A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අවසාන බල කණුව ද බිඳ වැටුණි


භාෂා වෙළෙන්දන්ගේ සිංහල අත් බෙහෙත් නොතකමින් මහාචාර්ය සුචරිත ගම්ලත් නම් මහා මිනිසා ඉක්මනින්ම නික්ම ගොසිනි. ඉදින අවසාන බල කණුව ද බිඳ වැටුණි. මේ මොහොතේ කෑලි අහුලාගෙන හෝ නැගිටින්නට උත්සහ නොකරන්නේ නම්  ඉතාම මෑතක දී එකිනෙකා කාගෙන මරාගෙන විනාශ වී යෑම ශ්‍රී ලාංකිකයා හට නියමිතව ඇත.

තම තමන්ගේ වපසරියට අවශ්‍ය පරිදි  සුචරිත ගම්ලතුන් කොටසකට පඬිරුවණක් පමණකි. තව කොටසකට සාහිත්‍යදරයෙක් පමණකි. තව කොටසකට දක්ෂ ගුරුවරයෙක් පමණකි. තව කොටසකට විචාරකයෙක් පමණකි. තව කොටසකට ග්‍රන්ථ රචකයෙක් පමණකි. තව කොටසකට මහා ශබ්දකෝෂයක කතුවරයෙක් පමණකි. තව කොටසකට මාක්ස්වාදියෙක් පමණකි. තව කොටසකට පාඨමාලාවක් සඳහා හොඳ වෙළඳනාමයකි. අපට අනුව ඔහු මහ පොළොව මත සිට අරගලය සඳහා සක්‍රීය ව බැඳුණු සටන් සගයෙකි. අත් නොහැර රැඳී සිටි සොඳුරු මිනිසෙකි.

We salute you comrade!

2003 ඔක්තෝම්බර් මස කොළඹදී පැවැත්වූ සිංහල දෙමළ කළා උළෙලේ දී ලබාගත් මේ ඡායාරූපය ටැමිල් නෙට් වෙබ් අඩවියෙන් අහුලා සකක් කරණ ලදි.

ඔලුව පාත් කරං හිටු! සහෝදරත්වයෙනි


සුළුතරයක් වූ මුස්ලිම් ජනතාව රටෙන් එලියට ඇද දැමීම දක්වා වූ සිංහල මහ ජාතියේ අනේක විධ හිරිහැරයන්ට  පක් ව ඇති මේ මොහොතේ එයට විරෝධය පා ඔවුන් විසින් අද සඳුදා ඔවුනගේ කඩ සාප්පු වසා දැමීමේ හර්තාලයක් සංවිධානය කොට තිබේ. එහි වෙන්න නියමිත සාර්ථක අසාර්ථක  භාවයේ දිග පළල  අපි නොදනිමු. එහෙත් මෙය ලියන්නට සිදුවූයේ දඹර අමිල-බද්දේගම සමිත යන ප්‍රගතිශීලී යැයි කියන දේශපාලන හිමිවරුන් විසින් හර්තාලයට සහභාගී නොවනු පිණිස ඉල්ලා ප්‍රකාශයට පත්කර ඇති නිවේදනය නිසාවෙනි.

පසුගිය මාස කිහිපයක් තිස්සේ පීඩාවට පත්ව ඇති මේ මුස්ලිම් වරුන් ද සිංහල අප සැවොම මෙන්ම මේ පොළොවෙහි ම ඉපැදුණු ලාංකික පුරවැසියෝ වෙති. වෙනසකට ඇත්තේ ඔවුනගේ ආගමෙහි හා බොහෝ විට භාෂාවෙහිය. සංස්කෘතිමය වශයෙන් ඔවුන් අරාබි සංස්කෘතියට වඩා නෑකම් කියන්නේ ලංකාවෙහි වූ මිශ්‍ර සංස්කෘතියකටය. මුස්ලිම් වරුන්ගේ මෙම මේ මානව හිමිකම් උල්ලංඝණය  ඔවුන් විසින්ම  බලයට පත් කරණ ලද රජය විසින් හා එම රාජ්‍ය අනුග්‍රහයෙන් මෙහෙය වන කල්ලි විසින්ම සිදු කරණ කල්හී නිතිය මඟින් හෝ වෙනත් බලවේගයක් මඟින් සාධාරණයක් නොවන්නේ නම් එයට විරෝධය පෑමේ අයිතිය ඔවුන් සතුය. විරෝධය පෑම සාර්ථක නොවන්නේ නම් එයට එරෙහිව සටන් වැදීමේ අයිතිය ද සිංහලයන්ට මෙන්ද ඔවුනට ද ඇත. එයට සිංහල මහ ජාතිය මොනම අයුරකින් හෝ එරෙහි වන්නේ නම් එම ක්‍රියාවලිය තුළ ඇත්තේ පැහැදිලිවම ප්‍රතිගාමී  බවකි.

ඔවුනගේ ම නිවේදනයට අනුව  “ජාතිවාදයෙන් කුරිරු හස්තයෙන් වසර 30ක් පුරා බැටකා අවසානයේ සාමයේ සිසිල අපට දැනෙන මේ මොහොතේ අපේ උදාර මවුබිම තුල ආගම්වාදයක් අවුළුවා විනාශ කිරීම“ යන්න තුළම ඇත්තේ “අනේ අපේ ආතල් නම් දැං කඩන්න එපා“ යැයි පවසන සිංහල මහ ජාතියේ සරල ඉල්ලීමයි.

සුළු ජාතියක් වූ දෙමළ ජාතීන්ගේ අරගලය උදෙසා මොවුන් තූළ වූයේ ද එ වැනිම ආකල්පයකි. පීඩාවට එරෙහිව විරෝධය දැක්වීමට හෝ සටන් වෑදීමට  සුළු ජාතීන්ට අයිතියක් නැත. ඒ අතරම මේ සුළු ජාතීන් ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් හෝ ඔවුනගේ පීඩාවන්ට එරෙහිව  දකුණේ ප්‍රගිතිශිලීන් යැයි කියන කිසිම පුද්ගලයෙක්, මාධ්‍යවේදියෙක් හෝ දේශපාලන ව්‍යාපාරයක්  කතා කරන්නේ හෝ පාරට බහින්නේ ද නැත.  දකුණේ සිංහලයා තමන්ගේ දඩබල්ලන් තමන් විසින්ම බැඳ දමන්නේ නැතිව මොවුන්ගේ ඉල්ලීම වන්නේ  “ඕනෑ නම් දුවලා පණ බේරා ගනිං හැබැයි පස්ස හැරිල ගහන්න නං එපා. අපේ සාමෙ කැඩෙනවා“ වැන්නකි.

මෙම විරෝධතාව වහා ගිනි ඇවිලෙන සුළු බැව් අපි ද  දනිමු. එහෙත් මෙවැනි විරෝධතාවයට සහභාගී නොවන්න යැයි මුස්ලිම් වරුන්ගෙන් ඉල්ලීමක් කළ හැකි අයෙක් වෙතොත් වේ නම් ඒ සහෝදරාත්මකව මුස්ලීම් වරුන්ගේ අසාධාරනයට හා පීඩාවට එරෙහිව සටන් කළ, රාජ්‍ය අනුග්‍රහය සහිත පීඩකයන්ට එරෙහිව  ක්‍රියාශිලීව මැදිහත් වූ මහ සිංහල ජාතියේ පුද්ගලයෙකුට හෝ දේශපාලන ව්‍යාපාරයකට පමණි.  අවාසනාවකට  සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් මැදිහත්වන එවැනි පුද්ගලයෙක් හො දේශපාලන ව්‍යපාරයක් මේ මොහෙතේ දකුණේ නැත. 

කහ සිවුරු කල්ලි


අපේ මහ ගෙදර තිබුණේ පිරිවෙනක් අසලම බැවින් සුබ වැඩකට අපි ගෙදරින් එලියට බහින කොට අපේ අම්මා නිතරම කිව්වේ හාමුදුරුවො කෙනෙක් එනවා නම් මඟ ඇරල පලයං කියාය. හාමුදුරුවො දැක්ක දැක්ක තැන කෙනෙක් දණ ගහල වඳින අපේ අම්මා එහෙම කියන්නේ මොකදැයි ඒ දවස්වල අපට තිබුනේ පුදුම කුතුහලයකි. ඒත් අපේ අම්මා පෙර මඟට හාමුදුරුවො කෙනෙක් දකින එක මූසල බැව් කියා ඇත්තේ මන්දැයි අද වන විට අපි හැමෝටම හොඳින්ම තේරේ. දවසින් දවසම හාමුදුරුවෝ කියන ජාතිය දෑසට නොපෙනී ඉන්න එක තරම් වාසනාවක් තවත් කොහෙන්දැයි යන්න අපට ඒ උනනාන්සේලාම තේරුම් කර දෙති.

බොදු බල සේනා, රාවණා පරපුර, සිංහල රාවය වැනි එකී මෙකී නොකී රජයේ හෝ රජයේ අනෙකුත් පාර්ශවයන්ගේ ආශිර්වාදය හා ආයෝජන මත ඇවිස්සෙන මෙම අළුගුත්තේරු නිකායන් මේ රටෙහි මොන යම් හෝ සදාචාරයක් සංස්කෘතියක් ඉතිරි වී ඇත්නම් එයත් සදහටම කුඩුපට්ටම් කර දමමින් තිබේ. ජාතිවාදය හා ආගම්වාදය යනු ඕනෑම තැනක ඉතා ලේසියෙන් ඇවිලිය හැකි දේවල්ය. ඒසේ අවුළුවා දැමීමෙන් සිදුවන හානිය ගිනිය නොහැකි තරම් බැව් ලෝක ඉතිහාසය පුරාම උදාහරණ වලින් සපයයි. එබැවින් ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම ඉඩ නොදී සිටීම බුද්ධිමත් දේශපාලකයින්ගේ වගකීමයි. එහෙත් අපට සිටින්නේ තමන්ගේ සුඛ විහරණය උදෙසා පාලකයින්   පස්ස පැත්ත මදියි නොකියන්න ලෙවන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා තමන්ගේ දෙපා මුලම ඕනෑම ආකාරයේ විනාශයක් සිදු කරණ ජාතියේ හැතිකරයකි. මෙය ආරම්භ වූයේ චම්පික රණවක මහ දායකයා මූල් වී හෙළ උරුමයේ සංඝ පරපුර දේශපාලනයට ඇද ගෙන ඒමත් සමඟය. රණවක සාමය උදෙසා යුද්ධය පෙන්වා නාගරික මධ්‍යම පංතිය තුළ ජාතිවාදය අවුස්සද්දී කුමාර්-සෝමවංශ පරම්පරාව ගමේ ගහේ පොල් කඩපු සුමනේරිස් මාමාවත් ජාතිවාදී තාප්පයට තියා ඇණ ගැහුවේය. 2009 මැයි වන විට මේ අයට පිං සිද්දවෙන්නට රටම සිටියේ ජාතිවාදයෙන් වයින් වූ සිංහල රූකඩයන් මෙනි.

ඉන්දියන් සාගරය පිරිසදු කරගැනීම උදෙසා මේ රටෙහි ජාතිවාදය ඇවිලීම චීන හා බටහිර උවමනාවක් වූවා සේම ආගම් වාදය ඇවිලීමේ වෙන උවමනාවන් ඇත්නම් එය ද ඉදිරියේ දී යම් මොහොතක හෙළිවනු ඇත. ඒ කෙසේ වෙතත් වයින් අවසන් වී නිශ්චල වූ ශරීර යලිත් සෙලවිය යුතුව තිබේ. ආණ්ඩුව ඒ සඳහා මේ පාර රණවකලා හරහා එලියට ගත්තේ ආගම්වාදයයි. තවදුරටත් දෙමළ විරෝධයක් ඇවිලිය නොහැකි බැවින් දෙමළ විරෝධය මේ වන විට අදෙන්නේ මුස්ලිම් විරෝධය ගොඩ නඟනු පිණිසය. හලාල් ගැලවීම, මුස්ලිම් වෙළෙන්දන් වැට්ටවීම මේ වනවිට මුස්ලිම් වරුන් රටෙන් එළවීම දක්වා පැතිර ගොස් තිබේ. අහිංසකයින් ගේ ආගම ලෙසින් ලොව ප්‍රචලිතව ඇති බුද්ධාගම “වරෙං ඩෝ“ මැර ආගමක් දක්වා වෙනස් වී ඇත. බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන  සංඝ පරපුරක්  බිහිකරන බැව් මේ නිකායෝ පවසති. මේ පරපුරේ හැසිරීම සහ පාරේ අජරාමරේට බීලා කුණුහරුපෙන් බෙරිහන් දෙන මිනිසුන්ගේ වෙනසක් ඇත්නම් කියා දෙනු මැනවි.

රටේ පුරවැසියන් මෙන්ම දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් අන් අයගේ ගෞවරයට පාත්‍ර වූ මාදුළුවාවේ සෝභිත හා බෙල්ලන්විල විමලරතන වැනි හාමුදුරුවන් පවා මේ මොහෙතේ හැසිරෙන්නේ නින්දෙන් මෙනි. හලාල් ලේබල් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වැරැද්දක් ඇත්නම් එය නිවරැදි කරනු විනා අන් ආගමක් අදහන අයට ඇති අයිතිය සළකා හලාල් ආහාර වලට ඉඩ දීම වෙනුවට ඔවුන් පවා ඒ මොහොතේ සිටියේ ඊට එරෙහිවය. මේ හැමෝම ආණ්ඩුව දෙමළු මරද්දී රණවිරුවන්ට පින් දුන්න බව මොහොතකට අමතක කරමු. තමන් පෙනී සිටින තමන් යැපෙන බුද්ධ දේශනාවට අමු අමුවේ පිටින් කල්ලි ගහන සිවුරු කොල්ල කල්ලි වලට එරෙහිව මෙවැනි හිමිවරුන්වත් නොනැගිටන්නේ නම් ගිහි දායකයිනි නුඹලාට වත් ඉතිං සිද්දවෙන්නේ කැති මන්නා අතට ගන්නය.

බුද්ධාගම ආගමක් වශයෙන් පැවතීම හෝ විනාශ වීම අපට වැදගත් නැත.  එහෙත් අප සැලෙන්නේ ඒ ආගම වටා ගොඩ නැඟුණු සංස්කෘතිය, සදාචාරය හා හික්මීම මේ ගනින්නාන්සේලා විසින් නිශ්ශබ්ද සිංහලයාගේ ඇස් පනා පිටම විනාශ කර දමන බැවිනි.  ඡන්ද උරුම හාමුදුරුවෝ විසින් බෝ කරන ලද මෙම විනාශය තුළ බුඃ බල්ලන්  සංවීධානාත්මකව රට පුරා ඇවිලෙද්දී තමන් විසින්ම විනාශ වූ බුද්ධාගම් පරපුරේ සාක්කී ඕනෑ තරම් අපට අසන්නට ලැබේ. බේබදු හාමුදුරාවරු, ස්ත්‍රී දූෂක හාමුදුරුවරු, ළමා අපයොජක හාමුදුරුවරු, මීනීමරු හාමුදුරුවරු, හොරු හාමුදුරුවරු, ධර්ම වෙළෙන්දන් වූ බිස්නස් හාමුදුරුවරු කසාද හාමුදුරුවරු ගැන දවස ගානේ පත්තර වල පලවේ. වැඩි ඈතක් යන්නට කලියෙන් දානෙ පන්සලට නොගිහින් දෙනන්න තරම් හාමුදුරුවන් අප්‍රසන්න වන කාලයක් ළඟදීමඋදාවෙන බව නම් සහතිකය. එ දිනට කන්න හොයාගෙන ගෙවල් ගානේ එන මේ සිවුරු කෑලි දකින විට ගම් වල ගෑනු ගෙවල් ඇතුලේ තමන්ගේ දරු දැරිවියන් හංගන ගමන් “ගිහිං උයාගෙන කාපං“ යැයි මූණටම කියන්නටත් මැලි නොවෙනු ඇත.

චීන්නු දියෙහි කිමිදෙති අහසෙහි ඉගිලෙති


චීනයෙන් ණය අරං චීන සැලසුමකට චීන ඉදිකිරීම් සමාගමකින් චීන කොන්ත්‍රාත්කාරයෝ දාගෙන චීන බඩු වලින් චීනයේ උවමනාවට චිනයෙන් හදපු හම්බන්තොට වරායට කිට්ටුවෙන් චීනයේ ආරාධිතයින් ගෙන්වාගෙන ඔන්න විවෘත කළා චීන ගුවන් තොටුපළ. දැං ඉතිං අපිට තියෙනවා චීනෙට පිං සිද්දවෙන්න මහින්ද රාජපක්ෂ (චීන) වරායක්. මහින්ද රාජපක්ෂ (චීන) ගුවන් තොටුපළක්.

චීන ෂැංග්‍රි ලා හෝටලයක් කිට්ටුවෙන් හදනවලු. චීන්නුන්ට අක්කර දෙදහස් පන්සීයක බදු රහිත කලාපයක් හදනවලු. චීන්නුන්ට වන සතුන් පෙන්නලා සල්ලිත් හොයනවලු. චම්පික රණවක කුක්කා ලව්වා මුස්ලිම් වරුන් අරාබියට එලවලා චීන්නුන්ට  අපි ඔය කියන හෙළය සදහටම විකුණමු.

එක චැනල් එකක් ඇති රටක ගෙදර සාලෙට ටීවී දෙකක් තිබීමෙන් ඇති එකම දෙය අපිට ටීවී දෙකක් තියෙනවා යැයි උදම් ඇනීමට වඩා යමක් නොවන බව නොදන්නා සිංහලයා ණයට අරං හදපු මත්තල කැලේ හදපු  ගුවන් තොටුපළ ගැන කියවමින් අඩම්බරෙන් ඇවිදියි. බහුතරයක් රටේ මගීන් බස් නැවතුමත් නැතිව වැස්සට තෙමෙද්දී  මේ මහ කැළේ ගුවන් තොටුපලක් හැදුවේ හම්බන්තොට වරායට අවශ්‍ය ගමනාගමන-යටිතල පහසුකම් සහා චීන ආණ්ඩුවේ උවමනාවට හා රාජපක්ෂනම ගැසීමට මහින්දගේ උවමනාවට බැව් හීනෙකින් වත් හිතන්නට ඔවුන් අකමැතිය. එහෙම කිව්වොත් ඒකා රටේ සංවර්ධනය ගැන ඉරිසියාවෙන් පෙලෙන එකෙකි.  

එහෙත් භු දේශපාලන තලයේ ඇමෙරිකාව හා ඉන්දියාව මේ පුවතත් සමගින් අවධානය යොමු කර සිටින්නේ කළාපයක් වශයෙන් ගත් කළ දකුණු ඉන්දියානු කළාපයේ චීන රජය විසින් අළුතින් ගුවන් තොටුපලක් ඉදිකිරීමෙන් ව්‍යාප්ත කරණ ලද චීන බල ව්‍යුහය ගැනයි. එමගින් ජාත්‍යන්තරය දැනුවත් වන්නේ ලංකාවට අළුත් ගුවන් තොටුපලක් ලැබීමක් වශයෙන් නොව චීන බලය තව දුරටත් එම කළාපයේ බලය තහවුරු කිරීමෙන් බටහිරට ඇති අවාසිදායක තත්ත්වයන් හා අනතුර ගැන විමසිලිමත් වීම සඳහා පමණි.

කාටූනය ඩේලි මිරර් එකෙන් අහුලා ගත්තෙමු.

බාලචන්ද්‍රන් හා සිංහරාජයේ ගෝනා


සිංහරාජයේ  ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළ පුවතක් ‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘ හෙඩිම යටතේ ලංකාදීපයේ පළවී තිබුණි. මෙය සිදුවන්නේ දොළොස් හැවිරිදි දරුවෙක් වූ බාලචන්ද්‍රන් සාහසික ලෙස ඝාතනය කෙරූ පුවත ප්‍රතික්ෂේප කරණ, අනුන් පිට පටවන එහෙමත් නැතිනම් නොදැක්කා සේ සිටින දකුණේ සිංහල සමාජයේ වීම හාස්‍යජනකය.

මෙවැනි යුද අපරාද චෝදනා එල්ලවන විට සියලු දෙනා එක පවුරක් සේ එකමුතු වීම පහුගිය කාලය පුරාම අපට දැකගත හැකිවිය. රාජපක්ෂ ආණ්ඩුව හා ගැටෙන නොගැටෙන සියළු දේශපාලඥයින් හා මාධ්‍ය‍වේදීන් බාලචන්ද්‍රන් ගේ සිද්ධිය ඇතුළු සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන්නේය. අඩුම ගණනේ කොටි සංවිධානය පිට පටවන මෙම බාලවන්ද්‍රන්ගේ මෙම ඝාතනය සිදුවූයේ කුමන පාර්ශවයකින් දැයි සොයා බැලීමට බල කිරීමක් ඉල්ලා සිටීමක් ලංකාවේ දකුණෙන් ඇසෙන්නේ නැත. රනිල් පංතිය වෙනුවෙන් පෙනී සිටින්නේය. සරත් ෆොන්සේකා තමන්ම යුද අපරාධකරුවෙකු බැවින් එයට එරෙහි වන්නේය. යුද්ධය සඳහා කොන්දේසි විරහිත සහාය දැක් වූ ජවිපෙ-පෙසපෙ ඇටිකෙහෙල් කෑවුන් මෙන් සිටින්නෝය. ඉංග්‍රිසියෙන් හා සිංහලෙන් ලියන සිංහල රාජපාක්ෂික මාධ්‍යවේදීහු කතන්දර වවන්නෝය. අධිරාජ්‍ය වේදී කුමන්ත්‍රණ මවන්නෝය.
ප්‍රගතිශීලි යැයි කියාගන්නා අනෙකුත් ව්‍යාපාර මෙන්ම පුද්ගලචරිත වල ස්වභාවයද වැඩිවෙනසක් නැත. බාලචන්ද්‍රන් ව ලංකා ආණ්ඩුවේ අනුදැනුම ඇතිව හමුදා සෙබළුන් අතින් ඝාතනය වූ බවට සැකයක් නැති වුවද එය කෙළින් පවසන්නට ඔවුන් මැළිකමක් දක්වති. පළමුව එළියට එන්නේ ‘හරි හරි කොටි සංවිධානයත් යුද අපරාද කළා‘ එහෙම නැත්තම් ‘කොටි තමයි වැඩියෙන් යුද අපරාද කළේ‘ යන කාරණාවයි. යුද අපරාද වලට දඬුවම් කිරීමට කොටි සංවිධානයක් ඉතිරි වී නැති බවත් මානව හිමිකම් රැකීමට බැඳී සිටින නීත්‍යණුකූල ආණ්ඩුව ට එරෙහි යුද අපරාද චෝදනා සොයා බලා දඬුවම් කළ යුතු වන්නේ දකුණේ සිංහලයින්ගේ ඊළඟ පරමිපරාව බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක ඝාතකයින්ගෙන් රැක ගැනීම වෙනුවෙන් බව ඔවුහු අමතක කරති. කොහොමත් ප්‍රගතිශීලි යැයි කියාගන්නා දකුණේ දේශපාලන මතවාදයන් තීරණය වන්නේ තමන්ගේ විරසක පාර්ශවය පෙනී සිටින මතවාදය මතය.

කුමක් හෝ හේතු මත රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනෙන යුද අපරාද  ප්‍රතික්ෂේප කරද්දී සිංහරාජයේ ගෝනා වෙනුවෙන් ලංකාවේ දකුණ ඊට වඩා සංවේදීය.

බාලචන්ද්‍රන් යනු කොටි සංවිධානයේ නායකයාගේ දරුවෙකු වීමත් ඔහුව උවමනාවෙන් වෙඩිතබා මරා දමා ඇති බවට ඇති සාක්ෂිත් මරණයට මොහෙතකට පෙරාතුව ලබාගන්නා ලද එම ජීවත්ව සිටින දරුවාගේ සංවේදී ඡායාරූපයත් නිසාවෙන් ඔහු ව මේ මොහොතේ විශේෂිත වන්නේය. නැඟෙමින් පවතින රාජපක්ෂ විරෝධය නිසාවෙන් මෙවර අඩුම ගණනේ පුවතක් වශයෙන් වත් වෙබ් අඩවි කිහිපයක පමණක් මෙම පුවත පළවිය. බාලචන්ද්‍රන් නිමිත්තක්බ වූ කවි කිහිපයක් පුවත් පත්වල පළවිය. අන්තර්ජාලයේ ඒවා හුවමාරුවිය. එහෙත් බාලචන්ද්‍රන් යනු මරා 2007-2009 කාලයේ වන්නියේ දී මරා දැමූ හෝ යුද ප්‍රහාර වලින් මිය ගිය දහස් ගණන් දරුවන්ගෙන් එක් අයෙකු පමණි. ඒ දිනවල දේශපාලඥයින් මාධ්‍ය‍වේදීන් මානව හිමිකම් සංවිධාන, බ්ලොග්/වෙබ් කරුවන් සියළුම පාර්ශවයන් සිටියේ මීටත් වඩා දැඩි අන්ධකාරයේය. එහෙත් කවි වල නිමිත්තක් වීමට වඩා ඔබ්බෙන් බාලචන්ද්‍රන් කුඩා දරුවාගේ ඝාතනය රාජපක්ෂ ආණ්ඩුවේ යුද අපරාද චෝදනා ඔප්පු කර ගැනීම සඳහා බල කිරීමක් දක්වා වූ ඇහැරීමක් දකුණේ සිංහල ප්‍රගතිශිලීන් විසින් සිදුවිය යුතුය. 71, 1987-1989 හා  2007-2009 සමූල ඝාතනයන් නැවත වර නැඟුනොත් එය සිදුවන්නේ අද දවසේ නිහඬව හිඳින ප්‍රගතිශිලීන්ගේ දරු දැරිවියන් වෙත බැව් ඔවුහු අමතක කරන්නේ නම් එය ඔවුන්ගේම අවාසනාවකි.

 ඒ කෙසේ වෙතත් දෙමළ හෝ සිංහල දොළොස් හැවිරිදි කුඩා දරුවෙක් අඩුම ගණනේ කැලේ සිටින ගෝනෙකුටත් වඩා අහිංසක බැව් ලංකාවේ දකුණට තේරුම් යා යුතුය.

ඌගෝ චාවෙස් - දැවැන්තයා නික්ම ගොසිනි


වෙනිසියුලවේ හිටපු ජනාධිපති ඌගෝ චාවෙස් මිය ගොස් තිබේ. 

ඌගෝ චාවෙස් යනු සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදියෙකි. උග්‍ර අධිරාජ්‍යවිරෝධයෙකි. ඇමෙරිකාවට හිසරදයක් වන තුරුම ඔහුගේ කතාව ද භාවිතාව ද අධිරාජ්‍ය විරෝධි කඳවුරු වෙත ශක්තිය ලබාදුණි. ඇමෙරිකාව එරෙහි ඕනෑම රටක් හෝ ජාතියක් වෙනුවෙන් ඔහුගේ  පූර්ණ සහයෝගය ලබා දීමේ දී ඔහු දෙවරක් නොහිතුවේය. අමෙරිකාවේ දැඩි බලපෑම මධ්‍ය යේ වුව තෙල් වලින් පොහොසත් භුමියේ ඌගෝ චාවෙස් වෙත් සිය කොන්ද කෙලින් තබා ගෙන සිටී ශක්තිය ධෛර්යය තිබුණි. ඌගෝ චාවෙස් ගේ පිළිකා රෝගය සදහා වෙනිසියුලාවේ රජයඇමෙරිකාවට චෝදනා කරන්නේ එය පැතිරවීම සදහා  ඔවුන්ගේ සමිබන්ධයක් ඇති බව පවසමිනි.

විසි එක් වන සියවසේ සමාජවාදය යනුවෙන් තමන්ම හැඳින්වූ ජාතිකවාදී බොලිවේරියන් මෙහෙයුම මඟින් වෙනිසියුලාවේ පීඩිත පංතිය වෙත ඌගෝ චාවෙස් ලබා දුන් දෑ බොහෝයි. ආහාර-නිවාස-සෞඛ්‍යය-අධ්‍යාපනය හා ආදායම් තත්වයන් යන අංශයන් හි අති දැවැන්ත වර්ධනයක් ඌගෝ චාවෙස් බලයෙහි සිටි පසුගිය අවුරුදු 14 තුළ වෙනිසියුලාවේ පීඩාවට පත් දූප්පත් මිනිසුන් වෙත ලබා දී තිබූණි. වෙනිසියුලාවේ තෙල් වලින් ලැබෙන ආදායමින් වැඩි කොටසක් යොමු වන්නේ සමාජ සුබසාධනය වෙනුවෙනි.

මීට අමතරව වසරකට ඇඩො බිලියන 5 ක පමණ වූ දැවැන්ත මූදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් හෝ තෙල් නැව් වශයෙන් ඌගෝ චාවෙස් කියුබාව වෙත ලබා දී තිබුණි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඌගෝ චාවෙස් ගෙන් පසි වෙනිසියුලාව සඳහා මුදල් ආයෝජනය කරන්නේ කොහොමදැයි සිහින මවද්දී කියුබාව-උරුගුවේ-ආජන්ටිනාව-ඉක්වදෝරය-බොලීවියාව-බ්‍රසීලය-චීලී-නිකරගුවාව-බෙල්රුසය-ඉරානය-හයිටිය රටවල් ඌගෝ චාවෙස් සිහිකිරීම වෙනුවෙනු ශෝක දින ප්‍රකාශ කර ඇත.

උදාහරනයක් ලෙස පහතින් දැක්වෙන්නේ වෙනිසියුලාවේ අධ්‍යාපනයෙහි වූ සුවිශේෂ වර්ධනය පිළිබඳ දළ සටහනකි.
  • විශ්ව විද්‍යාල සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම 814% කින් වැඩි වී ඇත (1999 ඇඩො මිලියන 300 - 2010 ඇඩො බිලියන 2.6)
  • 2010 වසර යනු වෙනිසියුලානු ඉතිහාසයේ වැඩිම සරසවි සංඛ්‍යාවක් ඉදි වූ වසරයි (එම වසර ඇතුලත සරසවි 9කි)
  • උසස් අධ්‍යාපනය වෙත් සිසුන් යොමු කරවීම 170% වැඩිකර ඇත.
  • පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍ර වේශය අඩු කර නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍ය විශව විද්‍යාල ප්‍ර වේශය 61% සිට 75% දක්වා වැඩිකර ඇත.
  • ආබාධිත සිසු සිසුවියන් වෙන විශේෂිත පන්ති කාමර 1200 ක් 2012 පමණක් ඉදිකර ඇත.
  • යුනෙස්කෝ වාර්තා අනුව විශ්ව විද්‍යාල සඳහා 2011 වසරේ ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් සිසු සිසුවියන් ලියාපදිංචි වූ රට වෙනිසියුලාවයි (( (මිලියන 3 ක් පමණ)
  • 2012 වන විට තොරතුරු තාක්ෂණය පිලිබඳ අංග සම්පූර්ණ මධයස්ථාන 2600 ක් වෙනිසියුලාව පුරා ව්‍යාප්ත කර ඇත
  • සාක්ෂරතාව කලාපයේම ඉහල අගයක් වූ 95.4 % කි (2007)

රැකියා විරහිත උපාධිධාරියෙකුගේ වම් අත


වැසිකිළියාමෙන් පසුව පාවිච්ච කරනවා විනා මගේ වම් අතෙන් මට කියා වෙන වැඩක් ගන්නේ නැත.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

ඉන් පසුව මගේ අතිජාත මිත්‍රයෝ සංගීත සංදර්ශන - කානිවල් - ක්‍රිකට් තරඟ එකි නොකී ඔක්කොම කර
කෘතිම ඉලෙක්ට්‍රොනික අතක් සඳහා රුපියල් කෝටියක් එකතු කර මා වෙත ලබා දෙනු ඇත. ඉතුරු වෙලා තියෙන් ජීවිත කාලයම රැකියාවක් කළත් මට රුපියල් කෝටියක් උපයාගත නොහැකි බව මා දනිමි. ඒ අතරම රටේ ජනාධිපතිවරයා මැදිහත්ව රුපියල් කෝටියක් වටිනා ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වයට ඉතා සමාන ඉලෙක්ට්‍රොනික් අතක් ලබා දෙනු ඇත. ඒ අත ද විකුණු විට රුපියල් කෝටි දෙකකි. පරම්පරාවම ගොඩය.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

මේ විදිහට අතේ සතේ නැතුව ඉඳිය නොහැක. සොරකම් කිරීමෙන් හෝ මංකොල්ලකෑමෙන් සියල්ල කෙළවර වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. අතක් නැති තව කොනෙකුට මගේ බත් පතේ වියදම දෙන්න වෙනවාට වඩා මට අතක් නැති වූ විට වැලිකඩ බන්ධනාගාරයේ රුඳවියන්ගෙන් ලක්ෂ කීපයක් මාවෙත ලැබෙනවා නම් පිනකි.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

තාත්තා අසනීපෙනි. අම්මා අරාබියේ ළමයින් බලයි. අසනීපයක් හැදී හෝ ළමයෙක් මළොත් අපේ අම්මාගේ හිස ද රිසානා නැගනියගේ මෙන්  කපා වෙන් කරනු ඇත. ඊට කළියෙන් ආණ්ඩුවෙන් මැදිහත් ව අම්මාව ලංකාවට ගෙනත් දෙනු ඇත.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

අත සවි කිරීමට විදෙස් ගත වීමට සිදුවන බව දැන ගතිමි. මේ අවුරුද්දේ මගේ ලග්නයට  ‘විදෙස් ගමන් ඉටුවෙයි‘ හැම හඳහන්කාරයෝම කියා තිබුණි. බටහිර රටක හෙමිහිට අතුරුදහන් වී පාරවල් අතුගෑවත් කමක් නැත. ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වයට ඉතා සමාන ඉලෙක්ට්‍රොනික් අත එහේ විකුණමි. කොහෙමත් බටහිර රටවල් ආබාධියින්ට සළකති.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

මම මා ගැන දන්න බැවින් මට විතරක් හොයගන්න පුළුවන් තරමේ පුංචි පින්තූරයක පිකට් බෝඩ් එකක් උස්සන් ඉන්නවා පළවුනා ඇරෙන්නට අපේ පින්තූර පත්තර වල නැත. ඉරිදා ටැබ්ලොයිඩ් කෑලිවල ඔක්කොම සමනල පත්තර වල් මුල් පිටුවල එක අතක් කපා දැමූ මගේ පින්තූර පළවෙනු ඇත. රනිල් වික්‍රමසිංහ ලා  නාමල් රාජපක්ෂ ලා මාත් එක්ක හිනා වෙලා ඉන්න පින්තූර පත්තර වල බැබලෙනු ඇත.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.

ඔක්කෝටම වඩා රැකියාවක් නැති මට අඩුම ගණනේ පුහුණුවන නිලධාරියෙකුගේ තනතුරකට රජයේ හෝ පුද්ගලික ආයතනයක මඟින් දැං එක අතක් පමණක් හිමි මා බඳවා ගනු ඇත. මම තවදුරටත් රැකියා විරහිත උපාධිධාරියෙක් නොවන බව ආඩම්බරයෙන් පවසමි.

දොස්තර මහතාණෙනි වැරදීමකින් මගේ වම් අත කපා දමනු මැනවි.


(පසුගියදා අතේ අස්ථි බිඳීමකට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් අත අහිමි වූ කඩබ්ලිව්.කේ. අචලා ප්‍රියදර්ශනී සොහොයුරියට හිමි වූ සියළු වරප්‍රසාද ගැන අහිතකින් නොව රැකියා විරහිත උපාධිධාරින්ට සිදු වී ඇති අවාසනාව ඉස්මතු කිරීමට ලියූ සටහනකි)

ජනරළ - අනුන්ගේ අතීතය තමන්ගේ වගේ වැමෑරීම

ලංකා සමසමාජ පක්ෂයෙන් වාමාංශික දේශපාලනයේ නියුතුව මියෙන‍ තෙක්ම සමාජවාදය යන උතුම් අරමුණ වෙනුවෙන් සටන් වැදුණු රෙජී මෙන්ඩිස් සහෝදරයා යනු කවරෙකුදැයි දන්නා අයට වඩා නොදන්නා අය බොහෝය. මාක්ස්වාදය වෙනුවෙන් පෙනීසිටින බොහෝ දෙනෙකුටද එම නම ආගන්තුකය. දෙදාහ වසරේ ජනවාරියේ දි මෙලොවින් නික්ම ගිය රෙජී මෙන්ඩිස් සහෝදරයා වෙනුවෙන් සමරු වැඩසටහනක් වසරක් ඉක්මගිය තැන දෙදාස් එක් වසරේ පෙබරවාරියේදී හිරු කණඩායම විසින් පවත්වන ලැබු බැව් අපට මතකය. ඒ අමතක කර දැමිය නොහැකි වූ සටන් සගයෙකු සිහි කිරීම මෙන්ම හා ඔහුගෙන් හෙට දවස වෙනුවෙන් වාමාංශික දේශපාලන සටනකාමීනට උගත් හැකි පාඩම් සිහි කිරීම වෙනුවෙන් බැව් එයට සහභාගී වූවෙක් වෙත්නම් සාක්කි දරණු ඇත. වික්‍රමබාහු සහෝදරයා පැවැත් වූ එම සමරු දේශනය සඳහා වූ පෝස්ටරය අපට අමාරුවෙන් සොයාගත හැකි වූ අතර ඉහතින් දැක්වෙන්නේ එයින් කොටසකි.

වසර දොලසකට (2013 ජනවාරි 20) පසුව ජනරළ පුවත්පතේ කවි පිටුවේ රෙජි මෙන්ඩිස් සහෝදරයා ගැන සටහනක් යන්නේ දෙදහස් එක වසරේ පැවැත්වූ සමරු සම්න්ත්‍රණයෙන් උපුටා ගත්තක් වශයෙනි. උළෙලෙහි සංවිධායකයන් ගැන සටහනක් නොමැති වූ විට එය අනියමාර්ථයෙන් එය ජනරළ හා සම්බන්ධ දේශපාලන සංවිධානයක් විසින් අතීතයේ එක් කලෙක දී කළ බවක් ඇඟවේ. ඇත්තටම ජනරළ සම්පූර්ණයෙන් මෙම උපුටනය ගෙන ඇත්තේ එම සමරු උළෙල සඳහා හිරු කණ්ඩායමෙන් බෙදා හරින ලද අත් පත්‍රිකාවෙන් කොටසකි. එය පළ කිරීමේ කිසිදු වැරැද්දක් අප නොදකී. රෙජි මෙන්ඩිස් සහෝදරයා ගැන නොදත් අයෙකුට ඔහු ගැන තොරතුරු විමසා බැලීමටත් එය අද දවසේ වැදගත් විය හැක. එහෙත් වැරැද්ද ඇත්තේ මෙම සමරු උළෙල සංවිධානය කළේ ජවිපෙන් වෙන්වී  ක්‍රියාත්මක වූ හිරු කණ්ඩායම බවවත් මෙය උපුටා ගත්තේ හිරු කණ්ඩායමේ අත් පත්‍රිකාවකින් බවවත් කීමට තරම් ජනරළ (පෙර - ඉරිදා ලංකා) පත්තරේ කරන අය වෙත කොන්දක් නැති කමය. එහෙමත් නැතිනම් ජාතිවාදී ගොහොරුවේ හබල් ගාගා එක තැන පැද්දුන ජනරළ හා එහි බැඳුණු දේශපාලනයට අනුන්ගේ අතීතයක් තමන් සතු කර ගැනීමට වූ විලිලැජ්ජාවක් නැති කමය.

මෙය රෙජි මෙන්ඩිස් සහෝදරයා ව හිරු කණ්ඩායමට පමණක් අයිතිකර දීමට නොව ජනරළෙ හි මෙම බුද්ධිමය සොරකම ට එරෙහිව තැබූ සටහනක් පමණි.

ජනරළෙහි වූ සටහන