A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඒ කා ධි ප ති


අන්තිම ජාතිවාදී ටිල්වින් ජාතිවාදයට එකම විසඳුම සමාජවාදය යැයි කියයි. පගා මරුවෙක් වන වීරවංශ තමන්ට කිරිපිටි සමාගම් අල්ලස් දෙන්න උත්සහ කළා යැයි පවසයි. අන්තවාදී අත්තේ ඥාණසාර අන්තවාදීන්ට මේ රටේ ඉඩක් නැති බව දෙසයි. ඒ අතර රටේ ඒකාධිපති නායකයා හාමුදුරුවනේ මම ඒකාධිපතියෙක් දැයි අසයි. මේ රට අමුතුම රටකි.

 මහින්ද රාජපක්ෂ (ම.රා.) ඒකාධිපතියෙකු වන්නේ කෙසේද?
  • ඒකාධිපතීහු බලය පවත්වා ගැනීම පුද්ගලයින් සමූල ඝාතනයට ලක් කරවති. තනි තනි පුද්ගලයින් වශයෙන් මරා දමති. ම.රා. රට එක්සේසත් කළ නායකයා ලෙස අබිසෙස් ලබා බලය තහවුරු කර ගැනීම පිණිස තමන්ගේම දෙමළ රට වැසියන් ලක්ෂ ගණනක් මරා දැමිමේය. සුදු වෑන් සංස්කෘතිය දකුණේ සිංහලයාව ද භීතියට පත් කර ඇත.

  • ඒකාධිපතීහු පෙර මෙන් බලහත්කාරයෙන් බලයෙහි සිටින බවක් වර්තමානයේ නොපෙන්වති. ප්‍රජාතනත්‍රවාදී බවක් පෙන්වති. ම.රා. මැතිවරණ පවත්වයි. ආරක්ෂක අංශ හා මාධ්‍ය ද ඇතුළුව පූර්ණ රාජ්‍ය බලය යොදවා හැමදාමත් මොනයම් අයුරකින් හෝ මැතිවරණ ජයග්‍රහනය කරවයි. එමෙන් ම සීමාවක් නොමැතිව ජනාධිපතිවරණය තරඟ වැදීම සඳහා පාර්ලිමේනතු පණතක් සම්මත කරගන්නා ලදි.

  • ඒකාධිපතීහු තමන්ව හා තමන්ගේ පාලනය ට විරුද්ධව පැමිණෙන ඕනෑම දෙයකට එරෙහිව තමන්ව ආරක්ෂා කිරීම සඳහා රජය ඇතුලත හා පිටත ඉතාමත්ම හිතවත් කණ්ඩායමක් ඇති තරම් දොල පිදේනි දී (ගසා කෑමට ඉඩ දී) සකස් කර ගනිති. ම.රා. ගේ පාලනයේ මේ සඳහා විමල්, චමිපික, මර්වින්, වාසුදේව, රාජිත ඇතුළු විශාල කණ්ඩායමක් ආණ්ඩුව ඇතුලත ද ජැක්සන්, රවීන්ද්‍ර, ජයන්ත, රෝහණ, සෝමරත්න ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් පිටතද ඇත.

  • ඒකාධිපතීහු ජාත්‍යාලය ඇති කරවති. ජාතික හැඟීම් අනවශ්‍ය ආකාරයෙන් පුබුදු කරවති. ආගම්වාදය පැතිරවීමට ඉඩදෙති. මිත්‍යාමත පතුරවති. ම.රා. සහා ඔහුගේ සහචරයියෝ මෙය රට ඇතුළත ඉතා හොඳින් කරවති. ජාත්‍යාලය හා ආගමවාදය පැතිරවීමට ප්‍රසිද්ධියේම උදව් කරති. දේව ඇදහිලි, නක්ෂත්‍රය ප්‍රචලිත කරවති.

  • ඒකාධිපතීහු රටෙහි විපක්ෂය විනාශ කර දමති. බලාපොරොත්තු රහිත කරවති. මතුපිටින් පෙනෙන මර්දනයක් නොතිබුණ ද ම.රා. එජාප, ජවිපෙ හා කැරිස්මාවක් සහිත අනෙක් පුද්ගලයින් මතූ වීම කූට ලෙස වළක්වයි. පුද්ගලයින් කෙලින්ම හෝ වක්‍රව බිලි බා ගනී. දුබල කරවයි.

  • ඒකාධිපතීහු තමන්ගේ පැවැත්මට පොදු සතුරෙක් මවති. ම.රා. එල්ටීටීය පොදු සතුරා බවට දිවා රාත්‍රී මාධ්‍ය මඟින් මේ වන තෙක්ම තවමත් පුන පුනා ප්‍රකාශ කරවයි. ඒ අතරතුර මුස්ලිම් විරෝධයක් ගොඩ නංවා එය හමුවේ දෙවන සතුරෙක්ව ද නිර්මාණය කරවයි.

  • ඒකාධිපතීහු තමන්ගේ සහෝදර සහෝදරියන් දරු දැරියන් හා ඥාතීන් පමණක් තමා වටා ඇති බලය පවත්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන් හා නායකයින් ලෙස පත් කර ගනිති. ම.රා යනු ලොව අංක එකේ ඥාති සංග්‍රහවාදියෙකි.

  • ඒකාධිපතීහු ජනතා මතයට ඉඩ නොදෙති. එය පාලනය කරවති. මර්දනය කරවති. ම.රා. විරෝධතා වලට පහර දෙයි. උද්ඝෝෂකයින් මරා දමයි. නැඟෙන විරෝධතා ඇතුලතින්ම විනාශ කරවයි. ලාල්කාන්ත වැන්නවුන් සිටින්නේ ම.රා. ගේ අතේය.

  • ඒකාධිපතීහු තමන් වෙනුවට පත්විය හැකි තම පාර්ශවයේ වෙනත් අයෙකුට පවා ඉස්මතු වීමට ඉඩ නො‍දෙති. ම.රා. නියෝජනය කරණ ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයෙක් නැති තරම්ය. අගමැති අංශභාග ලෙඩෙකි.

  • ඒකාධිපතීහු මාධ්‍ය නිදහස වලක්වති. ම.රා. මාධ්‍යවේදීන් මරා දමයි. අතුරුදහන් කරවයි. ඔවුන්ගේ අත පය ගලවා දමයි. මාධ්‍ය ආයතන ගිනි තියයි.  මාධ්‍ය ආයතන හිතවතුන් ලවා මිලදී ගනී. රජයේ හා පෞද්ගලික මාධ්‍ය සම්පූර්ණයෙන් පාලනය කරවයි. මාධ්‍ය‍වේදීන් බොහො දෙනෙක් රටින් පිටුවහල්ය. රටේ ඉතිරිව සිටින ප්‍රගතිශිලී මාධ්‍යවේදියෝ නිශ්ශබ්දය.

  • ඒකාධිපතීහු අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් පාලනය කරවති. ආරක්ෂක අංශ හා පොලීසිය තමන්ගේ රූකඩයන් බවට පත් කර ගනිති. කවදාවත් නැති තරමට ම.රා. ගේ පාලනය යටතේ අධිකරණය රාජ්‍ය ගැති වීඇත. අගවිනිසුරු, නීතිපති ම.රා. ගේ හෙංචයියෝ වෙති. ආරක්ෂක අංශ හා පොලීසිය ම.රා.ගේ සහෝදරයාගේ සෘජු පාලනය යටතේ වේ.

  • ඒකාධිපතීහු යටතේ රජයේ හෝ රජයේ ආයතන වල ආදයම් හෝ වියදම් ගැන වගකීමක්-විනිවිදභාවයක් නැත. ම.රා. ගේ ආණ්ඩුව යටතේ සියළුම රාජ්‍ය ආයතන දූෂණයට ලක්ව ඇත. සංවර්ධනය සඳහා හෝ ආරක්ෂක වියදම් සඳහා හෝ ආයතවලින් ලැබෙන ආයදම් ගැන බිලියන ගණනින් වූ ගනුදෙනු දන්නේ ම.රා. ම පමණී.

  • ඒකාධිපතීහු තමන්ගේ මුදල් වියදම් නොකරති. විදේශ ණය මඟින් හෝ මුදල් එක් රැස් කරවති. ම.රා. ණය ආධාර ලබා ගැනීම සඳහා කප්පිත්තෙකි. ලංකාව මේ වනවිට චීනයට සින්න වන තරමට ණය වී ඇත. මේ සඳහා ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනවල සභාපති මට්ටමේ කිහිප දෙනෙක් ඉතා හිතවත් ලෙසින් යොදා ගනී. ම.රා හැරෙන්නට කිසිවෙකුටත් අවනත නොවෙන වරාය සභාපති ප්‍රියත් බන්දුවික්‍රම එවැනි එක් බලකණුවකි.

  • ඒකාධිපතීහු තමන්ව ඉහල නංවා ගැනීම පිණිස තමන්ගේ හොඳ නම පවත්වා ගැනීම පිණිස ඉතා මහන්සියක් දරයි. ම.රා. සියළුම ආකාරයේ මහේෂාක්‍ය උත්සව සංවිධානය කරවයි. තමන්ගේ නම නොගැසූ තැනක් නැත. කටවුට් වලින් පාරවල් පුරවයි. දැන්වීම වලින් පත්තර පුරවයි. ඊට අමතරව උපන් දින සුබ පැතුම් යවයි. මල් වඩම් යවයි. දරුවන් උඩ දමා සුරතල් කරවයි. කරේ අත දමයි. අයියා මල්ලී භාෂාවෙන් ඕනෑම අයෙකුට අමතයි.

  • ඒකාධිපතීහු යටතේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ ජීවන තත්වය දිනෙන් දිනම පහලට ඇද වැටේ. එම යතාර්ථය කෙසේ නමුදු රජයේ පිළිගත් ආයතන මඟින් වසඟයට පත්විය හැකි දත්ත සංඛ්‍යා ලේඛණ පෙන්වයි. ම.රා. ගේ හෙංචයියන් මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය තුළ මෙය අපූරුවට කරයි. අපේ රටේ තරම් ආශ්චර්‍යයක් වෙන කොහෙවත් නොමැත.

  • ඒකාධිපතීහු රටෙහි ඉහල මධ්‍යම පංතියට වැඩියෙන් වැඩෙන්නට ඉඩ හරිති. එම ඉහල මධ්‍යම පංතිය රාජ්‍ය ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණෙන බව ඒකාධිපතීහු දනිති. ම.රා. යටතේ රටේ ජනතාවගේ ඇති-නැති පරතරය සීඝ්‍රව වැඩිවී ඇත. එය ආසියානු කලාපයේම ඉහළ අගයකි. ඉහල මධ්‍යම පංතියට අවශ්‍ය නාගරික සංවර්ධනය පමණක් සිදුකරයි.

  • ඒකාධිපතීහු රටේ අධ්‍යාපනය හා අධ්‍යාපන පද්ධතිය විනාශ කරති. දැණුම ලැබීම නුවණ පහලවීමක් ලෙස ඔවුහු දකිති. ම.රා. යටතේ එස්.බී-බන්දුල දෙබෑයෝ ලංකාවේ අධ්‍යාපනය සුන්නත්දූලි කර ඇත. සමස්ත විභාග ක්‍රමයම ඛේදවාචකයකි. ශිෂ්‍ය අයිතීන් උදුරා ගනිති. ශිෂ්‍ය සටන් හා ශිෂ්‍ය නායකයින් මර්දනය කරති.

ප.ලි.: ඒකාධිපතියකු යනු තවදුරටත් තනිපුද්ගලයෙකු පමණක් නොවේ. එක් පුද්ගලයෙකු මුදුනින් තබා තවත් කණ්ඩායමක් ඉතිරිය කරවන ආකාරයේ ඒකාධිපති පාලනයක් සඳහා වුව ඉඩ ඇත. ම.රා. හා ඔහුගේ සහෝදර සමාගම සැළකීමේ දී ලංකාව තුළ මේ මොහොතේ තිබෙතැයි වඩාත් සැළකිය හැක්කේ එවැනි මොඩලයකි.

අසරණකම, බිය සහ හීලෑව


 “මැරිච්ච එකා මළා ඉතුරු වෙලා ඉන්න අපි ජීවත් වෙන්න ඕනැනේ. ඒ මත්තෙ නැහිල වැඩක් තියෙනවැයි“ එහෙමත් නැත්තම් “උන් මැරුණෙ වතුරට... මේ ප්‍රශ්නයවත් අපි ජනාධිපති තුමාට කියල විසඳගන්න ඕනෙ“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ අසරණ කමටය.

“ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න පුළුවන්යැ“ එහෙමත් නැත්තම් “රටේ ජනාධිපති එන්න කිව්වහම නොගිහින්  කළු ගලේ ඔළුව ගහගන්නද“ වැනි වදන් පිට වෙන්න ඇත්තේ තියෙන බයටය.

“ජනාධිපති තුමා දන්නෙ වත් නැතුව ඇති අසමජ්ජාති ආමි කාරයෝ කරපු දේවල් වලට එතුමා මක් කරන්නද“ එහෙමත් නැත්තම් “කවුරු නැතත් අපේ ජනාධිපති තුමා ට අපි ගැන කැක්කුමක් තියෙනවා... අපට වන්දි දීලා.. අපේ ප්‍රශ්නෙ විසඳලත් දෙයි“ යනුවෙන් පවසන්නේ හීලෑවටය.

අසරණ කම හා බිය කෙසේ වෙතත් හීලෑව ඇතිවන්නේ නොදන්නා කම හා මෝඩ කමත් සමඟය.

ඔවුන් නොදන්නේ මේ රාජ්‍යයේ ස්වභාවයයි. ඔවුන් නොදන්නේ මහින්ද රාජපක්ෂ යනු රටේ සේනාධිනායක සහ ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ යනු ඔහු යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා බව මෙන්ම ඔවුන්ගේ අණ විධාන නොමැතිව ආරක්ෂා හමුදා අතින් කිසිවක් සිදු නොවිය හැකි බවයි.

ඔවුන් නොදන්නේ කොටින්ට එරෙහිව යුද්ධ කරද්දී ඔවුන්ගේ විධානයේ නායකත්වය අභිමානයෙන් පවසන නමුදු දකුණේ කරන දේශපාලන නොසන්ඩාලකම් වල දී ඔවුන් පට්ට නිශ්ශබ්ද ඇයි දැයි යන්නයි.

ඔවුන් නොදන්නේ සියල්ල මතුපිටින් වසා එම සිදුවීම ආමි එකේ කිහිප දෙනෙකුගේ හිතුවක්කාර වැඩක් දක්වා ඌණනය කර ඔවුන් සියළු දෙනා ජනාධිපති මන්දිරය වෙත රැගෙන විත් වන්දි මුදල් පිරිනමා ඡායාරූප කිහිපයක් දෙස් විදෙස් මාධ්‍යවල පළකර ගැනීමේ මහින්ද රාජපක්ෂගේ මල්වඩම්-මොර්තෙ දේශපාලනයේ ස්වභාවයයි.

මේ අසරණ මිනිසුන් පෙනීසිටි ඡායාරූපය දුටු විට “වෙඩි කෑ උන්ව විකුණගෙන කෑවැයි.....“ කේන්තියක් අපට නොනැඟෙන්නේ මේ සියල්ල නිසාවෙනි. කොහොමටත් මිට මොලවගත් සල්ලි කොල වලින් මේ මිනිසුන් ට සුර සැප විඳින්නට ඔවුන්ගේ දරුවන් විසින් ඉතිරිකර ගිය හිස්තැන තුළ කවදාවත් ඉඩ තිබේදැයි සැක සහිතය. බොහෝ විට සොහොන් කොතකට, බස් හෝල්ට් එකකට නැතිනම් සාංඝික දානයකට වියදම් කර අත පිහ දමා ගන්නට පමණක් සිදුවනු ඇත. එහෙත් රටෙහි පුරවැසියන් වටා ඇති අසරණකම, බිය සහ හීලෑව තමන්ගේ බලය පවත්වා ගැනීම උදෙසා පාවිච්චි කරණ පාලකයෙකු නිර්ලජ්ජිත භාවය බල බලා ඉන්නට සිදුවීමේ කේන්තිය නම් දකුණේ දැනුවත් සිංහලයාට ඉතිරිව ඇත.

අප බලන් සිටියේ එහෙමත් නැතිනම් අපගේ යටි හිතේ බලාපොරොත්තුව වූයේ “තියා ගනිං තොගෙ සල්ලි.. තෝ තමයි යකෝ මිනීමරුවා..“ යනුවෙන් ජනාධිපතිවරයගේ මූණටම පවසන අම්මා කෙනෙකි.... තාත්තා කෙනෙකි... සහෝදරයෙකි.... 

එහෙත් සියල්ල එසේ ම සිදුවන්නේ නැත... ඒ ලංකාවයි.....

එය මහින්ද රාජපක්ෂගේ මල් වඩම්-මොර්තෙ දේශපාලනයේ සාර්ථක්ත්වය යි.

සමලිංගිකයන්ට එරෙහි විෂමලිංගිකයින්ගේ රුදාව


සිංහලයින්ගේ ඔළුව ඉදිමීම කෙසේද යත් බහුතරයක් හිතාගෙන ඉන්නේ මුළු ලෝකයම බලාගෙන ඉන්නේ සිංහල ජාතිය වඳ කිරීමට බවයි. ඔවුන ට අනුව එහි එක් පියවරක් වන්නේ කෝටි ගණනින් වියදම් කර ලංකාවේ සංමලිංගික සම්බන්ධතා සීඝ්‍රයෙන් ප්‍රචලිත කිරීමයි. ඒ අනුව පසුගිය දා අනුරාධපුරයේ පැවැත්වූ සමලිංගික වැඩ මුළුවක් සම්බන්ධව පරල වූ බොහෝ දෙනෙක් සිටියහ.

ලෝකයේ රටවල් දිනෙන් දින සමලිංගික විවාහ අනුමත කිරීම සඳහා හෝ සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉඩ සලසා දීම සඳහා යොමු වෙද්දී ලෝකයේ දෙසීයක්ට ආසන්න රටවල් වලින් තවමත් සමලිංගික සම්බන්ධතා තහනම් වන්නේ රටවල් හැත්තෑපහකට ආසන්න ප්‍රමාණයකයි. ලංකාව ද ඉන් එක් රටකි.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වීම ගැන කුපිත වූ අයෙක් ගේ ලිපියක් පසුගියදා ලක්බිමෙහි පළවී තිබුණි. එයට අනුව සමලිංගික සම්බන්ධතා පැවැත්වීම පිළිකුල් සහගත කරුණකි. ඔවුහු මාණසික රෝගියෝ වෙති. සාමාන්‍ය මිනිසුන් නොවෙති. එමඟින් සුව කළ නොහැකි මාරාන්තික රෝග බෝවේ. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයෙක් පැවසූ බවක් ද එහි සඳහන් වේ.

අප සතුව ඇති අත් දැකීම අනුව සමලිංගිකයින් යනු විෂමලිංගිකයින් හා සමානම සාමාන්‍ය මනුෂ්‍යයෝ වෙති. සාහිත්‍ය යේ හෝ කලාවේ හෝ වේවා ඔවුනට එකම සංවේදනා පිහිටා ඇත. ඔවුන් අප මෙන්ම එදිනෙදා ලෝකය හා ගැටෙති. දරුවන් ට ආදරය කරති. ගැහැණු-පිරිමි, පිරිමි-ගැහැණු ඇසුරෙහි වෙති. දුක, කඳුළ හා සිනහව හොඳින් හඳුනති. බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ගේ සිට සංගීතඥ එල්ටන් ජෝන් මෙන්ම මැතකදී ලංකාවට පැමිණි ලේඛක ෂ්‍යාම් සෙල්වදොරෛ යනු එවැනි ප්‍රසිද්ධියේ පෙනී සිටි-පෙනී සිටින සමලිංගිකයෝ වෙති.

පුරුෂ සමලිංගිකයින් ගේ ලිංගික ක්‍රමවේදයන් තුළ සීඝ්‍රව ලිංගික රෝග බෝවීමේ අවදානමක් ඇති නමුදු ආරක්ෂා රහිතව සිදු කරණ ඕනෑම ලිංගික ක්‍රියාවක් මඟින් සමලිංගිකයන්ට මෙන්ම විෂමලිංගිකයන්ට ද එවැනි රෝග බෝවීමේ දැඩි අවධානමක් ඇත. එම රෝගය මාරාණ්තික නම් එය විෂම ලිංගිකයාට හා සමානව සමලිංගිකයාට ද මාරාණ්තික වේ. සමලිංගික  සේවනයන්ට පුරුදු වූවන්ට නැති සුන්දර ලෝකයේ අත් දැකීම ගැන එම ප්‍රකාශය සිදුකළ විෂම ලිංගික වෛද්‍යවරයා ගෙන්ම ප්‍රශ්ණ කළ යුත්තකි.

ජාතියක් වශයෙන් සුළු ජාතික දෙමළ මිනිසුන් සඳහා නිදහස්ව නිවහල්ව ජීවත් වීම ඇතුළුව දකුණේ සිංහලයාගේ ජීවත් වීම හා අනෙකුත් මානව හිමිකම් අයිතිවාසිකම් සඳහා අවම ඉඩක් ඇති රටක සමලිංගිකයින්ගේ අයිතීන් සඳහා සටන් වැදීම තවත් දශක් ගණනාවකට ඉදිරියට දැමිය යුත්තකි. ලංකාව වැනි දූපත් මානසිකත්වය සහිත රටක විෂමලිංගික නොවන ඕනෑම ලිංගික සම්බන්ධතාවයක් සඳහා සමාජය තුළින් ම නැඟෙන්නේ ඉහත කී ලිපිය තුළ වූ විරෝධය වැනිම වූ ප්‍රතිචාරයකි. ඊට අමතරව ලංකාව තුළ සියළුම ආකාරයේ ස්ත්‍රී-පුරුෂ-ද්වි-අතරමැදි සමලිංගිකයින් සඳහා පොන්න-නපුංසක සමාජයේ පොන්න-නපුංසක ප්‍රතිචාරය ඉතාමත්ම පහත් මට්ටමේ එකකි.

සමලිංගිකත්වය යනු තමන්ගේ තේරීමක් නොවන බවත් එය විෂමලිංගික පුද්ගලයින්ට මෙන්ම පුද්ගලයාගේ ශරීරය හා මණස තුළින් ම පැන නැඟෙන පුද්ගල ආකර්ෂණයක් බවත් ජීව විද්‍යාත්මකවම ඔප්පුකර ඇත. විෂම ලිංගිකයින් තම විරුද්ධ ලිංගිකයින් සඳහා දක්වන ආකර්ෂණය හා සමානවම සමලිංගිකයින්ට තමන් හා සමාන ලිංගිකයින් සඳහා විශේෂ කැමැත්තක් ඇත. විෂමලිංගිකයෙක් වෙත සමලිංගිකයෙකු කෙරෙහි ආකර්ෂණයක් නොමැති සේම සමලිංගිකයෙක් වෙත විෂමලිංගිකයෙකු සඳහා ආකර්ෂණයක් නොමැත. බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ ඒ සත්‍යයයි. ලංකාව වැනි රටක බොහෝවිට මෙවැනි අවශ්‍යතා දැවි කෙලවර වන තෙක් තනිකඩව සිටීමෙන් හෝ ඉතා සුළු වශයෙන් පවතින රහසිගත සම්බන්ධතාවන්ට පමණක් අතීතය පුරා ම සීමා වී තිබුණි.

බොදු බැති බර ලංකාවේ සමාජය සමලිංගික සම්බන්ධතා වලට සිවුරු-සිල්රෙදි උස්සා එරෙහි වෙද්දී ලංකාවේ සමලිංගික සේවනය වඩාත් ප්‍රචලිතව ඇත්තේ පන්සල ආශ්‍රිත සංඝ සමාජය නම් උප කුලකය තුළ වීම හාස්‍යයට කරුණකි. නිවැරැදි සමීක්ෂණයක් පවත්වන්නේ නම් ලංකාවේ පන්සල් තුළ වැඩිහිටි හාමුදුරුවන් අතින් ලිංගික අපයෝජනයකට ලක් වූ එකම සාමනේර භික්ෂූන් වහන්සේ නමක් වත් සොයා ගත නොහැක. ඇත්තටම එය ළමා ලිංගික අපයෝජනයකි. අපරාධයකි. ලිංගික ක්‍රියාවන් සීමා සහිත වීම තුළ ලිංගික පීඩාව ඉහලයාම හේතුවෙන් සංඝ සමාජය තුළ වූ මෙම සමලිංගික සේවනය නිහඩ අනුමැතියක ඉතිහාසයේ සිටන් ම පැවැත් එන්නකි. කිසිවෙකු ප්‍රශ්ණ නොකරති.

දීර්ඝ කාලයක් තුළ වූ ලිංගික පීඩාව හා හුරු කරගත් සමලිංගික සේවනයන් මඟින් සමලිංගික ක්‍රියාවන් සඳහා විශේෂ කැමැත්තක් උවමනාවක් ඇති නමුදු එය පන්සලේ හාමුදුරුවන් සතු වූ තේරීමකි. අවශ්‍ය නම් සිවුරු හැර දමා ගොස් විෂමලිංගික සම්බන්ධතාවක් ඇති කර ගත හැක (දැං නම් පන්සලේ සිටම විෂමලිංගික කර්තව්‍යයත් සිදු කරණ බවට ඕනෑ තරම් පුවත් ඇත.). එහෙත් තේරීමක් සඳහා ඉඩක් නොමැති උපතින්ම සමලිංගිකයින් සඳහා ආකර්ෂණයක් ඇති පුද්ගලයින් වෙත මේ දූපත තුළ ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි.

දෙ‍මළු නෙමෙයි “හොඳ සිංහල“ තුනක් ආණ්ඩුවේ හමුදා විසින් මරා දමා තිබේ


යුද්ධයේ උත්කර්ෂවත්භාවය කෙසේ වීද යත් අපගේ ප්‍රගතිශිලී මිත්‍රයෝ පවා 2008-2009 අතර කාලයේදී “උන් දෙමෙල්ලුනෙ“ යැයි පවසමින් සමහරෙකු පොර ටෝක් දෙන්නටත් උන් දෙමෙල්ලුනෙ යැයි සළකමින් තවත් සමහරෙකු සද්දෙ වසා නොසළකා සිටින්නටත් පෙළඹී තිබුණි. යුද ජයග්‍රහණය කෙළවර වූයේ දකුණේ සැණකෙලි සිරි මැවෙමිනි. රණ විරුවෝ ජාතියේ මුර දේවතාවෝ වූහ. රණ විරුවෝ මිහිපිට දෙවියන් සේ පිදුම් ලදහ. එවකට වන්නියයේ දෙමළාට එස වූ මිලිටරි ගිනි අවි දකුණට හැරෙන්නට ගතවන දිනය වැඩි ඈතක් නොවන බැව් අප එහෙත් ඒ අතරවාරයේ පුනා පුනා පැවසුවෙමු. එය අපට වූ අනාවැකි කීමේ හැකියාවක් නොවේ. අපේ පරපුරේ සියල්ලම දකුණේ දී අසූවේ දශකයේ අග භාගයේ විඳි යතාර්ථය අප මතකයේ තිබූ බැවිනි.

ලෝකයේ කොතැනක වත් ම්ලේඡ්ච නොවූ මිලිටරි හමුදාවක් නැත. එහි පැවැත්ම ම බිහිකරන්නේ අමානුෂික සොල්දාදුවෙකි. එය එහි අවශ්‍යතාවය යි. හමුදාව ඇතුලත වූ නිලධාරිවාදය හා පුරුෂාධිපත්‍ය තුළ ම ඇත්තේ ශාරීරික-මානසික-ලිංගික පීඩාවෙන් පිරි සමාජ කුළකයකි. ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක හැදියවෙන් හා බුද්ධිමත් භාවයෙන් තොර පාලකයින් රාජ්‍යය ද හමුදාව ද මෙහෙයවන කල්හී එය අතිශයින් භයානකය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යනු ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා වූ  මුර බල්ලන් සමුහයකින් සැදි ආයතනයන් පමණක් වේ.

තනි තනි හුදෙකලා ඝාතනයන් කොතෙකුත් වූ නමුදු යුද විජයග්‍රහනයෙන් පසුව මහජන විරෝධතාවයක දී ආරක්ෂක හමුදා මඟින් සිංහලයින් හට පහර දී මරා දැමුවේ පසුගිය දා වැලිවේරියේ දී පවත්වන් ලද උද්ඝෝෂණයේ දීය (ප්‍රකාශිත මරා දැමූවන් ගණන තුනක් වූ නමුදු සන්ඩේ ටයිම්ස් සඳහන් කළ අඩුම ගණනේ හයක් වූ සංඛ්‍යාව තවමත් කිසිවෙක් ප්‍රතික්ශේප කර නොමැත). මෙම පහරදීම බොහෝ දෙනෙකුට ගෙන ආවේ “වෙන්න බෑ“ වගේ අමුත්ම ආකාරයේ විශ්මයකි. පොලිසිය ගැහුවත් “අපේ දෙයියෝ හමුදාවනම් අපිට අත තියන්නේ නෑ“ වගේ හැඟීමක් බොහෝ අය වෙත තිබූ බැව් පසුව සමහරෙකු සිදුකරණ ලද ප්‍රකාශවලින් අපට පෙනුණි. සැනින් වූ එම විශ්වාශය භංගවීම ට කිසිවෙකු මෙසේ ප්‍රතික්‍රියා දක්වා තිබුණි.

“මීට වඩා හොදයි ලංකාවටම බෝම්බයක් ගහලා අපි ඔක්කෝවම මරල දැම්මනං“

“දෙපාරක් හමුදාවට ලේ දන් දීපු මේ අත මට දැං කපල දාන්න හිතෙනවා“

“සිංහල අපිට මෙහෙම නම් උතුරෙ දෙමෙලුන්ට කොහොම දෙන්න ඇති ද“

“ අපි බෝධි පූජා තිබ්බ හමුදාවනෙ අපිට මෙහෙම කරේ“

“පෝලිමට වාඩි කරවල පල්ලිය ඇතුලෙදි පොළුවලින් ගැහුවා“

“මහ පාරේ නෙමේ අතු පාරවල් වල ගිහින් ඔලුවට වෙඩි තිබ්බෙ“

“තුවාලකාරයන් ව ඉසිපිරිතාලෙකට ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ“

දශක කීපයක අතීතය මතක තිබ්බා නම් හෝ පසුගිය වකවානුවේ වන්නියේ සිද්ද කරණ ලද සංහාරය ගැන පොඩි දැනුමක් හෝ තිබුණි නම් මේ වැනි දෑ අපිට ඇසෙන්න ට ඉඩ නොතිබුණි. අවාසනාවකට අමතක වීම සිංහලයාගේ ජාන වලින් ම ඔවුනට ලැබෙන දායාදයකි. එහෙත් පසුගිය වකවානුවේ වන්නියේ සිදු වූ දෑ ඇත්තටම මේ මිනිස්සු දැනගෙන හිටියෙ නැද්ද යන්න අපට ද පැණයකි.

2009-2010 වකවානුවේ රජයේ හා පුද්ගලික සියළුම මාධ්‍යයන් ක්‍රියා කළේ එකම අරමුණක් වෙනුවෙනි. මෙහෙයවූයේ නිල හො නො නිල අයුරින් රජයේ ආරක්ෂක අංශයේ මැදිහත්වීමෙනි. එකී මාධ්‍යන් හැම එකකම වූයේ යුද විජයග්‍රහනයන් හා හමුදාවේ වීරත්වය මතු කරවීමේ තරඟ කාරීත්වයකි. රටේ සාමාන්‍ය පුරවැසියාට වඩා මාධ්‍ය ආයතන වලට නිවරුදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවන් තිබුණි. අපගේ අවාසනාවකට මාධ්‍ය ‍වේදීන් මේ රටේ නැත. සත්‍ය ප්‍රකාශ නොකීරීමේ ස්වයං වාරණයක සියල්ලම සිටියහ. අපේ මාධ්‍ය බාස්ලා යටතේ හුන් මාධ්‍ය අත්වැඩ කරුවන් කළේ රජයේ වුවමනාවන් ඉටුකර රාජ්‍යය සතුටු කිරීමයි. ඒ අතින් නම් වැලිවේරියේදී මේ මාධ්‍ය අත්වැඩ කරුවන් හමුදාවෙන් ගුටිකෑවා මදිය (ආරංචියේ හැටියට ලංකාදීපයේ එදින හමුදාවෙන් පහර කෑ වාර්ථාකාරිණියගේ ස්වාමිපුරුෂයාද හමුදාවේ සේවයේ නියුතු වූවෙකි).

අනෙක් අතට වන්නියේ සිදු කරණ ලද මේ සංහාරයේ සත්‍යය රටට හෙලි කිරීමේ වගකීම හා වැඩි හැකියාවක් තිබුණේ දකුණේ ප්‍රගතිශිලි යැයි හඟවමින් සිට ජවිපෙටයි (එවකට පෙසප ද ඇතුළුව). මක් නිසාද හමුදා ම්ලේඡචත්වයේ උපරිම අත්දැකීම හා විදේශයන් හරහා වන්නි සංහාරයේ නිවරැදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද ඔවුන් සතුව තීබීමයි. එහෙත් එවකට ජවිපෙ හැසිරීම අන්තිම ජාතිවාදී පක්ෂවලටත් වඩා කාලකණ්නි සහගත විය. සුපුරුදු දේශපාලන අවස්ථාවාදයට ගොදුරු වී මාක්සවාදී-ලෙනින්වාදී දේශපාලනය සහමුලින්ම අමතක කර දකුණේ ජනතාව මුලාවේ ම තැබීමට වූ පාලක පන්තියේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඔවුන් ඉටු කර දෙන ලදි. මෙම පාපකර්මයෙන් ජවිපෙට කවදාවත්ම ගැලවීමක් ඇත්දැයි සැක සහිතය.

“ඇද්ද උඹලට“ යනුවෙන් උපහාසාත්මකව හිනාවෙන්න හෝ “උඹලත් කාල වරෙන්“ යනුවෙන් කේන්තියෙන් අහක බලා ගන්න හෝ අප වෙත ඉඩක් නොතබන්න ට තරම්, වතුර ඉල්ලා සිදු කරණ ලද සාධාරණ උද්ඝෝෂණයේ දී රජයේ හමුදා මඟින් මරා දැමූ මේ සිංහල තරුණයින් තිදෙනා අහිංසකය. ශ්‍රී ලංකා රජයේ හමුදාව යනු මිනී මරුවෝය. ස්ත්‍රී දූෂකයෝය. මංකොල්ලකරුවෝය. එහි දී තම කරතව්‍යයන් ඉටු කර ගැනීමේ දී හා ඉටු කිරීමේ දී එම ම්ලේඡචත්වය ට දෙමළ සිංහල භේදයක් නැත.

 “කන්න ඕන ඕකුන්ව කපලා කෑලි කෑලි“ යනුවෙන් පවසා අකිල දිනේෂ් සොයුරාගේ මළ මිනිය රැගැත් පෙරහරේ සිංහල කාන්තාව මුදා හල කේන්තිය මේ මොහොතේ දී වන්නියේ ඉතිරී ව සිටින අන්තිම දෙමළාගේ නිශ්ශබ්දතාවය තුළත් පැහැදිලිවම ඇත. ඒ දෙමළා හට හඬන්නට කඳුළු ඉතිරි වී ඇත්දැයි අපි නොදනිමු. එහෙත් සිංහලයාට සිදු වූ මේ ඛේදවාචකයේ දී ඔහු සන්තෝසයෙන් හිනා නොවෙනා බැව් පමණක් සහතික වශයෙන් අපි දනිමු.  

බැසිල් සමාව ගනී ලෙවන්නෝ ලෙවති


“ගන්න බලං ඉන්න“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට වෙඩි තියන්න යැයි හමුදාවට අණ දෙන්න පුළුවං වුනත් වෙන්න බලං ඉන්න ජනාධිපති“ බැසිල් රාජපක්ෂ ට කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ජනගහනයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ දී සිදු වූ ආරක්ෂක හමුදා ම්ලේච්ඡ පහරදීම ගැන සමාව ඉල්ලනවා හැර වෙන විකල්පයක් නැත. ඉන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ඕනෑම ඉලව්වකට බහ්: බුහ්: ගාන මුට්ටි ඇමති විමල්-චම්පික සමඟ මේ සිද්ධිය ගැන සද්දෙ වසා ඇහුන්නැති ගානට  සිටිති.

හැබැයි මාධ්‍ය බාස්ලා යටතේ මාධ්‍ය අත් වැඩ කරුවෝ කිහිප දෙනෙක් ඉන් එහාටත් ගිහින් මිනීමරු හමුදාව සුද්ද පවිත්‍ර කිරීමට ලෙවති. ලංකාවේ මාධ්‍යවේදීයෝ ඉන්නේ අතලොස්සකි. සිටිය අයගෙන් කිහිප දෙනෙක් රටෙත් නැත. තව පිරිසක් ජීවතුන් අතරත් නැත. ඉන්න අයගෙන් වැඩිහරියක්  අරලිය ගහ මන්දිරයේ විස්කි වඩි බුදින මාධ්‍ය බාස්ලා යටතේ ඉන්න මාධ්‍ය අත්වැඩකාරයෝ වෙති.

වැලිවේරිය සිද්ධිය ගැන මනෝජ් අබයදීර නම් වූ එවැනි මාධ්‍ය අත් වැඩ කාරයෙක්ගේ ලිපියක් “රතුපස්‌වල වසන්තය බොඳ උනාට හමුදාව පලි නෑ!“ හෙඩිම යටතේ පසුගියදා ඉරිදා දිවයිනේ තිබුණි. මනෝජ් අබයදීර මාධ්‍ය අත්වැඩකාරයාගේ ආරක්ෂක හමුදා පක්කලිකම් ගැන හොඳ ඉතිහාසයක් ඇති නමුදු ඇස් පනාපිට දකුණේ සිද්ධවුණු මේ සිද්දිය ගැන අනෙකුත් මාධ්‍ය අත්වැඩකාරයින් ට මෙන් නිශ්ශබ්දව සිටිය නොහැකි කැසිල්ලක් ඔහුට ඇත. 

මනෝජ් අබයදීරට අනුව,

“තුවක්‌කු පත්තුවන්නේ ඉබේ නොවේ. කොකාට අත තබන මිනිසා අනුවය. ශ්‍රී ලංකා හමුදාව ලෝකයේම විනයවත් හමුදාවක්‌ ලෙස ප්‍රසංශා ලැබ තිබේ. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. තුවක්‌කුවට ප්‍රේම කරමින්, හමුදා තුවක්‌කුවට වෛර කරන ලද එන්. ජී. ඕ. නඩය හමුදාවට එරෙහි යළිත් පිටියට බැස්‌සේය.

මෙතැනදී කිවයුතුම දෙයක්‌ වන්නේ හමුදාව සතු අවම අවි බලය තවමත් ටී පනස්‌හයේ තිබීමය. හමුදාව තම ආරක්‍ෂාවට භාවිතා කරන ලද්දේ එයය. පැමිණ සිටි හමුදාව හරියට වෙඩි තිබ්බා නම් රතුපස්‌වල දෙවැනි අරන්තලාවක්‌ බඳු වීමට තිබිණි.“


රතුපස්වල උද්ඝෝෂණය විවේචනය කරමින් “උද්ඝෝෂණවලදී ප්‍රාණ ඇපකරුවන් ගැනීමේ ප්‍රශ්නය“ හෙඩිම යටතේ මෙවැනිම තකතීරු ලිපියක් අයිලන් පුවත් පතේ ප්‍රධාන කර්තෘ සී ඒ චන්ද්‍රප්‍රේම සිංහලෙන් ලිපියක් පසුගිය සඳුදා දිවයිනේ ද පළකර තිබුණි.

සී ඒ චන්ද්‍රප්‍රේම  ට අනුව,

“යම් ප්‍රශ්නයක්‌ පෙරදැරි කරගෙන උද්ඝෝෂණකරුවන් කොතනක හෝ මහා මාර්ගයක්‌ අවහිර කර සිටින්නේ නම් බලධාරීන්ගේ පළමු යුතුකම වන්නේ මුලින්ම ප්‍රාණඇපයට ගෙන සිටින මගී ජනතාව නිදහස්‌ කොට උද්ඝෝෂණකරුවන්ගේ ප්‍රශ්නය දෙස දෙවනුව බැලීමයි. මගී ජනතාව ප්‍රාණ ඇපයට ගෙන සිටින උද්ඝෝෂණකරුවන් එතනින් ඉවත් කිරීමට අනුක්‍රමික වශයෙන් බලහත්කාරය පාවිච්චි කිරීමට බලධාරීන් පසුබට නොවිය යුතුය. බැරිම තැන ජීව උණ්‌ඩ වුවත් භාවිතා කිරීම සාධාරණ වන්නේය.“


ෂෙනාලි ඩී වඩුගේ නම් වූ මාධ්‍ය අත් වැඩකාරියගේ අසික්කිතම ලිපියක් මෙවර “ද නේෂන්“ පුවත්පතේ  “Weliweriya incident leaves traces of Arab Spring “ හෙඩිම යටතේ පළවී තිබුණි. ඇයට අනුව වැලිවේරිය සිද්ධියේදී තුන්වැන්නා මිය ගොස් තිබුණේ උද්ඝෝෂකයින්ගේ පහර දීමකිනි. පල්ලිය පිටුපස සිට හමුදාවට පහරදුන් ගලක් වැදීමෙනි. හමුදාවේ ගිලන්රථයකින් රැගෙන ගොස් ජීවත් කරවිට උත්සහ කළත් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

ෂෙනාලි ඩී වඩුගේට අනුව,

Three youth died, but the third youth from Gampola did not die of gunshot injuries. The army went towards the Church to disperse the crowd that had been pelting stones from behind the church. It was the army who had evacuated the injured who were armed due to pelting of stones. The injured were taken in the army ambulance to the Gampaha hospital. Even the youth who died, from injuries caused by the use of blunt objects, was taken in the ambulance


මාධ්‍යවේදීන් රැක ගත යුතුයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් මාධ්‍ය බාස්ලා සහ මාධ්‍ය අත්වැඩ කාරයින් සඳහා ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය තීරණය කිරීම ප්‍රගතිශිලි ජනතාව සතුය.

සිවුරු එතු අසූචි කඳ - ඥාණසාර

ඩිලාන් පෙරේරා යනු මේ නරුම රජයේ තවත් එක් පාදඩ දේශපාලඥයෙකු පමණක් බව අපිදු දනිමු. එබැවින් අපට ඔහුගේ සුදු හුණු ගාන්නට නම් අවශ්‍ය නැත.

එහෙත් මෙවැනි අන්තිම පහත් භාෂාවකින් කතා කරන-හැසිරෙන ඥාණසාර වැනි සිවුරු පෙරවූ අසූචි කඳවල් මේ බෞද්ධ ශාසනයෙන් එලවා දමන්නට නොහැකි නම් ඒ බලු සේනාවම පවසන පරිදි අපේ ජාතියේ වන්ධ්‍යත්වයට මුස්ලිම් වරුන් පාකිස්ථානයෙන් හොරෙන් ඖෂධ පෙති රැගෙන ආ යුතු නැත. එවන් නිවට සිංහල බෞද්ධ සමාජයක් කොහොමටත් ම වඳය.

මහා බෝධි පුජා පිංකම

මහා බෝධි පුජා පිංකම

රතුපස්වලට පානීය ජලය ඉල්ලූ වැලිවේරියේ දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ගෙන් නුවර කොළඹ මාර්ගය බැලුම්මහරේදී මුදා ගත් ලොව විනීතම හමුදාව ලෙස අබිසෙස් ලත් වීරෝධාර රණවිරුවන්ට

ත්‍රස්තවාදීන් දෙදෙනෙක් ජීවිතක්යෂට පත් කර අසූ එක් දෙනෙක් රෝහල් ගත කළ වැඩ බාර ගතු දවසේම වැඩ ඇල්ලූ නව යුද හමුදාපති දයා රත්නායක මහතාට

දැහැමෙන් සෙමෙන් රට ආරක්ෂා කරණ සේනාධිනායකාධිපති, ව්‍යවස්ථාදායකාධිපති, විධායකාධිපති, අධිකරණයාධිපති, මූල්‍යාධිපති සීමාරහිත රාජපක්ෂ සහෝදරයෝ සහ සමාගමට

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අබමල් රේණුවක තරමටවත් සහායක් නොදැක්වූ අපගේ දේශපාලන පක්ෂ සියල්ලේම නායක නායිකාවන්ට

රූකාන්ත-චන්දූලේඛාගේ කොන්ඩය කැපූ බාබර්ලාව අවුරුදු හතරකට සිරගෙට යැවීම වැනි දැවැන්ත පුවතක් යටපත් කර මෙම වීරෝධාර සටන ලොකු අකුරින් ජාතික පුවත් පත්වල මුල් පිටුවේ සටහන් කළ අපගේ අභීත මාධ්‍යවේදීන්ට

සෙත්පතා මහා බෝධි පූජා පිංකමක් ඇතුළු ධර්ම දේශනා, බුද්ධපුජා, සාංගීක දාන, සෙත්පිරිත්  එදා දෙමළුන් මැරූ සතුටට කිරිබත් කෑ සැදැහැවතුන්ගේ ම සහභාගීත්වයෙන් හෙට දිනයේ මුළු දවස පුරාම මාලපල්ල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ශාස්ත‍්‍රපති පණ්ඩිත අග‍්‍රහැර කස්සප හිමිපාණෝ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ!

පිං කැමැත්තෝ පැමිණෙත්වා!

දත් මිටි කකා කියමි* තෙරුවන් සරණයි!!!

පසු සටහන
පාර වැහුවෑයින්නෙ ගැහුවෙ. පාර නොවහා ඕක කළා නම් ඉවරනෙවැනි මසුරං කතා කියන අයට සෙත් පැතීමට වෙනම පූජාවක් පැවැත්වේ.


*ආරියවංශ රණවීර උන්නැහැගෙ කවියකින් ඉස්සුවෙමු

බ්‍රැඩ්ලි මෑනින් - වීරයෙකුගේ ඉරණම

ආඥාදායක පාලනයක් පවතින්නේ කොතැන ද එතැනදී සත්‍ය හෙළිදරව් කිරීම යනු පාවාදීමකි. එය සත්‍යයක් බැව් පසක් කරමින් ඔබාමා පාලනය යටත් පවතින ඇමෙරිකානු මිලිටරි අධිකරණය ජූලියන් අසාන්ජේ ඇතුළු කණ්ඩායමෙන් මෙහෙයවන විකිලීක්ස් යන ලාබ නොලබන සංවිධානය සඳහා තොරතුරු සැපයූ වරදට හිටපු හමුදා බුද්ධි විෂ්ලේශක බ්‍රැඩ්ලි මෑනින් හට උපරිමය වශයෙන් අවුරුදු 116 ක සිර දඬුවමක් ලබා දීමට නියමිතය. මේ වන විට එම අධිකරණය මඟින් 25 හැවිරිදි ඔහු වෙත වූ චෝදනා 21 කින් 20 ක් සඳහා වරදකරු බවට තීන්දු කර ඇති අතර මරණ දඬුවම පවා ලබා දිය හැකි “සතුරා අතට රහස් ලබා දීමේ“ වරදින් පමණක් ඔහු ව නිදොස් කොට තිබේ. බ්‍රැඩ්ලි මෑනින් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාර හා විවිධ මානව හිමිකම් සංවිධාන මඟින් හා රටවල් මඟින් වූ ඉල්ලීම් නොසලකා ඉදිරි දින කීපය ඇතුළත ඔහුට නියමිත දඬුවම පුකාශයට පත් කිරීමට නියමිතව ඇත.

බ්‍රැඩ්ලි මෑනින් යනු අපේ කාලයේ වීරයෙකි. පලස්තීනයට එරෙහිව අහිංසක සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමට එරෙහිව ක්‍රියාන්විතයෙන් ඉවත් වූ ඊශ්‍රායල සෙබළුන් මෙන්ම ඉරාකය ට හා ඇෆ්ගනිස්ථානය ට එරෙහිව ගෙන ගිය ඇමෙරිකාණු යුද්ධයේ දී ඊට විරෝධය පා ඉවත් වූ අතලොස්සක් වූ ඇමෙරිකානු සෙබළුන් මෙන්ම බ්‍රැඩ්ලි මෑනින් ද මෙම ලිය කියවිලි විකිලීක්ස් වෙත ලබා දී ඇත්තේ අවසානයේදී ලැබෙන්නට නියමිත දඬුවම් ගැන නොදැන නොවේ. ලැබෙන්නට නියමිත ඇමෙරිකාණු නීත්‍යානුකූල දඬුවම් වලට අමතරව පසුගිය අවුරුදු තුන ඇතුලත ගුවන්ටනමෝ බේ පන්නයේ ඉතාමත්ම අමානුෂික කෘර වධ බන්ධනයන්  බ්‍රැඩ්ලි මෑනින් වෙත ලබා දුන් බැව් හෙළිදරව් වී තිබුණි.

ඇමෙරිකාණු විදෙස් ප්‍රත්පත්ති හා ක්‍රියාකාරකම් වලට අදාලව 700,000 ක්වූ රහස් ලියකියවිලි සංඛ්‍යාවක් විකිලීක්ස් මඟින් මාධ්‍යයන් වෙත නිකුත් කිරීම ඇමෙරිකාණු ධනපති පාලනයට එරෙහිව ඉතිහාසයේ සිදු කළ දැවැන්තම හෙලිදරව්වයි. එමඟින් ඇමෙරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම මතුපිටින් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදය ට  යටින් වූ ඇමෙරිකාණු විදෙස් ප්‍රත්පත්ති වල අරමුණු හා ඇමෙරිකාණු රජයේ අසත්‍ය මාධ්‍ය වාර්තා ද හෙළිදරව් වී තිබුණි. 

හෙලිදරව් වූ තොරතුරු අතර ප්‍රධාන වශයෙන් ඉරාකයේ සිදු කරණු ලැබූ කෘර වධ බන්ධන හා අපයෝජනයන් නොසලකා හැරීමේ  ඇමෙරිකාණු රාජ්‍ය ප්‍රත්පත්තිය, ඇෆ්ගනිස්ථානයේ ළමා අපයෝජනයන් ට එරෙහි වූ සාක්කි වසන් කිරීමේ ඇමෙරිකාණු ප්‍රතිපත්තිය, ගුවන්ටනමෝ බේ හිර කඳවුරේ කෘර වධබන්ධනයන්ට ලක් වන්නේ බොහෝ විට චෝදනා විරහිත අහින්සකයින් බව, ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධයේ මරා දැමුණු අහින්සකයින් ගේ සංඛ්‍යාවන් ඇමෙරිකාණු රජයේ මැදිහත් වීමෙන් වෙනස් කොට ඉදිරිපත් කිරීම, රොයිටර් ආයතනයේ මාධ්‍ය වේදීන් හා ඉරාක සිවිල් වැසියන් රැගත් වෑන් රථයකට සැලසුම් සහගත ප්‍රහාරය වසන් කිරීම ඇතුළු ව ලෝකයේ විවිධ රටවල් වල ඇති ඇමෙරිකාණු තානාපති කාර්‍යමණ්ඩල හරහා එක් කාල සීමාවක් ඇතුලත සිදු කර ඇති සියළුම  රහස් ගනු දෙනු විය.


කෙතරම් දරදඬු පාලනයක් හෝ නීති පද්ධතියක් යටතේ වුව සත්‍ය වසන් කිරීම තාවකාලිකය. එක් මිනිසෙකුගේ ධෛර්යය තවත් එක් මිනිසෙකු ගේ හෝ නැගිටීමකට ශක්තියක් බැව් පසක් කරමින් බ්‍රැඩ්ලි මෑනින්ගේ නඩු විභාගය ආරම්භ වූ සැනින් ම ඇ‍මෙරිකාවේ හා බ්‍රිතාණ්‍යයේ ජඩ ධනේශ්වර පාලණයට එරෙහිව ඇමෙරිකාණු ජාතික ආරක්ෂක අංශයේ හා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩෙන් මතුවූයේ අන්ත්ජාලය හරහා (විශේෂයෙන්ම ගූගල් හා මයික්‍රොසොෆ්ට් මඟින්)  පුද්ගලයින් ගේ තොරතුරු නොදන්වා එක්රැස් කිරීමේ ධනපති රාජ්‍ය ක්‍රියාකාරකම් හෙලිදරව් කරමිනි. 

මේ වනවිට එඩ්වඩ් ස්නෝව්ඩෙන් රැකවරණය  පිණිස තාවකාලිකව රුසියාවේ ජීවත් වේ.