A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

මලාලා යුසාෆ්සේයි: බටහිර අළුත්ම ප්‍රමෝදය


අන්තර්ජාතික මාක්ස්වාදී නැඹුරුව (International Marxist Tendency – IMT) මඟින් 2012 ජූලි මාසයේ පාකිස්ථානයේ ස්වැට් දිස්ත්‍රික්කයේ පවත්වන ලද කඳවුරක දී මලාලා යුසාෆ්සේයි පැවසුවේ ඇයට අවබෝධ වී ඇති අන්දමට එකම විසඳුම සමාජවාදය බවත් එම අරගලය විජයග්‍රාහී අවසානයක් දක්වා රැගෙන යාමට සියළුම සහෘදයන් ව තමන් දිරිගන්වන බවත් ය. එම වසරේම ඔක්තෝබර් මාසයේ දී තලෙයිබාන් සංවිධානය විසින් මලාලාගේ හිසට වෙඩි තබන ලදි. එවකට ඇගේ වයස අවුරුදු 15 කි.

එහෙත් මලාලා යුසාෆ්සේයි වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ කාන්තාවන් සතු අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නියක් වශයෙනි. තලෙයිබාන් සංවිධානය ඇයට වෙඩි තබන ලද්දේ කාන්තාවන් සඳහා වූ අධ්‍යාපනය එරෙහිවීම නිසා නොව මලාලා විසින්  එම සංවිධානයට එරෙහිව ප්‍රචාරය කරන සාවද්‍ය මතයන්ට එරෙහිව බැව් එම සංවිධානය විසින්ම මාධ්‍ය නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ ලද්දේ වුව ද පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය ඇතුළත ප්‍රාදේශිය කලාපයන් තුළ කාන්තාවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට තලෙයිබාන්වරුන් විරුද්ධ බැව් මධ්‍යස්ථ මුස්ලිම් වරුන්ම පවසන සත්‍යයකි. එබැවින් ඇයගේ සටන ට මෙන්ම ඊට එරෙහිව වෙඩි වැදීමට ද අර්ථයක් නොමැත්තේ නොවේ.

ඈ වෙත නැවත වතාවක් ඉතා මෑතකදී තලෙයිබාන් වරු මරණ තර්ජන කර ඇති බැවින් එක් වරක් ඝාතනය කිරීමට ලක්වූ ඇය තව දුරටත් තමන් පෙනී සිටින කාන්තාවන් සතු අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට (දැන හෝ නොදැන) ඇය සතුව ඇති ධෛර්යය අප ද අගය කරමු. තලෙයිබාන් වරු යනු තම බලය පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයෙන් පිටත ද පැහැදිලිවම පෙන්වා දී ඇති සංවිධානයකි.

එහෙත්...

බුරුමයේ අඋන් සාන් සූ කී කල් ඉකුත් වී ඇති මොහොතක බටහිරට අළුත් වීරයින් උවමනා වී තිබේ. ලෝකයට ඉබේ පහළවන ජූලියන් අසාන්ජේ හෝ එඩ්වර්ඩ් ස්නෝව්ඩෙන් වැන්නවුන්ට වඩා තමන්ව විවේචනය නොකරණ තමන්ව හෙළිදරව් නොකරන වීරයින් බටහිරට අවශ්‍ය වී ඇත.

තම වීරයා හෝ වීරවරිය තමන්ගේම ප්‍රතිවාදීයා වූ රැවුල් මුස්ලිම් තලෙයිබාන් වරුන්ට එරෙහි මුස්ලිම් ජාතිකයෙන් ම වේ නම් එය සර්ව සම්පූර්ණ වන්නේය. බටහිරට දැන් මුස්ලිම් ජාතික මලාලා යුසාෆ්සේයි අහම්බෙන් මෙන් හමු වී ඇත.

ඇය ස්ත්‍රී ලිංගිකයෙකි. දැරිවියකි. මරණයෙන් හාස්කමකින් මෙන් බේරී ඇත. ලෝකයාගේ ම අනුකම්පාව ඈ වෙතය. එමෙන්ම ඇය මුඛරිය. බිය නොවන සුළුය. එහෙත් අවැසි පරිද්දෙන් පාලනය කළ හැකිය. බටහිර සමඟ කුළුපගය. විවේචනය නොකරන්නීය. සියල්ල සකලාංගසම්පූර්ණ වී ඇත.

මේ මොහොතේ සියළුම බටහිර මාධ්‍යයන් මලාලා යුසාෆ්සේයි වෙත විවෘතය. ඔවුහු කඳුළු වගුරුවති. සියළුම බටහිර දේශපාලයන්ගේ මන්දිර ඈ එන තෙක් බලා හිඳී. ඔවුහු ඈ හිස අත ගාති.  ලඟා වීමටත් නොහැකි සියළුම බටහිර ජනප්‍රිය සුපිරි තරු ඈ වෙත දෑත දිගු කර ඇත්තාහුය. ඔවුහු ඇරුණු මුවින් ඈ දිරිය පසසති.

අඋන් සාන් සූ කී වෙත යුරොපීය පාර්ලිමේන්තුවෙන් ලැබුණු කීර්තිධර “සකරෝෆ්“ ත්‍යාගය ඇතුළු සම්මාන විශාල සංඛ්‍යාවක් මේ වන විටත් මලාලා වෙත ලබා දීමට බටහිර සමත් වී ඇත. ඩොලර් මිලියන 1.2 ක මෙවර නොබෙල් සාම ත්‍යාගය ගැස්සුනේ ද නූලෙනි. ඉදිරි වසරක දී එය ද බටහිර විසින් මලාලා යුසාෆ්සේයි ලබා දෙනු ඇත.

එහෙත් දින කිහිපයක ට ඉහත දී ඈ බටහිර රෑකඩයක් නොවන බවත් ඇගේ අරමුණ දේශපාලනයට පිවිස බෙනාසීර් භූතෝ මෙන් පකිස්ථානයේ අගමැති වීම බවත් ඇයට එරෙහිව ඇති “වෙස්ටර්න් පපට්“ චෝදනාවට පිළිතුරු වශයෙන් පවසා තිබුණාය. ඇය මෙහෙයවන්නේ කවරෙකු වුව ද ඇයගේ අළුත්ම එල්ලය එමඟින් මනාවට පැහැදිලිය. එකම විසඳුම සමාජවාදයතවදුරටත් ඈ වෙත වලංගුවේදැයි අප නොදනිමු.

එමෙන් ම ඇගේ “බටහිර රෑකඩයක් නොවන“ ප්‍රකාශය ගැන අනාවැකි පැවසීමට කල් වැඩි නමුදු මලාලා යුසාෆ්සේයි  යනු මෙ වනවිටත් පැහැදිලිව ම බටහිර ගොදුරකි. ගොදුරු වීමෙන්ම කෙළවරවුණු එහි ම නිමැවුමකි. බටහිර නොවන්නේ නම් ඈ ජීවතුන් අතර නොවන්නේ ද වේ. පසුගිය වසර තුළ ඈ වෙත බටහිර දරා ගත නොහැකි තරම් බොහෝ දෑ කියා දී ඇත. දරා ගත නොහැකි තරම් බොහෝ දෑ ලබා දී ඇත. එමඟින් ඇයට ඇති ගැලවුමේ අවශ්‍යතාවය  කෙසේ නමුදු,  ඇය ඇගේ දේශපාලන ගමනාන්තයේ ඉම දක්වා නැඟීමට එය පැහැදිලිව ම උපයෝගී කර ගනු ඇත.

බටහිර සූක්ෂමය. තමන්ට අවශ්‍ය වීරයින් නිර්මාණය කිරීම ද හැසිරවීම ද ඔවුහු මැනවින් දනිති.  අප සමත් විය යුත්තේ හඳුන්වාදෙන වීරයින්ගෙන් කුල්මත් වීම නොව සැබෑ වීරයින් හඳුනාගැනීමටයි.

2 comments:

  1. කකාගෙ බ්ලොග් රෝලෙ මේ ලිපි අප්ඩේට් වෙන්නෙ නෑ.....

    ReplyDelete
  2. යම් යම් රාජ්‍යයන් හෝ ආයතන මගින් ඇයව මෙහෙයවනවා විය හැක. එය මොහොතකට පසෙකට තබා ,ඉතා ඉහලින් සාකච්ඡා විය යුතු මාතෘකාවක් වන අධ්‍යාපන අයිතිය ගැන කතිකාවක් ඇතිවීම වැදගත් නේද? සමහරක් ඉස්ලාමීය පාලනයක් ඇති රටවල මෙය තවමත් ගැටළුවක් බව අත්දැකීමෙන් දණිමි. ඇයට වෙඩි තැබීමේ සිද්ධිය වන තෙක්, යුනිසෙෆ් එකවත් මේ ගැටළුව ගැන දැක්වූ අවධානය අවම මට්ටමේ වූවා නොවේද?

    ReplyDelete