A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

“දුමින්ද“ පාඩමත් අවසන් ය

උතුර පැත්තකින් තබමු.

දකුණේ සිංහලයාගේ බෙල්ලෙන් අල්ලා මූණ බිම අතුල්ලා පාඩම් කියා දුන් මුහුණු කිපයක් ඉහතින් දැක්වේ.

එහෙත් සියල්ලෝම තවමත් සුවෙනි. නින්දෙනි.

හෙට දවසේ තවත් මුහුණු මේ ගොඩට එකතු වෙනු ඇත.

ආ.... ඒ... මළේ.. අපේ ගම්ලත්නෙ


අනන්‍යතාවය නැති අය ඒක හොයා ගන්න එක එක උපක්‍රම යොදා ගන්නවා. සමහරු ප්‍රසිද්ධ පුද්ගලයින් මුණ ගැසුනාම පැනල ගිහින් කතා කරනවා හරියට  හොඳ යාළුවෝ වගේ පිට අයට පේන්නේ. අපේ එක මිත්‍රයෙක්  කතා කරද්දි මෙන්න මේ වගේ දේවල් කියනවා.

“ අමරදේව අංකල්ට දැං ඉස්සර වගේ නෙමේ සින්දු කියන්න අමාරුයි“

අපේ මිත්‍රයා අමරදේව ව ටී.වී එකන් ඇරෙන්න දැකල නැහැ.  එතන අංකල් කියන වචනෙ ඇතුලේ තියෙන්නෙත් මේ පුද්ගලයාගේ අනන්‍යතාවය හොයන හෙවිල්ල.

අන්තර්ජාලය පැත්තෙ ආවොත්  විකාරයක් තරමටම අනන්‍යතාවය හොයන ලෙඩ්ඩුන් ඉන්න විදිය හොයාගන්න පුළුවන්. සමහරු තමන්ම වෙබ් හදාගෙන තමන්ගේ රූපය ඉස්සරහින්ම දාගේන ඉන්නවා. සමහර පුද්ගලික ප්‍රවෘත්ති වෙබ් සයිට් වල ප්‍රවෘත්ති විදිහට තියෙන්නෙ තමන්ම ඉන්න ඡායාරූප එහෙමත් නැත්තම් තමන්ගේම විස්තර. යූ ටියුබ් වල තමන්ගේම වර්ණනාව කියවනවා. එහෙම නැත්තම් ලොකු ටෝක්ස් දෙනවා. තමන් විසන්ම කල්පිත ලෝකයක් ගොඩනඟා ගෙන අන්තර්ජාලය හරහා අනුන්ට පෙන්වනවා.

මේ අනන්‍යතාවය හොයන අයට ලැබුණු ලොතරැයිය තමයි ෆේස් බුක් එක. ස්වරූපවාදය හෙවත් නාසිසම්, ඒ කියන්නේ තමන්ගේම රූපය දිහා බලමින් විඳින්න ෆේස් බුක් එක කියාපු තැන. ෆේස් බුක් ඇතුලේ සමහරු කාර් වලට හේත්තුවෙලා  ඉන්න එහෙම නැත්තම් ලොකු ගෙවල් ඉස්සරහින් ඉන්න ෆොටෝස් දානවා. බියර් බොන ඒවා කෙල්ලො තුන් හතර දෙනා එක්ක ඉන්න ඒවා ජනප්‍රිය පුද්ගලයින් එක්ක ඉන්න ඒවා විවිධ රට වල ස්මාරක ළඟින් ඉන්න ඒවා ලොකු ලොකු පොත් ළඟින් තියා ගෙන ඉන්න ඒවා සුද්දොත් එක්ක ඉන්න ඒවා ලැප්ටොප්, කැමරා වට කරගෙන ඉන්න ඒවා.......එකී මෙකී නොකී  ෆොටෝස් අප්ලෝඩ් කරමින් කට්ටිය තරගෙට තමන්ගේ නැති අනන්‍යතාවය හොයනවා. එයාට තේරෙන්නෙ නැහැ සමාජය කොයි විදියටද මේක දකින්නෙ කියල. මේක කළොත් මාව ලොකුවට පෙනෙයි කියල එයාටම හිතන ඕනැම දෙයක් කරනවා. පුද්ගල චරිත ස්වභාවන් විමර්ශනය කර හඳුනාගැනීමට ෆේස් බුක් කියන්නේ අත් නෙමේ මූණු පොතක්.

මේක වෙනම කතාවක්. ඒ නැති අනන්‍යතාවය හොයන කට්ටිය මළ මිනිස්සුන්ගෙන් අනන්‍යතාවය හොයන්න හදන අන්දම ගැන.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න එක්ක වඩේ කාළ ප්ලේන්ටිය බිව්ව හැමෝම කිව්වෙ එයාට “කුමාර“ කියල. එහෙම නැත්තම් “කුමාර මහත්තයා“ හරි “කුමාර සහෝදරය“ හරි කියල. අපි දන්න කුමාරට “චන්දරේ“ කියල කියන්න කෙනෙක් හිටියෙ පත්තරේට ආවට පස්සේ සුනිල් මාධව විතරයි. කුමාර මළාට පස්සේ මළ මිනිසුන්ගෙන් අනන්‍යතාවය හොයන කට්ට්ය කුමාරව හොරකම් කරනවා. පත්තර කෑලි වලින් එකතු කර ගත්ත කුමාර‍ගෙ කවි වලින් පොත් ගහනවා. එයා ගැන දේශන තියනවා.  ලිපි ලියනවා.  කවි ලියනවා .එයා ගැන හරියට කතා කරන්නේ අතිජාත මිත්‍ර‍යෙක් වගේ. හැබැයි ඔක්කොම වගේ වැඩේ පටන් ගන්නේ චන්දරේ“ කියල කියාගෙන. චන්දරේකියල කුමාරගෙ බඩ බදාගෙන හිටපු යාළුවෙක් වගේ දේශනේ පටන් ගන්න කොටම ඉතින් දෙල්කඳ විජිත මහත්තයගේ කට කොනකට හිනාවක් එන්නේ..මේ මළ එකාගෙනුත් අනන්‍යතාවය සොයන එවුන් ගැන පව් කියල හිතන ගමන්. කුමාර ගෙ තවත් තියෙනවා. ඒත් දැං ඇති.... දැං මේ අපේ ගම්ලත් ගැන.

මහාචාර්ය සුචරිත ගම්ලත් ව ගත්තත් එහෙම තමයි. මහාචාර්යතුමා ගැන ලියැවුණු කතා තොගයක් පහුගිය දවස්වල පත්තර වල වගේම අන්තර්ජාලයෙත් පළවුනා. සමහරු ඉන්නේ හරියට මහාචාර්යතුමාට ට මචං කියලා කතා කරා වගේ. තවත් සමහරු මහාචාර්යතුමාව නොදැක නිදාගත්තෙ නෑ වගේ  දවස ගානේම හම්බ වෙලා කතා කරල තියෙනවා. දුරකථනයෙන් උපදෙස් අරං තියෙනවා. ඇත්ත ද බොරුද කියල මැරිච්ච මණුස්සයගෙන් අහන්න කියලැයි.

මේ කතා ඇහුවාම මටත් මහාචාර්යතුමා එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන කියන්න හිතුණා. හැබැයි මේක ඇත්තමම ඇත්ත කතාවක්.

අඩුම ගානේ සතියකට දෙකකට සැරයක්වත් මම අපේ සර්ව ඒ කියන්නේ සුචරිත ගම්ලත් මහාචාර්ය තුමාව හම්බ වෙන්න යනවා. ඒත් දවසක් අහම්බෙන් කොළඹ ලේක් හවුස් එකේ පඩිපෙල ගාවදි දි මාව දැක්ක ගමන්..

“මොකද ලූපෙ සෑහෙන්න කාලෙකට පස්සෙ“  සර් ඇහුවා.

“මොන මහ කාලයක් ද සර්... ගිය සතියෙත් මං ආවෙ“

“බොරු කියන්න එපා බං උඹ එහෙනම් පාරෙ අනිත් පැත්තට වෙලා අපේ හෝමගම ගේ දිහා පලං ඉඳල යන්නැති. ඒක නෙමෙයි ලූපයෝ... උඹට ඔය විදියෙ ඩෙනිම් කලිසම් කියක් තියනවද“

“ඇයි සර් මට අළුත් ඩෙනිමක්වත් අරං දෙන්න හිතුන ද“  මම ඉහ වහා ගිය සතුටින් ඇසුවෙමි.

“උඹ මේ විකාර කතා කියනවා. උඹට ඩෙනිම් අරං දෙන්න නෙමේ මම මේ මගේ ශබ්දකෝෂය ගහන්න විදියක් ගැන හොයනවා. පුළුවන්නම් අන්න ඒක ගහන්න එකෙක් හොයල දිපං“

“මම දන්න එවුන්ට අතේ සතේ නෑ සර්“

''ලූපේ .. මේක ජාතික මට්ටමේ වැඩක්. මේ ශබ්ද කෝෂයට මම ගොඩක් මහන්සි වුනා. මේක මුද්‍රණය කරන්න කව්රුවත් භාරගන්නේ නැහැ බං. වියදම ටිකක් සැර තමයි. මොකෙක්වත්ම නැද්ද බං“

“ජීඑල් ගේ ගෝලයෙක් ඉන්නවා. ආණ්ඩුවෙ කාව හරි සෙට් කරල දෙන්නම් මොකද කියන්නෙ. මහින්ද ලොක්කත් එක්ක ෆොටෝ එකකට හිටියනම් ලක්ස ගානක් අතේ“

“අනේ පලයං ලූපයෝ යන්න. උඹ හිතුවද මං මළත් මේ ධනපති ආණ්ඩුවලින් සල්ලි ගන්නවා කියලා. ........ උඹත් එක්ක කතා කළේ නෑ කියල හිතා ගනිං නැත්තං මං මළාම කියයි මං ආණ්ඩුවෙන් මගේ ශබ්ද කෝෂෙ ගහන්න සල්ලි ඉල්ලුව කියලා“

සර්ට මළ පැන්නා. මම ආවා. යනවා කිව්වෙක් නැහැ. ප්‍රොපෙසර් ගියා නැගගෙන පඩි.

ඉතුරු කතා පහළින් ඇති ලින්ක් වලින් බලන්න. හිනා නොවන්න.


හිරුණිකා ජවිපෙ නායකත්වයට


සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වයෙන් ඉවත්ව යන බවක් අසන්නට ලැබුණි. ජවිපෙ ඉහළ පෙලේ රෑනට නායකත්වයක් ලබා දීමට නම් අවස්ථාවාදී බව, අමතක වුණා යැයි ඇඟවීම, සදාචාරයක් නැතිකම හා විලිලැජ්ජාවක් කිය දෙයක් නැති වීම ඒ සඳහා හොඳම සුදුසුකම් වේ.

මේ ගැන අපට මූණ බිම උලා හැමෝටම මතක් කර දීමට සිදු වී ඇත්තේ අප කතා කරන්නේ සියල්ලම ඉක්මනින්ම අමතකවන ජාතියකට බැවිනි.

මාතලේ රෝහල් භූමියේ කැණීම් වලදි සොයාගන්නා ලද සමූහ මිනීවල ගැන දැන් ජවිපෙ ලේ අලුතින් කකියන්නට පටන් ගෙන තිබේ. සාකච්චා, දේශන, පුවත් පත් ලිපි ඇතුළු මාධ්‍ය සංදර්ශන එලියට පැමිණෙමින්  තිබේ. ජවිපෙ චන්ඩීන් ගුගුරති. අභියෝග කරති. ඒ අතරම පසුගිය දා මාතලෙන් මනාප 57,234 ගෙන 2004 දී පාර්ලිමේන්තුවට පැමිණි සුජාතා අලහකෝන් නමැති ගුරුවරියගේ “මාතලේ ඒ සමූහ මිනීවළ හැර තවත් සමූහ මිනී වළවල් තිබේ...“ නම් ලිපියක් ද විය.

ලිපියෙහි ඇතුලත සාහිසිකය. කියවන්ගේ හිස ගිනි අවුළුවන සුළුය. එවන් අත්දැකීමක් සුළුවෙන් හෝ ඇතොත් දැනෙන පීඩාව ද කාළකණ්නි කමද ඒ වගේම නැගෙන වෛරය ද ඉහළය. එහෙත් එය මේ සා අපරධායක් කළවුන් ට එරෙහිව පමණක් ම නොව උවමනාවටත් වඩා ශක්තිය තිබුණ කල්හී මෙ වැනි අතිශය සංවේදී තොරතුරු දැන දැනත් ඒ වෙනුවෙන් මැදිහත් නොවූ ජවිපෙ ඉහළ පෙලේ නායකත්වයට එරෙහිවයි. 2004 දී ජවිපෙ වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39 දෙනෙක් සිටි අතර ඒ අතර ලාල්කාන්ත, අනුර දිසානායක, විජිත හේරත් හා චන්ද්‍ර සේන විජේසිංහ රජයේ කැබිනට් ඇමති වරුන් ද වූහ. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු තම පක්ෂයේ ඉහළ නායකත්වයේ ඝාතන සම්බන්ධව වත් අඩුම ගණනේ සොයා බෑලීම සඳහා එවකට වූ රජයට බලකිරීමක් නොකර පාර්ලිමේන්තුවේ බත් බුදිමින් මේ 39 දෙනා සිටියේ ඝාතක රණවිරුවන්ට මල් පහන් පීදීමට දැත් එක් කරමිනි.

මාතලේ වධකාගාර හා සමූහ මිනී වලේ ඝාතන සිදු කළේ රජයේ හමුදා හා පොලීසිය විසින් බව ඕනෑම පොඩි දරුවෙක් දන්නා වූ කාරණයකි. එහෙත් ඒ බැව් දැන දැනත් එවකට ජවිපෙ රටෙහි අනෙක් කෙළවරෙහි ලක්ෂයක් ඝාතන සඳහා රණවිරුවන්ට ආශිර්වාද කළේ රණවිරුවන් ආරක්ෂා කළේ මානෙල් මල් පැළඳුවේ කිසිදු හිරිකිතයතක් නැතිවය. සුජාතා අලහකෝන්ගේ ලිපියෙහි වූ තරම් වූ අමානුෂික තොරතුරු දැන දැනත් (මෙවැනි බොහෝ තොරතුරු ජවිපෙ කේඩරය සතුව ඇත) රටේ ධනපති ආණ්ඩුවේ මිනීමරු හමුදා වෙනුවෙන් පෙනි සිටීමට තරම් පසුගිය කාලයේ ජවිපෙට හැකිවීම තුළ දනවනු ඇත්තේ ජුගුප්සාජනක අප්‍රසන්න හැඟීමකි. අවස්ථාවාදය වෙනුවෙන් තමන්ගේ සටන් සගයන්ගේ ලෙය හා ජීවිතය පාවා දුන් ද්‍රෝහී රෑනකට එරෙහි වූ කාළකන්නි හැඟීමකි.

අහම්බයකින් මෙන් මාතලේ රෝහල් භූමියේ ජීවවායු ඒකකයක්‌ ඉදිකිරීමට පොළව කැණිමේදී සොයගත් සැකිලි 154 ක ආත්මයන් අද හඹා එනු ඇත්තේ තමන්ව උහුලාගත නොහැකි කුරිරු වධ බන්ධනයනට ලක් කර අවසානයේ දී ඝාතනය කළ ආරක්ෂක හමුදා ගහලයින් පිටුපසින් නොව තමන් දිවි නොතකා සටන් වැදුණු අරගලය ද එම අරගලයේ ජීවය ද පාවාදුන් ජවිපෙ නායකත්වයේ තක්කඩින් පසුපසිනි.

2009 මුල් කාලයේ පුවත් පත් ලිපි කීපයක් උපුටා දක්වමු.
  • මව්බිම වෙනුවෙන් සිය ජීවිත, අත් පා, ලේ, දහදිය පරිත්‍යාග කරමින් අප‍්‍රමාණ දුෂ්කරතා විඳ දරා ගනිමින් සටන් වැදි රණවිරුවන්ට ජනතා විමුක්ති පෙරමුණේ ආචාරය පුදකරන බව කිලිනොච්චි ජයග‍්‍රහණයට සුභ පැතුම් එක්කරමින් නිවේදනයක් නිකුත්කරන එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවසයි 02 January 2009 
  • රණවිරුවන් විසින් මේ යූද ජයග්‍රහණ ලබා ගන්නේ රණවිරුවන් දහස් ගණනකගේ ජීවිත නැති කර ගෙනයි. තවත් රණවිරුවන් විශාල පිරිසකගේ ඇස් හා අත්පා අහිමි කර ගෙනයි. තවත් පිරිසක් තුවාල කරගෙනයි. තවත් පිරිසක් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් කර ගෙනයි. ඉතින් මේ ආකාරයට රණවිරුවන් තමන්ට පරිත්‍යාග කරන්නට හැකි සෑම දෙයක්ම පරිත්‍යාග කර තිබෙනවා. මේ බව ජනතාව වටහා ගන්නට ඕනෑ. යූද්ධය පෙන්වා ඡන්දය ඉල්ලූවත් යූද ජයග්‍රහණවල ගෞරවය හිමි රණවිරුවන්ට මිස රජයට නොවෙයි - සෝමවංශ අමරසිංහ 02 April 2009
  • ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන රණවිරුවන් සදහා ගෙවන රුපියල් 3000 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩිකිරීමට 2009 අයවැයෙන් තීරණය කළද එය මෙතෙක් ඔවුන්ට ගෙවා නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති 27 March 2009
  • ආරක්ෂක හමුදාවන් ජීවිත පරිත්‍යාගයෙන් යුද පෙරමුණේ ලබන ජයග්‍රහණයන්ට සුභපතමින් අදහස් දැක්වූ සෝමවංශ අමරසිංහ මහතා, "ත්‍රිවිධ හමුදාවන් අති දැවැන්ත කැපකිරීමක් සිදුකර ජයග්‍රහණ ලබද්දී රටට එල්ලවන ජාත්‍යන්තර බලපෑමත් බරපතල ලෙස වැඩිවී තිබෙනවා 28 January 2009

  • ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකායඇතුළු ආරක්ෂක අංශ සිතා ගැනීමටත් නොහැකි තරම් පරිත්‍යාග කළ බවත් එමෙන්ම ජනතාවද සිය අගහිඟකම් හා දුක් ගැහැට දරා ගනිමින් කැප කිරීම් කළබවද සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. කොටි පරාජය කිරීමට කැප වූ සියලු දෙනාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රණාමය පුද කරනවා - සෝමවංශ අමරසිංහ  18 May 2009
  • සියලූ ශී‍්‍ර ලාංකිකයින්ට එක්ව සතුටුවිය හැකි හෙටක් උදාකර දුන් වීරෝදාර යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්‍ෂක යන සියලූ රණවිරුවන්ට ජාතියේ ප‍්‍රණාමය පුදකර සිටිමු - දඹර අමිල හිමි 20 May 2009

  • අපි සතරවරම් දෙවිවරුන්ට පුද පූජා කරමින් අපට ආරක‍ෂාව ඉල්ලනවා. අද අපට නිදහසේ කටයුතු කරන්න පුළුවන්කම ලැබී තිඛෙන්නේ නූතන සතරවරම් දෙවිවරුන් නිසා. විරූඪ, විරූපාක‍්ෂ, ධ්‍රැතරාශ්ඨ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන්ට වඩා අපව රකින බව අපට දැනෙන්නේ, අප වෙනුවෙන් දිවි පුදන බව අපට දැනෙන්නේ යුද, ගුවන්, නාවික, පොලිස් බලසේනාවන්. යුද හමුදාව පොළව රකිනවා. ගුවන් හමුදාව අහස රකිනවා. නාවික හමුදාව මුහුද රකිනවා. පොලිසිය නීතිය රකිනවා - දඹර අමිල හිමි 26 January 2009



ජනරළ - ගල් කරන අකුරු


ජනරළ පුවත් පත දිගින් දිගටම සිදු කරණ අකුරු හොරකම් කිරීමේ ක්‍රියාවලිය නැවත වතාවක් සිදුකර ඇති අන්දම පසුගිය දිනවල ෆේසබුක් හරහා එහාමෙහා වෙමින් තිබුණි. ඒ මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළකර තිබූ ශෝක සටහනක් විකෘති කර උපුටා ගත් බවක් සඳහන් නොකර තමන්ගේ වගේ පුවත් පතෙහි සටහන් කිරීමෙනුයි. මේ ශෝක සටහන මුද්‍රණය කර බෙදාහැර තිබුණේ වසර තිහකටත් අධික කාලයක් මහාචාර්යවරයාගේ දුක් දොම්නස් සොයා බලමින් ළඟින්ම හිඳි ශාන්තා පද්මපෙරුම සහෝදරිය හා තවත් හිතවතුන් කිහිප දෙනෙක් වූ  විජය නන්දන පෙරේරා, උදේනී ජයවීර හා රනිල් ඇල්විටිගල යන අයවළුන්. ෆේසබුක් මඟින් මේ චෝදනාව එල්ලකර තිබුණේ විජය නන්දන පෙරේරා විසින්.  

අපට හසුවෙන්නේ අප දන්නා දේ පමණි. තවත් කොතෙකුත් බුද්ධිමය දේපල සොරකම් කිරීම් තිබිය හැක. ලියන අකුරු වල හිඟයක් ඇත්නම් අකුරු ගල් කිරීම නවතා පුවත් පත පළ නොකර සිටීම පුවත් පතෙහි දැන් ඉන්න කට්ටියගේ අනාගතයට හොඳ බැව් නම් නොකියාම බැරිය.

මේ කතාව ඊට එහා ගිය කතාවකි.

සදාචාරයක් නැති ඕනෑම කෙනෙකුට තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම පිණිස ජිවත්ව සිටින කෙනෙකුට වඩා මිය ගිය ශ්‍රේෂඨයෙකු ලේසියෙන් තමන් සතුකර ගත හැක. මිය ගිය මහාචාර්ය සුචරිත ගමිලත් සහෝදරයා ගැන මේ කතාව ද එවැන්නක් වේ. පසුගිය සතියේ ජනරළ පුවත්පත මෙන්ම එහි අන්තර්ජාල පිටුව ද මහාචාර්යවරයා වෙනුවෙන් මහා ඉඩක් වෙන් කර තිබුණි. පුවත් පත් විශේෂ අතිරේකයක් පවා පළකර තිබුණි. අන්තර්ජාල අඩවිය “සුචරිත ගම්ලත්ගේ අත්සණ“ යනුවෙන් පිටුවක් ම වෙන් කර තිබුණි. තමන්ගේ වපසරීන් තුළ මහාචාර්ය වරයාව ඇගයීම සඳහා  ඕනෑම පුදගලයෙකුට අයිතියක් ඇත. ආණ්ඩුවේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් පවා ඔහුගෙන් සිංහල භාෂාවට වූ සේවය අගයා ලිපි පළ නර තිබුණි. එහෙත් සුවරිත ගම්ලත් සහෝදරයාගේ කාර්ය භාරය ඇගයීමකට වඩා මොවුන්ගේ ඇඟවුම වන්නේ මහාචාර්ය වරයා ජීවත්ව සිටිය දී ජනරළ පුවත්පත මෙහෙයවන පෙසප කණ්ඩායම හා මහාචාර්ය වරයා එක්ව කටයුතු කළ බවකුයි. එහෙමත් නැතිනම් මහාචාර්යවරයාගේ දේශපාලන භාවිතාව පෙසප දේශපාලන භාවිතාව සමපාත වන බවකුයි. මේ දෙබිඩි භාවය ලෙසින් අප මතු කරන්නේ  මොවුන් හා මහාචාර්යවරයා අතර අතීත කතාව අපට අමතක කළ නොහැක්කක් බැවිණි.

2003 ඔක්තෝම්බර් මස කොළඹදී පැවැත්වූ සිංහල දෙමළ කළා උළෙලේ සිංහල පාර්ශවය වෙනුවෙන් වූ ප්‍රධානම භූමිකාව වූයේ මහාචාර්ය ගම්ලතුන්ය. එවකට ජනරළ දේශපාලන ලියන්නෝ සමූහය “ඉරිදා ලංකා“ හි කටයුතු කළ අතර පෙසප එවකට සිටියේ ජාතිවාදය කරටියටම නග්ගවාගෙන ජවිපෙ සමඟය. “ඉරිදා ලංකා“ එකල්හි මහාචාර්ය ගම්ලත් සහෝදරයාව පතුරු ගැසුවේ ජාති ද්‍රෝහියෙකු ලෙසිනි. කොටි ත්‍රස්තවාදියෙකු ලෙසිනි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිට රට දෙකඩ කොට විනාශ කරන්නෙක් ලෙසිනි. සිංහල දෙමළ කළා උළෙලම එදා ඔවුන් ට කොටි සංවිධානයේ වැඩකි. එදා දේශද්‍රෝහි වූ මහාචාර්යවරයාව මිය ගිය පසු පසසන, අතිරේක නිකුත් කරන අද ජනරළෙහි සිටින එදා කතු මඬුල්ලටම සදාචාරයක් නොමැති බව පවසන්නේ එබැවිනි.

පෙසප කණ්ඩායම ජවිපෙන් වෙන්වීමෙන් පසු මහාචාර්ය වරයාව මුණ ගැසීමට ගොස් තිබුණි. අළුත් වාමාංශික දේශපාලන ප්‍රවනතාවක් නම් මහාචාර්ය වරයාගේ ප්‍රධානම පැනය වන්නේ සුළු ජාතීන්ගේ අයිතිය සම්බන්ධව එම කණ්ඩායමේ මතයයි. ගම්ලත් සහෝදරයා මාක්ස්වාදියෙකු හැටියට ඉතා දැඩිව සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මියෙන තුරුම පෙනී සිටියේය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් සටන් වැදුණි. මෙම පැනයෙදී මෙම කණ්ඩායම තමන්ද ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටින බැව් පවසා තිබුණි. අපගේ මතකය නිවරැදි නම් ඉන් පසු මෙම කණ්ඩායම අගය කර මහාචාර්ය වරයා පුවත්පත් සාක්ච්චාවක් පවා ලබා දී තිබුණි. එහෙත් කල් යත්ම මහාචාර්යවරයාට පෙනී ගොස් තිබුණේ මේ කණ්ඩායම පට්ට කෙබරයක් කියා තමන්ව අන්දවා තිබූ බවකි. ස්වයං නිර්ණය අයිතිය නොව අඩුම ගණනේ බලය බෙදීමකට පවා පෙසපෙ එකඟ නොවන බැව් පෙසෙප නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැව් ඔහුට ආරංචි වී තිබුණි. පසුව මහාචාර්ය වරයා ඒ බැව් තම හිතවතුන්ට පවසමින් ජාතිවාදි පෙසප වෙත ඉතා දැඩිව දොස් පවරා තිබුණි (දැන් දකින්නටවත් නැති ආරම්භයේ පෙසප වටා සිටි වික්‍රමභාහු සහොදරයා ඇතුළු අනෙකුත වාමාංශික පක්ෂ හා කණ්ඩායම් මොවුන් අන්දවා තිබුණේත් මෙලෙසිනි). මහාචාර්යවරයා දිවි ඇති තෙක්ම සටන් වැදුණු දෙමළ ජාතීය සතු වූ පරම අයිතියක් වූ ස්වයං නිර්ණය අයිතියට එරෙහිව කටයුතු කරන එමෙන්ම මහාචාර්ය වරයාගේ දේශපාලන මතවාදයන් සමඟ කුමන ආකාරයක හෝ පෑහීමක් නැති මේ අවස්ථාවදීන් සිය පුවත්පත වූ ජනරළ හරහා මහාවාර්යවරයාව අවස්ථාවාදීව දේහපාලනිකව ඇගයීම සදාචාරාත්මක වන්නේද?

සැබෑ උවමනාවක් තිබේනම් මහාචාර්ය සුචරිත ගම්ලත් සහෝදරයා වෙත මොවුනට කළ හැකි හොඳම උපහාරය වන්නේ මිය ගිය බවවත් නොදන්නා ලෙසින් නිහඩව සිටීමයි. මිය ගිය ද එය ගම්ලතුන්ගේ ද අමන්දානන්දයට එය හේතු වනු ඇත.

මහාචාර්ය ගම්ලත්ගේ බුරහස්පති ඝාතකයෝ


භාෂා වෙළෙන්දන්ගේ සිංහල අත් බෙහෙත් හා වෙළද උපක්‍රම වලට ගොදුරුකර මහාවාර්ය සුචරිත ගම්ලත් නම් ශ්‍රේෂ්ඨ මිනිසා මරා දැමූ අන්දම මෙවර රාවයේ විමලනාත් වීරරත්නගේ කෝලම් කොලමේ සවිස්තරාත්මකව සටහන් කර තිබුණි. කොට මයුර, දොන් නදියෙ මහින්ද, සුදු සඳුන්, ජපන් සමං ප්‍රමුඛ මෙම ඝාතක කල්ලියේ නම් ගම් සහිතව ලියා තිබූ එම සටහන සීරීයස් නොවී උපහාසාත්මක ලිපියක් පමණක් වීම කනගාටුවකි. සිදුවිය යුතුව තිබුණේ මේ සම්බන්ධව බරපතළව පරීක්ෂණයක් සිදුකර මෙම ඝාතකයන් සියල්ලව නීතීය ඉදිරියට පැමිණවීමයි (නීතියක් ඇත්නම්).

වාර්තා වෙන තොරතුරු අනුව මහාචාර්යවරයා ගේ මේ මරණය ස්වභාවික එකක් නොව පිළිකා රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර දිගින් දිගටම මඤ්ඤොක්කා කොළ බෙහෙත් පොවා, අධික වේදනාවකින් කෑ ගසත්දීත් රෝද පුටුවක තබා රෝහලේ එහෙ මෙහෙ  රැගෙනයාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉක්මන් මරණයකට ගොදුරුවීමකි. ලහි ලහියේ මේ බුරහස්පති කල්ලිය මේ සියල්ල සිදු කර ඇත්තේ තමන්ගේ භාෂා බිසිනස් එකේ ෆස්ට් ඩේ එකට මහාචාර්ය වරයා රෝද පුටුවෙන් හරි රැගෙන එනවා යැයි පොර ටෝක් පවා දෙමිනි. බුරහස්පති කල්ලියට අමතරව මේ සියලු ශාන්ති කර්මයන්ට ඉඩ දී බලා සිටි මහ රෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයද මේ ඝාතනය සඳහා වග කිව යුතු වේ.

මිය ගිය මහාචාර්යවරයාට චෝදනා කිරීමෙන් අවැඩක්ම වේ. එහෙත් විමල් වීරවංශ වටා ගොඩ නැගී ඇති ඕනෑම දෙයක් විකිණිමට සුදුසු මෙවැනි අමුම අමු ජාතිවාදී සේල්ස් රෙප් හැතිකරයක් වේලාසනින් හඳුනාගැනීමට නොහැකි වීම මහාචාර්යවරයාගේ මෙන්ම මේ කල්ලිය ගැන දැන දැනත් ඒ ගැන මහාචාර්යවරයාව දැනුවත් නොකළ එතුමා වටා සිටි ප්‍රගතිශිලීන්ගේ ද වැරැද්දක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ සිදු වූයේ මහාචාර්ය වරයාගේ නිබඳ පිලිකුළට ලක්වූ රාජපක්ෂ, වීරවංශ වැනි දේශපාලන අමනයනගේ මල්වඩම් වටකර ගෙන මේ ශ්‍රේෂ්ඨ මිනිසාට සොහොන්ගත වීමටයි.

හෙට දවසේ “මහාචාර්ය සුචරිත ගම්ලත් තුමාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවිය“ යනුවෙන් මෙම වෙළඳ පාඨමාලාව ඇතුලත මහාචාර්යවරයාව දිගින් දිගටම විකිණෙන අයුරු අපට ද බලා සිටීමට සිදුවනු ඇත.

විමලනාත් වීරරත්නගේ ලිපිය මෙතනින් බලන්න.

ඇඳුමක් හැඳ පැමිණෙන්නැයි පුබුදු ජයගොඩට මානව හිමිකම් කොමිසමෙන් තරයේ අවවාද


මාතලේ මිනී වලෙන් සොයා ගන්නා ලදි ඇට කටු අසූ හත-අසූ නවය යුගයට අයත් බැව් මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පරීක්ෂක කණ්ඩායම පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි. මෙම මාතලේ මිනී වල යනු මේ වකවානුවේ මරා දැමූ හැට දහසකට අධික තරුණ තරුණියන් ඝාතනයන් හි තවත් එක සාක්ෂියක් පමණි. වාර්තා වලට අනුව එවකට මාතලේ ප්‍රදේශය භාරව සිටි ගෝඨාභය රාජපක්ෂ හා ශවේන්ද්‍ර සිල්වා මේ ඝාතන වලට වගකිවයුතු වෙයි. දෙදාස් හත-දෙදාස් නවය කාලයේ වන්නියේ සිදු කරණ ලද යුද අපරාද වලට චෝදනා ලැබ සිටින ගෝඨාභය රාජපක්ෂ හා ශවේන්ද්‍ර සිල්වා හමුදා නිලධාරීන් පළමුව චෝදනා ලැබිය යුතුව තිබුණේ ඒ හැට දහසකට අධික ඝාතනයන්ටය.

සිංහල ජාතිවාදීන්ට මතක් කර දෙනවා නම් මරා දැමුවන්ගෙන් සියයට අනුනවයක්ම දකුණේ සිංහලයන්ය. බුඃද්ධාගම් අන්තවාදීන්ට මතක් කර දෙනවානම් තිස් අවුරුද්දක කාලයක යුද්ධය අතරතුරදී මරණයට පත්වූ හාමුදුරුවන් සංඛ්‍යාවකට වඩා සංඛ්‍යාවක් එම කාලය අතරතුර ආණ්ඩුවේ නිල හා නොනිල හමුදාවන් අතින් මැරුම් කෑහ. අල්ලා ගත් සිංහල තරුණීයන් සියල්ලම පාහේ වරක් හෝ කිහිපවරක් තිනව හෝ කණ්ඩායම් වශයෙන් දූෂණය කරණ ලදි. අත් අඩංගුවට පත් බොහෝ දෙනා ඝාතනය කිරීමට කලින් අමානුෂික ලෙස වධ බන්ධනයට පත්විය. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු තමන්ගේ නායකයින් සියල්ලම ඇතුළුව මරා දැමු මේ හැට දහසට වැඩියෙන්ම ගොදුරුවූයේ ජවිපෙට කෙළින්ම සම්බන්ධ වූ හෝ සහය දුන් තරුණ තරුණියන්ය. මෙය දකුණේ එවකට අප අත්වින්ද යථාර්ථයයි. යමෙකුට අවස්ථාවදීව උවමනාවෙන් අමතක කළ හැකි වුවද මෙය කිසිදු ලෙසකින් අමතක විය නොහැකි ම්ලේච්ච ඛේදවාචකයකි.

එහෙත් පසුගිය වකවානුවේ ජවිපෙ උඩියටිකරු වී කොටි සංවිධනය සමූල ඝාතනය කිරීම සඳහා මේ ආණ්ඩුවේ මිනීමරු හමුදා රණවිරුවන් ලෙසින් අබිසෙස් කරණ ලද්දේ කිසිම හිරිකිතයක් නැතිවය. ඔවුන් ආණ්ඩුවේ හමුදාවන්ගේ සුචරිත භාවය විනීත කම සාක්කි ඉදිරිපත් කරන්නට තරම් යුහුසුළු විය. රණවිරුවන්ට සෙත් පත් බෝධි පූජා පවත්වන්නට ගම්වල ජවිපෙ සාමාජිකයින් යොමුකරවන ලදි. හමුදාව හා සටන් කිරීමට තමන්ගේ රතු හමුදාව එවන්නට සූදානම් බැව් සෝමවංශ-කුමාර්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළෝය. තම සහෝදර සහෝදරයින් ඝාතනයට ලක් කරණ ලද මිනීමරු හමුදා මෙහෙය වන ඔය කියන නව ලිබරල් වාදයේ පළමු ඉනිමේ ඒජන්ත මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට හා යුද්ධය අවසන් වනතුරු බලය පවත්වා ගැනීම සදහා මෙම ජවිපෙ සිය කොන්දේසි විරහිත සහය දුන්නේය. පුබුදු ජයගොඩ යනු එම ජවිපෙ  හි මධ්‍යම කාරක සභාවෙහි සාමාජිකයෙකි. මෙම ක්‍රියාවලීන් සඳහා ඔහුගේ දායකත්වය හා ඔහු ගේ  පෙසපෙ නායක කුමාර්ගේ දායකත්වය එවකට අති ප්‍රබල විය. කෙලවර වන්නෙ හමුදා ආණ්ඩුවකින් බැව් දැන දැනත් මොවුන් එයින් නොනැවතී තවත් යුද අපරාධකරුවෙකු වූ සරත් ෆොන්සේකා බලයට පත් කීරීම සඳහා ද ඇපකැප වූයේය. ඔහුගේ නිවසේ පැවති කාර්යාලයේ මාධ්‍ය කටයුතු මෙහෙය වූයේ ද පුබුදු ජයගොඩ විසිනි.

මාතලේ ඝාතන සම්බන්ධව රණවිරුවන්ට එරෙහිව පැමිණිලි කරන්නට ඇඳුමක් හැඳන් යා නොහැකි බැව් පුබුදු ජයගොඩ ට තේරුම් ගොස් තිබුණා විය හැක.