A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අවනීතියට හුරේදාන පුරවැසියෝ අවනීතියෙන්ම නැසෙති


අප ලෝක මානව හිමිකම් දිනයේත් ගුටි කන ජාතියක් වෙමු.

ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, මිනී මැරුම්, කොල්ලකෑම්, පැහැරගැනීම්, වංචා සහ හොරකම් අපගේ ආසියාවේ ආශ්චර්යයට ඇති තරම් ඇත. රටේ නීති පද්ධතිය අග විනිසුරුගේ සිට පහලින් සිටින තෝල්කයා දක්වාම විනාශ වී කුඩුපට්ටම් වී ඇත. අධිකරණයේ මෙහෙයුම් කටයුතු කරන්නේ රෝම ලන්දේසි නීතියට වුව එම නීතිය මුදමුලන කර හසුරවන්නේ ජනාධිපතිවරයා සහ සිය ලේකම් සහෝදරයා විසිනි.

හික්මීමක් නැති විනයක් නැති ජනඝාතක යුද්ධයක අවසානයේ යුද්ධයට දායක වූ ම්ලේච්ච සොල්දාදුවෝ ඔද්දල් වූ මනස් සහිතව ගම් වල් නිවාඩුවට ඇවිත් වැඩියෙන් ගැවසෙති. ගැහැණු ශරීර, ලේ, මළකුණු, මර ලතෝනි හිසින් බැහැරව නොගිය ඔවුහු පහසුවෙන් ගමේ දඩයම් සොයති. “මේවා ආණ්ඩුවේ බඩු (උණ්ඩ) තියපල්ලා ඇති වෙන්න“පවසමින් හිසට වෙඩි තැබූ ඔවුන් “මට හිතෙනවා මේකිට ආයෙමත් ****“ නිරුවත් කාන්තා මළ සිරුරු දැකත් පවසන ඔවුන් (චැනල් 4) දකුණේ සිංහල සමාජයට ද දැන් මුදා හැර තිබේ. ඔවුහු සැබැවින්ම යුද්ධයකින් පසුව මනස නිරවුල් කිරීමේ උපදේශන සේවා අවැසි පුද්ගලයෝ වෙති. එහෙත් එය එසේ නොවේ. ඔවුහු සිවිල් අඳුමින් සැරසී යුධෝන්මාදයෙන් සැරි සරන්නේ අපගේ දරුවන් අතරය.

රාජ්‍යයේ මැදිහත් වීමෙන් රජයේ හා පුද්ගලික සියළුම මාධ්‍යය වසර කීපයකට පෙර ක්‍රියාත්මක වූයේ ජන ඝාතක යුද්ධයක විජයග්‍රහණය හා වීරත්වය ඇවිස්සීමටයි. මරා දැමූ දෙමළා දැකීමෙන් උත්සන්න වූයේ අභිමානය යි. පාසැල් තුළ ගුරුවරුන් දරුවන්ට ඉගැන්වූයේ සැබෑ සාමය ගැන නොව ම්ලේච්ච යුද්ධයක් රැගෙන එන සාමය ගැන යි. ආණ්ඩුව සුරකින මිනීමරු සොල්දාදුවෝ රණවිරැවෝ නමින් අපේ දරුවන් වෙත හඳුන්වාදුන් අතර අපේ දරුවන් වෙතින් ඔවුන් පිදුම් ලද්දේ ද වෙයි.  

පසුගියදා හෙළිදරව් වුණු ප්‍රභාකරන්ගේ දොළොස් වියැති පුතා හමුදාවෙන් වෙඩිතබා මරා දැමූ බැව් දන්නා මුත් අපි එය තරයේ ප්‍රතික්ශේප කරමු. අහිංසක දරුවෙකු ඝාතනය කිරීම ගැන පැහැදිලි විමර්ශනයක් ආණ්ඩුවෙන් ඉල්ලනවා වෙනුවට “ඕකගේ දරුවෙක් වත් තියන්න එපා“ යැයි මුරුග සාධාරණය කිරීමකින් අපි අපේ වැඩක් බලාගෙන සිටිමු. ලක්ෂ ගණනක නිරායුධ වැසියන් ඝාතනය කිරීම ද සුදු කොඩි රැගෙන පැමිණි කොටි දේශපාලන අංශයේ සාමාජිකයින්ගේ ඝාතනය ද අපි දන්නා මුත් ප්‍රතික්ෂේප කරමු. දෙමළාට නීතියක් අවශ්‍ය නැත. එම “අනවශ්‍ය“ නීතිය ආණ්ඩුව සිංහලයාගෙන් ද උදුරගන්නා බව පස්ස ඇණගන්නා තෙක්ම අප තේරුම් ගන්නේ නැත. ඝාතන සංස්කෘතිය හෙළා දකිනවා වෙනුවට ඝාතනයන් ගෙන් ත්‍රිල් ගැනීම ට අප හුරුවී ඇත. අවි බලය, බලහත්කාරය හැර නීතියක් නැති කම යුද්ධය කෙළවර අපට උරුම වී ඇත.

බස් ගිනි තැබීම්, ගෙවල් ගිනි තැබීම්, ගහලා මැරීම් ආදී දඬුවම් සමාජය විසින්ම දීමේ අවනීතිවලින් රට පුරාම පිරී ඇත. කඹුරුපිටියේ පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ජනමාධ්‍ය විසින් ඇති දැඩි කොට මවන ලද “සැකකාරයෝ“ මේ අයුරින්ම සමාජගත අවනීතිය යටතේ පොලිසිය විසින් මරා දමන ලදි. බටහිර රටවල චෝදනා වලට වැරදිකරුවූවන්ට පවා අභියාචනයන්ට රජයේ (මහජනයාගේ බදු) වියදමින් නීතිඥ ගාස්තු ගෙවිම් පවා සිදු කරන කල අපේ ධර්මද්වීපයේ සැකකරුවන් මරා දමන්නේ මහා දහවලේ පොලිසිය විසිනි. සමහරවිටෙක මාධ්‍යය මඟින් උස්ස උස්සා මැවීමට අමතරව මේ ඝාතනයන්ට මෙම සැකකරුවන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබෙන්නට පවා පුළුවන. එහෙත් “මුන්ට දුන්නා මදි“ න්‍යායෙන් අපි හුරේ දමමු. මාධ්‍යය පුවත් මඟින් ඇවිස්සුනු අපේ රටේ ජනතාව එය සමරන්නේ මරා දැමූ එක් සැකකරුවෙකුගේ මවගේ නිවස ගිනි තැබීමෙනි. කිරිබත් උයා පාරට විසි කිරීමෙනි. ඔහුගේ ආදාහනය පවා සිදු කිරීමට බාධා කරමිනි.පොලීසිය වෙත සැකකරුවන්ට දඬුවම් කිරීමට බලය දෙන අවනීතියක් වූ මේ ඝාතන ප්‍රශ්න කිරීමට කිසිම මානව හිමිකම් සංවිධානයක්, වාමාංශික ව්‍යාපාරයක්, රාජ්‍ය නොවන සංවිධානයක්වත් අවාසනාවකට අපට නොමැත.

මේ සමාජය මියෙන්නට නියමිත තරමටලෙඩය. එහි ජිවත්වීමට සිදුව ඇත්තේ ඔබගේත් අපගේත් දරුවන්ටය.

3 comments:

  1. Oba hariyatama hari!Eth wadi denekuta oya tika nowatahena eka ape ratema karume.

    ReplyDelete
  2. Oba hariyatama hari!Eth wadi denekuta oya tika nowatahena eka ape ratema karume.

    ReplyDelete
  3. /* අහිංසක දරුවෙකු ඝාතනය කිරීම ගැන පැහැදිලි විමර්ශනයක් ආණ්ඩුවෙන් ඉල්ලනවා වෙනුවට “ඕකගේ දරුවෙක් වත් තියන්න එපා“ යැයි මුරුග සාධාරණය කිරීමකින් අපි අපේ වැඩක් බලාගෙන සිටිමු. */

    ඕකට කියන්නේ වඳ කෙහෙල් පැල තියරිය කියලායි. පෝස්ට් ඩොක් රිසර්ච් එකක ප්‍රතිඵලයක්.

    ReplyDelete