A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඩිලාන් - ඩලස් දැන් ඉතිං හොඳින් නිදියන්න


ඩලස් දහම් කුමාර අලහප්පෙරුම තම පුතාගේ නමට නාලන්ද යැයි එකතු කළේ සිය මල්බෙරි මිත්‍රයා වූ නාලන්ද සම්පත් එල්ලාවල අමතක වේ යැයි බියෙනි. පුතාගේ නම දුටු විට කොළඹ නාලන්ද විද්‍යාලය මතක් වුවත් නාලන්ද එල්ලාවල ව නම් මේ වන විට මාතර ඩලස් ගේ මතකයට එන්නේ නැත.

1997 වසරේ පෙබරවාරි මස 11 වන දින රත්නපුර කුරුවිට ප‍්‍රදේශයේදී රත්නපුර දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලන්ද එල්ලාවල ඝාතනය කරණු ලැබුවේ එවකට රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ සහ එවකට හිටපු නගරාධිපති මහින්ද රත්නතිලක විසින් බවට ඇසින් දුටු සාක්ෂිය සතු වූයේ ඔහුගේ හොඳම මිතුරා වූ ඩිලාන් පෙරේරා ටය. වරක් ඔහු මාධ්‍යයට පවසා සිටියේ සුසන්ත පුංචි නිලමේ ට හා මහින්ද රත්නතිලක ට කිසුදු සමාවක් නොදිය යුතු බව සහ ඔවුන් කොටි ත්‍රස්තවාදීන් ට ද වඩා භයානක බවකි.  80 දශකය අගභාගයේ දී වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතානව පරාල ඇන ගසා මරා දැමු බවට චෝදනාවට ලක්ව සිටියේද  මේ සුසන්ත පුංචි නිලමේ සහ ඔහුගේ මැරයන්ය.

අවසානයේ මහින්ද රාජපක්ෂ විසින් එල්ලව ඇති මිනීමැරුම් චෝදනා කේවල් කොට  සුසන්ත පුංචි නිලමේ ව (2006 දී) හා මහින්ද රත්නතිලකව (2007 දී) ආණ්ඩුවට කැඳවා අමාත්‍යධූර වලින්ච පිදූ පසු ඩලස් අලහප්පෙරුම ට හා ඩිලාන් පෙරේරා ට සිය මිතුරාගේ ඝාතයන් හා එකම අමාත්‍යමණ්ඩයේ වාඩි වී සිටීමේ වාසනාව ද හිමි විය. ඩිලාන් - ඩලස් දෙබෑයන්ගේ ජඩ දේශපාලනය වශයෙන් අප දකින්නේ ඔවුන් සමඟ එකම අමාත්‍ය මණ්ඩලයක ඉවසා සිටීමේ අවස්ථාවාදය පමණක් නොව සිය ගණනක් මිනිසුන් ඉදිරිපිට අමු අමුවේ සිදු කළ සිය ප්‍රාණ සම මිත්‍රයාගේ ඝාතනය වෙනුවෙන් සාධාරනය ඉටු කරවා ගැනීමට කිසිම විටෙක මැදි හත් නොවීමය. එය නොතකා හළ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියළුම වරප්‍රසාද ලබමින් එහි සියළුම දුර්දාන්ත ක්‍රියා අනුමත කරමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සපත්තු ලෙව කෑමේ නිහීන ක්‍රියාවට ඔවුන් කිසිවිටෙකත් මැලි නොවීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ඇතුළේ සිදුවන වංචා දූෂණ මර්ධනය කිරීමේ පරමාර්ථයෙන් ඩිලාන්-නාලන්ද-ඩලස් ප්‍රමුඛව මල්බෙරි කණ්ඩායමනමින් කණ්ඩායමක් ඇතිකර ගෙන රැඩිකල් වීමට තැත් කළ නමුදු වංචා දූෂණ වලින් කප් ගසන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඩිලාන්-ඩලස් යුවල නිසංසලේ නිදහසේ හොරි කසති.

එම මල්බෙරි කණ්ඩායම විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු මංසන්ධියේ ඉදිකර විවෘත කළ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුවට කිසිවකු හානි කළේ යැයි වරක් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වැන්නෙකු පවා වහාම පරීක්ෂණයක් සිදුකළ නමුදු තමන්ම ඉදිකළ තම මිත්‍රයාගේ පිළිරුව පමණක් නොව එම වට රවුම ආසන්නයේ තිබුණු අහිංසකයන්ගේ ආරමයද සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂට නිහඩ අනුමැතිය ලබා දී සිය වරප්‍රසාද කරදරයක් නැතිව බුදීමේ ක්‍රියාවලිය ඩිලාන්-ඩලස් දෙදෙනා තවදුරටත් කරගෙන යති.

ඩිලාන් සතුවූ යම් තරමක සදාචාරයක්වත් ඩලස් දහම් සතුව නැත. 2007 දී මහින්ද රත්නතිලකව ආණ්ඩුවට එක් කරගත් මොහොතේ ඩිලාන් පෙරේරා ආමාත්‍යධූරයෙන් ඉවත් වීමට දැඩි තීරණයක සිටිය දී නාලන්ද එල්ලාවලගේ සොයුරිය විශාඛාව ද සමඟ එකතුවී “අපි මොනව කරන්න ද බං - මෙන්න මෙහෙ ඉමු බං“ න්‍යායෙන් ඔහුව නවතා ගැනීමේ මෙහෙයුම එවකට සිදු කරණ ලද්දේ නාලන්ද එල්ලාවලගේ මිත්‍රයා වූ ඩලස් දහම් ය.

නාලන්ද එල්ලාවල යනු තවදුරටත් සනීපයට බාධාවක් නොවේ. පිළිරුව ඉවත් කර තිබේ. රත්නතිලක මිය ගොස්ය. තම අමාත්‍ය මණ්ඩල සගයා - පුංචි නිලමේ ඊයේ නිදොස් කොට නිදහස් ය.

පුංචි නිලමේ නිදහස් වන්නේ වරක් ඩිලාන් පෙරේරා ම අමාත්‍යධූරය හෙබවූ අධිකරණයකින් වීම පාවාදුන් මිත්‍රත්වයේ අපූරු සිහිකැඳවීමකි. කමක් නෑ ඩිලාන් දැක්කේ නෑ වගේ හොඳින් නිදියන්න.

ඩලස්, දැන් ඉතිං පුංචි නාලන්ද ගේ හිස අතගා අද ඉඳන් ඔබත් හොඳින් නිදියන්න. නින්ද යන් තෙක් ප්‍රදීපා ලවා සිංදුවක් කියවා ගන්න.

“සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා.... නඩු නැති රටකට මොනවට පායනවද සූරියා....“


4 comments:

  1. නිලමේ ආන්ඩුවට ගියෙත් ඕකටම තමයි....ත්‍රීමාගේ නඩුවෙන් මූ නිදහස් වුන දා ඇතිවෙච්ච අප්පිරියාව අද ඔක්කාරයක් වුනා. ඩලස්, ඩිලාන් ...නාලන්දගේ වල හාරලා ඒකට පැනපල්ලා. අපි පස් දාන්නම්!

    ReplyDelete
  2. ඩිලාන් කොච්චර සද්දෙන් කෑ ගැහුවත් අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවේ ඇති සාක්කි වලින් නම් පෙනෙන්නේ නාලන්ද ට වැදුනු වෙඩි පිටවූයේ ඩිලාන්ගේ හෝ ඔහුගේ ආරක්ශකයන් සතුව තිබු තුවක්කුවකින් බවයි. එච්චර සද්දෙට කෑ ගසා පසුව පූස් පැට්ටෙක් විදියට ඉන්නේ ඒ හේතුවත් නිසාය.

    ReplyDelete
  3. හිටපු අධිකරන ඇමති දෙවියන්ගෙන් සාධාරනය පතයි.
    http://www.sinhala.srilankamirror.com/news/14702-nalanda-ellawala

    ReplyDelete