A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඌගෝ චාවෙස් - දැවැන්තයා නික්ම ගොසිනි


වෙනිසියුලවේ හිටපු ජනාධිපති ඌගෝ චාවෙස් මිය ගොස් තිබේ. 

ඌගෝ චාවෙස් යනු සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදියෙකි. උග්‍ර අධිරාජ්‍යවිරෝධයෙකි. ඇමෙරිකාවට හිසරදයක් වන තුරුම ඔහුගේ කතාව ද භාවිතාව ද අධිරාජ්‍ය විරෝධි කඳවුරු වෙත ශක්තිය ලබාදුණි. ඇමෙරිකාව එරෙහි ඕනෑම රටක් හෝ ජාතියක් වෙනුවෙන් ඔහුගේ  පූර්ණ සහයෝගය ලබා දීමේ දී ඔහු දෙවරක් නොහිතුවේය. අමෙරිකාවේ දැඩි බලපෑම මධ්‍ය යේ වුව තෙල් වලින් පොහොසත් භුමියේ ඌගෝ චාවෙස් වෙත් සිය කොන්ද කෙලින් තබා ගෙන සිටී ශක්තිය ධෛර්යය තිබුණි. ඌගෝ චාවෙස් ගේ පිළිකා රෝගය සදහා වෙනිසියුලාවේ රජයඇමෙරිකාවට චෝදනා කරන්නේ එය පැතිරවීම සදහා  ඔවුන්ගේ සමිබන්ධයක් ඇති බව පවසමිනි.

විසි එක් වන සියවසේ සමාජවාදය යනුවෙන් තමන්ම හැඳින්වූ ජාතිකවාදී බොලිවේරියන් මෙහෙයුම මඟින් වෙනිසියුලාවේ පීඩිත පංතිය වෙත ඌගෝ චාවෙස් ලබා දුන් දෑ බොහෝයි. ආහාර-නිවාස-සෞඛ්‍යය-අධ්‍යාපනය හා ආදායම් තත්වයන් යන අංශයන් හි අති දැවැන්ත වර්ධනයක් ඌගෝ චාවෙස් බලයෙහි සිටි පසුගිය අවුරුදු 14 තුළ වෙනිසියුලාවේ පීඩාවට පත් දූප්පත් මිනිසුන් වෙත ලබා දී තිබූණි. වෙනිසියුලාවේ තෙල් වලින් ලැබෙන ආදායමින් වැඩි කොටසක් යොමු වන්නේ සමාජ සුබසාධනය වෙනුවෙනි.

මීට අමතරව වසරකට ඇඩො බිලියන 5 ක පමණ වූ දැවැන්ත මූදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් හෝ තෙල් නැව් වශයෙන් ඌගෝ චාවෙස් කියුබාව වෙත ලබා දී තිබුණි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඌගෝ චාවෙස් ගෙන් පසි වෙනිසියුලාව සඳහා මුදල් ආයෝජනය කරන්නේ කොහොමදැයි සිහින මවද්දී කියුබාව-උරුගුවේ-ආජන්ටිනාව-ඉක්වදෝරය-බොලීවියාව-බ්‍රසීලය-චීලී-නිකරගුවාව-බෙල්රුසය-ඉරානය-හයිටිය රටවල් ඌගෝ චාවෙස් සිහිකිරීම වෙනුවෙනු ශෝක දින ප්‍රකාශ කර ඇත.

උදාහරනයක් ලෙස පහතින් දැක්වෙන්නේ වෙනිසියුලාවේ අධ්‍යාපනයෙහි වූ සුවිශේෂ වර්ධනය පිළිබඳ දළ සටහනකි.
  • විශ්ව විද්‍යාල සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම 814% කින් වැඩි වී ඇත (1999 ඇඩො මිලියන 300 - 2010 ඇඩො බිලියන 2.6)
  • 2010 වසර යනු වෙනිසියුලානු ඉතිහාසයේ වැඩිම සරසවි සංඛ්‍යාවක් ඉදි වූ වසරයි (එම වසර ඇතුලත සරසවි 9කි)
  • උසස් අධ්‍යාපනය වෙත් සිසුන් යොමු කරවීම 170% වැඩිකර ඇත.
  • පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍ර වේශය අඩු කර නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍ය විශව විද්‍යාල ප්‍ර වේශය 61% සිට 75% දක්වා වැඩිකර ඇත.
  • ආබාධිත සිසු සිසුවියන් වෙන විශේෂිත පන්ති කාමර 1200 ක් 2012 පමණක් ඉදිකර ඇත.
  • යුනෙස්කෝ වාර්තා අනුව විශ්ව විද්‍යාල සඳහා 2011 වසරේ ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් සිසු සිසුවියන් ලියාපදිංචි වූ රට වෙනිසියුලාවයි (( (මිලියන 3 ක් පමණ)
  • 2012 වන විට තොරතුරු තාක්ෂණය පිලිබඳ අංග සම්පූර්ණ මධයස්ථාන 2600 ක් වෙනිසියුලාව පුරා ව්‍යාප්ත කර ඇත
  • සාක්ෂරතාව කලාපයේම ඉහල අගයක් වූ 95.4 % කි (2007)

4 comments:

  1. ගමන් සගයෙක්March 8, 2013 at 3:33 AM

    චාවේස් ගේ වෙනිසියුලාව ජිනීවා වලදී සහයෝගය දුන්නේ මහින්ද රාජපක්ෂගේ ජනඝාතක ආණ්ඩුවටය . ඇත්තෙන්ම කිවොත් ඔහු රාජපක්ෂ තන්ත්‍රයේ සදාම් හුසේන් පන්නයේ මිතුරෙකි. තෙල් වල ශක්තියෙන් සුභසාධන ක්‍රියාත්මක කළ චාවේස් සැබවින්ම "වාචික සමාජවාදියෙක් " විනා සාරාර්ථ වශයෙන් ගත කළ ධනපති ජාතිකවාදියෙකි . ඔහුගේ "සමාජවාදය " ලංකාවේදී බණ්ඩාරනායකට ද , යුගොස්ලෝවියාවේදී ටිටෝ ටද , සමාන වන දේශපාලන වහසිබස් දෙඩවීමක්ම පමණි. චාවේස් පන්නයේ ව්‍යාජ වාමවාදීන් පසුපස දිවයාම ජ.වී. පෙ. සමාජවාදය පසුපස දිවයාම තරම්ම උත්ප්‍රාස දනවන්න්නකි ......මිතුරනි .......නැවතත් මෙනෙහි කර බලමුද ...... මේ "සමාජවාදියා " ගේ ද දෑත්වල තැවරුණු දෙමළුන්ගේ ලේ ගැනවත් හිතා ....!
    --- ගමන් සගයෙක්

    ReplyDelete
  2. වාවෙස් යනු ජාතිකවාදියෙකි. සිය රටෙහි දුප්පතුන් වෙත නැගීටිමට සවියක් දුන් අයෙකි. එය මෙම ලිපියෙහිත් සදහන්ව ඇත. චාවෙස් ගෙන් වෙනිසියුලාවේ වෙනත් ජන කොට්ඨාශයක් පීඩාවට පත් නොවෙයි. ඔහු මාක්ස්වාදියෙක් නොවෙයි. කම්කරු පංති අරගලයක් වෙනුවෙන් ඔහුගේ දායකත්වයක් නොලැබෙයි. එය අප දනිමු. මෙවැනි මිනිසුන් වෙත හෝ ඔවුන්ගේ දේශපාලනය වෙත අප සැලියුට් නොකළත් අපගේ ගෞරවය හිමිවෙයි.

    දෙමළ මිනිසුන්ගේ ලේ නොතැවරුන දෑතක් පුළුවන්නම් සොයා දෙන්න (ජිනීවා හිදී චන්දය නොදුන් ඔබාමාගේ නම නොකියන්න)

    ReplyDelete
  3. * ගමන් සගයෙක් *March 10, 2013 at 5:42 AM

    චාවේස් හුදු ජාතිකවදියෙකු බැව් ඔබ කියයි ! ඔබේ "ආචාරය ද" ඒ වෙනුවෙනි . ධනේශ්වර සන්දර්භයක් තුළ "දුප්පතුන් නගාසිටුවීම " යනු ධනේශ්වර සුභාසාධනවාදය විනා අන් කිසිවක් නොවේ . එය අර්බුදපත් ධනපති පාලන අතීසාරයට ගසන ලද අඹුඩයකි . චාවේස් පන්නයේ පාලකයන්ගෙන් තම රටවල් වල කිසියම් ජන කොටසක් - ජාතිකවාදී අරුතකින් - පීඩාවට පත් නොවූ පමණින්ම එවැන්නෙකු ප්‍රජා පීඩකයෙකු ලෙස නොසැලකීම අතිශය සරලමතික යැයි සිතමි . චාවේස් අතින් වෙනිසියුලාවේ ජන කොටසක් පීඩාවට පත් නොවුවද - උත්ප්‍රාසජනක කාරණය - නම් ඊට සැතපුම් දහස් ගණනකට මෙහා ජාතික පීඩක තන්ත්‍රයක් (මහින්ද රාජපක්ෂ) වෙනුවෙන් , ඔහු "සැලියුට් " දැම්මීමයි ! ධනපති පන්තියේ ප්‍රජාපීඩකයන්ගේ දෑත්වල රුහිරු තැවරී ඇත්තේ ඔවුන්ට අදාළ දේශසීමා තුළ පමණක්ම නො වන බව ඔබට අමුතුවෙන් කිව යුතු ද මිතුරේ ....?
    * ගමන් සගයෙක් *

    ReplyDelete
  4. මේ අදහස් හුවමාරුව ඉතා වැදගත්ය. සමාජ සිතීමේ වැඩීමට විශාල අනුබල සපයයි . අන්තර්ජාල කමෙන්ටු මගින් බොහෝවිට කෙරෙන්නේ වල් පල් දෙඩවීම හා අපහාසයන්ය . එනිසා මෙවන් සංවාද සදහා ලූප්හෝල්ස් ඉඩ විවර වීම අගය .කරමි.. .

    ReplyDelete