A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

නොබෙල් සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීම


මාටින් ලූතර් කිං ගේ මට සිහිනයක් ඇතදේශනයේ පනස්වන සංවත්සර උළෙලේ දී මාටින් ලූතර් කිං ගේ අවිහිංසාවාදී උරුමය තරයේ වැලඳගන්නා බවට ප්‍රතිඥා දී සතියක් ගත වෙන්නටත් මත්තෙන් නොබෙල්  සාම ත්‍යාගලාභී බැරක් ඔබාමා සිරියාවට බෝම්බ දැමීමට තීරණය කර තිබෙනවා.

එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ පසුගිය දා සිරියාවේ දමස්කස් නගරයේ දී සිදුකර ඇති රසායනික අවි ප්‍රහාරයෙන් කුඩා දරුවන් 426 ක්ද ඇතුළුව අහිංසක සිරියානු පුරවැසියන් 1429 දෙනෙක් මරා දැමීමයි. ඒ අනුව මේ වනවිට “ටොමහෝක්“ මිසයිල දෙසීයකටත් වැඩියෙන් සමන්විත යුද ප්‍රහාරක නෞකා හයක් නැගෙනහිර මධ්‍යධරණි මුහුද ආසන්නයේ ඔබාමාගේ නියෝග ලත් සැණින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් යුද ක්‍රියාන්විතයන් හීදී ඇමෙරිකාවේ ප්‍රධාන සහකරු වූ බ්‍රිතාන්‍ය ය මේ මොහොතේ සිරයානු මැදිහත් වීමකට ඉදිරිපත් වී නොමැති අතර ඇමෙරිකවේ සහායට සිටින්නේ ප්‍රංශය පමණි.

සැප්තැම්බර් 5 වෙනිදා ප්‍රහාර ආරම්භ කිරීමට රහසිගතව දින නියම කර තිබුණත් සියළු පව් තමන්ගේ දෑතෙහි පමණක් දරා නොසිටන්නට මෙන් යුද ප්‍රහාර දියත් කිරීමට අවශ්‍ය සියළු බලතල සහිත බැරක් ඔබාමා ප්‍රහාරයේ අවසන් තීන්දුව ගැනීම කොන්ග්‍රසයේ බහුතර මතයට බාර කර තිබෙනවා. සැප්තැම්බර් 9 වෙනිදා රැස්වීමට නියමිත කොන්ග්‍රසයේ බහුතර මතය ලබා ගැනීම සඳහා ඔහු දැඩිව මහන්සි වන්නේ ලොව ආර්ථික බලය හීන වී ඇති මේ මොහොතේ මිලිටරි බලය රැක ගැනීමේ ඇමෙරිකා ආඥාදායකත්වය සිරියාවට පහර දීමෙන් යම් තරමකට හෝ ස්ථාවර කර ගත හැකි බව ට වූ විශ්වාසය නිසාවෙනි. ඊට අමතරව මැද පෙරදිග බලය තහවුරු කර ගැනීම එම කලාපයේ තෙල් වලින් යැපෙන ඇමෙරිකාවට වඩා වැදගත් වේ.

පසුගිය අවුරුදු දෙක ඇතුලත සිරියාවේ අභ්‍යන්තර ගැටුම් නිසාවෙන් සිවිල් පුරවැසියන් ද ඇතුළුව පුද්ගලයින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙන අතර ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී තිබෙනවා. සිවිල් යුද්ධය ට හේතුව වූයේ මැද පෙරදිග කලාපය තුළ පැන නැඟුණු අරාබි වසන්තයේ ම එක් දිගුවකි. වසර තිහක් සිරියාව පාලනය කළ හෆේස් අල්-අසාද් ගෙන් පසුව වසර දෙදාහේ දී බලය උරුම කරගත් ඔහුගේ පුත් බෂාර් අල්-අසාද් ගේ ඒකාධිපති පාලනයට එරෙහිව සිරියානු වැසියන මීට දෙවසරකට වීදී සටන් ආරම්භ කළහ. එහෙත් එය කෙලවර වූයේ  බෂාර් අල්-අසාද් ගේ මර්දනයට එරෙහිව නිදහස් සිරියානු හමුදාව නමින් විවිධ කණ්ඩායම් ඇමෙරිකාණු අවි ආයුධ අතැතිව සන්නද්ධ වීමෙනුයි.

නිදහස් සිරියානු හමුදාව ට ඇමෙරිකාව ඇතුළුව බටහිර රටවල නොනිල අනුග්‍රහය ඇති මුත් මේ වනවිට එහි බොහෝ කොටස් මුස්ලිම් අන්තවාදී අල්-කයිඩා සංවිධානය ට නතුව ඇති අතර ක්‍රියාත්මක වන්නේ වෙන් වෙන් වූ කොටස් වශයෙනි. බෂාර් අල්-අසාද්ගේ පාලනයට ලොව ප්‍රධාන පෙලේ අවි ආයුධ වෙළෙන්දන් වූ රුසියාව, චීනය හා ඉරානයේ රාජතාන්ත්‍රික සහය මෙන්ම පලස්තීනයේ හිස්බුල්ලා කණ්ඩායමේ ද පූර්ණ සහාය ලැබේ.

ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව තිබිය දී අවසන් මොහොතේ දී රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දහසකට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ඇමෙරිකාණු ප්‍රහාර සූදානම් වීම හාස්‍යජනක කරුණකි. මරා දමණ ක්‍රමවේදය නොව වඩා වැදගත් විය යුත්තේ අහිංසක පුරවැසියන් මරා දැමීමයි. ඇමෙරිකාණු මැදිහත් වීමක අවශ්‍යතාවය ඉස්මතු කරවීම සඳහා විරුද්ධ පාර්ශ්වික නිදහස් සිරියානු හමුදා විසින් මෙම රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලදැයි බෂාර් අල්-අසාද්ගේ පාලනය මෙන්ම රුසියාව ද චෝදනා කරයි. එහෙත් එවැනි රසායනික අවි සොයාගැනීමේ හැකියාවක් මෙම කුඩා කණ්ඩායම් වලට නොමැති බවත් එය එල්ල කරන ලද්දේ බෂාර් අල්-අසාද්ගේ හමුදාව විසින් බැව් අනෙක් පාර්ශවය චෝදනා කරයි. ඇමෙරිකාණු මැදිහත් වීමක් දැන දැනත් බෂාර් අල්-අසාද් මෙවැනි ප්‍රහාරයක් තමන්ගේම රටේ පුරවැසියන්ට සිදු කරතැයි සැක පහල මුත් බලයෙන් උමතු වූ රාජ්‍ය නායකයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක්කක්ද නොවේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අතකොළුවක් වූ එක්සත් ජාතීන්ගේ මෙම රසායනික ප්‍රහාරය සම්බන්ද පරීක්ෂණ මේ මොහොතේත් අවසන් වී නොමැති නමුදු ඇමෙරිකාව සහතික වශයෙන්ම පවසන්නේ මෙම ප්‍රහාරය බෂාර් අල්-අසාද්ගේ හමුදා විසින් කරන ලද්දක් බවත් එම ප්‍රහාරය සිදු කළ දිනය, වෙලාව හා ස්ථානය මෙන්ම රසායනික අවි ගබඩා ඇති සථාන පවා ඇමෙරිකාණු රහස් ඔත්තු සේවය සතු බවයි. එහෙත් ඇමෙරිකාණු රහස් ඔත්තු සේවයේ විශ්වාසනීය බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රශ්න කරන්නේ හිටපු ජනාධිපති ජොර්ජ් බුෂ් ඉරාකයට පහර දීමට පෙර ඔවුන් විසින් ඉරාකයේ න්‍යෂ්ටික අවි ඇති බවට චෝදනා කළ මුත් අවසානයේ එවැනි කිසිවක් එහි නොතිබීම නිසාවෙනුයි. මේ වන විට ඇමෙරිකාණු හමුදා ඉරාකයෙන් ඉවත්ව ඇති නමුදු යනු ඉරාකය යනු මේ වන විට ඛේදවාචකයකි. එම අත්වැරැද්දේ ප්‍රතිඵලයෙන් දිනපතා බෝම්බ ප්‍රහාර මඟින් විශාල සංඛ්‍යාවක් මරා දැමෙන තවත් එක් අවිනිශ්චිත රටක් පමණක මැද පෙරදිග කලාපයට ඉතිරි වී ඇත.

ඇමෙරිකාව සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ හමුදාවට පහර දුනහොත් එහි වක්‍ර සහයෝගය ලැබෙන්නේ මුස්ලිම් අන්තවාදී අල්-කයිඩා සංවිධානයට බැව් අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. වාමාංශික දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ සිරියාවේ සාමය වෙනුවෙන් සිදු කළ යුත්තේ ඇමෙරිකාව විසින් විරුද්ධ පාර්ශ්වික නිදහස් සිරියානු හමුදාව වෙත සපයන ආයුධ මෙන්ම රුසියාව හා චීනය බෂාර් අල්-අසාද්ගේ හමුදා වෙත සපයන ආයුධ නවතා දමා තෙවන පාර්ශවයක මැදිහත් වීමකින් සාකච්චා මඟින් ප්‍රශ්නය නිරාකරනය කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි. ඔවුහු සිරියාවට එරෙහි ඇමෙරිකාවේ මෙම අන්තනෝමතික මිලිටරි මැදිහත් වීම තරයේ හෙළා දකිති.

එහෙත් ගෝලීය බලය රැක ගැනීමේ උමතුවෙන් පෙලෙන ආඥාදයක ඇමෙරිකාව මේ මොහොතේ සිරියාවට එරෙහි ප්‍රහාරයන් එල්ල නොකර සිටීමට ඇත්තේ ඉතා අඩු ඉඩකි. ඒ අතරතුරේ දී රුසියාව මඟින් සිය ඔත්තු සේවා නෞකාවක් ද ඊයේ මධ්‍යධරණි මුහුද වෙත යවා ඇති බැව් විදෙස් පුවත් සේවා වල පල වී තිබුණි. ලොවට තවත් එක් රටක් පමණක් වූ ඇමෙරිකාවේ මෙම සිරියාවට එරෙහි සිය යුද බලය මෙහෙය වීමේ ආඥාදායකත්වයේ ආදර්ශය රුසියාව ද දෙවරක් නොසිතා ක්‍රියාත්මක කළ හොත් සිරියාව යනු ඊලඟ ලෝක යුද්ධයේ ආරම්භක භූමිය වනු ඇත.

No comments:

Post a Comment