A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ගයේෂා මුදා හැර මාළුවෝ තවදුරටත් පිහිනීම


කොපි කිරීමට හෝ අනුකරණය  කීරීමට තව දුරටත් අතරමැදියන් අවශ්‍ය නොවන්නේ සයිබර් අවකාශයේ සැරිසැරීමට අප සියල්ලට ම හැකියාවන් තිබෙන නිසාවෙනි. අනුකරණය කිරීමේ දී හෝ කොපි කිරීමේ දී මූලාශ්‍ර සඳහන් කිරීමට අප කිසිවිටකත් මැලි නොවේ. එන එන හැටියට ඇණගන්න සහ නාගන්න දේවල් බ්ලොග් ගත කරනවා හැරෙන්නට අනුන්ගේ භාෂීත අප සතුකර ගැනීමේ ප්‍රාථමික අවිඥානය, පසුගිය දශක කිහිපයේ වම ලංකාව තුළ දියව යන්නටත් කලින්ම අප විසින් කොළඹ අහසට මුදා හැර තිබේ.

ලංකාව ඇතුලත තහනම් කර ඇති බැවින් තඹලගමුවේ සංජීව පුෂ්ප කුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ නැරඹිමට අපට අන්තර්ජාලය එම අවසරය ම ලබා දී ඇත. අප සිනමා විචාරකයෝ නොවෙමු. එහෙත් විචාරයට පහලින් පවතින ඇඟට දැනෙන දේ දැනෙන තරමට පැවසීම පමණක් අපගේ වෑයමයි.

ඔහුගේ චිත්‍රපට තහනමට එරෙහිව හා ඒ වටා ගොඩ නැඟුණු කතිකාවට සංජීව පුෂ්ප කුමාර දැක්වූ ළාමක ප්‍රතිචාර විමසීමේ දී චිත්‍රපට ය නැරඹීමටත් මත්තෙන් ම “සම්මානනීය“ ඉගිල්ලෙන මාළුවෝ ගැන දළ අදහසක් අප වෙත තිබුණු නමුදු එය මෙතරම් ඛේදවාචකයක් වේ යැයි අප බලාපොරොත්තු නොවීය.

සරලවම සඳහන් කරන්නනේ නම් ඉගිල්ලෙන මාළුවෝ ච්ත්‍රපටය පහත දැක්වෙන වචන කිහිපයට ලඝු කළ හැක.
  • අනර්ථය
  • නො මේරූය
  • අසංවිධිතය
  • නීරසය
  • කාලය කන සුළුය 
විමුත්ති ජයසුන්දර ගෙන් පටන් ගෙන තවත්බොහෝ සිනමා කරුවන් අනුකරණය කිරීමට යෑමෙන් චිත්‍රපටය ම අප්‍රබංශයක් වී ඇති බවක් අපට හැඟේ. අසමතුලිත සිනමා කෝණ, දුෂකර පරිසරය, ලිංගික දර්ශන, හමුදාව, හාමුදුරුවෝ, කබල් සීටීබී බස් මඟින් සම්භාව්‍ය සිනමා පටයක් නිමවිය හැකියැයි යන දුර්වාබොධයේ ඔහු ගිලී ඇත.

සංජීව පුෂ්ප කුමාර බදා ගන්නට ගොස් ඇති ප්‍රමාණය විශාලය. එය ඔහුට දැරිය හැක්කක් නොවේ. ඇඹලයන්, මකුළුවන්, හාවන්, කාක්කන්, බල්ලන් හා බළලුන් සිනමා රූපක ලෙසින් භාවිතා කිරීමේ සිනමාවේ ප්‍රාථමික අවධියෙන් ගොඩ ඒමට සංජීවට හැකියාවක් තිබී නැත.  හමුදා සෙබලා හා වාසනා රේල් පාර දිගේ ගිනි අවියක් දෙකෙළවරින් අල්ලා ඇවිදින දර්ශනය, කඩා වැටුණු ගොඩ නැගිල්ලක සද්දන්ත බිත්තියක් පාමුල  වාසනා හා හමුදා සෙබලා ලිංගික සුව විදින දර්ශනය හා පාසැල් පෙම්වතුන් යුගලය ගල් තලාවක හිඳිණ දර්ශනය හැරුණු කොට එම චිත්‍රපටය පුරා මුල සිට අග දක්චාම සිනමාත්මක බවකින් තොරය  (මේ අවස්ථා තුනම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගෙන තිබිණ). චිත්‍රපටය අපව රඳවා ගන්නවා වෙනුවට අපට සිදු වූයේ බලහත්කාරයෙන් චිත්‍රපටයේ රැඳී සිටීමටයි.

මොකක් හෝ හෑල්ලක් ලියා අවසන් කළ පසු කතෘ ප්‍රකාශනයක් ලෙස හෝ පොතක් පළකර මේ වන විට ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ “ග්‍රන්ථ කතෘ“ වරුන් බිහි වී ඇත. සල්ලි හොයාගත් පමණකින් චිත්‍රපට තැනීමේ සංජීව පුෂප කුමාර ක්‍රමවේදයෙන් (සල්ලි ඉතා අමාරුවෙන් හොයා ගත් බවක් ඔහු පවසා කිබුණි) ක්‍රියාත්මක වුව හොත් හෙට දවසේ “සිනමාකරුවන්“ ද ලංකාවේ පඳුරක් පඳුරක් ගානේ සොයා ගත හැකි වනු ඇත. මෙවැනි චිත්‍රපට යක් තැනීම කොහොත්ම අසීරු නොවේ. අවශ්‍ය වන්නේ ලැජ්ජාවට පත් වීම නොසලකා සිටීමේ ධෛර්ය යි.

සංජීව පුෂප කුමාර චිත්‍රපට ය තැනීමට මත්තනේ ඉගිල්ලෙන මාළුවෝ තිර පිටපත ක්ෂේත්‍රෙයේ ප්‍රවීණයෙකු හෝපිටස්තර වෙනත් කිසිවෙකු ලවා පරීක්ෂා කරවා ගත්තේ නම් ඔහු මුහුණ පා සිටින අර්බුදය කල් තිබා හඳුනා ගන්නට තිබුණි.. එහෙත් ඒ වෙනුවට  ඔහුට බොහෝවිට හමුවන්නට ඇත්තේ නියමයි මචං ගහමු ගහමු පන්නයේ හිත නොරිඳවන්නො පමණි. අඩුම ගණනේ සම්භාව්‍යය යැයි සැලකෙන චිත්‍රපට තිහක් හතළිහක් වත් මීට පෙර ඔහු නරඹා තිබී ඇත්දැයි අපට සැක සහිතය.

ඉගිල්ලෙන මාළුවෝ අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟම චිත්‍රපටයේ නිරුවතින් සිටින නළුවන් නොතකා “ගයේෂාගේ ඉගිල්ලෙන මාළුවෝ සෙක්ස් සීන්“ වීඩියෝ අන්තර්ජාලය පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ. ගයේෂා නිසාවෙන් ලංකාවේ සිටින ලිංගික පීඩිතයින්  මේ මොහොතේ අන්තර්ජාලයේ දී සුරතාන්තය පත් වී ඇත. තිරයේ ශුද්ධවන්ත සියළුම අශුද්ධ නිලියන් අබිබවා යමින් අවශ්‍ය නම් නිරුවතින් රඟපෑමට හැකි ධෛර්යය සහිත නිලියක් පමණක් ඉගිල්ලෙන මාළුවෝඅසාර්ථක චිත්‍රපටයෙන් පසුව ධර්මද්වීපයට ඉතිරි කර තිබේ. ඈ ඉගිල්ලෙන මාළුවෝ හි එකම සාධනීය ඵලයයි.

මෙය සංජීව පුෂ්ප කුමාරගේ පළමුවෙනි චිත්‍රපටයයි. ඔහු තරුණයෙකි. ඔහුගේ සිනමාගමනය මෙතකින් සීමා වේයැයි අප නොසිතමු. එහෙත් ඔහුට හෙට දවසේ ඉතිරිව ඇත්තේ වාරණයෙන් ගැලවීමේ කඩුල්ලට වඩා සිනමාව සඳහා වූ තමන්ගේ නිර්නායකයන් වෙනස් කර ගැනීමේ දැවැන්ත අභියෝගයයි. ජලයෙන් මතුපිටට පැමිණ අහසේ ඉගිල්ලීමේ වෙහෙසකර අභියෝගයයි.

මාළුවන්ට ඉගිල්ලිය නොහැක. ඔවුහු ජලයේ වපසරියට සීමා වී ඇත. එක්සෝසිටීඩ (Exocoetidae) වර්ගයේ පියාඹන මාළුන්ට පවා අහසේ සිටිය හැක්කේ ත්තපර 40 ක් පමණ සුළු කාලයකි. වර්තමාන ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම එක්සෝසිටීඩයන් බහුලය.

පසු සටහන.

ඉගිල්ලෙන මාළුවෝ තහනම් කිරීමට හේතු වශයෙන් දැක්වූයේ  එමඟින්  ලංකාවේ ආරක්ෂක හමුදා අපකීර්තියට පත්වෙන බවයි. හත් දෙයියනේ චිත්‍රපට ය බලන්න. අපි සිනමාවෙන් ප්‍රවෘත්ති බලන ජාතියක් බවට අනුමාන කරන්නනේ නම් මෙම චිත්‍රපට ය මඟින් ආරක්ෂක හමුදා අපකීර්තියට වනවාට වඩා සිදුවිය හැක්කේ ලංකාවේ ගැහැණුන් මිනිසුන් සංසර්ගයේ සිටින්නේ හිටගෙන පමණක් බව හා ලංකාවේ පිරිමින් මුත්‍රා කරන්නේ තාප්ප හා බිත්තිවලට පමණක් බවයි.



මෙම සටහන මඟින් ඉගිල්ලෙන මාළුවෝ ලංකාව ඇතුලත තහනම් කිරීම කිසිවිටකත් සාධාරණය කරන්නේ නැත. මෙම චිත්‍රපටයේ තහනමට එරෙහිව අප මීට පෙර ලියූ පහත ලිපිය බලන්න.

4 comments:

  1. මලීනා රීඩර් වැනි නිර්මාණ වල කොපි එහෙම්පිටින්ම අනෙක් අධ්‍යක්ශක වරුන්ගේ නිර්මාන වලත් එහෙම් පිටින්ම තිබුනා. ලාංකිකයන්ට ආගන්තුක සිනමා භාවිතාවන් ඉදිරිපත් කිරීම අතින් නම් මොවුන් ඉදිරියෙන් ඉන්නවා එත් නිර්මානයේ ගත් යුත්තක් නැහැ. ඒක ආතල් එකක් උනේ මුලින්ම තහනම් කරපු නිසා කට්ටියට ආපු කික් එකයි ලන්කාවේ ගැහැනියක් අමුතු ඉරියව්වකින් මිනිහෙක් එක්ක ඉන්න එක විතරයි. ඒ හැරෙන්න ගත යුත්තක් නැහැ.

    ReplyDelete
  2. ආසියාවෙ මෙව්ව එකේ aka මාර ධර්මද්වීපයේ, මෙව්ව එක ලොකුවටම පිහිටල තියෙන සැදැහැවත් පිං සත්තු.. සමාවෙන්න.. පිංවත්තු ඇතුළු සියලු ජනී ජනයා, ගෑණු, මිනිස්සු එක්ක බුදියන්නෙ නෑලු. ඉතින්, ළමයි හදන්නෙත් නෑලු. ඉන්න හැමෝම රෝස කැළෙන් ඇහින්ද, ඕපපාතික, මල් වගේ, අන්තිම අහිංසක, වැලක් දිහා ඇහැක් ඇරල බළලා.. සමාවෙන්න.. බලලා නැති, ජැක් ගහල නැති, කොටුවක් පැනල නැති, බඩුවක් ගහල නැති, කොටින්ම ස්වප්න මෝචනය වුනොත් මිසක ස්වයං වින්දනයේවත් යෙදිල නැති, තුන් වෙනි සිල් පදේ ලෙසටම රකින ජාතියෙ අනගාරිකලා ටිකකුයි පත්තිනි අම්මලා ටිකකුයි(ලු). ඒවා එහෙම වෙද්දි, පිචෑර් එකක හෙලුවෙන් හරි, සෙක්ස් සීන් එකක හරි කවුරුහරි හිටියම, අපිට “මාර අවුල්” වෙන එක සාධාරණයි. ඒකත් ගෑනියෙක් නම්, අනිවාර්යයෙන්ම ඒ වේස ගැහැණියක්මැයි.

    ReplyDelete
  3. ඇයි අපේ සිංදු කියන කියන කට්ටිය. සල්ලි තියෙනවනම් එන රෑකින් සිංදුව කිව්වා සීඩී එක ගැහුවා. වීඩියෝ එක දැම්මා. හැබැයි අහන් ඉන්නවා බොරු.

    ReplyDelete
  4. "අසමතුලිත සිනමා කෝණ, දුෂකර පරිසරය, ලිංගික දර්ශන, හමුදාව, හාමුදුරුවෝ, කබල් සීටීබී බස් මඟින් සම්භාව්‍ය සිනමා පටයක් නිමවිය හැකියැයි යන දුර්වාබොධයේ ඔහු ගිලී ඇත."
    Well said brother!!

    ReplyDelete