A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

බ්‍රැඩ්ලි මෑනින් - වීරයෙකුගේ ඉරණම

ආඥාදායක පාලනයක් පවතින්නේ කොතැන ද එතැනදී සත්‍ය හෙළිදරව් කිරීම යනු පාවාදීමකි. එය සත්‍යයක් බැව් පසක් කරමින් ඔබාමා පාලනය යටත් පවතින ඇමෙරිකානු මිලිටරි අධිකරණය ජූලියන් අසාන්ජේ ඇතුළු කණ්ඩායමෙන් මෙහෙයවන විකිලීක්ස් යන ලාබ නොලබන සංවිධානය සඳහා තොරතුරු සැපයූ වරදට හිටපු හමුදා බුද්ධි විෂ්ලේශක බ්‍රැඩ්ලි මෑනින් හට උපරිමය වශයෙන් අවුරුදු 116 ක සිර දඬුවමක් ලබා දීමට නියමිතය. මේ වන විට එම අධිකරණය මඟින් 25 හැවිරිදි ඔහු වෙත වූ චෝදනා 21 කින් 20 ක් සඳහා වරදකරු බවට තීන්දු කර ඇති අතර මරණ දඬුවම පවා ලබා දිය හැකි “සතුරා අතට රහස් ලබා දීමේ“ වරදින් පමණක් ඔහු ව නිදොස් කොට තිබේ. බ්‍රැඩ්ලි මෑනින් නිදහස් කර ගැනීමේ විරෝධතා ව්‍යාපාර හා විවිධ මානව හිමිකම් සංවිධාන මඟින් හා රටවල් මඟින් වූ ඉල්ලීම් නොසලකා ඉදිරි දින කීපය ඇතුළත ඔහුට නියමිත දඬුවම පුකාශයට පත් කිරීමට නියමිතව ඇත.

බ්‍රැඩ්ලි මෑනින් යනු අපේ කාලයේ වීරයෙකි. පලස්තීනයට එරෙහිව අහිංසක සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමට එරෙහිව ක්‍රියාන්විතයෙන් ඉවත් වූ ඊශ්‍රායල සෙබළුන් මෙන්ම ඉරාකය ට හා ඇෆ්ගනිස්ථානය ට එරෙහිව ගෙන ගිය ඇමෙරිකාණු යුද්ධයේ දී ඊට විරෝධය පා ඉවත් වූ අතලොස්සක් වූ ඇමෙරිකානු සෙබළුන් මෙන්ම බ්‍රැඩ්ලි මෑනින් ද මෙම ලිය කියවිලි විකිලීක්ස් වෙත ලබා දී ඇත්තේ අවසානයේදී ලැබෙන්නට නියමිත දඬුවම් ගැන නොදැන නොවේ. ලැබෙන්නට නියමිත ඇමෙරිකාණු නීත්‍යානුකූල දඬුවම් වලට අමතරව පසුගිය අවුරුදු තුන ඇතුලත ගුවන්ටනමෝ බේ පන්නයේ ඉතාමත්ම අමානුෂික කෘර වධ බන්ධනයන්  බ්‍රැඩ්ලි මෑනින් වෙත ලබා දුන් බැව් හෙළිදරව් වී තිබුණි.

ඇමෙරිකාණු විදෙස් ප්‍රත්පත්ති හා ක්‍රියාකාරකම් වලට අදාලව 700,000 ක්වූ රහස් ලියකියවිලි සංඛ්‍යාවක් විකිලීක්ස් මඟින් මාධ්‍යයන් වෙත නිකුත් කිරීම ඇමෙරිකාණු ධනපති පාලනයට එරෙහිව ඉතිහාසයේ සිදු කළ දැවැන්තම හෙලිදරව්වයි. එමඟින් ඇමෙරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම මතුපිටින් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදය ට  යටින් වූ ඇමෙරිකාණු විදෙස් ප්‍රත්පත්ති වල අරමුණු හා ඇමෙරිකාණු රජයේ අසත්‍ය මාධ්‍ය වාර්තා ද හෙළිදරව් වී තිබුණි. 

හෙලිදරව් වූ තොරතුරු අතර ප්‍රධාන වශයෙන් ඉරාකයේ සිදු කරණු ලැබූ කෘර වධ බන්ධන හා අපයෝජනයන් නොසලකා හැරීමේ  ඇමෙරිකාණු රාජ්‍ය ප්‍රත්පත්තිය, ඇෆ්ගනිස්ථානයේ ළමා අපයෝජනයන් ට එරෙහි වූ සාක්කි වසන් කිරීමේ ඇමෙරිකාණු ප්‍රතිපත්තිය, ගුවන්ටනමෝ බේ හිර කඳවුරේ කෘර වධබන්ධනයන්ට ලක් වන්නේ බොහෝ විට චෝදනා විරහිත අහින්සකයින් බව, ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධයේ මරා දැමුණු අහින්සකයින් ගේ සංඛ්‍යාවන් ඇමෙරිකාණු රජයේ මැදිහත් වීමෙන් වෙනස් කොට ඉදිරිපත් කිරීම, රොයිටර් ආයතනයේ මාධ්‍ය වේදීන් හා ඉරාක සිවිල් වැසියන් රැගත් වෑන් රථයකට සැලසුම් සහගත ප්‍රහාරය වසන් කිරීම ඇතුළු ව ලෝකයේ විවිධ රටවල් වල ඇති ඇමෙරිකාණු තානාපති කාර්‍යමණ්ඩල හරහා එක් කාල සීමාවක් ඇතුලත සිදු කර ඇති සියළුම  රහස් ගනු දෙනු විය.


කෙතරම් දරදඬු පාලනයක් හෝ නීති පද්ධතියක් යටතේ වුව සත්‍ය වසන් කිරීම තාවකාලිකය. එක් මිනිසෙකුගේ ධෛර්යය තවත් එක් මිනිසෙකු ගේ හෝ නැගිටීමකට ශක්තියක් බැව් පසක් කරමින් බ්‍රැඩ්ලි මෑනින්ගේ නඩු විභාගය ආරම්භ වූ සැනින් ම ඇ‍මෙරිකාවේ හා බ්‍රිතාණ්‍යයේ ජඩ ධනේශ්වර පාලණයට එරෙහිව ඇමෙරිකාණු ජාතික ආරක්ෂක අංශයේ හා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩෙන් මතුවූයේ අන්ත්ජාලය හරහා (විශේෂයෙන්ම ගූගල් හා මයික්‍රොසොෆ්ට් මඟින්)  පුද්ගලයින් ගේ තොරතුරු නොදන්වා එක්රැස් කිරීමේ ධනපති රාජ්‍ය ක්‍රියාකාරකම් හෙලිදරව් කරමිනි. 

මේ වනවිට එඩ්වඩ් ස්නෝව්ඩෙන් රැකවරණය  පිණිස තාවකාලිකව රුසියාවේ ජීවත් වේ.






2 comments:

  1. ආඥාදායක පාලනයක් නැති තැනක වුවද සත්‍යය හෙලිකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් විය හැක.ඒ තරමටම අද සත්‍යයට ඉඩක් නැත

    ReplyDelete
  2. Thanks
    Saman, Galle

    ReplyDelete