A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඇති තරම් මරා දැමීම


අළුත්ම වාර්තා අනුව ඇමෙරිකාවේ සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් 89 දෙනෙකුට ගිනි අවියක් ඇත. තවත් ලෙසකින් පැවසුවහොත්, ලෝක ජනගහනයෙන් 5% ක් වූ ඇමෙරිකාවේ ලෝකයේ භාවිතාකරන ගිනි අවි වලින් 40% ක් ඇත. එකිනෙකා මරා ගන්නා ජාතියක් වශයෙන් නම්බු නාම ලබා ගන්නට ඇමෙරිකාවට  තවත් උදාහරණ අවශ්‍යව නොමැත්තේ පසුගියදා පාසලක් තුළ වෙඩිතබා මරා දමන ලද කුඩා ළමයින් විසි දෙනා සමඟින් මෙම යථාර්තය සැම දෙනාගේම ඇස් ඇරවන්නට සමත් වූ බැවිනි.

එහෙත් ඇමෙරිකාණු වැසියන් වෙත සිය ධනපති ආණ්ඩු විසින් කාවද්දා ඇත්තේ තමන්ගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ පෞද්ගලික තුවක්කු භාවිතාවෙන් පමණක් බවයි. එයට ඇමෙරිකාණු ව්‍යවස්ථාවෙන්ම ඉඩකඩ සපයා දී ඇති අතර පෞද්ගලික ආරක්ෂාව තකා පුද්ගලයින් සමූහයක් එකවර ඝාතනය කළ හැකි මිලිටරි පන්නයේ ගිනි අවි භාවිතා කිරීම සඳහා අවසර ලැබීම ද එහි ඇතුලත්ය. ගිනි අවි වෙළඳාමේ හා අවසර ලබා දීමේ නීත්‍යානුකූල බලය ඇති නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් (එන්. ආර්. ඒ.) නමැති බලගතු ඇමෙරිකාණු සමාගමේ බලපෑමට යටත්ව එරටෙහි ජනාධිපතිවරයා ද ඇතුළු සියළු දේශපාලකයෝ රූකඩයන් සේ මෙහෙයවෙන බැවින් පූර්ණ ගිනි අවි වලින් තොර ඇමෙරිකාවක් යනු ඉටු නොවනා සිහිනයකි. පසුගිය දා සිදුකරණ ලද ම්ලේච්ඡ සමූල ඝාතනයෙන් පසුවත් ගිනි අවි භාවිතය තහනම් කරණු වෙනුවට ‘හොඳ පුද්ගලයන්‘ වෙත වැඩි වැඩියෙන් තුවක්කු ලබා දී පාසල් තුළ ද ආයුධ සන්නද්ධ වූවන් රැඳවීමෙන් පමණක් මෙවැනි සමූල ඝාතනයන් වැලැක්විය හැකි බව එන්. ආර්. ඒ. සංවිධානය විසින් දැඩිව පවසා තිබුණි.

ඇමෙරිකාව යනු ඝාතන සංස්කෘතියක් මුල් බැස ඇති රටකි. පසුගිය දශක දෙක පුරා දීර්ඝ කාලීන යුද්ධ දෙකක් ඩොලර් බිලියන ගණනක් වැය කර පවත්වා ගෙන යන අතර එහි වූ යුදකාමී වීරත්වය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා වසා ගෙන ඇත. ඇමරිකාණු ජනාධිපති ඔබාමා හා එම රජය මැදිහත්ව තමන්ගේ සතුරන් යැයි උපකල්පිත ඕනෑම කෙනෙකු ස්වයංක්‍රීය ප්‍රහාරක යානා මඟින් පසුගිය වසර කිහිපයක් තිස්සේ සිට විනාශ කරණු ලැබේ. මේ වන විට පකිස්තානයේ පමණක් කුඩා දරුවන් 176 ක් ද ඇතුළුව පුද්ගලයින් 3365 ක් මෙම ප්‍රහාර මඟින් මරා දමා ඇත. තමන්ට එරෙහිවන ඕනෑම කෙනෙකු විනාශ කිරීමේ මානසික තත්වය ජනතාව වෙත ලබා දී ඇත්තේ ඇමරිකාණු ආණ්ඩුවම විසිනි. ඊට අමතරව මාරන්තික කතා හා බිහිසුණු ප්‍රහාර රැගත් චිත්‍රපට ද තාත්වික රූප/ක්‍රියාදාම හා සමානව ගොඩ නඟා ඇති සජීවී යුදකාමී වීඩියෝ ක්‍රීඩා ඇමෙරිකාණුවන්ගේ ළමා විය සම්පූර්ණයෙන් බිළිගෙන ඇති අතර ‘ඇති තරම් මරා දැමීමේ මානසිකත්වය‘ සමාජ වසංගතයක්ව පැතිරීමට ඒ සියල්ල ඉවහල් වී ඇත. කෙළවර රට පුරා ඉතිරිව ඇත්තේ ආයුධ සන්නද්ධ මානසික රෝගීන් සමූහයකි.

සංවර්ධිත විශාල ඇමෙරිකාව හා සසඳා බලද්දී සංවර්ධනයවෙමින් පවතින කුඩා ලංකාවේ තත්වය ද මෙයිට වඩා වැඩි වෙනසක් නොවේ. වීරත්වයෙන් හා යුද මානසිකත්වයකින් සමන්විත ඝාතන සංස්කෘතියෙහි ඵල විපාක දිනපතා පුවත් කියැවීමෙන්ම වටහා ගත හැකිව ඇත. ඉතා සුළු කාරණා සම්බන්දයෙන්  මරා ගන්නා ජනතාවක් අපට ද ඉතිරිව ඇත්තේ වුවද වාසනාවක්ට ඇමෙරිකාවේ තරම් බහුලව අත දිග මානයේ ගිනි ඇවි රැඳී නොමැති බැවින් තවමත් රජය මැදිහත් වීමකින් සිදු කෙරෙන සමූල ඝාතන හැර වෙනත් පෞද්ගලික සමූල ඝාතනයන් අප අසන්නේ අඩුවෙනි. එහෙත් ලංකාවෙහි මේ වන විට හොර ගිනි අවි සංසරණය නොසළකා හැරිය යුතු මට්ටමේ ඇති බැව් නොදන්නෙක් නොමැත.

Cartoon courtesy of Chan Lowe

4 comments:

  1. //ඝාතනයෙන් පසුවත් ගිනි අවි භාවිතය තහනම් කරණු වෙනුවට ‘හොඳ පුද්ගලයන්‘ වෙත වැඩි වැඩියෙන් තුවක්කු ලබා දී පාසල් තුළ ද ආයුධ සන්නද්ධ වූවන් රැඳවීමෙන් පමණක් මෙවැනි සමූල ඝාතනයන් වැලැක්විය හැකි බව //
    මේ ටික අරුනිත් කියුවා...

    ReplyDelete
  2. මට නම් මේකෙනුත් පේන්නේ ඇමෙරිකාවේ අවංකත්වයයි..

    දැන් බලන්න්කෝ මැද පෙරදිග , ආසියානු කලාප සිවිල් ගැ‍ටුම් බොහොමයක් නූල හසුරව්න්නේ අමෙරිකාව....ගැ‍ටුම නිරාකරනය වෙනවට වඩා වෙන්න දුර්වල පැත්ත ශක්තිමත් කරලා යුද්දය දිගිටම ඇදිලා යන එකයි..එහෙම කලාම ඇමෙරිකානු යුදෙව් ආයුධ වෙලදාමට බොහොම සරුයි.....
    ඇමෙරිකාව අනුන්ගේ මිදුල වල ගැ‍ටුම් ඇති කරනවා වගේම තමන්ගේ මිදුලේත් ඕනා නම් මරා ගන්න ඉඩ දීලා තියෙනවා....
    ඉතින් එහෙම බලන කොට අමෙරිකාව කොච්චර සධාරන හා අවංකද?

    ReplyDelete
  3. ඇමෙරිකාව සංවර්ධිතයි කියලා කියන්න අමාරුයි නේද?ඇමෙරකාව විතරක් නෙමෙයි ලෝකයේ හැම රටක්ම සංවර්ධිත නැහැයි කියලයි මගේ හැගීම.

    ReplyDelete
  4. last sentence එහෙත් ලංකාවෙහි මේ වන විට හොර ගිනි අවි සංසරණය නොසළකා හැරිය යුතු මට්ටමේ නැති බැව් නොදන්නෙක් නොමැත

    ReplyDelete