A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළාට කෙළ‍වෙන තෙක් ආයෙමත් බලා සිටීමට සිදුවීම


“දෙමළා ඉවරයි“ කියා සිතාගෙන සිටිය උම්මත්තක සිංහල ජාතිවාදීන් නන්නත්තාර වූයේ පසුගිය දා පලාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ උතුරේ දෙමළ ජනතාව අළුගසා දමා නැඟිටීමෙනි. රාජපක්ෂලාගේ සිට රණවක-වීරවංශලා මූලික “අපි කියන විදියට ඉන්නවනම් හිටු“ පන්නයේ දෙමළ විරෝධී දකුණේ සිංහලයා දැන් ඇසිපිය නොහෙළා උතුර දෙස බලා සිටින්නේ ඒ දෙමළා ට කෙළවෙන්නේ කොයි මොහොතේ ද යන්න දැන ගැනීමටයි. දැන් ඔවුන්ට වෙන වැඩක් නොමැත. “දිවුරුම් දෙන දවසට අරයා ආවේ නැහැ - ඇමතිකම් වලට වලි - අරයා දිවුරුම් දුන්නේ අරහේ - මහ ඇමති ආයෙමත් අරලියගහ මැදුරේ“ වැනි හිත හදාගන්නා නියායේ ප්‍රවෘත්තීන් වලින් ඔවුහු සැනසෙති.

ඒ අතරතුර තවදුරටත් මරා දමා කෙළවර නොවුණු ඒ දෙමළාගේ කෙළවීම කෙළවර කිරීම සඳහා විවිධාකාරයෙන් දකුණ ලැහැස්තිවෙති. යුද හමුදාපති දයා රත්නායක දෙමළාගේ බෙල්ල ගලවන බවට තර්ජනය කරන විට මහින්ද රාජපක්ෂ සුපුරුදු මොර්තේ න්‍යාය යොදවා මහ ඇමති විග්නේශ්වරන් ව බා ගැනීමේ මානුෂික මෙහෙයුමට අවතීර්ණ වී සිටී. ඒ අනුව විග්නේශ්වරන්ට සමූහ ඡායාරූප ලබා දීමේ සිට  කැබිනට් රැස්වීම වලට රැගෙන ඒමේ හරහා පොදු රාජ්‍ය මණ්ඩල සැසිය ඇමතීම දක්වා මෙහෙයවීමට ඔහු සමත් වී ඇත.

If you can't beat 'em, join 'em යනු ඉංග්‍රිසියේ ප්‍රකට කියමනකි. අවැසි පරිදි එය දෙ ආකාරයකට අරුත් ගැන්විය හැකිය. පළමු වැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී නිහඬවම ඔවුන් අනුගමනය කිරීමයි (දයාසිරි ක්‍රමවේදය). දෙවැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව එක් වර පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී ඔවුන් අනුගමනය කරන බැව් පෙන්වා කෙමෙන් කෙමෙන් කුමන්ත්‍රණ මඟින් විනාශ කර දැමීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රකට මොර්තේ න්‍යාය අර්ථ නිරූපනය කරන්නේ දෙවැන්නයි. යුද සංහාරය හා මැතිවරණ ප්‍රතිඵල මඟින් විනාශ කර දැමිය නොහැකි වූ දෙමළා ව යටින් ගේම දී කෙළවා දැමීම ඔහුගේ වෑයමයි.

යුද හමුදාපති දයා රත්නායක තවදුරටත් දෙමළාගේ බෙල්ල ගලවන බවට පවසන්නේ, ඇමෙරිකාව ඇතුළු ලොව සියළුම පෙර අපෙර දිග රටවල් හා ජවිපෙ ඇතුළු දකුණේ සියළුම වාම-දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයන්ගේ සහයෝගය ඇතිව වන්නිය වසර හතරකට ඉහත දී වර්ග සංහාරයකට ලක් කිරීමෙන් ද අනතුරුවය. එ ලෙස බෙලි ගලවා රිටි වල හිටුවා හිස සුන්කඳ දෙස බලා සිටීමට සැලැස්වූ ලංකා හමුදාවේ අතීතය දකුණේ අපට ද හොඳින්ම මතකය. එයට බිලි වූයේ හැට දහසක් වූ ජවිපෙ ක්‍රියා කාරීන් හා හිතවාදීන් පමණක් නොව දකුණේ ද අහිංසක පුරවැසියන්ය.

සිංහලයා යනු එතරම් කාලකණ්ණි අත් දැකීමක් ඇතිව එම ඝාතක හමුදාවම යොදවා තවත් සහෝදර ජනතාවක් විනාශ කිරීම සඳහා ආශිර්වාද කළ ජාතියකි. අප, 1987-1989 දී දකුණේ හත්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළ මිනීමරු හමුදාව ලවා තුන්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි පවසන කොටි විනාශ කිරීම සඳහා බෝධි පූජා පැවැත්වූ ජාතියකි. 1983 ජූලියේ දී දවස් හතරක දී තුන් දාහකට වැඩි දෙමළුන් මරා අවුරුදු 17 කදී සිංහලයින් තුන් දාහක් ( චම්පික රණවකගේ “කොටි විනිවිදීම“ ට අනුව 1983-2000 දක්වා කොටි සංවිධානය සිදු කළ ඝාතන සංඛ්‍යාව 3042 කි) මරා දැමූ දෙමළාට සාප කළ ජාතියකි. දෙමළා විනාශ කිරීමට අවැසි වූ විට ඉතිහාසය පුරාම අපි සිදු කර ඇත්තේ ජාතියක් ජම්මයක් ඇති එවුන් නොකරනා වැඩය. කොහොමටත් අපිට හරියනවාට ත් වඩා සතුටක් දෙමළාට කෙළවෙන විට අපිට ලැබේ. ඒ අපේ සිංහල කමය. ජාතියේ ස්වභාවය ය.

ප්‍රභාකරන් හට ලියුම් විතරක් ලියූ ආනන්ද සංගරී හා ඩග්ලස්-කේපී-කරුණා යන දේශපාලන මළකුණු අත්හැර දැමූව ද ජනප්‍රිය දේශපාලනයේදී දෙමළා හා සිංහලයා කියා වෙනසක් නොමැත. එබැවින් ටීඑන්ඒ හෝ වාසුදේව-මස්සිනා විග්නේශවරන් යනු කෙතෙක් දුරට සිය නිජබිමේ දෙමළා ගේ උරුමය වෙනුවෙන් පෙනී සිටිනු ඇත්දැයි යන්න හෙට දවසේ අවිනිශ්චිත ය. රාජපක්ෂ වරුන්ගේ හැකියාවේ තරම අනුව ටීඑන්ඒ දෙදරීමේ වේගය තීරණය වන්නේ නම් එය දෙමළාගේ ම අවාසනාවය.

පසුගිය මැතිවරණයේ දී ටීඑන්ඒ සඳහා, ප්‍රභාකරන් වීරයෙකු බැව් පැවසීමට සිදුවීමෙන් හෝ කොටි සංවිධානයේ විරු ගීතිකා වේදීකාවල ගැයීමට සිදුවීමෙන් හෝ ප්‍රභාකරන්ගේ ඡායාරූප මුද්‍රණය කර බෙදා හැරීමට සිදුවීමෙන් හෝ අද ඉතිරී වී සිටින කුඩුපට්ටම් වී ගිය දෙමළාගෙන් සියයට අසූවක් මහ පොළොව දෙදරවා පෙන්වා දුන්නේ මරණය මතින් වුව තමන් පිළිගන්නේ කොටි සංවිධානයේ දේශපාලන මතය බවයි. එනම් දෙමළා සතු වෙනම රටක ජීවත් වීමේ හෝ ස්වයං නිර්ණය අයිතියයි. 

පසුගිය වසර තිහ ඇතුළත මෙන්ම අනාගතයේ දී ද උතුරේ දේශපාලනය මෙන්ම දකුණේ දේශපාලනය ද තීරණය කරණු ඇත්තේ ඒ සදාකාලික සත්‍යය යි. එම සත්‍යය වටහා නොගෙන එම   යථාර්තය පිළිනොගෙන කොළඹ දේශපාලනය ක්‍රියාත්මක වන තාක් කල් සාමයේ සමාදානයේ හා සමගියේ හිරු මේ භූමියට පායනු ඇත්තේ දහවල් කිහිපයකට පමණය. එවිට “කෙළවීම“ සඳහා වූ මාලිමාවේ සූචිකාවේ දිශානතිය වෙනස් වීමට ගත වනු ඇත්තේ ද මොහොතක කාලපරාසයකි.

ගයේෂා මුදා හැර මාළුවෝ තවදුරටත් පිහිනීම


කොපි කිරීමට හෝ අනුකරණය  කීරීමට තව දුරටත් අතරමැදියන් අවශ්‍ය නොවන්නේ සයිබර් අවකාශයේ සැරිසැරීමට අප සියල්ලට ම හැකියාවන් තිබෙන නිසාවෙනි. අනුකරණය කිරීමේ දී හෝ කොපි කිරීමේ දී මූලාශ්‍ර සඳහන් කිරීමට අප කිසිවිටකත් මැලි නොවේ. එන එන හැටියට ඇණගන්න සහ නාගන්න දේවල් බ්ලොග් ගත කරනවා හැරෙන්නට අනුන්ගේ භාෂීත අප සතුකර ගැනීමේ ප්‍රාථමික අවිඥානය, පසුගිය දශක කිහිපයේ වම ලංකාව තුළ දියව යන්නටත් කලින්ම අප විසින් කොළඹ අහසට මුදා හැර තිබේ.

ලංකාව ඇතුලත තහනම් කර ඇති බැවින් තඹලගමුවේ සංජීව පුෂ්ප කුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ නැරඹිමට අපට අන්තර්ජාලය එම අවසරය ම ලබා දී ඇත. අප සිනමා විචාරකයෝ නොවෙමු. එහෙත් විචාරයට පහලින් පවතින ඇඟට දැනෙන දේ දැනෙන තරමට පැවසීම පමණක් අපගේ වෑයමයි.

ඔහුගේ චිත්‍රපට තහනමට එරෙහිව හා ඒ වටා ගොඩ නැඟුණු කතිකාවට සංජීව පුෂ්ප කුමාර දැක්වූ ළාමක ප්‍රතිචාර විමසීමේ දී චිත්‍රපට ය නැරඹීමටත් මත්තෙන් ම “සම්මානනීය“ ඉගිල්ලෙන මාළුවෝ ගැන දළ අදහසක් අප වෙත තිබුණු නමුදු එය මෙතරම් ඛේදවාචකයක් වේ යැයි අප බලාපොරොත්තු නොවීය.

සරලවම සඳහන් කරන්නනේ නම් ඉගිල්ලෙන මාළුවෝ ච්ත්‍රපටය පහත දැක්වෙන වචන කිහිපයට ලඝු කළ හැක.
  • අනර්ථය
  • නො මේරූය
  • අසංවිධිතය
  • නීරසය
  • කාලය කන සුළුය 
විමුත්ති ජයසුන්දර ගෙන් පටන් ගෙන තවත්බොහෝ සිනමා කරුවන් අනුකරණය කිරීමට යෑමෙන් චිත්‍රපටය ම අප්‍රබංශයක් වී ඇති බවක් අපට හැඟේ. අසමතුලිත සිනමා කෝණ, දුෂකර පරිසරය, ලිංගික දර්ශන, හමුදාව, හාමුදුරුවෝ, කබල් සීටීබී බස් මඟින් සම්භාව්‍ය සිනමා පටයක් නිමවිය හැකියැයි යන දුර්වාබොධයේ ඔහු ගිලී ඇත.

සංජීව පුෂ්ප කුමාර බදා ගන්නට ගොස් ඇති ප්‍රමාණය විශාලය. එය ඔහුට දැරිය හැක්කක් නොවේ. ඇඹලයන්, මකුළුවන්, හාවන්, කාක්කන්, බල්ලන් හා බළලුන් සිනමා රූපක ලෙසින් භාවිතා කිරීමේ සිනමාවේ ප්‍රාථමික අවධියෙන් ගොඩ ඒමට සංජීවට හැකියාවක් තිබී නැත.  හමුදා සෙබලා හා වාසනා රේල් පාර දිගේ ගිනි අවියක් දෙකෙළවරින් අල්ලා ඇවිදින දර්ශනය, කඩා වැටුණු ගොඩ නැගිල්ලක සද්දන්ත බිත්තියක් පාමුල  වාසනා හා හමුදා සෙබලා ලිංගික සුව විදින දර්ශනය හා පාසැල් පෙම්වතුන් යුගලය ගල් තලාවක හිඳිණ දර්ශනය හැරුණු කොට එම චිත්‍රපටය පුරා මුල සිට අග දක්චාම සිනමාත්මක බවකින් තොරය  (මේ අවස්ථා තුනම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගෙන තිබිණ). චිත්‍රපටය අපව රඳවා ගන්නවා වෙනුවට අපට සිදු වූයේ බලහත්කාරයෙන් චිත්‍රපටයේ රැඳී සිටීමටයි.

මොකක් හෝ හෑල්ලක් ලියා අවසන් කළ පසු කතෘ ප්‍රකාශනයක් ලෙස හෝ පොතක් පළකර මේ වන විට ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ “ග්‍රන්ථ කතෘ“ වරුන් බිහි වී ඇත. සල්ලි හොයාගත් පමණකින් චිත්‍රපට තැනීමේ සංජීව පුෂප කුමාර ක්‍රමවේදයෙන් (සල්ලි ඉතා අමාරුවෙන් හොයා ගත් බවක් ඔහු පවසා කිබුණි) ක්‍රියාත්මක වුව හොත් හෙට දවසේ “සිනමාකරුවන්“ ද ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ සොයා ගත හැකි වනු ඇත. මෙවැනි චිත්‍රපට යක් තැනීම කොහොත්ම අසීරු නොවේ. අවශ්‍ය වන්නේ ලැජ්ජාවට පත් වීම නොසලකා සිටීමේ ධෛර්ය යි.

සංජීව පුෂප කුමාර චිත්‍රපට ය තැනීමට මත්තනේ ඉගිල්ලෙන මාළුවෝ තිර පිටපත ක්ෂේත්‍රෙයේ ප්‍රවීණයෙකු හෝපිටස්තර වෙනත් කිසිවෙකු ලවා පරීක්ෂා කරවා ගත්තේ නම් ඔහු මුහුණ පා සිටින අර්බුදය කල් තිබා හඳුනා ගන්නට තිබුණි.. එහෙත් ඒ වෙනුවට  ඔහුට බොහෝවිට හමුවන්නට ඇත්තේ නියමයි මචං ගහමු ගහමු පන්නයේ හිත නොරිඳවන්නො පමණි. අඩුම ගණනේ සම්භාව්‍යය යැයි සැලකෙන චිත්‍රපට තිහක් හතළිහක් වත් මීට පෙර ඔහු නරඹා තිබී ඇත්දැයි අපට සැක සහිතය.

ඉගිල්ලෙන මාළුවෝ අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟම චිත්‍රපටයේ නිරුවතින් සිටින නළුවන් නොතකා “ගයේෂාගේ ඉගිල්ලෙන මාළුවෝ සෙක්ස් සීන්“ වීඩියෝ අන්තර්ජාලය පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ. ගයේෂා නිසාවෙන් ලංකාවේ සිටින ලිංගික පීඩිතයින්  මේ මොහොතේ අන්තර්ජාලයේ දී සුරතාන්තය පත් වී ඇත. තිරයේ ශුද්ධවන්ත සියළුම අශුද්ධ නිලියන් අබිබවා යමින් අවශ්‍ය නම් නිරුවතින් රඟපෑමට හැකි ධෛර්යය සහිත නිලියක් පමණක් ඉගිල්ලෙන මාළුවෝඅසාර්ථක චිත්‍රපටයෙන් පසුව ධර්මද්වීපයට ඉතිරි කර තිබේ. ඈ ඉගිල්ලෙන මාළුවෝ හි එකම සාධනීය ඵලයයි.

මෙය සංජීව පුෂ්ප කුමාරගේ පළමුවෙනි චිත්‍රපටයයි. ඔහු තරුණයෙකි. ඔහුගේ සිනමාගමනය මෙතකින් සීමා වේයැයි අප නොසිතමු. එහෙත් ඔහුට හෙට දවසේ ඉතිරිව ඇත්තේ වාරණයෙන් ගැලවීමේ කඩුල්ලට වඩා සිනමාව සඳහා වූ තමන්ගේ නිර්නායකයන් වෙනස් කර ගැනීමේ දැවැන්ත අභියෝගයයි. ජලයෙන් මතුපිටට පැමිණ අහසේ ඉගිල්ලීමේ වෙහෙසකර අභියෝගයයි.

මාළුවන්ට ඉගිල්ලිය නොහැක. ඔවුහු ජලයේ වපසරියට සීමා වී ඇත. එක්සෝසිටීඩ (Exocoetidae) වර්ගයේ පියාඹන මාළුන්ට පවා අහසේ සිටිය හැක්කේ ත්තපර 40 ක් පමණ සුළු කාලයකි. වර්තමාන ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම එක්සෝසිටීඩයන් බහුලය.

පසු සටහන.

ඉගිල්ලෙන මාළුවෝ තහනම් කිරීමට හේතු වශයෙන් දැක්වූයේ  එමඟින්  ලංකාවේ ආරක්ෂක හමුදා අපකීර්තියට පත්වෙන බවයි. හත් දෙයියනේ චිත්‍රපට ය බලන්න. අපි සිනමාවෙන් ප්‍රවෘත්ති බලන ජාතියක් බවට අනුමාන කරන්නනේ නම් මෙම චිත්‍රපට ය මඟින් ආරක්ෂක හමුදා අපකීර්තියට වනවාට වඩා සිදුවිය හැක්කේ ලංකාවේ ගැහැණුන් මිනිසුන් සංසර්ගයේ සිටින්නේ හිටගෙන පමණක් බව හා ලංකාවේ පිරිමින් මුත්‍රා කරන්නේ තාප්ප හා බිත්තිවලට පමණක් බවයි.



මෙම සටහන මඟින් ඉගිල්ලෙන මාළුවෝ ලංකාව ඇතුලත තහනම් කිරීම කිසිවිටකත් සාධාරණය කරන්නේ නැත. මෙම චිත්‍රපටයේ තහනමට එරෙහිව අප මීට පෙර ලියූ පහත ලිපිය බලන්න.

මලාලා යුසාෆ්සේයි: බටහිර අළුත්ම ප්‍රමෝදය


අන්තර්ජාතික මාක්ස්වාදී නැඹුරුව (International Marxist Tendency – IMT) මඟින් 2012 ජූලි මාසයේ පාකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයේ පවත්වන ලද කඳවුරක දී මලාලා යුසාෆ්සේයි පැවසුවේ ඇයට අවබෝධ වී ඇති අන්දමට එකම විසඳුම සමාජවාදය බවත් එම අරගලය විජයග්‍රාහී අවසානයක් දක්වා රැගෙන යාමට සියළුම සහෘදයන් ව තමන් දිරිගන්වන බවත් ය. එම වසරේම ඔක්තෝබර් මාසයේ දී තලෙයිබාන් සංවිධානය විසින් මලාලාගේ හිසට වෙඩි තබන ලදි. එවකට ඇගේ වයස අවුරුදු 15 කි.

එහෙත් මලාලා යුසාෆ්සේයි වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ කාන්තාවන් සතු අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නියක් වශයෙනි. තලෙයිබාන් සංවිධානය ඇයට වෙඩි තබන ලද්දේ කාන්තාවන් සඳහා වූ අධ්‍යාපනය එරෙහිවීම නිසා නොව මලාලා විසින්  එම සංවිධානයට එරෙහිව ප්‍රචාරය කරන සාවද්‍ය මතයන්ට එරෙහිව බැව් එම සංවිධානය විසින්ම මාධ්‍ය නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ ලද්දේ වුව ද පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය ඇතුළත ප්‍රාදේශිය කලාපයන් තුළ කාන්තාවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට තලෙයිබාන්වරුන් විරුද්ධ බැව් මධ්‍යස්ථ මුස්ලිම් වරුන්ම පවසන සත්‍යයකි. එබැවින් ඇයගේ සටන ට මෙන්ම ඊට එරෙහිව වෙඩි වැදීමට ද අර්ථයක් නොමැත්තේ නොවේ.

ඈ වෙත නැවත වතාවක් ඉතා මෑතකදී තලෙයිබාන් වරු මරණ තර්ජන කර ඇති බැවින් එක් වරක් ඝාතනය කිරීමට ලක්වූ ඇය තව දුරටත් තමන් පෙනී සිටින කාන්තාවන් සතු අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට (දැන හෝ නොදැන) ඇය සතුව ඇති ධෛර්යය අප ද අගය කරමු. තලෙයිබාන් වරු යනු තම බලය පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයෙන් පිටත ද පැහැදිලිවම පෙන්වා දී ඇති සංවිධානයකි.

එහෙත්...

බුරුමයේ අඋන් සාන් සූ කී කල් ඉකුත් වී ඇති මොහොතක බටහිරට අළුත් වීරයින් උවමනා වී තිබේ. ලෝකයට ඉබේ පහළවන ජූලියන් අසාන්ජේ හෝ එඩ්වර්ඩ් ස්නෝව්ඩෙන් වැන්නවුන්ට වඩා තමන්ව විවේචනය නොකරණ තමන්ව හෙළිදරව් නොකරන වීරයින් බටහිරට අවශ්‍ය වී ඇත.

තම වීරයා හෝ වීරවරිය තමන්ගේම ප්‍රතිවාදීයා වූ රැවුල් මුස්ලිම් තලෙයිබාන් වරුන්ට එරෙහි මුස්ලිම් ජාතිකයෙන් ම වේ නම් එය සර්ව සම්පූර්ණ වන්නේය. බටහිරට දැන් මුස්ලිම් ජාතික මලාලා යුසාෆ්සේයි අහම්බෙන් මෙන් හමු වී ඇත.

ඇය ස්ත්‍රී ලිංගිකයෙකි. දැරිවියකි. මරණයෙන් හාස්කමකින් මෙන් බේරී ඇත. ලෝකයාගේ ම අනුකම්පාව ඈ වෙතය. එමෙන්ම ඇය මුඛරිය. බිය නොවන සුළුය. එහෙත් අවැසි පරිද්දෙන් පාලනය කළ හැකිය. බටහිර සමඟ කුළුපගය. විවේචනය නොකරන්නීය. සියල්ල සකලාංගසම්පූර්ණ වී ඇත.

මේ මොහොතේ සියළුම බටහිර මාධ්‍යයන් මලාලා යුසාෆ්සේයි වෙත විවෘතය. ඔවුහු කඳුළු වගුරුවති. සියළුම බටහිර දේශපාලයන්ගේ මන්දිර ඈ එන තෙක් බලා හිඳී. ඔවුහු ඈ හිස අත ගාති.  ලඟා වීමටත් නොහැකි සියළුම බටහිර ජනප්‍රිය සුපිරි තරු ඈ වෙත දෑත දිගු කර ඇත්තාහුය. ඔවුහු ඇරුණු මුවින් ඈ දිරිය පසසති.

අඋන් සාන් සූ කී වෙත යුරොපීය පාර්ලිමේන්තුවෙන් ලැබුණු කීර්තිධර “සකරෝෆ්“ ත්‍යාගය ඇතුළු සම්මාන විශාල සංඛ්‍යාවක් මේ වන විටත් මලාලා වෙත ලබා දීමට බටහිර සමත් වී ඇත. ඩොලර් මිලියන 1.2 ක මෙවර නොබෙල් සාම ත්‍යාගය ගැස්සුනේ ද නූලෙනි. ඉදිරි වසරක දී එය ද බටහිර විසින් මලාලා යුසාෆ්සේයි ලබා දෙනු ඇත.

එහෙත් දින කිහිපයක ට ඉහත දී ඈ බටහිර රෑකඩයක් නොවන බවත් ඇගේ අරමුණ දේශපාලනයට පිවිස බෙනාසීර් භූතෝ මෙන් පකිස්ථානයේ අගමැති වීම බවත් ඇයට එරෙහිව ඇති “වෙස්ටර්න් පපට්“ චෝදනාවට පිළිතුරු වශයෙන් පවසා තිබුණාය. ඇය මෙහෙයවන්නේ කවරෙකු වුව ද ඇයගේ අළුත්ම එල්ලය එමඟින් මනාවට පැහැදිලිය. එකම විසඳුම සමාජවාදයතවදුරටත් ඈ වෙත වලංගුවේදැයි අප නොදනිමු.

එමෙන් ම ඇගේ “බටහිර රෑකඩයක් නොවන“ ප්‍රකාශය ගැන අනාවැකි පැවසීමට කල් වැඩි නමුදු මලාලා යුසාෆ්සේයි  යනු මෙ වනවිටත් පැහැදිලිව ම බටහිර ගොදුරකි. ගොදුරු වීමෙන්ම කෙළවරවුණු එහි ම නිමැවුමකි. බටහිර නොවන්නේ නම් ඈ ජීවතුන් අතර නොවන්නේ ද වේ. පසුගිය වසර තුළ ඈ වෙත බටහිර දරා ගත නොහැකි තරම් බොහෝ දෑ කියා දී ඇත. දරා ගත නොහැකි තරම් බොහෝ දෑ ලබා දී ඇත. එමඟින් ඇයට ඇති ගැලවුමේ අවශ්‍යතාවය  කෙසේ නමුදු,  ඇය ඇගේ දේශපාලන ගමනාන්තයේ ඉම දක්වා නැඟීමට එය පැහැදිලිව ම උපයෝගී කර ගනු ඇත.

බටහිර සූක්ෂමය. තමන්ට අවශ්‍ය වීරයින් නිර්මාණය කිරීම ද හැසිරවීම ද ඔවුහු මැනවින් දනිති.  අප සමත් විය යුත්තේ හඳුන්වාදෙන වීරයින්ගෙන් කුල්මත් වීම නොව සැබෑ වීරයින් හඳුනාගැනීමටයි.

චේ - මාර ආතල් ඕයි


2004 මහ මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ධනේශ්වර ආණ්ඩුව බලයට පත් කර ඒ ධනපති ආණ්ඩුවේ ම ඇමති මණ්ඩලයේ ඉඳන් වැව් හාරන්නට චේ ගුවේරා ට හැකිවිය.

2005 සැප්තැම්බර් 08 වෙනිදා අරලියගහ මන්දිරයේ දී ටිල්වින් සිල්වා ඒකාධිපති මහින්ද රාජපක්ෂ බලයට රැගෙන ඒමට ගිවිසුම් අත්සන් කරණ විට චේ ගුවේරා පැත්තක සිට මහින්ද චින්තනය පොත් පිංචෙන් පවන් සැලුවේය.

සුළු ජාතික දෙමළ පීඩිත ජනයා අවි ආයුධ රැගෙන මහ ජාතියේ ආණ්ඩුවට එරෙහිව සටන් වදින විට ආණ්ඩුවේ මිනී මරු හමුදාවට සෙත් පත්න්නට ජවිපෙ රතු හමුදා බෝධි පූජා පවත්වන විට රණවිරුවන්ට පලන්දන්නට දේශ හිතෛශී චේ ගුවේරා මානෙල් මල් නෙළුවේය.

ආණ්ඩුවේ රණවිරුවෝ ලක්ෂයකට අධික දෙමළුන් මරා දමා විජයග්‍රහනය සමරද්දී ජාතිවාදී චේ ගුවේරා කොළඹ පාරවල් ගානේ සිංහ කොඩි වන වනා ඇවිද්දේය. රතිඤ්ඤා පත්තු කළේය. බෙදුම්වාදය සමඟ කිරිබත් කෑවේය.

දෙමළ ජනයාට යාන්තමින් හෝ සහනයක් විය හැකි යන ජනප්‍රිය මතයේ සිට හෝ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ට සහයෝගය නොදී ධනේෂ්වර ආණ්ඩුවේ මතයටත් වඩා ජාතිවාදී වී චේ ගුවේරා ජාතික පත්තර වල බෙරිහන් දුනනේය.

2010 ජනාධිපතිවරණයේ දී බැටිස්ටාගේ හමුදාවේ ජෙනරාල්වරුන් තරමටම ම්ලේච්ච යුද අපරාධ කරුවෙකු වූ සරත් ෆොන්සේකාව බලයට ගෙන ඒමට නොහැකි වී අවසන රාජපක්ෂ ආණ්ඩුව සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගනිද්දි චේ ගුවේරා අනුර දිසානායක සමඟ ඔලුවෙ අත ගසා ගත්තේය.

පක්ෂය පාවා දුන් එවුන්ට චේ ගුවේරාගෙන් සමාවක් නැත. කුමාර් ගුණරත්නම් ට කෙළවන්නට චේ ගුවේරා අනුර දිසානායක සමඟ ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දූන්නේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන උපදෙස් ගන්නට ලාල් කාන්ත බැසිල් ට හා මහින්ද ට දුරකථන ඇමතුම් දෙද්දී චේ ගුවේරා සිටියේ ලාල් කාන්ත සමග ෂොට් එකක් දමන ගමන්ය.

අනුර දිසානායක හා ලාල් කාන්ත සමඟ චේ ගුවේරා රාජපක්ෂලා සමඟ ගනුදෙනුව හොඳින් කෙරෙන බැවින් ඉතිරි තරුණ පරපුර රාජපක්ෂකරණයෙන් බේරා ගත යුතුව ඇත. රාජපක්ෂලා සමඟ ගනුදෙනුවට දෙන්නෙක් හොඳටම ඇතිය.

සරසිවි සිසුන් හා ආචාර්ය වරුන් අධ්‍යාපනය සඳහා 6% කට පාරට බහිද්දී චේ ගුවේරා සිටියේ කුමාර් ගුණරත්නම් පලහිලව්වෙන් අන්දුන්කුන්දුන් වී බත්තරමුල්ලේ මූලස්ථානයේ මර නින්දේය.

හදිස්සියේම මිත්‍යා මත වලින් තරුණ පරපුර බේරගන්නට මතක් වුවත් චේ ගුවේරා සෝමවංශ අමරසිංහ සමඟ සෙට් වී විඥානවාදී දෙවියන් ඉදිරියේ ඉඳ හිට භෞතිකවාදී පොල් ගැසුවේය.

ඇත්තට ම ඉතිං ජවිපෙට චේ ගුවේරා සමරන්නට අයිතියක් ඇත.


පසු සටහන

බොලීවියන් ජනාධිපති රෙනෙ බාරින්ටොස් ගේ නියෝගය ලැබී චේ ගුවේරා මරා දැමීමට දැමීමට 1967 ඔක්තෝම්බර් 9 දා  සිය කැමැත්තෙන්ම ඉදිරිපත්වූ බොලීවියන් හමුදාවේ සාජන්ට්වරයෙකු වූ මාරියෝ ටෙරෑන්, ලා හිගුවේරා හි පාසැල් ගොඩනැගිල්ලක් තුළ දී ඔහු වෙත ලඟා වන විටත් 2013 ඔක්තෝම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ පැවැත්වීමට නියමිත බයිසිකල් පැදීමේ සමරු උත්සවය ගැන ආරංචි වී සියවසේ ඒ ශ්‍රේෂඨතම විප්ලවවාදියා සිය දිවි හානි කරගෙන තිබුණි.

‍ෆ්‍රෙඩ් හැම්ප්ටන්: ඌරකු නොව විප්ලවවාදියෙකු වීමට


සහෝදර සහෝදරියනි.

මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ සමාජයක. ඒ නිසා තරමක හොඳ දේවල් මගෙ ජීවිතයේ මට ලැබුණා. නමුත් කෙමෙන් කෙමෙන් මම දැනගත්තා කුසට ආහාර ලැබෙන මිනිසුන්ට වඩා කුසගින්නේ ම ජීවත්වන මිනිස්සු මේ ලෝකයේ වැඩි බව. ඒ වගේම ශරීරයට අඳින්නට ඇඳුම් තියෙන මිනිසුන්ට වඩා ඇඳුම් කඩමාල්ලක් වත් නොමැති මිනිස්සු වැඩි බව. “මම“ යනුවෙන් හැඳින්වෙන්නේ යාන්තමින් හෝ සැප විඳින කුඩා ජන කොට්ඨාශයෙන් එක් කෙනෙක් විතරයි. ඒ නිසා මම තීරණය කළා බහුතරයක් වූ අනෙකුත් මිනිසුන් කවදා හෝ නිදහස් වන තෙක් ඒ සඳහා ක්‍රියාකාරී වෙන්නට. ඒ අරගලය අත් නොහැර හිඳින්නට.

“විප්ලවය“ කියන වචනය සමහරු පටලවා ගන්නවා. ගොඩක් අය හිතන්නේ විප්ලවය කියන්නේ නරක වචනයක් කියලා. විප්ලවය කියන්නේ ඔබගේ ශරීරය මතුපිට ඇති පැසවුණු තුවාලයක කැක්කුම් සුව කරගැනීම පිණිස ඒ මත තබන බෙහෙතක් වැනියි. අපි සියල්ලම ජිවක් වෙන්නේ රෝගී වුණු සමාජ පන්තියක. අපරාධකරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් හා දූෂකයින් බිහි කරණ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක් නීරෝගී නැහැ.

සමහර යථාවන් වෙත අපට මඟහැර යා නොහැකියි. සත්‍යය නම් බහුතරයක් දුප්පතුන් යන්නය. සත්‍යය නම් බහුතරය අයත් වන්නේ ඔබත් අයත් පීඩිත පංතියට බව යන්නය. මම කතා කරන්නේ සුදු ජාතික බහුතරය ගැන. මම කතා කරන්නේ කළු බහුතරය ගැන. ඒ වගේම දුඹුරු හෝ කහ පැහැ සම සහිත බහුතරය ගැන.

සහෝදර සහෝදරියනි.

කතා කරනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඇහුම්කන් දෙනවාට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

දැනුවත් වෙන ප්‍රමාණයට වඩා ට වඩා වැඩියමක් අපට කරන්නට සිදුව තිබෙනවා.

ඉතාමත්ම මහන්සියෙන් කැපවීමෙන් අපි ඒ සඳහා පුරුදුවීම ආරම්භ කළ යුතුයි. ඉතාමත්ම අමාරු වුවත් අපිට ඒ වෙනුවෙන් නිවෙස් වලින් එළියට බැස දුක් විඳින මිනිසුන් සමඟ එකට වැඩ කිරීමට පුරුදුවීම ආරම්භ කළයුතුයි.

අපිට ඉතා අසීරු වැඩ කොටසක් කරන්න ඉතිරි වී තිබෙනවා.

ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය යි. නිසි අධ්‍යාපනය නොලැබුණු විට මිනිසුන් ඕනෑම දෙයක් අනුමත කරාවි. දැනුවත් නොවුණු විට අද තියෙන “යටත් විජිතවාදය“ වෙනුවට හෙට “නව යටත් විජිත වාදය“ ඔබට ලැබේවි. අධ්‍යාපනයක් නැති විට ජනතාව දන්නෙ නැහැ මොනවද කරන්නේ ඇයි එහෙම කරන්නේ කියලා. ඔබට පුළුවන් වෙයි ජනතාව උද්වේගාත්මක ව්‍යාපාරයක් සඳහා එකතු කරගන්නට, ඒ මිනිස්සුන්ගේ දුප්පත් කම හින්දා එහෙම නැතිනම් ඒ මිනිස්සුන්ට මොනවා හරි ම දෙයක් උවමනා හින්දා.

අප පවසන්නේ මෙම අරගලයේ මූලික පදනම “පංතිය“ බවයි. මාක්ස්, ලෙනින්, චේ ගුවේරා සහ මා ඕ සේතුං ඉතිහාසය පුරා පැවසුවේ, දැනුවත් කළේ සහ පුරුදු පුහුණු කළේ විප්ලවයේ පදනම පංති අරගලය යනුවෙන්.
එක් පංතියක් පීඩිතයායි. අනෙක පීඩකයායි. එය විශ්වීය සත්‍යයයි.

සමහරවිට යමෙක් ඔබට පවසාවි ගින්දරත් එක්ක සටන් කිරීමට හොඳම අවිය ගින්දර බව. නමුත් අප ගින්දරත් එක්ක ගින්දර වලින් සටන් කරන්නෙ නෑ. ගින්දරත් එක්ක සටන් කිරිමට ඇති හොඳම අවිය වතුර. අපි ගින්දරට එරෙහිව සටන් කරන්නේ වතුරෙන්. අපි ජාතිවාදය ත් එක්ක සටන් කරන්නෙ එක්සත් කමින්. අපි සුදු ධනේශ්වරය ට එරෙහිව සටන් කරන්නට කළු ධනේශ්වරය යොදා ගන්නෙ නැහැ.

අපි ධනේශ්වරය සමඟ සටන් කරන්නේ සමාජවාදය සමඟින්.

සමාජවාදය යනු ජනතාවයි.

ඔබ සමාජවාදය ට බිය වන්නේ නම් ඔබ බිය වන්නේ ඔබටමයි.

ඔබ තේරුම් ගත යුතුයි සමාජවාදය අවශ්‍ය නම් ජනතාව යමක් කැප කළ යුතුබව. ඔබ අරගලය සඳහා අභියෝග කරන්නේ නම් ඔබ ජයග්‍රහනය ලබා ගැනීම සඳහා ද එයින්ම අභියෝග කරනවා.

ඔබ අරගලය සඳහා අභියෝග නොකරන්නේ නම් ඔබ ජයග්‍රහනය සඳහා ද සුදුස්සෙක් නොවේ.

ද්‍රෝහී වෙමින් පාරවල් දිගේ උඩට පහලට යන ප්‍රතිගාමී ඌරන් සමඟ අපගේ ගනුදෙනුවක් නැහැ. අප සිදුකරන්නේ සංවිධානගත වීම හා විප්ලවාවාදී දේශපාලන බලය සඳහා අපේ ජීවිත කැප කිරීමයි. පවතින දේශපාලන ව්‍යුහයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය විශේෂිත දෑ සඳහා පුරුදු පුහුණු වීමයි. අපි ම ඒ සඳහා සන්නද්ධ වීමයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවය සමඟින් අපි ප්‍රතිගාමී ඌරන් සමඟ සටන් වදිමු. එය යි සිදු විය යුත්තේ. කම්කරු පන්තිය වෙත බලය හිමි වීම අනිවාර්‍යයක්. එය අයිති විය යුත්තේ ජනතාවටයි.

සහෝදර සහෝදරියනි.

මම මට පැවරී ඇති වගකීම ඉටුකිරීමට සූදානම්.

මම හිතනවා මගේ මරණය සිදුවන්න ඕනේ හදිසි රිය අනතුරකින් නොවෙයි කියලා.

මම හිතනවා මගේ මරණය සිදු වන්න ඔනේ පය ලිස්සා ඇද වැටීමකින් නොවේ කියලා.

මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ හෘදයාබාධයකින් මිය යන්නට කියලා.

එහෙමත් නැත්තම් මම විශ්වාස කරන්නෙ නෑ මම ඉපදුනේ පෙනහළු පිළිකාවකින් මැරෙන්නට කියලා.

ඔබ හිතනවා නම් ඔබ මැරනේන තරුණ වැඩියි. ඔබට තව කාලයක් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා, එහෙම නම් සහෝදර සහෝදරියනි ඔබ දැනටමත් මරණයට පත් වී අවසානයි.

මම විශ්වාස කරනවා මට පැවරී ඇති කාර්යය සිදු කිරීමට මට හැකියාවක් තියෙනවා කියා.

මම විශ්වාස කරනවා කම්කරු පන්තියට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට මගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැකි යැයි කියා.

මම විශ්වාස කරනවා ජාත්‍යන්තර කම්කරු අරගලයේ විප්ලවවාදීයෙක් හැටියට මට මරණයට පත් වන්නට හැකි යයි කියා.

ඔබ සියළු දෙනාම අවසානයේ එයත් සමග ජීවත් වේවි.

එම අරගලය එලඹෙන්නට නියමිතයි.

ඔබට නිදහස වෙනුවෙන් සටන් වදින්නෙක් සිරගත කළ හැක. එහෙත් නිදහස සිර ගත කළ නොහැක. ඔබට විප්ලවාදියෙක් මරා දැමිය හැක. එහෙත් ඔබට කිසිම දිනක විප්ලවය මරා දැමිය නොහැක.

_________________ 
ෆ්‍රෙඩ් හැම්ප්ටන් යනු “බ්ලැක් පෑන්ත(ර්)“ පක්ෂයේ ඇමෙරිකාවේ ඉලිනෝයි(ස්) ශාඛාවේ උප සභාපතිවරයායි. කළු ජාතීන්ගේ නිදහස, නිර්ධන පංති විප්ලවය හා සමාජවාදය වෙනුවෙන් සටන් වැදුණු සටන් සගයෙකි. ඔහු සතු වූ ජීව ගුණය හා කළු ජාතීන්ගේ පීබිදීමට බිය වූ රිචඩ් නික්සන් රජයේ බලපෑම මත මෙම තරුණ රැඩිකල් විප්ලවවාදීයා ව 1969 දී ඇමෙරිකාණු රාජ්‍ය රහස් පරීක්ෂක බියුරෝව (FBI) මෙහෙයවීමෙන් නිදි යහනේදී ම වෙඩි තබා මරා දමද්දී වසය 21 සම්පූර්ණ වූවා පමණකි. ඉහතින් සඳහන් වන්නේ ‍ෆ්‍රෙඩ් හැම්ප්ටන් විසින් පැවැත්වූ කතා කිහිපයක සාරාංශයෙන් සැකසූවක ලූප්හෝල්ස් අනුවාදයකි.



CHE Mimics











අපි ඇන්දා
ඩබල් පොකට්
ඝනකම් ෂර්ට්ස්
උඹත් ඇන්දෙ
ඒ වගේ
කාකි පාට
ගොරහැඬි ඇඳුම්

අපි දැම්මා
මැද තරුවක්
ගහපු රතු කැප්ස්
උඹටත් තිබුණෙ
පිත්තල තරුවක්
යසට අමුනපු
බ්ලැක් “බරේ“ එකක්

අපි
වැවෙන්නට හැරියා
අපේ
ඉල්න්දාරි රැවුල්
උඹටත් තිබුණා
අතරින පතර
මුරණ්ඩුවට වවපු
රැවුල් ගස්

අපිට තිබුණෙ නෑ
කියුබන් සිගාස්
අපි ඇද්දෙ
දුම් වළලු යව යව
ප්ලේයර්ස්
ගෝල්ඩ් ලීෆ්

අපි කැමතියි
උඹේ රැඩිකල්
අවුල් මූණට
අපි ට තිබුණා
උඩ ඇඳුම්
යට ඇඳුම්
උඹේ මූණ
එම්බෝස් කරපු
රතුපාට ට

අපිට තියෙනවා
“චේ ගුවේරා
යෞවන සමාජ“
අපි නැටුවා,
සිංදු කිවුවා රෑට
ගිනි මැල ගහං
කොල්ලො කෙල්ලො
තියාගෙන වටේට
අපිට නං
හමුදාවෙන්
කරදර නෑ
උඹ ගිනි මැල අවුලලා
නිදි මැරුවා
මූකලං කැළ වල
බැටිස්ටා හමුදාවට
ගහන්නට

ආරංචියි
උඹ පැද්දලු
ඇල්බර්ටෝ එක්ක
නෝර්ටන් 500 “ද මයිටි වන්“

චේ සහෝදරයා! කියපංකෝ..
අපි උඹ වගේමයි නේද බං

අපිත් දැං
පදින්න පටන්ගත්තා
පාරවල් දිගේ
රංචුවට මෝටර්සයිකල්!


_______ 
Black Beret - චේ පැළඳි කැප් වර්ගය
Cuban Cigars - කියුබාවේ සුරුට්ටු
The Mighty One - චේ පැදි Norton 500 මෝටර්සයිකල් මොඩලය
Alberto - චේ ගේ මෝටර්සයිකල් සගයා