A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මාරම මාර සොයා ගැනීම


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත විසින් මහින්ද රාජපක්ෂගේ කැබිනට් සංශෝධනය හරසුන් සංදර්ශනයක් පමණක් වන බව අළුතෙන් ම සොයාගෙන ඇති අතර ඒ බව මාධ්‍ය නිවේදනයක් මඟින් දන්වා සිටී.


නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිම (මෙහි පළවෙනි ඉනිම මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක කළේ  මේ පෙරටුගාමී රණවිරු කට්ටියත් එක්කමය) දහවන වතාවටත් ක‍්‍රියාත්මක කිරීම සඳහා වඩාත් වැඩි ම්ලේච්ඡුත්වයකින් හා වඩා වැඩි මර්දනකාරිත්වයකින් යුතුව ක‍්‍රියාත්මක වීමට ආණ්ඩුව සැරසෙන බවත් එහි දැක්වේ.

අපට කියන්නට ඇත්තේ ඉතිං ‘හා‘ කියාය.

ටිල්වින් සහ ලෙනින් මොරායස්


මෑතක දී පැවැත්වුණු ලෙනින් මොරායස් ගුණානුස්මරණ කතාවකින් කොටසක්.

“සහෝදර සහෝදරියනි, ලෙනින් මොරයස් නියන්නෙ වෙනින් කවුරුත් නෙමෙයි සිංහල සිනමාවේ සිටි දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිර්මාණශීලි කැමරා ශිල්පියෙක්. මේ ලෙනින් මා කිසි කලක දැක නෑ සහෝදරවරුනි. ඒත් ඔහු තැනූ චිත්‍රපට 15 ම මම නරඹා තියෙනවා.මතකද සහෝදරවරුනි  ඔහු එදා අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා, අභිරහස, එදත් සූරයා අදත් සූරයා, හොඳම වෙලාව, හොඳයි නරකයි, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ආවා සොයා ආදරේ, ඔන්න මාමේ කෙල්ල පැනපි, සූරයා සූරයාමයි, හිතුවොත් හිතුවාමයි, ආදරෙයි මං ආදරෙයි, හිත මිතුරා වැනි සිනමා පට නැරඹූ  අපිට ඒ නිර්මාණ වෙනින් කාගේවත් නොව ලෙනින් මොරායස්ගේ බව සක්සුදක් සේ වැටහුණා.

එහෙව් ලෙනින් මිය ගොස් මේ 28 වැනිදාට අවුරුදු හතක් වෙනවා සහෝදර සහෝදරියනි. වෙන ලෙනින්ලාට වඩ මා මේ ලෙනින්ට කැමැතියි. දැං ඉන්න බොරු චිත්‍රපට අධ්‍යක්ෂක කුකුල් පැටවුන්ට මොනවද කරන්න පුළුවන්. මම අභියෝග කරනවා පුළුවන්නම් මේ කුකුල් පැටවුන්ට ඔන්න බබෝ බිල්ලෝ එනවා වගේ එක බයිස්කෝප් එකක් හදල පෙන්නන්න“


මේ ටික ලිව්වෙ පස්සෙ.

තමන්ගෙ පවුලෙම අන්ත දූෂිතයින් වටකර ගෙන ඉන්න මහින්ද රාජපක්ෂට  “දූෂිතයා කොතැන හිටියත් දඬුවම් කරනවා“ කියලා කියන්න ලැජ්ජාවක් නැත්තම්  වී.අයි. ලෙනින් කියන ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාගේ-මාක්ස්වාදියාගේ දර්ශනය හෝ ක්‍රියාපිළිවෙත අබමල් රේණුවක් තරමකටවත් පිළිපදින්නෙ නැතිව අවස්ථාවාදී-ජාතිවාදී-සිංහල-කළුතර ටිල්වින්ට වී.අයි. ලෙනින් සහෝදරයා ගැන සමරු දේශනයක් කරන්න ඇයි බැරි කියල ඇහුවොත් අපිටත් උත්තර නෑ තමයි.

ලෙනින් මොරායස් ගැන විස්තර සරසවි පත්තරේ තියෙනවා.

තණ කොළ


මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්.

දවසක් දා හැන්දෑවක ධනවත් නීතිඥයෙක් තමන්ගෙ සුඛෝපභෝගී රථයෙ පිටුපස ආසනයේ සැපපහසුව වාඩි වෙලා නිවස බලා ගමන් කරද්දී දුප්පත් මිනිහෙක් පාරෙ අයිනක අතින් ගලව ගලවා තණ කොළ කකා ඉන්න ශෝකජනක සිද්ධියක් දැක්කා. ඩ්‍රැයිවර්ට ඉක්මණට වාහනේ නවත්වන්න කිව්ව නීතිඥයා වහාම අර මනුස්සයා ගාවට ගියා පාර පැනලා ගියා.

‘ඔහේ මොකද මේ පාර අයිනෙ තණ කොළ කන්නේ‘

‘අපිට කෑම අර ගන්න කියලා සල්ලි නැහැ මහත්තයෝ......‘

‘ඔහ්...ඇත්තද... එහෙනං යං මාත් එක්ක අපේ ගෙදර....‘

‘අනේ මහත්තයෝ... මගේ ගෑනියි දරුවො තුන්දෙනයි?‘

‘හරි හරි... ඒ ගොල්ලන්වත් අරගෙන එනවා ඉක්මණට...‘

ඔක්කොම කට්ටිය වාහනේට නැග ගත්තා. බොහොම සතුටු වෙච්ච මේ මිනිස්සුන්ට මේ සල්ලිකාර නීතිඥ වරයාව පෙනුනේ දෙවියෙක් වගේ.

‘මහත්තයෝ.. ඔබතුමා හරිම කරුණාවන්තයි...බොහොම ස්තුතියි අපිව මෙහෙම එක්කගෙන යනවට..‘

‘අයියෝ ඒක මොකක් ද....මම හරිම කැමැත්තෙන් මේ වැඩේ කරන්නේ.......ඔහේලට පුදුම සංතෝසයක් හිතේවි අපේ ගෙදරට ගියාම.....මිදුල පුරා අඩියකට වඩා උසට වැවිල කොළ පාටට තණ කොළ‘


නාටකය අහවරයි. නීතිඥ සංගමයයි අධ්‍යාපනයට සියයට හයක් ඉල්ලලා අන්තිමට තමන්ගෙ පඩිය වැඩිකරං විතරක් පැත්තකට වෙච්ච විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයයි අතරෙ වැඩි වෙනසක් නැහැ.

රිසානාගේ ස්තුතිය


රිසානා නෆීක් මරා දැමීම යන්තම් හො යට ගියේ අග විනිසුරු ප්‍රහසනය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් එම දිනවලම රඟ දැක් වූ බැවිනි. ඛේදවාචක එක් කොටසකට නිමිති විතරක් වන රටක නැතිනම් මෙය මීටත් වඩා පාවිච්චි කරන්නට හැකියාවක් තිබුණි.

රිසානා නෆීක් ගේ සිද්ධිය සමාජ ඛේදවාචකයකි. පීඩිත පන්තිය සඳහා වූ උරුමයකි. ඇය කළ හෝ නොකළ වරදකට විදේශයක දී හිසා ගසා දමා මරා දමන විට ඇයගේ වයසේම තරුණියන් රට ඇතුලේ දී දූෂණය ලක් වී මරා දැමේ. සියළුම ඛේදවාචක පුවත් වල හෙඩිමයන්ය. කවි වලට නිමිතිය. ආණ්ඩු විරෝධීන්ට පුවත් පත් නිවේදනයන්ය.

ඒත් රිසානා නෆීක් ජීවත්ව සිටිය දී ඇය බේරා ගැනීම සඳහා වචනයක්වත් වැය නොකරපු බොහෝ දෙනෙකුට ඈ කඳුළු වගුරුවන මහඟු නිමිත්තක් බවට පත් වී තිබුණි. ආණ්ඩුවට විරුද්ධ පිරිස ආණ්ඩුවට දෝශාරෝපනය කරන අතර තුර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අය කළේ අරාබියේ ෂරියා නීතියට දෙස් දොවොල් තැබීමය. දේශපාලනමය හෝ මානුෂික උවමනාවක් මත ඇය නිදහස් කිරීම සඳහා මහන්සි වූයේ ආණ්ඩුවට බල කළේ රන්ජන් රාමනායක පමණි.

රිසානාට පුළුවන් කමක් තිබේ නම් පහතින් සඳහන් අයට ස්තුති කරනවා නොඅනුමාණය.

  • බෑන් කී මූන්ට දුක හිතුනාට
  • මහින්ද රාජපක්ෂට තේ බොන ගමන් රිසානා ගැන ආරබි රජු  අබ්දුල්ලා බින් අබ්දුල්ලා අසීස් ගෙන් ඇහුවාට
  • ඩිලාන් පෙරේරාට හිස ගසා දැම්මාට පසුවත් බේරා ගන්න උත්සහ කළාට
  • ජනතා විමුක්ති පෙරමුණට මතක් උනාට
  • ලක් වනිතා ශාන්තිනී කෝන්ගහගේට ආණ්ඩුව ඉඩ නොදුන් නිසා රිසානාව බේරාගන්න බැරි වූ කමට
  • ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්යංශයට එහෙම දෙයක් තියෙනවට
  • කාන්තා හා ළමා හිංසනය සම්බන්ධව සිටින සියළුම රාජ්‍ය නොවන සංවිධාන වලට
  • රස්සාව නැති වූ සෞදියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහතා ට (අනේ මේ මනුස්සයට රස්සාව දෙන්න)
  • ස්වාධීන රූපවාහිනියට වෙන හිස ගසා දැමීමක වීඩියෝවක් ලංකාවටම පේන්න රිසානාගේ සිද්ධීය වගේ දැම්මාට
  • නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ දිමුතු ආටිගලට ගහෙන් ගෙඩි එනවා සේ ආපු උද්ඝෝෂණයට
  • චන්දන සිරිමල්වත්තට ජනරල හෙඩිමකට තෝරගත්තට හා සම්පූර්ණ පිටුවක වේදනාවට

බොහෝම ස්තුතියි!!

සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු


ලංකාවේ දේශපාලනය කරන මාක්ස්-ලෙනින්වාදී යැයි කියාගන්නා දේශපාලන පක්ෂ වලට සහ වාමාංශික කියල තමන්ම කියවා ගන්න (වෙන කවුරුවත් නම් කියන්නෙ නැහැ) තනි චූන් ගන්න කීප දෙනාට කටක් ඇරල “සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු“ කියල කියන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. 

ඕක ඇඟේම තියෙන අමාරුවක්. ඒ වගේම ඒක ලංකාව ඇතුලෙ දේශපාලනය කරද්දි සිංහල ජාතිවාදන් ට යටවෙලා නන්නත්තාර වෙලා යයි කියල බයට ඒකට කෙළින් විරුද්ධ වෙන්න බැරි කිචියට අනෙකුත් සුළු ජාතික පක්ෂ වල තියෙන ජාතිවාදයක් කොනකින් හරි ගාවලා ගන්න තරමට අවස්ථාවාදී වෙනවා.

මේක මතක් වුනේ පහුගිය දවස්වල ජවිපෙ, පෙසප මෙන්ම පෙසප දේශපාලනය පස්සෙ ඇදෙන අවිශිබම ත් මේ “අමුතු“ ජාතිවාදයට එරෙහිව කතා කරල තිබුණා. අවිශිබම ගහපු පෝස්ටරේ තිබුණේ “සියළුම ජාතිවාදයන්ට හා ආගම්වාදයන්ට එරෙහිව පෙළගැසෙමු!“. මේක තමයි විජේවීරගෙ පරපුරේම සටන් පාඨය. “සියළුම“ වචනය නැතුව ඒක කියන්න බයයි.

ලෙනින් ට අනුව පීඩිත පන්තියේ ජාතිකවාදය තුළ තිබෙන මහ ජාතියේ පීඩනයට එරෙහිව නැගී සිටීමේ පොදු ප්‍රජාතාන්ත්‍රික අන්තර්ගතය උදෙසා මාක්ස්වාදීන් කොන්දේසී විරහිතව සහයෝගය දිය යුතුව වෙනවා. පීඩිත පන්තියේ ජාතික වාදය හා මහ ජාතියේ ජාතිකවාදය කියන්නේ දෙකක්. එය වෙන්කර හඳුනාගත යුතු අතර මාක්ස් ලෙනින්වාදීන් හැටියට අප පීඩික මහාජාතියේ ජාතිකවාදයට එරෙහිව සටන් වැදිය යුතු අතර පීඩිතයාගේ අරගලය ජාතිකවාදී වුවද එයට හෝ සහයදිය යුතු වන්නේ නිර්ධන පන්තියේ විමුක්තියක් උදෙසා වූ අරගලයක් නිදහස් නොවූ ජාතියකින් බලාපොරොත්තු  විය නොහැක්කක් බැවින්.

පහළ මට්ටමේ සහෝදරයින් පෝස්ටර් ගහනවා ඇරෙන්න වෙන දෙයක් දන්නේ නැහැ. ඉහළ මට්ටමේ අයට මාක්ස්වාදී දේශපාලනයක් පොතකින් පතකින් ඉගෙනගෙනවත් නැහැ. එදා වේල දේශපාලනය අපේ රටේ හැම තැකනටම පොදුයි. අපි මේ රටේ වර්තමාන තත්වය ගැන පොඩ්ඩක් හිතල බලමු. මේ වන විට ඔය දෙමළ ජාතිකවාදය මේ වන විට ලක්ෂයක් මිනිසුන් සමඟින් පොළවටම සමතලා කරල ඉවරයි. බොදු බලු සේනාව අවුස්සන මුස්ලිම් ජාතිකවාදයක් ඇරුණුකොට එතන ලංකාවෙ මුස්ලිම්වරුන් තුළ මොනයම් ආකාරයක වත් ජාතිවාදයක් නැහැ. සාමාන්‍ය බුද්ධියක් ඇති අමු අමු සිංහල ජාතිවාදියා උනත් කියයි මෙතන තියෙන්නේ මහ ජාතිය වූ සිංහලයාගේ ජාතිවාදය හා එම බෞද්ධයන්ගේ ආගම්වාදය බව. ඒක පීඩිත සුළු ජාතිය මත විශේෂයෙන්ම මේ මොහොතේ දෙමළ ජනතාව කරන්න පුළුවන් හැම ආකාරයකින්ම පීඩනයකට ලක්කරමින් තිබෙනවා

ඒත් කොන්ද කෙළින් තියාගෙන “සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගම්වාදය පරදවමු“ කියන්න පුළුවන්කමක් මේ ඊනියා වාමාංශිකයින්ට නැහැ. 

සේකින්, ෆිඩෑන් සහ ලේලා


මාක්ස්-ලෙනින්වාදී කුර්දිස්ථාන් කම්කරු පක්ෂයේ (PKK) සහෝදරියන් තිදෙනෙක් ධනේශ්වර පාලක පන්තිය විසින් පසුගිය දා ප්‍රංශයේදී සාහසික ලෙස මරා දමන ලදි.  පක්ෂයේ ආරම්භක ක්‍රියාකාරිණිය ක වූ සේකින් (Sakin Casiz), කුර්දිස්ථානු ජාතික කොන්ග්‍රසයේ නියොජිතයක්‍ර වූ ෆිඩෑන් (Fidan Dogan) හා තවත් ක්‍රියාකාරිණියක වූ ලේලා (Leyla Soylemez) හිසිට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පැරීසියේ කුර්දිස්ථාන් තොරතුරු මධ්‍යස්ථානය තුළ දීය.

මෙලෙසින්ම ප්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානි නඩරාජා මතීතරන් නොහොත් පරිදි සහෝදරයා ව පසුගියදා නොවැම්බරයේ දී හිසට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

1984 දී සිට තුර්කිය තුළ නිදහස් කුර්දිශ් රාජ්‍යයක් සඳහා ආයුධ සන්නධව සටන් වදින පීකේකේ ව්‍යාපාරය පසුගිය වසර කිහිපයක් තිස්සේ බලය බෙදීමක් දක්වා වූ සමාදානයක් වෙනුවෙන් තුර්කි ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් තිබුණි. මේ වනවිට ව්‍යාපාරයේ නායකයා වූ අබ්දුල්ලා ඔශලන් සහෝදරයා සිටින්නේ තුර්කි හමුදාව මඟින් 1999 දී අත් අඩංගුවට පත්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත්වය. සිරගත වීමත් සමඟම ඔශලන් සහෝදරයාගේ පෞද්ගලික දේශපාලන මතවාදය තරමක් දුරට සම්මුතිකාමී බවක් දක්වා වෙනස් වූ නමුදු ව්‍යාපාරය හා එහි කේඩරය මේ දක්වාම ඉදිරියට ගමන් කරන්නේ මාක්ස්-ලෙනින්වාදී දර්ශණය තුළ පිහිටමිනි.

ධනේෂවරයට පීකේකේ යනු ත්‍රස්තවාදී සංවිධානයකි. ජාතිකවාදී-ජාතිවාදී වාමාංශීක ව්‍යාපාර සඳහා එය බෙදුම්වාදී සංවිධානයකි (එබැවින් ලංකාවේ වම යැයි තමන්ම කියාගන්නා කිසිම සංවිධානයකින් මේ වෙනුවෙන් නිවේදනයක් වත් නිකුත් වේදැයි සැක සහිතය). එහෙත් ලොව පුරා මාක්ස්-ලෙනින්වාදීන්ගේ හෘදයාංගම උත්තමාචාරය සිය ව්‍යාපාරය වෙනුවෙන් දිවිදුන් මේ සහෝදරියන් තිදෙනා වෙත නිතැතින්ම හිමි වේ.

හලාල් නොවූ නාමල්


නීති ප‍්‍රවේශ විභාගයේ ප්‍රතිඵල හලාල් වී ඇති බවක් පසුගියදා චම්පික රණවක විසින් ප්‍රකාශ කිරීම මඟින් ඒත්තු ගන්වනු ලැබූයේ මුස්ලිම් ශිෂ්‍යයින් වැඩි ප්‍රතිශතයක් එම විභාගයෙන් සමත් වීම තුළ මුස්ලිම් ජාතිය වෙනුවෙන් යම් කිසි ආකාරයක විශේෂ වරප්‍රසාදයක් ඔවුනට හිමි වී ඇති බවකුයි. එම කතාවෙහි සමස්ථය තුළ ඔහු තුළ ඇති සිංහල ජාතිවාදයේ උන්මත්තකාමී බවද අන් ජාතීන් නොසළකා හැරීමේ මහන්තත්වය ද නොඅඩුව තිබුණි.

නීති ප‍්‍රවේශ විභාගය පමණක් නොව ලංකාවේ සමස්ථ විභාග ක්‍රමයම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සියලලෝම දනිති. ජාති භේදයකින් තොරව වාසිය ලැබෙන පළවෙනි අවස්ථාවේ දීම ක්‍රියාත්මක වී විභාග වංචාවන්ට උදව් දුන් හා ඒවායේ ඵල නෙලා ගත්තවුන් ඕනෑ තරම් ඇත. මෙ රටෙහි බහුතරයක් වූ සිංහල ජාතිය වශයෙන් මෙවැනි දේ වලින් උපරිම ඵල නෙලා ගත්තේ සිංහලයින් වුව ද මෙවර චමිපිකලාට කැක්කුම හට ගත්තේ එ වැනිම හොර වැඩක් (කර ඇත්නම්) මුස්ලිම් වරුන් සිදු කර ඇති නිසාවෙනි. කොටින්ම පැහැදිලි කරතොත් සමස්ථ විභාග නීති රීති සියල්ල පසෙකලා වෙන් කරන ලද සීතල කාමරයක එයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් සහිතව විභාගයට මුහුණ දුන්නා යැයි මාධ්‍යවල පවසා තිබුණු රටේ නායකයාගෙ නාමල නීති විද්‍යාලයේ විභාගයක් වංචා කරද්දී චම්පිකලාගේ මුවෙහි පිරී තිබුණේ අරලිය ගහ මන්දිරයේ අසූචිය. එ දාත් අධිකරණ ඇමතිව සිටියේ මුස්ලිම් ජාතික රාවුෆ් එකීම් මහතාය. එහෙත් එදා චම්පිකට රටේ නාමල හලාල් නොවීය.

විභාග වංචාවක් හෙළි කිරීමටත් වඩා මෙහි ඇත්තේ මේ මෙහොටත් ඇවිලිය යුතුව ඇති මුස්ලිම් විරෝධය ය. මක් නිසාද යත් චම්පිකලාගේ ‘දෙමළ සතුරා’ අද වන විට මතුපිටින් අහෝසී වී ඇති නිසාවෙන් අළුත් ‘මුස්ලිම් සතුරා’ මැවීමේ කාර්යභාරය දැන් ඔවුන් මතට පැමිණ ඇත. ‍එසේ නොවුන හොත් චම්පිකලාගේ දේශපාලන පැවැත්ම ඉතා සීඝ්‍රයෙන් අහෝසි වී යාමට ඉඩක් ඇති බැවිණි.

ජාතිකවාදය-ජාතිවාදය සිංහල දේශපාලනය තුළ ඈත අතීතයේ සිට තිබුණු නමුදු උම්මත්තක ජාතිවාදය සිංහල දේශපාලනය තුළට ප්‍රායෝගිකව රැගෙන ඒමේ හැකියාව තිබුණේ චම්පිකටය. සාර්ථක වූයේ චම්පිකය. උම්මත්තක ජාතිවාදය සදහා වූ  සිංහල ඉල්ලුම ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණේ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ සිටින අවදියේදීමය. වාද්දුවේ දී පරණවිතානලා-රතනලා සමඟ අත් අඩංගුවට පත්වීමත් සමඟම සිය ජාතිවාදී දේශපාලනය සියුම්වත් පුළුල්වත් විශ්ව විද්‍යාල දේශපාලනය තුළ ව්‍යාප්ත කිරීමට ඔහු සමත් වූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වන විට සිවුර හැඳගත් පරපුරක් වටකර ගෙන ජාතික දේශපාලනය තුළට ද අත ගසා තිබුණි. මොහුගේ උම්මත්තක ජාතිවාදයෙන් උපරිම ඵල නෙලා ගත්තේ මහින්ද රාජපක්ෂ ය. කුමාර්-සෝමවංශ-විමල් මූලික වූ ජවිපෙ තමන් සමඟ උම්මත්තක ජාතිවාදය වෙනුවෙන් එක පෙළට ඉන්දුවා ගැනීම දක්වා ඔහුට සිංහළ පොළව සකස් කර ගැනීමට හැකිවී තිබුණි. සමාජය තුළ පැතිරෙමින් පැවතුණු මෙම ජාතිවාදයට එරෙහිවීමට සිටි ලංකාවේ තාරුණ්‍යය කුමාර්-සෝමවංශ-විමල් ජවිපෙ නමින් කූඩු කර දමා අගුළු ලා තිබූ බැවින් චම්පික මුල් වූ එම ක්‍රියාවලිය රාජපක්ෂ රෙජීමය ට “ඕන මඟුලක් කරගන්නට“ රට භුක්තියට පැවරීමේ සිට දෙමළුන් ලක්ෂයක් මරා දැමීම නිසාවෙන් ලංකාව සඳහා ජාත්‍යයන්තරය වෙතින් “ඝාතන භූමිය“ යනුවෙන් නම් පට බැඳිම දක්වා දිගු විය.

දැන් ඒ ඔහුගේ ජාතිවාද ප්‍රමෝදයේ “දෙමළ සතුරා“ මියැදෙමින් පවතී. දැන් ඇත්තේ අළුත් සතුරෙකු සොයා ගැනීමය. හලාල් විරොධයේ සිට අනෙකුත් මුස්ලිම් විරෝධී නිහීන ක්‍රියාවන් සඳහා පාරට බැස ඇති රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාරලා කරන්නේ මේ මොහොතේ චම්පිකලාට මහඟු මෙහෙයකි. ශ්‍රී ලංකාව යනු බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයක් සේ සළකා බලය බෙදීමක්  නොව අඩුම ගණනේ සැමට සමානාත්මතාව හිමි විය යුතු යැයි පිළිනොගන්නාතාක් කල් ජයග්‍රහකයෝ වන්නේ කා කොටා ගන්නා සමාජයක් සඳහා උන්මත්තක ජාතිවාදයට නායකත්වය දෙන චම්පිකලාමය.

(හලාල් යනු දෙවියන් වෙනුවෙන් යාඥා කොට ගෙල සිඳ මස් පිණිස සතුන් මැරීමට වඩා දෙයක් නොවන බවත් තවමත් ගෙල කපා සතුන් මැරීමේ සම්ප්‍රදායික ක්‍රම පිළිවෙත් සිදු කරණ ලංකාවේ දෙවියන් සදහා වූ එම යාඥාව හැරණු කොට සතුන් මැරීමේ දී  කිසිම වෙනසක් නොමැති බවත් මෙතුවක් කල් මුස්ලිම් මස් කඩවල මැරූ ගවයින් ගේ මස් අනුභව කෙරූ සියළුම සිංහලයින් මෙතෙක් කා ඇත්තේ හලාල් මස් බවත් කිසිවෙක් නොදනීද? මිල වැඩි නම් හලාල් ආහාර මිල දී නොගෙන සිටීමට සියළුම අය සඳහා අයිතියක් ඇත. එහෙත් හලාල් වලින් මුදල් උපයා ත්‍රස්තවාදීන්ට ආධාර සැපයීමේ බොරු ප්‍රචාර හා හලාල් වලට එරෙහි වීම හා අනෙකුත් සියළුම මුස්ලිම් විරෝධයන්ගෙන් සිදුවන්නේ චම්පිකලාට අවශ්‍ය සිය දෙවන සතුරා මැවීමට අවශ්‍ය අනුබලය පහසුවෙන්ම ලබා දීමයි)

අනුන්ගෙ රෙද්ද ඉස්සීම


තමන්ගේ දේවල්වලට හෙණ ගහග ගියත් අපි හරි ආසයි අනුන්ගේ දේවල් ගැන හොයල බලන්න. තමන්ගේ වැරදි වසා ගැනීමටත් මේක කරනවා එහෙමත් නැත්තම් තමන්ගේ පරාර්ථකාමී බව ලෝකෙට පෙන්නන්න  අවස්ථාවාදීවත් එය සිදු කරනවා. තවත් සමහර කට්ටියකට එය පැෂන් එකක්.

පසුගිය වර ඊශ්‍රායලය පලස්තීනයේ ගාසා නුවරට ප්‍රහාර එල්ලකරන විට මහින්ද රාජපක්ෂ ඉල කකියන්න හිනා යන නිවේදනයක් නිකුත් කර තිබුණා යුද්ධය නිසා සිදු කරණ සාමාන්‍ය පුරවැසියන් ඝාතනය වීම වලක්වන්න කියලා. ලක්ෂයක්ම අහිංසක මිනිස්සු මරාදාපු සේනාධිනායකයෙක් අනුන්ට එහෙම උපදෙස් මොන අවයවයකින්ද කියලා හිතා ගන්නවත් බැහැ.

පසුගිය දා ඉන්දියාවේ බස් රථයක් තුළදී සමූහ දූෂණයක්ට ලක්ව මිය ගිය තරුණියකගේ සිද්ධියට එරෙහිව ලොව පුරා විශාල විරෝධතාවක් ඇති වූණා. සෑම විනාඩි විස්සකටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදු වෙන බැව් වාර්තා වෙන ඉන්දියාවේ මෙම ස්ත්‍රී දූෂණය තුළ වූ අතිශය අමානුෂික ස්වභාවයම නිසාවෙන් හා එම යුවතිය වෛද්‍ය ශිෂ්‍යාවක් වීම නිසාවෙන් ඒ සඳහා ඉන්දියාවෙත් ප්‍රබල විරොධයක් ගොඩ නැඟුණා.

ඒ වගේම ලංකාවේත් පසුගියදා ඒ වෙනුවෙන් විරොධතාවයක් පැවැත්වුණා. එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මූල්කත්වයෙන් මෙය සිදුවුණේ. මේ ලලනාවොත් ඉල කකියන්න විහිළු සපයනවා කියන්නේ ලංකාවේ සිද්ධවෙන ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන ගැන කිසි දෙයක් නොකර මේ කට්ටිය ඉන්දියවෙ සිද්ධියක් සම්බන්ධයෙන් පැෂන් එකට විරෝධතා පෙත්සම් අත්සන් කරන එකයි (පෙත්සමට මොකක් කරනවද කියල නම් අනේ...දන්නෙ නැහැ).

ඒ සතියේම කිඹුලාපිටිය ප්‍රදේශයේ නේවාසිකව සිටින නිදහස් වෙළද කළාප යුවතියක් ගුවන් හමුදා භටයෙකු හා ඔහුගේ මිතුරන් තුන්දෙනෙක් අතින් සමූහ දූෂණයට ලක් වී දැනට මීගමුව රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව ඊයෙ පෙරේදා මීපුර වෙබ් අඩවියේ තිබුණා. ඒත් මේ අයට ඒ මෑත සිදුවීම වත් දිනපතා ප්‍රවෘත්ති වල පළවෙන අනෙකත් සිය ගණන් ලිංගික අපරාධවත් පේන්නෙ නැහැ. හරිම අපූරුයි.


මේ පහතින් දැක්වෙන්නේ ලංකා මිරර් වෙබ් අඩවියේ සති තුනක් ඇතුලත පළවූ පුවත් වලින් උපුටා ගත් හෙඩින්ස් කිහිපයක්.

දූවරුන්ට අතවර කළ කොස්තාපල් කොටුවේ
සාමණේර හිමි අපයෝජනය කළ භික්ෂුව අත්අඩංගුවට
ප‍්‍රසිද්ධ වේදිකා නිළියට හදිකළ ගුවන් භටයෝ රිමාන්ඩ්
දියණිය කෙළෙසූ අයගෙන් මව කප්පම් අරන්
දැරියකට හදිකළ සංගීත ගුරා දැලේ
මුරකතකට අතවරකර ගිනි අවිය කොල්ලකාලා !
තබ්බෝවේ මල් කැකුළ පෝලිමේ වනසති
සීයාගෙන් මිණිබිරියට අතවර !
දුව කෙළෙසූ පියා වසර 7ක් හිරේට
සෞඛ්‍යයේ තවත් කතුන් තිදෙනකුට අතවර
කාන්තාවන් නිරුවත් කළ යකැදුරා රිමාන්ඩ්
85 හැවිරිදි කාන්තාවට අතවර කරලා
සැමියාට මුට්ටිය දී පූසාරියා බිරිඳ කෙළෙසලා
අතරමං වූ දරුවකු කෙළෙසූ අය රිමාන්ඩ්
තරුණියක අපයෝජනය කළ සෙබලාට සිරගෙට

ශාන්තිනී කෝන්ගහගේ කියන්නේ එජාපයේ පළාත් සභා මන්ත්‍රි කෙනෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ විසින් ජර්මනියේ තානාපති වශයෙන් පත් කර යැවූ සරත් කෝන්ගහගේ ගෙ බිරිඳ.

ඇති තරම් මරා දැමීම


අළුත්ම වාර්තා අනුව ඇමෙරිකාවේ සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් 89 දෙනෙකුට ගිනි අවියක් ඇත. තවත් ලෙසකින් පැවසුවහොත්, ලෝක ජනගහනයෙන් 5% ක් වූ ඇමෙරිකාවේ ලෝකයේ භාවිතාකරන ගිනි අවි වලින් 40% ක් ඇත. එකිනෙකා මරා ගන්නා ජාතියක් වශයෙන් නම්බු නාම ලබා ගන්නට ඇමෙරිකාවට  තවත් උදාහරණ අවශ්‍යව නොමැත්තේ පසුගියදා පාසලක් තුළ වෙඩිතබා මරා දමන ලද කුඩා ළමයින් විසි දෙනා සමඟින් මෙම යථාර්තය සැම දෙනාගේම ඇස් ඇරවන්නට සමත් වූ බැවිනි.

එහෙත් ඇමෙරිකාණු වැසියන් වෙත සිය ධනපති ආණ්ඩු විසින් කාවද්දා ඇත්තේ තමන්ගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ පෞද්ගලික තුවක්කු භාවිතාවෙන් පමණක් බවයි. එයට ඇමෙරිකාණු ව්‍යවස්ථාවෙන්ම ඉඩකඩ සපයා දී ඇති අතර පෞද්ගලික ආරක්ෂාව තකා පුද්ගලයින් සමූහයක් එකවර ඝාතනය කළ හැකි මිලිටරි පන්නයේ ගිනි අවි භාවිතා කිරීම සඳහා අවසර ලැබීම ද එහි ඇතුලත්ය. ගිනි අවි වෙළඳාමේ හා අවසර ලබා දීමේ නීත්‍යානුකූල බලය ඇති නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් (එන්. ආර්. ඒ.) නමැති බලගතු ඇමෙරිකාණු සමාගමේ බලපෑමට යටත්ව එරටෙහි ජනාධිපතිවරයා ද ඇතුළු සියළු දේශපාලකයෝ රූකඩයන් සේ මෙහෙයවෙන බැවින් පූර්ණ ගිනි අවි වලින් තොර ඇමෙරිකාවක් යනු ඉටු නොවනා සිහිනයකි. පසුගිය දා සිදුකරණ ලද ම්ලේච්ඡ සමූල ඝාතනයෙන් පසුවත් ගිනි අවි භාවිතය තහනම් කරණු වෙනුවට ‘හොඳ පුද්ගලයන්‘ වෙත වැඩි වැඩියෙන් තුවක්කු ලබා දී පාසල් තුළ ද ආයුධ සන්නද්ධ වූවන් රැඳවීමෙන් පමණක් මෙවැනි සමූල ඝාතනයන් වැලැක්විය හැකි බව එන්. ආර්. ඒ. සංවිධානය විසින් දැඩිව පවසා තිබුණි.

ඇමෙරිකාව යනු ඝාතන සංස්කෘතියක් මුල් බැස ඇති රටකි. පසුගිය දශක දෙක පුරා දීර්ඝ කාලීන යුද්ධ දෙකක් ඩොලර් බිලියන ගණනක් වැය කර පවත්වා ගෙන යන අතර එහි වූ යුදකාමී වීරත්වය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා වසා ගෙන ඇත. ඇමරිකාණු ජනාධිපති ඔබාමා හා එම රජය මැදිහත්ව තමන්ගේ සතුරන් යැයි උපකල්පිත ඕනෑම කෙනෙකු ස්වයංක්‍රීය ප්‍රහාරක යානා මඟින් පසුගිය වසර කිහිපයක් තිස්සේ සිට විනාශ කරණු ලැබේ. මේ වන විට පකිස්තානයේ පමණක් කුඩා දරුවන් 176 ක් ද ඇතුළුව පුද්ගලයින් 3365 ක් මෙම ප්‍රහාර මඟින් මරා දමා ඇත. තමන්ට එරෙහිවන ඕනෑම කෙනෙකු විනාශ කිරීමේ මානසික තත්වය ජනතාව වෙත ලබා දී ඇත්තේ ඇමරිකාණු ආණ්ඩුවම විසිනි. ඊට අමතරව මාරන්තික කතා හා බිහිසුණු ප්‍රහාර රැගත් චිත්‍රපට ද තාත්වික රූප/ක්‍රියාදාම හා සමානව ගොඩ නඟා ඇති සජීවී යුදකාමී වීඩියෝ ක්‍රීඩා ඇමෙරිකාණුවන්ගේ ළමා විය සම්පූර්ණයෙන් බිළිගෙන ඇති අතර ‘ඇති තරම් මරා දැමීමේ මානසිකත්වය‘ සමාජ වසංගතයක්ව පැතිරීමට ඒ සියල්ල ඉවහල් වී ඇත. කෙළවර රට පුරා ඉතිරිව ඇත්තේ ආයුධ සන්නද්ධ මානසික රෝගීන් සමූහයකි.

සංවර්ධිත විශාල ඇමෙරිකාව හා සසඳා බලද්දී සංවර්ධනයවෙමින් පවතින කුඩා ලංකාවේ තත්වය ද මෙයිට වඩා වැඩි වෙනසක් නොවේ. වීරත්වයෙන් හා යුද මානසිකත්වයකින් සමන්විත ඝාතන සංස්කෘතියෙහි ඵල විපාක දිනපතා පුවත් කියැවීමෙන්ම වටහා ගත හැකිව ඇත. ඉතා සුළු කාරණා සම්බන්දයෙන්  මරා ගන්නා ජනතාවක් අපට ද ඉතිරිව ඇත්තේ වුවද වාසනාවක්ට ඇමෙරිකාවේ තරම් බහුලව අත දිග මානයේ ගිනි ඇවි රැඳී නොමැති බැවින් තවමත් රජය මැදිහත් වීමකින් සිදු කෙරෙන සමූල ඝාතන හැර වෙනත් පෞද්ගලික සමූල ඝාතනයන් අප අසන්නේ අඩුවෙනි. එහෙත් ලංකාවෙහි මේ වන විට හොර ගිනි අවි සංසරණය නොසළකා හැරිය යුතු මට්ටමේ ඇති බැව් නොදන්නෙක් නොමැත.

Cartoon courtesy of Chan Lowe