A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

කුමාර ලා ගේ යතුර හා කැරැල්ල


හිරිවැටිච්ච දූපතට තුඩ නොකැඩිච්ච එන්නතක් විදිහට “කැරැල්ල“ නම් මාසික සඟරාවක් එලි දක්වා ඇත. මතුපිටින් කැරැල්ල ගසන්නෝ කවුදැයි දන්නා නමුදු යටි පෙළෙහි කැරලිකාරයෝ කවුදැයි අපි නොදනිමු. කැරැල්ලේ අව්‍යාජ අරමුණ ධනේශ්වරයට එරෙහි වීම නම්, මාක්ස්-ලෙනින්වාදී නිවැරැදි දෘශ්ටියක් සහිතව හෙට දවසේ වඩාත් හොඳ සමාජයක් සඳහා වූ අරමුණ පෙරදැරිකර ගෙන පෙරට එන්නේ නම් එවැනි උත්සාහයක් සඳහා හෘද්‍යාංගමව සුබ පතන්නට අපි මැලි නොවෙමු.

“කැරැල්ල“ මේ වන විට අතට නොලැබුණ ත් ජේවීපී අනුර කුමාර දිසානායක-පෙසප කුමාර් ගුණරත්නම්-ශ්‍රීලපෙප දීප්ති කුමාර ගුණරත්න ගේ ඡායාරූපයන් පසුබිම් කර “යතුර කොයි කුමාර අතේ ද“ හෙඩිම සහිතව එහි පූර්ව ප්‍රචාරක ෆේස්බුක් සටහන (සමහර විට සඟරාවේ මුල පිටුව) දුටු විට එම සඟරාවේ දැක්ම ද ගැඹුර ද දිශානතිය ද සම්බන්ද ව ගැටළුවක් නිසැකවම මතුවේ. ඔය කියන්නේ ගෙදරක දොරේ “යතුර“ ගැන නොවන බැව් අපි උපකල්පනය කළෙමු.  කැරැල්ල අදහස් කරන්නේ ලංකාවේ රැඩිකල් වාම දේශපාලනයේ හෝ රැඩිකල් තාරුණ්‍ය යේ “යතුර“ ගැන නම්, මේ වන විට නම් ඔය කුමාරලා කිසිවෙකු සතුව එය නැති බවත් සුවිශේෂිත ආශ්චර්යයක් සිදු නොවුන හොත් හැර අනාගතයේ එවැනි යතුරක් හිමි කර ගැනීමේ ඔවුනට ඇති ඉඩ කඩ ද ඉතා අඩු බවත් අපි හොඳාකාරවම දන්නෙමු.

පෙසප සහ කුමාර් ගුණරත්නම්

ජවිපෙන් කැඩී වෙන් වී ගියත් සම්ප්‍රදායික ජවිපෙ මතයන් හිසෙහි දරාගෙන සිටී. ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි අතර පට්ට ගසන “බෙදුම්වාදයේ“ නාමයෙන් තවදුරටත් ජාතිවාදයම වපුරයි. ජාතික ගැටළුව සම්බන්ධව ජවිපෙ මතයෙම සිටී. ඔහුගේම “සම අයිතිය“ ට අනුව ජාතික ගැටළුව යනු චෙක් පොයින්ට් එකකදී දෙමළාගේ හැඳුනුම්පත පරීක්ෂා කර සිංහලයාගේ හැඳුනුම්පත පරීක්ෂා නොකිරීම තරම් සරලය. දේශපාලන දැනුමෙන් ඌනය. දර්ශණයෙන් දිළිඳුය. මාක්ස්-ලෙනින්වාදය හෝ නිර්ධන පංති විප්ලවය යනු වචනමාත්‍රයන් පමණි. පෙසප නිල-නොනිල ප්‍රකාශණයක් වූ මේ වන විට ඉඳහිට වෙළඳපොලට එන ජනරළ (ජනරළෙහි ඇත්තෝ කැරුල්ලේ ද ඇති බැව් මතක් කරමු) පුවත් පතෙහි පළවෙන ලිපි වල ඇති නිස්සාර බව මෙන්ම ආරාධිත ලියන්නනගේ වචන හරඹ උන්මත්තකකාමී බව ද දකින විට ඇති වන්නේ අප්‍රසන්න බවකි.

නිවරැදි වාම දේශපාලන දැක්ම ක් නොමැති වූ බැවින්ම ජවිපෙන් කැඩී වෙන් වී පිහිටුවාගත් තදියම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට නන්නත්තාරය. පෙසප ලේකම් සහ න්‍යයාචාර්ය පුබුදු ජයගොඩ ගේ නව ලිබරල් ගිරා පෝතක වචන වලට කළ හැක්කක් නොවීය. කේඩරයන් සංවිධානගත කිරීමේ ශක්තිය කුමාර් ගුණරත්නම් වෙත ඇති නමුත් රටින් බැහැරව සිටීමට සිදුවීමේ කරුමයෙන් සියල්ල අහෝසි වී ගොස් ඇත.
පෙසප යනු වාමාංශික පක්ෂයක් නොවේ. වාමාංශික යැයි පෙනි සිටි දක්ෂිණාංශික සංශෝධනවාදී පක්ෂයකි. ඒ සඳහා තව දුරටත් සමාජවාදී කඳවුරේ පැවැත්මක් නැත.

ජවිපෙ සහ අනුර කුමාර

පට්ටම ජාතිවාදියෙකි. විටෙක වර්ගවාදී ආගම්වාදී චම්පික හා වීරවංශ ට නොදෙවැනිය. පසුගිය දා 13 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නිකුත් කරන ලද ඔහුගේ ප්‍රකාශ මහින්ද  රාජපක්ෂ ඇතුළුව ඕනෑම ජාතිවාදියෙකු අභිබවා යෑමට හැකි තරමේ විය. දේශපාලන න්‍යාය පිළිබඳ මෙලෝ හසරක් නොදනී. මාක්ස්-ලෙනින්වාදය යනු කට පාඩමින් ටිල්වින් වේදිකවේ කියවනනවා ඇසුණු වචන කීපයක් පමණි. මහින්ද රාජපක්ෂ මෙන්ම සරත් ෆොන්සේකාව ද බලයට රැගෙන ඒමට දක්කා ගෙන ගොස් ජවිපෙ සතු වූ විශ්වාසනීයත්වය ද ගෞරවයද සියතින්ම විනාශ කර ගත්තේය.

ටිල්වින් අහිංසක පොතේ ගුරු චරිතය රඟන විට මේ වන විට ත් රාජපක්ෂ ලා සමඟ නිරතුරුවම අනුර කුමාරගේ ගනුදෙනු පවතී. එමෙන්ම ජවිපෙ ලාල්කාන්ත ගේ සියළුම වෘත්තිය සමිති ව්‍යාපාර තීන්දු සිද්ධ වන්නේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව බැව් නොදන්නේ අන්ධ ජවිපෙ පාක්ෂිකයෝ පමණකි. මොවුන්ගේ පිටින් දක්වන සීමා සහිත රාජපක්ෂ විරෝධය හා බෙරිහන් දෙන බෙදුම්වාදයට එරෙහි වීම පවා මහින්ද රාජපක්ෂගේ මොර්තෙ දේශපාලනයේ උවමනාවයි.

ඉතිහාසය පුරාම කිසිවෙකු ජවිපෙන් වෙන්වූ හොත් ජවිපෙ එම පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඉතාමත් කෘර හා අයුරිනි. මෘගයෝ විලසිනි. එම තැනැත්තාගේ විනාශය වෙනුවෙන් ඔවුහු සියල්ල සිදු කරති. අනුර කුමාර යනු ජවිපෙ සිටින එවන් බොහො අය මෙන්ම ජවිපෙන් වෙන් වූ වන්ට විෂ විදින පන්න පන්නා පලිගන්නා සර්පයෙකි. දිමුතු ආටිගල සමඟ කාමරයක සිට අත් අඩංගුවට පත් වූ මොහොතේ සිට රටින් පිටුවහල් කිරීම දක්වා ක්‍රියාදාමයම අභිරහසක් නමුදු අන්තිම මොහොත දක්වා එකට ප්ලේන්ටිය බිව් කුමාර් ගුණරත්නම් වැන්නෙක්ව “ඉවර“ කිරීම දක්වා ගෝඨාභයට උපදෙස් දුන්නේ අනුර කුමාර බැව් යන්න හමුදා ඉහල නිලයන් අතර ප්‍රසිද්ධ රහසකි. අප ලැබුණු තොරතුරු අනුව විමල් වීරවංශ වැනි සතෙක් පවා එදා කුමාර් ගුණරත්නම් ට එරෙහිව එවැනි මාරාන්තික උපදෙසක් දීමට මැලි වී ඇත.

ජවිපෙ දේශපාලිණිකව කූජිතය. ජනතාව අතර ද කූජිතය. එය විජේවීර විසින් තරයේ ප්‍රතික්ශේප කරණු ලැබූ ධනේශ්වරය සමඟ ඕනැවටත් වඩා මුක්කු ගසා සියතින් ම දිවි නසාගත් දේශපාලන පක්ෂයකි.

ශ්‍රීලපෙප සහ දීප්ති කුමාර ගුණරත්න

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර වෙත න්‍යායාත්මක දුර්වලතාවයක් ඇතුයි පැවසිය නොහැක්කේ ඔහුගේ ප්‍රකාශිතයේ වැරදි හෝ නිවැරැදි නොසළකන්නේ නම් ඔහු දැනුමෙන් සන්නද්ධ බැව් සත්‍යයක් බැවිනි.  බුද්ධිමතුන් යැයි අටවා ගෙන සිටි බොහෝ පූජනීය චරිත මහ පොලොව මතට වට්ටන්නට ඔහුට හැකි විය. ඔහු ජාතිවාදියෙක් යැයි පවසන්නට ද අප පසුබට නොවන්නේ පසුගිය වර්ගසංහාරික යුද්ධයට ප්‍රසිද්ධියේ විරෝධය නොපෑවද අඩුම ගණනේ අවශ්‍ය වෙලාවට ඔහු කපටිව යොදා ගන්නා නිශ්ශබ්ද වෘතය පිරෑ බැවිනි.

අප දන්නා තරමින් එහෙත් දීප්ති මාක්ස්-ලෙනින් වාදය වෙනුවෙන් පෙනී පෙනී එහෙත් පෙනී නොසිටී.  නිර්මාල්-කළ්‍යා-බුද්ධික-ප්‍රභා ඇතුළු 2004 සුනාමි කණ්ඩායමේ ප්‍රධානතම චෝදනාවක් වූයේද එයයි. ගල්කිස්ස හන්දියේ සිට කළ්‍යාගේ ගෙදරට යන ගමන් නිර්මාල් පැවසුවේ දීප්ති යනු ලංකාවේ මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයකට ඇති ප්‍රධානතම බාධාව බවත් ඔහුගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දක්ෂිණාංශික බවත්ය. එමෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ පක්ෂ නාමය ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය “ශ්‍රී ලංකා“ වලින් ගැලවීමට නොහැකිවීම දීප්ති වෙත ජාතික ගැටළුව සම්බන්ධව ඇති න්‍යායික දුර්වලතාවය ඕනෑම වාමාංශිකයෙකුගේ ප්‍රශ්ණ කිරීමට ලක්වන්නකි.

තමන් දරණ දේශපාලන මතය සමාජ ගත කරනවා වෙනුවට දීප්තිගේ ඇති ප්‍රධාන දුර්වලතාවය ඔහුගෙන් කැඩී වෙන් වී ගිය හෝ ඔහුට එරෙහි වන ක්ෂුද්‍ර චරිත වලිට අම්මා මුත්තා නැතිව පහරදීමයි. දීප්ති නොදන්නා මනෝ විශ්ලේශනය වන්නේ එවැනි ක්ෂුද්‍ර චරිත වල බලපෑම සංවිධානගත ව්‍යාපරයක පැවැත්ම සඳහා ඉතා අවම බවයි. අන්තර් ජාලයේ සැරිසරන්නේ නම් දීප්ති සහ අනෙකුත් ක්ෂුද්‍ර චරිත වල “මහා වාමාංශික සංවාදයේ“ ජුගුප්සාජනක බව මේ දිනවල හොඳින් දැක බලාගත හැක. උස්මුරුත්තවට කසිප්පු බීගත් දවසට අමු තිත්ත කුණුරුපයෙන් බනිණ ගමේ ආරොං මාමාට වැළඳෙන මෙම රෝගයට දීප්ති ප්‍රතිකාර නොගන්නේ නම් “ඕක තමයි මචං දීප්තිට යන්න පුළුවං උපරිමය“ යනුවෙන් අපගේ මිත්‍රයෙකු පැවසූ දෙය පිලිගැනීමට අපට ද සිදු වන දිනය වැඩි ඈතක නොවේ.

අවසන් සටහන

කැරැල්ල පවසන පරිදි “යතුරෙහි“ හිමිකාරිත්ව ය ගැන කුමාරලා ගැන සදහන් කරන්නේ නම් ඒ සඳහා අඩුම ගණනේ න්‍යායාත්මකව දිළිඳු බවින් තොර  දැනුම ඇති මුත් කියා ගන්න බැරි “කෝ තාමත් කිව්වෙ නෑනෙ“ නිර්මාල රංජිත් හා  දැනුම සොයන මුත් ෆේස් බුක් හරහා නාසිසම් වැළඳුණ සුමිත් චාමින්ද වැන්නවුන් ද සුදුසුය. එමෙන්ම ප්‍රායෝගික භාවිතාව පිළිබඳ ගැටළු ඇතිමුත් තමන්ගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති වෙනුවෙන් දැඩිව පෙනී සිටින නසසප “ඇටුවම් බෑ බැවින් අනම්‍ය වූ“ වික්‍රමභාහු සහෝදරයා හා සසප “අශ්වයා පැණ ගිය පසු විග්‍රහ පමණක් ඉදිරිපත් කරන“ විජේ ඩයස් සහෝදරයා ඒ හැම දෙනාටම වඩාත් සුදුසුය.

“කැරැල්ල“ පවසන පරිදි එක්සේසත් කර ගැනීමට අපට වමක් ඉතිරිව නැත. කැරැල්ල දක්වා ඇති පරිදි කැරැල්ලේ දැක්ම කුමාරලා අතර හිර වී තිබීම ඇත්තටම අවාසනාවකි. එය සරල උදාහරණයකින් පවසන්නේ නම් ශල්‍ය වෛද්‍ය වරයාගේ කාර්යය ශල්‍ය කර්මයන් දෙස හැමදාමත් බලා සිටි හෙදියකගෙන් බලාපොරොත්තු වෙනවා වැනිය. අවශ්‍යව ඇත්තේ විෂයෙහි දක්ෂතා සහිත දැනුමෙන් සන්නද්ධ ප්‍රායෝගික භාවිතාවේ නිපුණ විද්වත් වෘත්තීකයෙකි. ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔබගේ මාපකයෙහි දර්ශකය අවමයෙහි වන විට ලැබෙන ප්‍රතිළුලය ද එවැනිම බැව් අවබෝධකර ගත යුතුව ඇත. You must raise the bar.

නසසප හා සසප ඌනන සක්‍රියතාවයෙන් ප්‍රස්ථිතිකව පවතින්නේ අපගේ පියාසර කක්ෂයට එහායින් බැවින් ඒක රාශි කර ගත හැකි මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හෝ “අසමත් නොවූ“ නායකත්වයක් මේ මොහොතේ ලංකාව ඇතුලත ඇතැයි අප නොසිතන්නෙමු. අපට ඉතිරිව ඇත්තේ ගොඩ නැඟිය යුතු වමකි. ඒ සඳහා ජවිපෙ මෙන්ම පෙසප යටි පෙලෙහි වඩාත් හොඳ හෙට දවසක්  වෙනුවෙන් සුබ සිහින දකින අවංක තරුණයා මෙන්ම යහපත් හෙට දවසක් සඳහා ප්‍රාර්ථනා පිරි ශිෂ්‍ය ව්‍යාපාරයේ ජවය ද සුබදායක බලාපොරොත්තුවකි. “කැරැල්ල“ හෝ අවංක උවමනාවක් සහිත වෙන යම් කණ්ඩායමකට හෝ මේ මොහොතේ ඇති අභියෝගය එයයි.



විප්ලවවාදී සිද්ධාන්තයන් මඟහැර විප්ලවීය ව්‍යාපාරයක් සඳහා ඉඩක් නොමැත. පෙරටුගාමී සටන්කරුවාගේ කාර්යභාරය මුදුන්පත් කරගත හැක්කේ ඉතාමත්ම උසස් සිද්ධාන්තයන් මඟින් මෙහෙයවෙන පක්ෂයක් මඟින් පමණි. එංගල්ස් පැවසූ පරිදි දේශපාලන හා ආර්ථික අරගලය හා සමානවම සිද්ධාන්තමය අරගලය ද වැදගත් වේ.

                - වී. අයි.ලෙනින් - කළයුත්තේ කුමක්ද, 1902

සිංහලයාගේ මූණ දෙමළා පොලොවෙ ඇතිල්ලීම


පැණි මුහුණු, බත් පැකට්, අරක්කු, සෙල්ෆෝන් හා බෝක්කු/පාරවල් වලට සිංහලයා කතිරය ගසද්දී උතුරේ දෙමළා මස් ලේ මතින් නැඟිට තමන්ගේ ප්‍රතිපත්ති වලට පමණක් කතිරය ගසා කියා දුන් පාඩම දකුණේ කිසිවෙකු හෝ තේරුම් ගත්තේදැයි අපි නොදන්නෙමු. දෙමළ ජනයා එක හෙලා ඉල්ලා සිටින ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් ටීඑන්ඒ පෙනී සිටිද්දී ආණ්ඩුව සියළු කෙණහිලිකම් මැද විසින් ලබා දුන් උතුරු වසන්තයේ සියළුම භෞතික දෑ ප්‍රතික්ශේප කර තමන්ගේ නියෝජිතයින් වෙත දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට ඔවුහු උත්සුක වූහ.

බටහිර හා පෙරදිග අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව කොටි සංවිධානය සමූල ඝාතනය කළ ද මර්ධනය මතින් නැගිට ඔවුහු ටීඑන්ඒ සංවිධානය ජයග්‍රහණය කරවූයේ කණ්ඩායම් නායක විග්නේශවරන් විසින් කොටි සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොව වීරයෙකු යැයි ප්‍රකාශ කර තිබිය දීය. සී.වී. විග්නේශවරන් යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද 132,255 ලබාගත් අතර කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක එලීලන් ගේ බිරිද වන ආනන්දි සශිදරන් මනාප ඡන්ද  87,870 ලබා දෙවන ස්ථානයට පත්විය. කොටි සංවිධානය දැඩි ලෙස විවේචනය කරමින් කොටි සංවිධානය සමූල ඝාතනය කිරීමේ ආණ්ඩුව සමඟ නිලනොවන එකඟතාවක සිටි ආනන්ද සංගරී කිලිනොචිචි දිස්ති‍්‍රක්කයේ තේරී පත්වුණු දෙවන අවසාන නියෝජිතයා ලෙස ලබා ගත හැකිවූයේ මනාප 2,896 ක් පමණි.

ඒ අතරම කොටි සංවිධානය මර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂ ධනපති ආණ්ඩුවට මානසික-කායික සහයෝගය ලබා දුන් ජවිපෙ “ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක්“ නම් වූ යෝජනා මාලාව පිළිගැනීමට උතුරේ සිටියේ 288 දෙනෙක් (0.06%) පමණි. අනෙත් පළාත් වල ඡන්ද ප්‍රතිශතයන් ද සළකා බලද්දී ජවිපෙ කූජිත වී ඇත්තේ සදාකාලිකව අබ්බගාතවය. තමන් විසින් බලයට රැගෙන ආ මහින්ද රාජපක්ෂ පමණක් නොව කර තියාගෙන ආ සරත් ෆොන්සේකා ද තුන්වන බලවේගය ලෙස තමන් අභිබවා ඉදිරියට යද්දී තමන් ප්‍රතිපත්තිමය වශයෙන් මෙන්ම ක්‍රියාකාරී බවින් ද දේශපාලනව නන්නත්තාර වී ඇති බව ජවිපෙ පිලිගත යුතුව ඇත.

මහින්ද රාජපක්ෂගේ මොර්තෙ දේශපාලනයට ගොදුරු වූ එජාපය අද උතුරේත් දකුණේත් වන්දනා කරුවන් මඟ හැලෙන නඩයක් පමණකි. නඩේ ගුරා වූ රනිල් වික්‍රමසිංහ යනු තවදුරටත් රාජපක්ෂ පාලනයට එරෙහිව සටන් වැදිය හැකි කැරිස්මාවක් සහිත සවිමත් නායකයෙකු නොවේ. විවධ මාර්ග වලින් නපුංසක කරනය කර තබවා ඇති රාජපක්ෂ ගේ තවත් එක් දේශපාලන ගොදුරකි.

තමන්ගේ විමුක්ති අරගලය වෙනුවෙන් සටන් වැද මියගිය දස දහස් ගණන් මහ විරුවන්ගේ මෙන්ම මරා දැමූ ලක්ෂ ගණනක් වූ අහිංසක නෑසියන්ගේ හෘද සාක්ෂයට වටිනාකමක් එකතු කිරීම ට මස් ලේ මතින් කොන්ද කෙළින් තබා ගත් උතුරේ දෙමළා මෙවර උතුරේ පළාත් සභා මැතිවරණය තුළ සමත් වූහ.

අමු අමුවේ ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් පමණක් පක්ෂ මාරුකර අත දිග හැර මැතිවරණයට මුදල් දිගහැරි දයාසිරි වැන්නවුන්ට 336,327 වාර්තා සහගත මනාප සංඛ්‍යාවක් ලබා දුන් එමෙන්ම තවදුරටත් ඒකාධිපති රාජපක්ෂ පාලනය දෑත ඔසවා අනුමත කරන “වෙඩි කෑවත් කමක් නැහැ අපිට මෙහෙම හොඳයි“ සිංහල ජනතාවක් දකුණේ අපට ඉතිරිව ඇත.

අපට අපගේ දේශපාලනය හැසිරවිය යුතුව ඇත්තේ එවන් පසුගාමී සමාජයකය.

Somawansha's photo courtesy of Sanka16mm.

ප්‍රා මස් වැද්දාගේ පුණ්‍ය කර්ම


“එදා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සහයෝගය දීලා මේ මල් වට්‌ටියට අපිත් අත ගහමු, දායක වෙමු ඒක විශාල පුණ්‍ය කර්මයක්‌ කියලා. නැත්නනම් ඒක මහ පවක්‌ වෙයි කියලා. ඒ පාප කර්මය තමයි අදත් යූ.එන්පීය විඳවන්නේ“

මෙහෙම කියල තිබුණේ රාජිත සේනාරත්න කියන දත් දොස්තර.

දරුවන්, මහල්ලන්, ස්ත්‍රීන් ඇතුළුව ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කර දැමූ, කෘර වධ බන්ධනයන්ට ලක් කරවූ, දූෂණය කරවූ, අනාථ අන්ත අසරණ බවට පත් කරවූ පසුගිය 2008-2009 ජනසංහාරක යුද්ධය සියළුම ශිෂ්ට සම්පන්න සමාජයන් හා මිනිසුන් මහා පාප කර්මයක් ලෙස සළකන විට තතු සියල්ල සැබැවින් ම දැනගෙන එය පූණ්‍ය කර්මයක් යැයි පැවසිය හැක්කේ වියරු ඝාතනයන් රසවිඳින මස් වැද්දෙකුට පමණි. තමන්ගේ වාසිය තකා පක්ෂ මාරු කරන ප්‍රතිපත්ති මාරු කරන වාචාල කම පාලනය කරන රාජීත වැන්නවුන් ට ඕනෑම ජඩ වැඩක් පුණ්‍ය කර්මයක් බවට ලේසියෙන් හරවා ගත හැක.

රාජිත සේනාරත්න යනු 1987-1989 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ මිනී මරු හමුදාවන්ට සහයෝගය දුන් “මහජන විමුක්ති හමුදාව“ හෙවත් කුප්‍රකට “ප්‍රා“ පැරා මිලිටරි සංවිධානයේ නායකයෙකි. මෙහි සත්‍යතාවය මොහු විසින්ම පසුගිය ජූනි මාසයේ පැවති කැබිනට් රැස්වීමක දී පිළිගෙන තිබුණු අතර ඔහු පැවසූ පරිදි එයට නායකත්වය දී ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගයි.

රාජිත සේනාරත්නට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හා අනෙකුත් සම්ප්‍රදායික වාමාංශික පක්ෂ කිහිපයක ඉහළපෙලේ නායකයන් මෙන්ම දයාන් ජයතිලක ද මිනීමරු “ප්‍රා“  සංවිධානයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරීන්වේ. 

ජවිපෙ කේඩරය පිළිබඳව ආණ්ඩුවේ හමුදාවන්ට ඔත්තු සැපයීම, හඳුනාගැනීම, පැහැර ගැනීමට උදව් සැපයීම ට අමතරව ආණ්ඩුවේ අනුදැනුම ඇතිව එම සංවිධානය විසින්ම රහසිගතව පිහිටවූ වධකාගාර මෙන්ම ඝාතක භූමි ක්‍රියාත්මක කිරීම ද මෙම “ප්‍රා“  සංවිධානය සතු වගකීම් විය. 1987-1989 දී පාසැල් යන වයසේ දරු දැරියන් ද භික්ෂුන් හයසියයක්ද ඇතුළුව දකුණේ හැට දහසක  සිංහල තරුණ තරුණියන් ඝාතනයන් ට මොවුන් සැපයුණු දායකත්වය සුළුපටු නොවේ.

පසුකාලීන ව ආණ්ඩුව හා සම්බන්ධ වී රටෙහි පරිපාලන පද්ධතියෙහි ප්‍රබල ස්ථානයක සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස කෘර ලෙස මරා දැමූ තමන්ගේම සහෝදර සහෝදරියන්ගේ ඝාතන වලට එරෙහිව යම් පමණකට හෝ ක්‍රියාත්මක වූයේ නම් රාජිත සේනාරත්න වැනි මස් වැද්දන් මේ මොහොතේ සිටිය යුත්තේ වාචාල කට වසාගෙන මහ උළු ගෙදර ගල් උගුල්ලමින් ය.

ඇඹිලිපිටියේ මිනී ඇට වලින් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියත් රාජිත සේනාරත්න බවසන පරිදි ඇයම නායකත්වය දැරූ  “ප්‍රා“  ඝාතක කල්ලියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජීවමාන සාක්කි තවමත් මේ සමාජය තුළ ඇත.

එහෙමයි අපෙ හාමුදුරුවනේ


ඩේලි මිරර් වාර්තාවක හෙඩිමට අනුව වසරකට දුම්බීම ආශ්‍රිතව සිදුවන සෘජු මරණ සංඛ්‍යාව 200,000 කි (එහි එක් තැනක මාසයකට 20,000කි තවත් තැනක වසරකට 20,000කි). ලංකාවේ වාර්ෂික මරණ අනුපාතය වූ 5.6/1000 කට ආසන්න වූ අගය (2012 දී)  සලකා බැලීමේ දී අවුරුද්දකට සිදුවන මරණ සංඛ්‍යාව 120,000 ක් පමණක් වේ. ඩේලි මිරර් හෙඩිමට අනුව වාර්ෂිකව සිදුවන මුළු මරණ සංඛ්‍යාවටත් වඩා හැට දාහක් දුම්බීමෙන් මියයති. හුටා.

සමහරවිට අපේ ත්‍රෛනිකායක මහනායක හාමුදුරුවෝ පහුගියදා ඇවිස්සී ඇත්තේ මේ අරුම පුදුම සංඛ්‍යාවෙන් විය හැක. සියළුම ව්‍යසනයන් පසෙක ලා ඔක්කෝම නිකායවල මහනායක හාමුදුරුවරු හදිසියේම සිගරට් පැකට් වල කවරයෙහි වර්ණ පින්තූරයක් දැමීම සඳහා වලිකති.

දුම්බීමෙහි (පමණක් නොව වෙනත් ඕනෑම ක්‍රියාවක) ආදීනව පෙන්වා බිය කිරිමෙන් එය වැළැක්වීම සඳහා ලැබෙන ප්‍රතිළුලය ඉතා අඩු බවත් වඩා ප්‍රතිළුල සහගත වන්නේ නිවරුදි දැනුවත් කිරීම පමණක් බව විද්වතුන් ගේ විවිධ සමීක්ෂණ මගින් සොයාගෙන ඇති කරුණකි.  සිගරට පැකට් වල නොව දුම්බීමෙහි විපාක පෙන්නුම් කරන පින්තූර දුම් බොන අයගේ බෙල්ලේ එල්ලන් ගියත් අපට කමක් නැත. අපට පව් සිද්ධ කරවන්නේ හොර-මැර-ජඩ දේශපාලකයන්ට පිරිත් නූල් බඳින්නට පමණක් ඇස් ඇරුණ සදාකාලික නින්දේ සිටි මේ මහානායක හාමුදුරුවන්ගේ ඇස් කබ කඩන්නේත් නැති ව කරන දඩිබිඩියයි.

තමන්ගේම පරපුරේ උරුම-බලසේනා-රාවණා- රාවය වැනි මැර සංඝ නිකායවල් සම්බුද්ධ ශාසනයම විනාශ කරද්දී මේ මහනායක් වරු වැඩ ඉන්නවා ද අපවත්වුණා ද දන්නේ නැත. මත් ද්‍රව්‍ය වලින් ආණ්ඩුවේ දේශපාලකයෝ රටේ තරුණ පරපුර එලිපිටම වනසති. ඝාතනය මැරකම හොරකම ස්ත්‍රී දූෂණය අසාධාරණය ඉහල සිට පහලට හැමතැනම රජ වී සමාජයද සංස්කෘතිය ද විනාශ වී අවසන්ව ඇත. වතුර ඉල්ලූ විට මරා දැමූ රතුපස් වල ඝාතන ගැන ජිප්සීස් සුනිල් පෙරේරාට තිබුණ බයිලා කැක්කුමවත් (පුහ්: .....විරෝධාකල්ප - දීප්තිගෙ වචන වලින් කිවහොත් මීයෙකුට අලියෙක් යැයි කී විට අප බැලිය යුත්තේ මීයා දෙස නොවේය.) මේ හාමුදුරුවන්ට එදා තිබුණේ නැත.

අප බලන් සිටින්නේ ඉදිවෙන්නට නියමිත “ක්‍රවුන් කලම්බු-ක්වීන්ස්බරි රිසෝට්-ජේකේඑච්“ කැසිනෝ සූදූ සැණකෙලි මන්දිර තුන ඔබ වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද විවෘත වෙන දාට ඊට උඩින් පායන හඳ දිහා බලා උඩුබුරලන්නටය.

ඇමෙරිකාණු අවතාරය


ඇමෙරිකාණු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ නිල නොවන අයුරින් රට පාලනය කරන විට ඇමෙරිකාණු අධිරාජ්‍යවාදය නමින් අනෙකුත් හතර දිශාවන්ම  පෙන්වා යක්ෂයෙකු පෙන්වා රටෙහි ජනතාව ඇන්දවීම විමල්-චමිපික-වාසු කල්ලියේ පට්ට ගැසූ උරුමයයි. බීපු දාට පහුවදාට විමල් වීරවංශට යන වමනයේ සිට මහින්ද රාජපක්ෂගේ දෙපතුල් ලඟ පීචං වන වාසුදේවගේ උදෑසන පීණස දක්වා හේතුව උන්ට අනුව අධිරාජ්‍යවාදයයි.

බ්ලොග් දේශපාලනයේ යෙදෙනවුන්ගේ හා නාගරික මැද පන්තියේ රට වැසියන්ට යම්තම් අවබෝධයක් ඇති නමුදු ගම් පලාතකට ගිය විට විමල්-චමිපික-වාසු කල්ලියේ අධිරාජ්‍යවාදී භීතිකාව හා එමඟින් ගැලවුම ඇත්තේ රාජපක්ෂලා අත යැයි යන මිත්‍යාවන් වලින් දැනුවත් යැයි සැළකිය හැකි පිරිස් පවා අන්ධ වී ඇති අයුරු දැක ගත හැක. නියම සතුරා නැතිනම් අධිරාජ්‍යවාදයේ නියම ඒජන්තයා නොපෙන්වා කෙලින්නංන් වාලේ දේශපාලනය කෙලින ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා සිදුකරන්නේ මහඟු මෙහෙවරකි.

මේ සඳහා සියළුම සිංහල මාධ්‍ය රාජපක්ෂලා මනා පාලනයක් සහිතව කරගෙන යනු නමුදු ඉඳහිට ඉංග්‍රිසි මාධ්‍යයෙන් යම් යම් තොරතුරු දැනගන්නට ලැබේ.

ඒ අනුව පසුගියදා ඩේලි මිරර් පුවත් පතේ ඇති වාර්තාවකට අනුව එල්ටීටිය පරාජය කිරීම සඳහා ඇමෙරිකාව ලබා දුන් සහයෝගය ගැන ගෝඨාභය රාජපක්ෂ “ද ඔස්ට්‍රේලියන්“ පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකාවේ උදව් නැති වූයේ නම් එය සිදු කර ගැනීමට නොහැකි තරම් යැයි පවසිමින් එම සහයෝගය උපකාර වූ බවකි. ඒ අනුව 2006 හා 2008 අතර කාලයේ එල්ටීටීය සතුවූ නැව් දොළහක් විනාශ කිරීමට අවශ්‍ය සියළුම නාවුක තොරතුරු සැටලයිට් තාක්ෂණය උපකාරයෙන් ලබා දී ඇත්තේ ඔබාමාගේ පාලනය යටතේ වූ ඇමෙරිකාවයි. එල්ටීටීය පරාජය කිරීමට මූලිකම අඩිතාලම වී ඇත්තේ එම ප්‍රහාරයන් වේ. ඊට අමතරව සෘජුව නොවුනත් ඊශ්‍රායලය හා පකිස්ථානය හරහා ඇමෙරිකාවේ අධිතාක්ෂණික ගිනි අවි ලංකා ආණ්ඩුවේ හමුදා වෙත ලැබුණු අයුරුද එහි සඳහන් වී තිබුණි. චීනය හා රුසියාවේ ලාබ ගිනි අවි වලට අමතරව ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානතම ගිනි අවි සම්බන්ධ ගනුදෙනු තවමත් පවතින්නේ ඊශ්‍රායලය හා පකිස්ථානය සමඟයි.


2009 මැයි මාසයේ වන්නියේ දෙමළ ජනතාවට එරෙහි නිල යුද්ධය අවසන් වීමෙන් අනතුරුවත් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාතයංශයේ පූර්ණ ආශිර්වාදය ඇතිව ඇමෙරිකාණු හමුදාවන් ගේ සෘජු මිලිටරි ක්‍රියාදාමයන් හා පුහුණුවීම් කටයුතු රට පුරා සිදුවන අයුරු වරින් වර ඉංග්‍රිසි පුවත්පත්වල පල වේ. මේ වසරේ ජූලි 2-19 අතර ත්‍රිකුණාමලයේ දී ඇමෙරිකාණු නාවුක හමුදා පවත්වන ලද ලංකා ආණ්ඩුවේ ගුවන් හා නාවුක පුහුණුවීම සහ ඇමෙරිකාණු ශාන්තිකර ගුවන් හමුදාව අගෝස්තු 2-5 අතර යාපනයේ දී පැවැත්වූ “Exercise Pacific Angel” පුහුණු කඳවුර ආසන්නම උදාහරණයි.

ඉන්දියානු සාගර කලාපය එල්ටීටීයේ මුහුදු බලකාය මඟින් නිදහස් කර ගැනීමේ ඇමෙරිකාණු-රුසියානු-චීන අධිරාජ්‍යවාදයේ උවමනාව ගැන මීට පෙරත් ලූප්හෝලස් හී “යැංකි ගෝඨා“ නමින් සටහනක් අප තබා තිබුණි. ත්‍රස්තවාදීන් නමින් හෝ විමුක්තිකාමීන් නමින් හෝ වෙන නාමයකින්වේවා ඔබ කැමති මොන අයුරකින් හැඳින්වූවද විමල්-චමිපික-වාසු හා ජවිපෙ හැතිකරය බෙරිහන් දුන් හා දෙන පරිදි එල්ටීටිය හා ඇමෙරිකාව අතර කිසිදු සම්බන්ධතාවක් නොතිබූ බැව් තිත්ත සත්‍යයයි. සිදුවූයේ එල්ටීටිය විනාශ කිරීමට අවශ්‍ය සියළුම සහයෝගය ලංකා ආණ්ඩුව වෙත ඇමෙරිකාවෙන් ලැබීමත් ඒ සඳහා ඇවැසි සියළුම ගනුදෙනු සැබෑ අධිරාජ්‍යවාදී ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකාව අතර රහසේම පැවතීමත්ය.

1987-1989 කාලයේ දකුණේ සිදු වූ ඝාතන සඳහා වග උත්තරකරු එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්න වූවා මෙන්ම ලංකාවේ 2008-2009 අතර කාලයේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රධාන වග උත්තරකරු වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යි. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුවිය හැකි මොන යම් හෝ ජාත්‍යන්තර මට්ටමේ යුධ අපරාධ පරීක්ෂණයක් වේ නම් එය වලක්වා ගැනීමට ඔහුගේ ඇමෙරිකාණු පුරවැසිභාවය ද කේවට්ටයන් යොදවා වසාගෙන සිටින් ඔහුගේ මේ රහස් ඇමෙරිකාණු ගැතිභාවය ද මනා පිටුවහලක් වනු ඇත.

මේ..මේ.. මර්වියා වලා...මං ඩලස්


නවනීදන් පිල්ලෙයි ලංකාවට ආවේ අපට අනුව නම් පව් සමා කරගන්නය. ඈ පවු සමා කර ගත් පසු අපට ලැබෙන්න නියමිතව ඇත්තේ පිටු ගණනක වාර්තාවකි. ඝාතකයෝ ද වධකයෝ ද අණ දුන්නෝ ද හෙට දචසේත් යෙහෙන් වැජඹෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැංකි මූන්, විජේ නම්බියාර් හා නවනීදන් පිල්ලෙයි 2009 දී ලංකා ආණ්ඩුවේ හමුදා වන්නියේ නිරායුධ දෙමළ ජනයාව සමූලඝාතනය සිදුකරණ විට නිශ්ශබ්දව අනුබලය දුන් අයුරු හා නොසළකා සිටි අයුරු දැන ගැනීමට නම් ෆ්‍රාන්සස් හැරිසන්ගේ “Still Counting the dead” පොත කියවිය යුතුය. පහතින් ලින්ක් යොදවා ඇති “ගැණ නොනිමි මළවුන්“ නමින් එහි සිංහල පරිවර්තන ලිපි පෙළෙහි පළමු කොටස් හතර කියවීම ඒ සඳහා ප්‍රමාණවත්ය. එ දවස අධිරාජ්‍යවාදය ලංකා ආණ්ඩුවේ රෙද්ද අස්සේ දැඟළූ ආකරය එයින් දැක ගත හැක.

සමූල ඝාතනය... සමූල ඝාතනය... මෙය බොහෝ දෙනෙකුට හිස කැක්කුමකි. “සමූල ඝාතනයකින් හෝ කමක් නෑ යුද්දෙ ඉවරවුනානෙ“ හිතේ සුවෙන් ඉන්න බොහෝ දෙනෙකුට මේ වචනය වධයකි. එහෙත් මිත්‍රවරුණි නුඹලාගේ කැමැත්ත හෝ අකමැත්ත නොව කුඩා දරුවන් කාන්තාවන් ද ඇතුළුව දෙමළ ජනයා ලක්ෂයකට වඩා සිංහල හමුදාව විසින් මරා දැමීම තිත්ත ඇත්තකි.

මේ වගත් එසේම.

සුදු ඇන්ද මන බැන්ඳ මාතර කොට ඩලස්ට හදිසියේ නව නීදන් පිල්ලේ ට මර්වින් ගෙනා මංගල යෝජනාවට ලැජ්ජා සිතී ඇත. සීලාචාර කම හා සදාචාරය මතක් වී ඇත.

එහෙත්..වන්නියේ

ආණ්ඩුවේ හමුදා නිරායුධ මිනිසුන්ගේ හිසට වෙඩි තියද්දී..
ආණ්ඩුවේ හමුදා සොල්දාදුවෝ දෙමළ තරුණියන්ව සමූලව දූෂණය කරද්දී..
ෂෙල් වැදී ඩලස්ගෙ දරුවන්ගේ වයසටත් වඩා පොඩි එවුන් කෑලි කෑලි වලට කුඩු වෙලා යද්දී..
සුදු පොස්පරස් වැනි රසායනික අවි වලින් පහර දී මිනිසුන් දැවී මැරෙද්දී..
ලෙඩ්ඩු ඉන්න රෝහල් වලට උඩින් බෝම්බ දමද්දී..
උවමනාවෙන් ම ආහාර පාලනය කර පුරවැසියන්ව නිරාහාරව තියද්දී..
ලෝකයම දැන ගෙන සිටිද්දි සුදු කොඩි අරන් පැමිණි නිරායුධ මිනිසුන්ට වෙඩි තියා මරා දමද්දී..
දොස්තරවරු බෙහෙත් ඉල්ලා දැනුම් දුන් විට ඩලස්ලාගේ ආණඩුව ප්‍රතික්ෂේප කරද්දි..

ඩලස්ට ලැජ්ජා හිතෙන්නේ නැත. සීලාචාර කම හා සදාචාරය මතක් වන්නේ නැත.

(දැං ඉති කියන්න එපා “මේ බලපල්ලකෝ...ඇයි? කොටි මැරුවෙ නැද්ද“ කොටි මරපු ඒවට ඩලස්ට කොහොමත් ලැජ්ජාවක් තියෙනවැයි)

දකුණේ....

නිරායුධ උද්ඝෝෂණ වලට වෙඩි තබා මිනිසුන් මරා දමද්දී..
තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරු ළමා අපචාර ස්ත්‍රී දූෂණ කරද්දී..
ආණ්ඩුවේ අනුග්‍රයෙන් සුදු වෑන් වලින් පැමිණ මහ දවාලේ විරුද්ධවාදීන් අතුරුදහන් කරද්දී..
ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ අනුග්‍රහයෙන් මත් කුඩු රට පුරා පතුරවද්දී..
තමන් ඉස්සර කරපු පත්තර රස්සාවේ සගයන් මරා දමද්දී අතුරුදහන් කරද්දී රටින් එලවද්දී..
ආණ්ඩුවේ ලොක්කාගේ සිට සොක්කා දක්වා මිලියන ගණන් සල්ලි වංචා කරද්දී..
ලංකාවේ වනාන්තර හා ස්වභාවික සම්පත් ඇති තරම් කොල්ල කද්දී..
රටේ නායකයා ලංකාවේ අධිකරණ පද්ධතියම දේශපාලනකරණය කරද්දී..
ආගම්වාදය ජාතිවාදය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ම රට පුරා පතුරවද්දී..
නිදහස් අධ්‍යාපනයේ මළගම ඇස් පණාපිටම සිදු වෙද්දී..
තමන් සිටින ආණ්ඩුව යටතේ රටේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශවෙලා යද්දී..

ඩලස්ට ලැජ්ජා හිතෙන්නේ නැත. සීලාචාර කම හා සදාචාරය මතක් වන්නේ නැත.

ඩලස්-විමල්-මර්වින්-චමිපික-වාසු වැන්නවුන්ගේ ස්වරූපයෙහි හැර වෙන වෙනසක් නැත. ලොක්කාගේ උවමනාවට මොකක් හෝ ප්‍රකාශයක් සිදුකිරීම හෝ තමන්ගේ උවමනාවට කට කැඩිච්ච කතාවක් කර හෝ ලොක්කා මොකද කියන්නේ යැයි වටින් පිටින් හොයා බැලීමට වඩා දෙයක් ඔවුන්ට ඇත්තේ නැත. අවසානයේ ලොක්කා විසි කරන කටුවක් ලෙවන්නට දත මැද බලා ගෙන සිටිති.

අපි සියළු සත්වයන්ට ම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථානා කරමු. එහෙත් පිංවතුනි ඩලස්-විමල්-මර්වින්-චමිපික-වාසු වැනි එක නිකායේ ඉහඳ පනුවන් නම් එම සත්ව වර්ගයාට අයත් නැත.

නොබෙල් සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීම


මාටින් ලූතර් කිං ගේ මට සිහිනයක් ඇතදේශනයේ පනස්වන සංවත්සර උළෙලේ දී මාටින් ලූතර් කිං ගේ අවිහිංසාවාදී උරුමය තරයේ වැලඳගන්නා බවට ප්‍රතිඥා දී සතියක් ගත වෙන්නටත් මත්තෙන් නොබෙල්  සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීමට තීරණය කර තිබෙනවා.

එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ පසුගිය දා සිරියාවේ දමස්කස් නගරයේ දී සිදුකර ඇති රසායනික අවි ප්‍රහාරයෙන් කුඩා දරුවන් 426 ක්ද ඇතුළුව අහිංසක සිරියානු පුරවැසියන් 1429 දෙනෙක් මරා දැමීමයි. ඒ අනුව මේ වනවිට “ටොමහෝක්“ මිසයිල දෙසීයකටත් වැඩියෙන් සමන්විත යුද ප්‍රහාරක නෞකා හයක් නැගෙනහිර මධ්‍යධරණි මුහුද ආසන්නයේ ඔබාමාගේ නියෝග ලත් සැණින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් යුද ක්‍රියාන්විතයන් හීදී ඇමෙරිකාවේ ප්‍රධාන සහකරු වූ බ්‍රිතාන්‍ය ය මේ මොහොතේ සිරයානු මැදිහත් වීමකට ඉදිරිපත් වී නොමැති අතර ඇමෙරිකවේ සහායට සිටින්නේ ප්‍රංශය පමණි.

සැප්තැම්බර් 5 වෙනිදා ප්‍රහාර ආරම්භ කිරීමට රහසිගතව දින නියම කර තිබුණත් සියළු පව් තමන්ගේ දෑතෙහි පමණක් දරා නොසිටන්නට මෙන් යුද ප්‍රහාර දියත් කිරීමට අවශ්‍ය සියළු බලතල සහිත බැරක් ඔබාමා ප්‍රහාරයේ අවසන් තීන්දුව ගැනීම කොන්ග්‍රසයේ බහුතර මතයට බාර කර තිබෙනවා. සැප්තැම්බර් 9 වෙනිදා රැස්වීමට නියමිත කොන්ග්‍රසයේ බහුතර මතය ලබා ගැනීම සඳහා ඔහු දැඩිව මහන්සි වන්නේ ලොව ආර්ථික බලය හීන වී ඇති මේ මොහොතේ මිලිටරි බලය රැක ගැනීමේ ඇමෙරිකා ආඥාදායකත්වය සිරියාවට පහර දීමෙන් යම් තරමකට හෝ ස්ථාවර කර ගත හැකි බව ට වූ විශ්වාසය නිසාවෙනි. ඊට අමතරව මැද පෙරදිග බලය තහවුරු කර ගැනීම එම කලාපයේ තෙල් වලින් යැපෙන ඇමෙරිකාවට වඩා වැදගත් වේ.

පසුගිය අවුරුදු දෙක ඇතුලත සිරියාවේ අභ්‍යන්තර ගැටුම් නිසාවෙන් සිවිල් පුරවැසියන් ද ඇතුළුව පුද්ගලයින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙන අතර ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී තිබෙනවා. සිවිල් යුද්ධය ට හේතුව වූයේ මැද පෙරදිග කලාපය තුළ පැන නැඟුණු අරාබි වසන්තයේ ම එක් දිගුවකි. වසර තිහක් සිරියාව පාලනය කළ හෆේස් අල්-අසාද් ගෙන් පසුව වසර දෙදාහේ දී බලය උරුම කරගත් ඔහුගේ පුත් බෂාර් අල්-අසාද් ගේ ඒකාධිපති පාලනයට එරෙහිව සිරියානු වැසියන මීට දෙවසරකට වීදී සටන් ආරම්භ කළහ. එහෙත් එය කෙලවර වූයේ  බෂාර් අල්-අසාද් ගේ මර්දනයට එරෙහිව නිදහස් සිරියානු හමුදාව නමින් විවිධ කණ්ඩායම් ඇමෙරිකාණු අවි ආයුධ අතැතිව සන්නද්ධ වීමෙනුයි.

නිදහස් සිරියානු හමුදාව ට ඇමෙරිකාව ඇතුළුව බටහිර රටවල නොනිල අනුග්‍රහය ඇති මුත් මේ වනවිට එහි බොහෝ කොටස් මුස්ලිම් අන්තවාදී අල්-කයිඩා සංවිධානය ට නතුව ඇති අතර ක්‍රියාත්මක වන්නේ වෙන් වෙන් වූ කොටස් වශයෙනි. බෂාර් අල්-අසාද්ගේ පාලනයට ලොව ප්‍රධාන පෙලේ අවි ආයුධ වෙළෙන්දන් වූ රුසියාව, චීනය හා ඉරානයේ රාජතාන්ත්‍රික සහය මෙන්ම පලස්තීනයේ හිස්බුල්ලා කණ්ඩායමේ ද පූර්ණ සහාය ලැබේ.

ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව තිබිය දී අවසන් මොහොතේ දී රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දහසකට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ඇමෙරිකාණු ප්‍රහාර සූදානම් වීම හාස්‍යජනක කරුණකි. මරා දමණ ක්‍රමවේදය නොව වඩා වැදගත් විය යුත්තේ අහිංසක පුරවැසියන් මරා දැමීමයි. ඇමෙරිකාණු මැදිහත් වීමක අවශ්‍යතාවය ඉස්මතු කරවීම සඳහා විරුද්ධ පාර්ශ්වික නිදහස් සිරියානු හමුදා විසින් මෙම රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලදැයි බෂාර් අල්-අසාද්ගේ පාලනය මෙන්ම රුසියාව ද චෝදනා කරයි. එහෙත් එවැනි රසායනික අවි සොයාගැනීමේ හැකියාවක් මෙම කුඩා කණ්ඩායම් වලට නොමැති බවත් එය එල්ල කරන ලද්දේ බෂාර් අල්-අසාද්ගේ හමුදාව විසින් බැව් අනෙක් පාර්ශවය චෝදනා කරයි. ඇමෙරිකාණු මැදිහත් වීමක් දැන දැනත් බෂාර් අල්-අසාද් මෙවැනි ප්‍රහාරයක් තමන්ගේම රටේ පුරවැසියන්ට සිදු කරතැයි සැක පහල මුත් බලයෙන් උමතු වූ රාජ්‍ය නායකයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක්කක්ද නොවේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අතකොළුවක් වූ එක්සත් ජාතීන්ගේ මෙම රසායනික ප්‍රහාරය සම්බන්ද පරීක්ෂණ මේ මොහොතේත් අවසන් වී නොමැති නමුදු ඇමෙරිකාව සහතික වශයෙන්ම පවසන්නේ මෙම ප්‍රහාරය බෂාර් අල්-අසාද්ගේ හමුදා විසින් කරන ලද්දක් බවත් එම ප්‍රහාරය සිදු කළ දිනය, වෙලාව හා ස්ථානය මෙන්ම රසායනික අවි ගබඩා ඇති සථාන පවා ඇමෙරිකාණු රහස් ඔත්තු සේවය සතු බවයි. එහෙත් ඇමෙරිකාණු රහස් ඔත්තු සේවයේ විශ්වාසනීය බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රශ්න කරන්නේ හිටපු ජනාධිපති ජොර්ජ් බුෂ් ඉරාකයට පහර දීමට පෙර ඔවුන් විසින් ඉරාකයේ න්‍යෂ්ටික අවි ඇති බවට චෝදනා කළ මුත් අවසානයේ එවැනි කිසිවක් එහි නොතිබීම නිසාවෙනුයි. මේ වන විට ඇමෙරිකාණු හමුදා ඉරාකයෙන් ඉවත්ව ඇති නමුදු යනු ඉරාකය යනු මේ වන විට ඛේදවාචකයකි. එම අත්වැරැද්දේ ප්‍රතිඵලයෙන් දිනපතා බෝම්බ ප්‍රහාර මඟින් විශාල සංඛ්‍යාවක් මරා දැමෙන තවත් එක් අවිනිශ්චිත රටක් පමණක මැද පෙරදිග කලාපයට ඉතිරි වී ඇත.

ඇමෙරිකාව සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ හමුදාවට පහර දුනහොත් එහි වක්‍ර සහයෝගය ලැබෙන්නේ මුස්ලිම් අන්තවාදී අල්-කයිඩා සංවිධානයට බැව් අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. වාමාංශික දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ සිරියාවේ සාමය වෙනුවෙන් සිදු කළ යුත්තේ ඇමෙරිකාව විසින් විරුද්ධ පාර්ශ්වික නිදහස් සිරියානු හමුදාව වෙත සපයන ආයුධ මෙන්ම රුසියාව හා චීනය බෂාර් අල්-අසාද්ගේ හමුදා වෙත සපයන ආයුධ නවතා දමා තෙවන පාර්ශවයක මැදිහත් වීමකින් සාකච්චා මඟින් ප්‍රශ්නය නිරාකරනය කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. ඔවුහු සිරියාවට එරෙහි ඇමෙරිකාවේ මෙම අන්තනෝමතික මිලිටරි මැදිහත් වීම තරයේ හෙළා දකිති.

එහෙත් ගෝලීය බලය රැක ගැනීමේ උමතුවෙන් පෙලෙන ආඥාදයක ඇමෙරිකාව මේ මොහොතේ සිරියාවට එරෙහි ප්‍රහාරයන් එල්ල නොකර සිටීමට ඇත්තේ ඉතා අඩු ඉඩකි. ඒ අතරතුරේ දී රුසියාව මඟින් සිය ඔත්තු සේවා නෞකාවක් ද ඊයේ මධ්‍යධරණි මුහුද වෙත යවා ඇති බැව් විදෙස් පුවත් සේවා වල පල වී තිබුණි. ලොවට තවත් එක් රටක් පමණක් වූ ඇමෙරිකාවේ මෙම සිරියාවට එරෙහි සිය යුද බලය මෙහෙය වීමේ ආඥාදායකත්වයේ ආදර්ශය රුසියාව ද දෙවරක් නොසිතා ක්‍රියාත්මක කළ හොත් සිරියාව යනු ඊලඟ ලෝක යුද්ධයේ ආරම්භක භූමිය වනු ඇත.