A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අපගේ විරුවන් හැමදාමත් ආණ්ඩුවට ත්‍රස්තවාදීන්ය


ජාතිය රඳවා ඇත්තේ ජාතික හෙළ උරුමයේ නායකයින් ගේ පස්සා පැත්තේ බැවින් විවේකයකට ඉඳහිට වාඩි වන වාරයක් වාරයක් ගානේ ජාතියට රිදේ. මහ විරු දිනයේ දී දෙමළ ජාතිකයින් තමන්ගේ විරුවන් සැමරීමට පරළව  'කොටි' මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලූ දෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර දඩුවම් කරන ලෙසත්, නීතිය ප‍්‍රමාණවත් නොමැති නම් නීති සම්පාදන කරන ලෙස ජාතිවාදී ආගම්වාදී ජාතික හෙළ උරුමය තමන්ගේ ම ආණ්ඩුවට පත්තර පිටු මඟින් බල කර සිටින්නේ එබැවිනි.

පීඩනයට එරෙහිව නැඟී සිටින්නන්ට ‘ත්‍රස්තවාදීන්‘ යැයි නම් කරන්නේ රාජ්‍යය හා එහි බලු ගැත්තන් විසිනි. ඒ අනුව 71 දී  මෙන්ම 88-89 දී ද සිංහල ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍යය විසින්, ත්‍රස්තවාදී ලේබලය අලවන ලදි. 83 දී දෙමළ කොටි සංවිධානය ට ද රාජ්‍යය විසින් එය එසේ ම සිදු කරණ ලදි. ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂ වලට හා රාජ්‍ය අතකොළු  මාධ්‍යයට  සිංහල ජාතිවාද ය පහසුවෙන් ඇවිලිය හැකි වූ බැවින් දකුණේ සිංහලයා අතර ද කොටි සංවිධානය වෙත වූ ත්‍රස්තවාදී ලේබලය ඉතා පහසුවෙන් ස්ථාපිත කිරීමට හැකි විය. 71, 88-89, 2008-2009 සමූල ඝාතනයන් හී දී  රාජ්‍යය පවසන ලද්දේ එය ත්‍රස්තවාදය පරාජය කිරීමක් වශයෙනි. ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරා ගැනීමක් වශයෙනි. මරා දැමීමට ලක් වූවෝ ත්‍රස්තවාදීයෝය. අනෙක් අතට රට ජාතිය බේරා ගැනීමට දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන් මරා දැමීමට සිදු වේ නම් එය ම්ලේච්චත්වයෙන් ඔබ්බට ගිය වීරත්වයකි. ඒ අනුව ඝාතක හමුදාවෝ ජාතියේ විරුවන් ය.

රාජ්‍යය ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද්දන් තවත් ජන කොට්ඨාශයකට විරුවන් වේ. සිංහල හෝ දෙමළ හෝ වේවා  තම තමන්ගේ විරුවන් සටන් වැදුණේ පරපුරේ උතුම් අරමුණු වෙනුවෙන් බැවිනි. ඔවුනට ආණ්ඩුවේ හමුදාවන් යනු වැටුපට සේවය කරණ මිනීමරුවන් වේ. ඒ හමුදාවන්ගේ එකම අරමුණ රාජ්‍යය සුරුකීමට රාජ්‍යයේ අණ පිළිපැද තමන්ගේ සහෝදර සහෝදරියන්, දූ පුතුන් වෙත වෙඩි උණ්ඩ නිකුත් කිරීම පමණක් බැවිනි.

එ දවස රාජ්‍යය විසින් ත්‍රස්තවාදීන්‘ යැයි නම් කරණ ලද ජනතා විමුක්ති පෙරමුණට නොවැම්බරයේ දී සිය සටන් සගයින් ගේ වීරත්වය උත්සව ශ්‍රීයෙන් සැමරීමට කිසිදු බාධාවක් නැත්තේ ද එවිට ජාතික හෙළ උරුමයේ පස්සා පැත්ත නොරිදෙන්නේ ද ඒ ඔවුන් දූපතේ මහ ජාතියේ සිංහලයන් බැවිනි. ඒ නොවැම්බරයේදී ම දෙමළ ජාතිකයින් සිය වීරයින් සැමරීමේ දී පහනක් දැල්වීමට එරෙහිවන්නේ ඔවුන් දූපතේ මහ ජාතියේ සිංහලයන් නොවන බැවිණි. එ මෙන්ම දෙමළා නැවත නැගිටියි යන් බිය ජනක සිහිනයේ ඔවුහු තැවෙති. බියෙන් ජීවත් වීමට සිදුවීම සිංහල ජාතිවාදීයාගේ උරුමයයි. අවාසනාව වන්නේ වරෙක ත්‍රස්තවාදි යැයි හැඳින් වූ පීඩිත සිංහලයාට මේ යථාර්ථය නොපෙනීම යි.

වීරයින් පැණ නඟින්නේ පුද්ගලයින් ගේ හදවත් තුළය. වීරයින් බලහත්කාරයෙන් බිහි කළ නොහැකි වා මෙන්ම වීරයින් මිනිසුන්ගේ බලහත්කාරයෙන් හදවත් තුළින් විනාශ කිරීම ද සිදු කළ නොහැක.  හෙළ උරුමයේ පස්සා පැත්තේ රුදාවට තේරුම් නොගන්නේ තහනම් කිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් දෙමළ ජනතාවගේ සිත් තුළ දැල්වෙන නොවැම්බරයේ පහන කිසිදා නිවා දැමිය නොහැකි බවය.
__________________________________


විරුවන් වෙත පමා වී හෝ දල්වන පහන ගැන එ දවස (89/90) නන්දන වීරසිංහ ලියූ කවියක් පහතින් අමුණමි. (එහෙත් මේ නන්දන වීරසිංහ වෙනුවට අද ඇත්තේ ජන සංහාරක යුද්ධයකට ආශිර්වාද කළ ආණ්ඩුවට කඩේ යන වෙනත් නන්දන වීරසිංහ කෙනෙකි)

තුනී වී මැකී යන තුරු
කොවුල් ගී සර
රහසිව පිපී හිනැහී
මැළෑවන තුරු කුසුම් එරබදු
බලා සිටියෙමි මල්ලියේ මම
නුඹේ සොහොන ළඟ
පහනක් අවුළුවන්නට

දස මුතු පරපුරක
මිසදිටු ඇඳිරියෙහි නැඟ
පුරා පුරුෂ ප්‍රතිමා
මහා මුරගල් සොලවා
ගල් දොර දැදුරු කළ
මල්ලියේ නුඹ සිහිකර
පමා වූ මේ පහන
නොපමාව දල්වමි

ලෝකයට මතක නැති කර
බතල කඳු අතර සඟවා
රැක බලාගත් නුඹේ සොහොනත
අවසන් වසත් පවනැලි
විසුළ වන පස මල් ඇත
වැටුණු පෙති මත කඳුළු යට
මදහස සුබ ලකුණකි

පිරිවරා බතල කඳු
නුඹ නිදන බිම් කඩ වට
සුසුම් කෙඳුරුම් ලමින
පවන් සළනා දිළිඳු ගහ වැල
මේ පහන ගැන කිසිවක්
ලෝකයට නොකියනු ඇත

රොද බැඳ හිඳින සිව් දිග
නපුරු විසකුරු අඳුරෙහි
පාවා දෙන උගුල් අටවන
අවගති කැවුණු අඳුරෙහි
දැල් වූ මේ අහිංසක පහන ගැන
ඔත්තුව දිව යන්නට පෙර
නිවා සඟවමින් එය

හිරු මඬල සේ පසිඳුව
මිණි පහන දැල්වෙන තුරු
භෂමාවශේෂ විසිරුණු
පොදු සුසානය තුරුලෙහි.


නන්දන වීරසිංහ

2 comments:

  1. යමෙක් ත්‍රස්තවාදියෙක් වන්නේ එම පුද්ගලයා කරන ක්‍රියාව අනුවය.ගම්මාන වලට පැන අහිංසකයන් කැති ගෑම ත්‍රස්තවාදී ක්‍රියාවකි.එබදු ත්‍රස්තවාදීන් වීරයන් වන්නේ කුලියට ලියන මාක්ස්වාදීන්ට පමනි.

    ReplyDelete
    Replies
    1. ඒ අර්ථකතනයත් එක්ක එකග වෙන්න බෑ. ගම් වලට පැන කැති ගෑවත් නැතත් දෙශපාලනික ඉල්ලීම් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රචන්ඩත්වය පාවිච්චි කරන උන් ත්‍රස්තවාදීන්. එම නිසා ජවිපෙත් ත්‍රස්තවාදීන්, කොටි ඇතුලු ප්‍රචන්ඩ සියලු ඊලාම්වාදීන් ත්‍රස්තවාදීන්. මාක්ස්වාදියො කියන්නෙ 1948 ඉදන් මෙ රට කාපු, කිසිම ආර්ථික/දෙශපාලනික ප්‍රශ්නයක් ගැන තාත්වික විසදුමක් නැති අපෙ අවාසනාවට පහල උනු ජාතියක්. එහෙම උන් ත්‍රස්තාවාදී ප්‍රශ්නෙකදී ත්‍රස්තවාදියාගෙ පැත්ත ගැනීම අරුමයක් නෙවෙ.

      Delete