ පලස්තීන වැසියන් 150 කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර මඟින් මරා දමා ඇත. 1000 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. ප්‍රහාරයට ලක් වූ ස්ථාන අතර නිවාස, රෝහල්, පාසල්, ළමා නිවාස, ආබාධිත නිවාස ද වේ. ඊශ්‍රායලයේ මුරුග ප්‍රහාරයන් නවතා දමන්නැයි බල නොකර ඊශ්‍රායලයේ එම ප්‍රහාරයන් සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කරන පලස්තීනයේ ආයුධ සන්නද්ධ හමාස් ව්‍යාපරයේ ප්‍රහාරයන් නවතා දමන්න යැයි ඇමෙරිකා ඇතුළු බටහිර රටවල් බල කරමින් විහිළු සපයන්නේ මේ වන විට ඊශ්‍රායල පුරවැසියන් කිසිවෙකුත් මිය ගොස් නොතිබියදී ය. බටහිර රටවල් වල පූර්ණ ආශිර්වාද ය සහිතව එල්ල කරන මෙම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයන් තව දුරටත් වර්ධනය කරන බවට ඊශ්‍රායල නැවත නැවතත් අනතුරු අඟවන්නේ ඝාතනය වන නිරායුධ පලස්තීන වැසියන් ගැන ඔවුන්ගේ කිසිදු තැකීමක් නොමැති බැව් පෙන්වා දෙමිනි. ලොව විවිධ නගරයන් හී පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ මෙම වර්ග සංහාරයට එරෙහිව රැස් ව උද්ඝෝෂණය කරන ප්‍රගතිශිලි ජනයාගේ ලේ කැකෑරෙන හඬ හැරෙන්නට වෙන කිසිදු බාධාවක් ඔවුනට නැති බැව් ඊශ්‍රායලය දනී.

මේ සටහනට පාදක වූ තවත් කරුණකි. ඊශ්‍රායලයේ ස්ඩෙරට් නගර වැසියන් එක් රැස්ව ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර වල වෙඩි හඬ ඇසෙන වාරයක් පාසා අත් පොළසන් දෙමින් විනෝද වන බැව් සඳහන් කරමින් අන්තර්ජාලය පුරා ඡායාරූපයකි (Murder as spectator sport හෙඩිම යටතේ). එය ෆේස්බුකිය තුළ සංසරණය වන්නේද  ඊමේල් මඟින් ප්‍රචාරය වන්නේ “මෙහෙමත් තිරිසන් ජාතියක්“ බැව් සිංහල අපට අඟවමිනි.  එහෙත් අවුරුදු පහකට පසුව අපට අමතකව ඇත්තේ හෝ අමතක යැයි ඇඟවීමට උත්සහ කරන්නේ දකුණේ ලංකිකයා ද නිරායුධ ඊලාම් දෙමළ ජනතාව ජීවත්ව සිටින බැව් නොතකා සිදු කරණ ලද ලංකා ආණ්ඩුවේ ම්ලේච්ච ප්‍රහාරයන් චැනලයන්  උඩ යට මාරු කරමින් රූපවාහිනී ඉදිරිපිට වී තමන් ද Murder as spectator sport ත්‍රිල් වූ බවයි. සාමාන්‍ය වැසියන් ගේ නිවාස, රෝහල්, පාසල්, ළමා නිවාස මතට ගුවන් ප්‍රහාර සිදුකරමින් ලක්ෂයකට අධික දෙමළ මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කළ එම වර්ග සංහාරයේ උච්චතම අවස්තාවේ දකුණේ සිංහලයින් මෙන්ම නාන(අබ)සාරගේ බලකායෙන් මැරුම්කන මුස්ලිම් ජනයා ද පාරවල් පුරා සිංහ කොඩි වනමින් රබන් ගහමින් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් කමින් විනෝද වූහ. කණ්නාඩියක් ඉදිරිපිට සිට ගනිමින් ඔවුන්ට ද දැන්වත් සිහිය ඇවිත් නම් ඇසීමට ඇත්තේ “ අපි වගේ අසික්කිත ජාතියක්?“ යන්නය.

ඊශ්‍රායලය වෙනුවට ලංකාව ආදේශ වන්නේ නම් පලස්තීනය වෙනුවට ඊලාම් දෙමළ ජනයා ආදේශවන්නේ නම් එහි ඇති සමානකම් හඳුනා ගැනීමට වැඩි උත්සාහයක් යෙදවීම අවශ්‍ය නොවේ. පලස්තීන ජාතීන්ගේ පීඩාව වඩාත් සමාන වන්නේ ස්වයං නිර්ණය අයිතිය හෝ වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින ඊලාම් දෙමළ ජනයා පත්ව ඇති පීඩාවටයි (තාරකා හොරා - ලූප්හෝල්ස්).

මතු කළ යුතු අනෙක් කරුණ වන්නේ ඊශ්‍රායලායේ මුරුග ප්‍රහාරයන් ට එරෙහිව ලංකාව ඇතුලේ දකින්නට ලැබෙන ගල් නිශ්ශබ්දතාවයයි. සිරියාවේ අල් අසාද් ට හා ලිබියාවේ ගඩාෆි ට සහයෝගයට පාරට බැස්ස පෙසප/ජවිපෙ රතු හැට්ට හා වීරවංශ පංචායුධ කල්ලිය හොයා ගන්නටවත් නැත. පලස්තීනයේ පාරකට ද තමන්ගේ නම දමා පලස්තීනයෙන් තාරකා සම්මාන උස්සන් ආ මහින්ද රාජපක්ෂ ද මීක් හඬක් වත් නොනංවයි. ලෝකයේ විවිධ රට වල් හා සංවිධාන පලස්තීනය වෙනුවෙන් පෙරට එද්දී පලස්තීන අරගල ඉතිහාසය පුරාම ලංකාවේ ප්‍රගතිශිලි කඳවුරෙන් ලැබුණු සහයෝගය මේ වන විට වැළලී ගොසිනි. සමාවන්න. ලංකාවේ ප්‍රගිතිශිලී කඳවුර ම 2009 මැයි දහ අට දා සිට නැවත මතු නොවෙනු පිණිස වැළලී ගොසිනි.

ඉතිරි වී ඇති අන්තරය හා නජිත් ඉන්දික


ලංකාවේ ශත්තිමත් ගොවි-කම්කරු-ධීවර පංතියක් නොමැති වුව එම ප්‍රජාවන්ගේ දරුවන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයක් ගැන බලාපොරොත්තු සැමවිටමත් දැල්වේ. එහි ශක්තිමත් බව හා කැපකිරීම්  අතීතයේ විටින් විට ඔප්පු කර ඇති අතර එහි තීරණාත්මක ඉම වූයේ ජවිපෙ මූලිකත්වයෙන් දකුණේ පැන නැඟුණු 87-89 අරගලයයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවා වූයේ අන්තරයයි. එමෙන්ම තවමත් එවන් ශිෂ්‍ය ව්‍යාපරයක් ගැන කිසිවෙකු කතා කරන්නේ නම් ඒ වෙනුර-බාලේ-ත්‍රීමා ගේ අන්තරයයි. ඒ අන්තරයට නජිත් ඉන්දික නම් වූ වෛද්‍ය ශිෂ්‍යයෙකු නව කැඳවුම්කරු වශයෙන් පත්ව තිබේ.

ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව ගැන කවුරු කෙසේ සඳහන් කළ ද එවකට අන්තරය සතු වූ ශක්තිය, ජවය හා විශ්වාසනීය බව මේ මොහොතේ එය සතුව නැත. කොළඹ, යාපනය  හා මොරටුව පමණක් නොව එහි බලය පවත්වාගෙන සිටින අනෙකුත් සරසවි වල පවා වරෙක අන්තරය යනු අධ්‍යාපනයේ ගැලවුම්කරු වශයෙන් පවත්වාගෙන සිටි ප්‍රතිභාව අධ්‍යාපනයේ කඩාකප්පල්කාරයා දක්වාම බොහෝ විට පහත වැටී ඇත. සමාජ ඛේදවාචකයම එහි ප්‍රතිනිර්මාණය වන නමුදු හැමවිටම සමාජයට වඩා ඉදිරිගාමී ව සිටි ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්වයට පත්වීමට 90 දශකයෙන් පසු ජවිපෙ හා මේ මොහොතේ පෙසප ද වගකිවයුතුව ඇත. එහි ආසන්නම නිර්ලජ්ජිත ස්වභාවය නජිත් ඉන්දික අන්තරයට පත් කිරීමට යෑමේ දී සිදු වූ ජවිපෙ-පෙසප කුමන්ත්‍රණය පසුගිය දා අන්තර්ජාලයේ තැනින් තැන පළ වී තිබුණි. එය ශිෂ්‍ය ව්‍යාපාරයක් සඳහා නායකයෙකු පත් කරගැනීමට වඩා වූයේ  පෙසප විසින් තමන්ගේ බලය අන්තරය තුළ රැක ගැනීමේ හා ජවිපෙ තමන්ගේ බලය අන්තරය තුළ නැවත ලබා ගැනීමේ ප්‍රාථමික දේශපාලන උගුලක් ලෙසිනි.

අන්තරයට සැමදාමත් තිබුණේ වාමාංශික භාවිතාවකි. ඊටත් වඩා රාජ්‍ය කප්පාදුවන්ට හා රාජ්‍ය මර්ධනයට එරෙහිව ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ හැකියාවකි. සමාජ අරගලයන් හීදී සමාජයට වඩා ඉදිරියෙන් සිටීමට හෝ ඒ හා බද්ධව අරගල කිරීමේ ශක්තියකි. අතීතයේ අන්තරයට ජවිපෙ නැඹුරුවක් තිබුණ ද එහි නායකත්වය ජවිපෙ අතකොළු නොවූ බොහෝ අවස්ථා තිබුණි. (සුදත් ගැන කථා කිරීම වෙනම මාතෘකාවක් නමුදු එවන් නායකත්වයක අවසාන පුරුක වූයේ සුදත් අලහකෝන් සහෝදරයායි. ඔහුගේ පරිණත නායකත්වයයි). නායකත්වයේ බලය තමන් සතු වූවද  වූවද එය වෙනස්ම ධාරාවක් ලෙස පක්ෂයට සමාන්තරව ගමන් කිරීමට ජවිපෙ ඉඩහැර තිබුණි. මක් නිසාද යත් එහි ශක්තිය ජවිපෙ නායකත්වය එවකට මැනවින් දැන සිටි බැවිණි. එබැවින් ම එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට හෝ සටන්පාඨ වලට කෙළින්ම මැදිහත් නොවී ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පමණක් මැදිහත් වීම නිසාවෙන් අන්තරයට බහුතරයක් ශිෂ්‍ය ප්‍රජාවකගේ ආදරය ද ගෞරවය  ද නිතැතින්ම හිමිවිය.

සුදත්ගෙන් පසු අන්තරය යනු එවකට ජවිපෙට මේ මොහොතේ පෙසපට ද විවෘතව ම තමන්ගේ බලය පෙන්වීම සඳහා වූ අතකොළුවකි. බේදවාචකය වන්නේ ජවිපෙ හා පෙසප පටු දේශපාලන මතවාදයන් මේ මොහොතේ ඉතිරි වී ඇති අන්තරය තුළින් නිර්ලජ්ජී ලෙස ඉස්මතු වීමයි. ප්‍රබල සටන් පාඨ තේරීමේ දී හැමදාමත් දැඩි විනයක් ද ශක්තියක් සතු වූ අන්තරයට අද දවසේ පෙසපේ ලසිත් (පුබුදු හෙවත් ගැටළුවා) සහෝදරයාගේ ප්‍රාථමික හා ලාබ දේශපාලණ උපක්‍රම මතැ යැපීමට සිදුව ඇත. නජිත් ඉන්දික ගේ පැමිනීමට පෙරාතුව පසුගිය ජනවාරි 27 පැවති “නව ලිබරල් ධනවාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි“ සිසු ජන පෙලගැස්ම මෑතකම උදාහරණයයි.  පෙසපේ උවමනාවට මෙවැනි ප්‍රධාන ධාරාවේ අසාර්ථක දේශපාලන නිමිති තෝරා ගැනීමට පළමුව අන්තරය මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ශිෂ්‍ය ප්‍රජාව අතර ගිලි හී ඇති විශ්වාසය දිනාගැනීම, සිසු සටන් සඳහා දෙමාපියන්ගේ සහයෝගය දිනාගැනීම හා සරසවි පාලන අධිකාරිය හා උරෙන් උර සටන වැදිය හැකි ජවයක් ගොඩනැඟීමයි.

පසුගියදා ලක්බිම පුවත් පතෙහි නජිත් ඉන්දිකගේ සාකච්චාවේ දී සඳහන් කළ පරිදි තමන් මාක්ස් ලෙනින් වාදියෙක්ය වෛද්‍ය වෘත්තියට වඩා  දේශපාලනය කිරීම වැදගත්ය වැනි දිලිසෙන ප්‍රකාශවලට වඩා වැදගත් වන්නේ පරාජිත හො පහසුවෙන් අතහැර දමන අරගල වෙනුවට (අන්තරය විසින් ලසිත්ලාව මෙහෙයවූ යුගයේ දී මොරටුව සරසවියෙන් එන්ඩීටී පාඨමාලාව ඉවත් නොකිරීම ට තරම් ශක්තියක් එහි වූව ද ලසිත්ලා විසින් අන්තරය මෙහෙයවන කල් හී එන්ඩීටී පාඨමාලාව මොරටුව සරසවි භූමියෙන් ඉවත්කර ගෙන යාමට සිදු වීම එක් උදාහරණයකි) ජයග්‍රහණයෙන් කෙළවර කරගත හැකි ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැඟීමයි. එහි වූ ප්‍රෞඪත්වය හා ගෞරවාන්විත බව නැවත ඇතිකර ගැනීමයි. තමන්ගේ දේශපාලන මතවාදයන් බැහැර කර තමන්ගේ දේශපාලන ගුරුන් මඟහැර එහි ඉත්තෙකු නොවී බලය ලැබුණු මේ මොහොතේ නජිත් ඉන්දික සතුවිය යුත්තේ එම අභියෝගයයි. එවන් නායකත්වයක් සඳහා අපගේ ආශිර්වාදය ද හිමි වෙයි.

එහෙත් තමන්ගේ උපාධිය අවසන් නොකිරීම පටන් ගත් තැනම ප්‍රකාශ කරන ශිෂ්‍ය නායකයෙකු (අරගලය විසින් අවසානය වෙනස් ලෙස තීන්දු කිරීම වෙනමම කතාවකි) වේ නම් ඔහු කෙරහි විශ්වාසය තබන්නට කිසිවෙකු නොවන බව තේරුම් ගන්නට උසස් පෙළ සමත් විය යුතු නොවේ. එය එසේ වෙනතාක් කල් එස්බී වැනි වාචාලයන්ට හා සරසවි පාලකයින්ට අන්තරය යනු විභාග පාස් වෙන්න බැරි කාලකණ්ණි පිරිසකගේ කණ්ඩායමක් වශයෙන් හැඳින්වීමට අපහසුවක් ද නොවේ (එසේ පැවසීම සැළකිය යුතු කාරණාවක් යැයි අපි නොඅදහමු). එමෙන්ම තමන්ගේ දේශපාලන සගයින් පමණක් වටකරගත් හුදෙකලා ශිෂ්‍ය කණ්ඩායමක නියමුවෙක් වී අවසානයේ පෙසප හෝ ජවිපෙ පටු දේශපාලනයේ තවත් ගොදුරක් ව ඔවුන්ගේ තවත් එක් පළාත් සභා හෝ මහා මැතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් සමාජගත විම පමණක් ම අනිවාර්‍යවේ.

තාරකා හොරා


පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් දුන් තාරකා සම්මානය ද රැගෙන මහින්ද රාජපක්ෂ හැරෙන තැපෑලෙන් ගියේ පලස්තීන දේශය බලහත්කාරයෙන් කොල්ලකාගෙන සිටින කුඩා දරුවන් ද ඇතුළුව පලස්තීන වැසියන් නිතිපතා සමූල ඝාතනය කරන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙටන්යාහුව මුණ ගැහෙන්නය. මොළේ කළඳක් හෝ තිබේ නම් මහින්දට දුන් තාරකාවට තව තාරකා දහස් ගණනක් අබ්බාස් ජනාධිපති වරයාට එකවර පෙනී යා යුතුය. මෙවැනි වැඩක් කළ හැකි ලොවෙහි සිටින එකම නායකයෙක් සිටී නම් ඒ මහින්ද රාජපක්ෂ බැව් ඔහු නොදන්නවා විය හැක. තමන්ගේ ම ආණුඩුවේ අගමැතිට අනුන් ලව්වා කෙළවීමේ ගුණමකු කමට වඩා එය ද දෙවැනි නොවේ.

මහමුද් අබ්බාස් සිටින්නේ දශක කිහිපයකට පසු ව නින්දෙන් නැගිට්ට ගමන්ය. ඔහුට තවමත් මතක 1970 පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්ෂ ලාබලම මන්ත්‍රීවරයා වශයෙන් පලස්තීන අරගලයට සහයෝගය දක්වමින් කළ කතාවය. එසේත් නැත්නම් පලස්තීනයට සහයෝගය පිණිස ඊශ්‍රායලය සමඟ තානාපතිකම් වර්ජනය කරමින් සිටි සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමඟි පෙරමුණු ආණ්ඩුවය. වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යනු ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ සහයෝගය ඇතිව බර අවි/රසායිනික අවි යොදා තම රටෙහි සුළු ජාතීන්ක පුරවැසියන් ව ආමානුෂික ලෙස සමුල ඝාතනය කළ වර්ගසංහාරය කළ පාලකයෙක් බව අබ්බාස් නොදනී. තමන්ව ඊශ්‍රායලයේ පීඩාවට පත්ව සිටිනවා හා සමානව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඊලාම් දෙමළ ජනතාව පීඩාවට පත් කරගෙන සිටින ධනේශ්වර පාලකයෙක් බව අබ්බාස් නොදනී. තමන්ට ඊශ්‍රායලය විසින් දිනපතා උඩින් යටින් පුහාර එල්ලකරන ආයුධ වලින්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඊලාම් දෙමළ ජනතාවට කෙළිය බව අබ්බාස් නොදනී. පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් සහය දෙනවා ලෙසම ඊලාම් දෙමළ ජනතාවට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය පූර්ණ සහයොගය දුන් බැව් අබ්බාස් නො දනී. පල්සතීනයේ ඉහළම තාරකා සම්මානයට අමතරව ලංකාවේ වරාය, ගුවන් තොටුපල, පාසාල්, ක්‍රීඩාංගන, උද්‍යාන, වැසිකිළි, කැසිකිළි සියල්ලටම තම නාමය යොදා මදිවී සිටින මහින්ද රාජපක්ෂ ට පලස්තීනයේ මාවතක් ඔහුගේ නමින් නම් කර උපහාර දක්වන ලද්දේ එබැවිනි.

2012 වසරේ පමණක් ඊශ්‍රායලය නිරායුධ පලස්තීන වැසියන් 250කට අධික සංඛ්‍යාවක් මරා දමන ලදි. සිය දහස් ගණනක් අත් අඩංගුවට ගන්නා ලදි. වසරක් පාසාම මරා දමන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව අති විශාලය. පලස්තීනය තුළ ඊශ්‍රායල බලහත්කාරයෙන් සිදුකරන ජනපදකරනය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. තමන්ගේ භූමියේ බීමට ඇති වතුර පොද ඉල්ලා පවා අරගල කිරීමට පලස්තීන වැසියන්ට සිදුව ඇත. ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ සහයෝගය ඇතිව ලොව බලගතුම හමුදාව ගොඩනඟා අරාබි කළාපය ඇතුලත සිය බලය පතුරවාගෙන පලස්තීනය පාගා ලෙන සිටින ඊශ්‍රායලය සිදුකරන්නේ ධනේශවරයේ මුර බල්ලාගේ කාර්‍යයයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්ගසංහාරක යුද්ධයට සහාය පිණිස කෆිර් ප්‍රහාරක යානා හා ඩ්‍රෝන් වර්ගයේ යානා ඇතුළුව සියළුම බර අවි පසුගිය දශක කිහිපය පුරාම ඊශ්‍රායලය ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි. මීට අමතරව උපායමාර්ගික යුදමය උපදේශන සේවා ද විශේෂ කාර්‍ය බලකාය වෙනුවෙන් වාර්ෂික යුද පුහුණුව ද ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඊශ්‍රායලයයි. නැගෙනහිර පළාත ඇතුළත බහුතර දෙමළ ජනාවාස වට කර ආරක්ෂාව සඳහා යැයි ආයුධ වලින් සන්නද්ධ සිංහල ජනාවාස පමණක් ඇති කිරීම සඳහා අසූව දශකයේදී ලංකාවට උපදෙස් ලබා දුන්නේ ද ඊශ්‍රායලය යන්න ප්‍රසිද්ධ කාරණාවකි.

ඊශ්‍රායලය වෙනුවට ලංකාව ආදේශ වන්නේ නම් පලස්තීනය වෙනුවට ඊලාම් දෙමළ ජනයා ආදේශවන්නේ නම් එහි ඇති සමානකම් හඳුනා ගැනීමට වැඩි උත්සාහයක් යෙදවීම අවශ්‍ය නොවේ. පලස්තීන ජාතීන්ගේ පීඩාව වඩාත් සමාන වන්නේ ස්වයං නිර්ණය අයිතිය හෝ වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින ඊලාම් දෙමළ ජනයා පත්ව ඇති පීඩාවටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  මිනීමරු ඊශ්‍රායලය සමානව කටයුතු කරන විට හා පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සිටිය යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ට එරෙහිව ඊලාම් දෙමළ ජනයාගේ අරගලය පැත්තේ යන්න සිදුව යුත්තයි. එහෙත් අබ්බාස්ගේ නො දැනුවත් කමට හෝ දෙමළ අරගලයේ පාර්ශව කරුවන් විසින් පලස්තීනය වැනි රටවල් දැනුවත් නොකිරීමේ හේතුව ට සිදුවීම් සිද්ධ වන්නේ ප්‍රතිවිරුද්ධ ලෙසය. විලි ලැජ්ජාවක් ඇත්නම් ‘පලස්තීන අරගලයට සහාය දැක්වීම‘ අගයා අබ්බාස් ලබා දුන් තාරකා සම්මානය අතැතිව යමෙකුට නෙටන්යාහුගේ ඊශ්‍රායලයට පා තැබිය නොහැකි වුවත් සිද්ධ වන්නේ ද එයමය.

වාසනාවකට පලස්තීනය නිදහස් කරගැනීමේ සැබෑ අරගලය පලස්තීන ආණ්ඩුව හා බද්ධ නොවී වෙනම තලයක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබලව පවතී. ඔවුහු ශ්‍රී ලංකා ආණ්ඩුවේ ෆැසිස්ට් ස්වභාවය ද ඊලාම් දෙමළ ජනයාගේ අරගලයේ අවශ්‍යතාවය ද හොඳින් හඳුනති.

කැලැන්ඩර් නව වසරක ප්‍රාර්ථනය









දෙමළෙකුට අත වනන්නට කලින්
උන්ගෙ අයිතිය පිළිගත හැකි
නැති වමක් නො සොයා
සැබෑ වමක් ගොඩ නැඟිය හැකි
කන්දක පොර ටෝක්ස් නොදී
දූපතෙන් හිස ඔසවා ගත හැකි
පැනසර විය හැකි තරම්
දැනුම උකහා ගත හැකි
සුබ නව වසරක් වේවා !

කරුමය යැයි නො හිතා
අයිතීන් සඳහා සටන් වැදිය හැකි
අවිද්‍යාව මිත්‍යාව පරයා
විද්‍යාව සත්‍යය ය විශ්වාස කළ හැකි
වෙන් වෙන් ව නො ඉඳ
එක්ව සටන් කළ හැකි
පීඩකයින්ට එරෙහිව
නොබියව නැගී සිටිය හැකි
සුබ නව වසරක් වේවා !

ජාතිවාදීන් ආගම්වාදීන්
ඇසුරෙන් පලවා හැරිය හැකි
ඊනියා වම්මුන්ව
පතුරු ගසා නිරුවත් කළ හැකි
රටින් එළ වූ උන්ව කැඳවා
බඩ බදා සිනා සිය හැකි
හිත හොඳ ඇති එවුන්
හෙටත් සුබ උදෑසන අරං එති සකි
සුබ නව වසරක් වේවා !

ලූප්හෝල්ස්