A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දයාන් ජයතිලක: සිංහයාට ඇඳීමේ ඇබෑර්තුව


ජාතිවාදී ‘දිවයින‘ පත්තරේ කීර්ති වර්ණකුලසූරිය හැරෙන්නට ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය යේ සහය ඇතිව ලංකා ආණ්ඩුව ඊලාම් දෙමළ ජනයා වර්ගසංහාරය කළ බවට තීන්දු කළ නිත්‍ය මහජන විනිශ්චය සභාව (Permanent Peoples' Tribunal) පිළිබඳව ඒ ගැන කතා කර තිබුණේ විදෙස් කටයුතු වලින් මේ දිනවල පාරට විසිවී ඇති දයාන් ජයතිලක පමණි. එහෙත් ඒ වැඩිපුරම ලබන මාර්තුවේ ජිනීවා එ.ජා සැසියට ‘මාව යවන්නකෝ‘ යන බයාදු ඉල්ලීම නොකියා කීමට උපයෝගී කර ගැනීමටය. මේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස හරහා ද පසුගිය දා මාධ්‍යගත කර තිබුණි. යම් යම් තොරතුරු නිවරැදි නොවූවත් මෙම සාකච්චාව මඟින් නිත්‍ය මහජන විනිශ්චය සභාව සතු බලය ගැන පැහැදිලි විග්‍රහයක් දයාන් විසින් ඉදිරිපත් කර තිබුණි.

දයාන්ගේ මතයට අනුව බර්ට්‍රම් රසල් හා ෂෝන්-පෝල් සාත් කාලයේ තරම් කීර්තිමත් බවක් නැතිමුත් අපකීර්තිමත් බවක් ද නැති නිත්‍ය මහජන විනිශ්චය සභාව පිළිබඳ ලොව වාමාංශික කඳවුර තුළ ඇත්තේ ඉමහත් කීර්තියකි. නිත්‍ය මහජන අධිකරණය බිහිවීම පිළීබඳව ඔහු පවසන දෑ සත්‍ය නොවේ.

නිත්‍ය මහජන විනිශ්චය සභාව යනු වියට්නාමයට එරෙහි ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම විනිශ්චය කිරීම සඳහා බර්ට්‍රම් රසල් හා ෂෝන්-පෝල් සාත් විසින් 1967 දී පිහිටුවන ලද රසල් විනිශ්චය සභාව (Russell Tribunal) හෙවත් ජාත්‍යන්තර යුධ අධිකරණ විනිශ්චය සභාවේ (International War Crime Tribunal) දිගුවකි. ඉතාලියේ රෝමය පදනම්ව 1979 දී බිහිවුණු නිත්‍ය මහජන විනිශ්චය සභාවේ නිර්මාතෘ ලේලියෝ බාස්සෝ ද රසල් විනිශ්චය සභාවේ හිටපු සාමාජිකයෙකි. වාමාංශික පදනමක් සහිත  මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාව ලේලියෝ බාස්සෝ පදනමේ ජාත්‍යන්තර අංශයේ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වේ. ජාතික හා ජාත්‍යන්තර නීතිය නිවරැදිව ක්‍රියාත්මක නොවන අවස්ථාවල දී සිදුවන අපරාධ විනිශ්චය කිරීම මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාවේ ප්‍රධානතම කාර්‍යයකි. විශේෂයෙන්ම පවතින ධනේශවර ආණ්ඩු විසින්ම සමූල ඝාතන හා යුධ අපරාධ සිදු කරණ කල්හි ජාතික නීතීන් ක්‍රියාත්මක නොවේ. අධිරාජ්‍යවාදී බටහිර රටවල් එවැනිම අපරාධ සිදුකරණ කල්හී ජාත්‍යන්තර නීතිය ද ක්‍රියාත්මක නොවේ.

මේ වන විට ලංකා ආණ්ඩුවේ  ඊලාම් දෙමළ ජනයා වර්ග සංහාරය කිරීම පිළිබඳ විනිශ්චය සභාව ඇතුළුව 36 කට වඩා වැඩි තීරණාත්මක විනිශ්චය සභා සංඛ්‍යාවක් නිත්‍ය මහජන විනිශ්චය සභාව මඟින් පවත්වා ඇත. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ලංකා ආණ්ඩුවට එරෙහි මේ විනිශ්චය සභාවට හිටපු එ.ජා. සහකාර ලේකම් ඩෙනිස් හැලිඩේ ඇතුළුව ඉතා ප්‍රවීණ එමෙන්ම ලොව වාමාංශික කඳවුරේ ඉහළ පිළිගැනීමක් ඇති විනිශ්චය මණ්ඩලයක් සහභාගී විය.


දයාන් ජයතිලක නොදැන සිටියේ වුව මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාව මඟින් විත්තිට වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලිඛිතව දැන්වූ බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව මඟින් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් විනිශ්චය සභාව සඳහන් කර තිබුණි. එබැවින් ශ්‍රී ලංකා ආණ්ඩුව මඟින් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශිත සියළු පොදු පැහැදිලි කිරීම් මත පදනම් ව විනිශ්චය සභාව ක්‍රියාත්මක වී ඇත.

ශ්‍රී ලාකා ආණ්ඩුව පමණක් නොව අධිරාජ්‍යවාදී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ද බරපතළ ලෙස චෝදනාවට ලක් කර ලබා දූන් මෙම තීන්දුව ඓතිහාසික වන අතර දයාන් ජයතිලක පෙන්වා දෙන අයුරින්ම මෙම නිත්‍ය මහජන විනිශ්චය සභාවේ තීන්දුව ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැතීවීමට නියමිත මානව හිමිකම් පිළිබඳ එ.ජා. සැසියේ දී තීරණාත්මක වනු ඇතැයි යන්න බොහෝ වාමාංශිකයන්ගේ ද මතයයි. එහි දී අසාගෙන සිටිනවාට හැරෙන්නට දිව අවැසි පරිදි ඕනෑම දිශාවකට නැවිය හැකි දයාන් ජයතිලකට පවා සිදු කළ හැකි කාර්යයක් ඉතිරි නොවී තිබීම යථාර්තය යි.



පෙර සබැඳි සටහන්:

පහේ ශිෂ්‍යත්වය අහෝසියි : මැදමුලනෙන් ඇවිල්ලත් ගමට ම කෙළීම


සහනය අසහනයක් වූ කල අසහනය දුරු කරලීමේ දී ලැබූ සහනය ද අහෝසි වන්නේ නම් අරමුණ වී ඇත්තේ අසහනය දුරු කරලීම පමණක් නොව එම සහනය ද අහෝසි කිරීමයි. ලංකාවේ මැතිවරණ අතුරතුරේදී අඩුම ගණනේ මිනීමැරුම් දෙක තුනකින් කෙළවර වන චන්ද කෝළාහල ඇති විට අප ඒවා අවම කර ගැනීමට උත්සහා කරනවා හැර සර්ව ජන චන්ද බලය අහෝසි කරන්නැයි නො  ඉල්ලමු.

5 වසර ශිෂ්‍යත්වය විභාගය නිසා පැන නැගී ඇති ප්‍රශ්න විසඳීම සඳහා එම විභාගය අහෝසිකිරී‍මෙන් සිදුවන්නේ එම ප්‍රශ්න අහෝසිවීම ම නොව දිස්ත්‍රික් පදනමකින් තොරව රට ඇතුලත ඉතාම දුෂ්කර ප්‍ර‍දේශයක දරුවෙකුට වුව වැඩිපහසුකම් සහිත පාසලකට ඇතුළුවීමේ වරම ද අහෝසි වීම යන්න තේරුම් ගැනීමට 5 ශිෂ්‍යත්වයත් සමත් වීමවත් අවශ්‍ය නොවේ. මැදමුලනේ මහින්ද රාජපක්ෂ, තකතීරු බන්දුල ගුණවර්ධන හරාහා මේ සිදුකරන්නේ නාගරික පන්තිය වෙත සියළු වරප්‍රසාද සහිත අධ්‍යාපනය ඉතිරිකර ගමේ දරුවාට  ඒ සඳහා ඇති එකම ඉඩකඩත් අහෝසි කිරීමයි. ඒ අනුව ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශයක් යැයි සඳහන් කරමින් ජාතික අපරාධයක් වූ මෙම කප්පාදුව ලංකාවේ අධ්‍යපනය විනාශ කිරීමේ පියා වශයෙන් කිරුළු දරා සිටින බන්දුල ගුණවර්ධන අතින් 2016 දී සිදු කිරීමට නියමිතයි. 

1943 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී දරුවන්ට උසස් අධ්‍යාපනයේ දොර විවර කිරීම සඳහා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඇරඹිමෙන් දක්ෂ දරුවන්ට වැඩිපහසුකම් සහිත පාසල් හි අධ්‍යාපනය ලබා ගැනීමට වාසනාව උදාවිය. නිදහස් අධ්‍යපනයේ පියා වශයෙන් නම්බු නාම ලැබූ කන්නන්ගරයන් විසින් මේ වරප්‍රසාය ලබා දෙන ලද්දේ ගම හා නගරය අතර වූ පාසැල් අධ්‍යාපනයේ භෞතික විෂමතාවය සලකා ගෙනයි. මේ වසර වන විට ශිෂ්‍යත්වය සමත් දරුවන්ගෙන් 30,000 ක් පමණ පාසැල් දරුවන් සංඛ්‍යාවක් වැඩිපහසුකම් සහිත පාසල් සඳහා තේරී පත් වේ.

අර්ධ නාගරික ප්‍රදේශයන් හී යම් වර්ධනයක් ඇති වුවත් ඉන් වසර 70 කට පසුව ත් අපට දකින්නට ලැබෙන්නේ දැනුම-පහසුකම්-අභියෝග හමුවේ අඩු හෝ වැඩි වශයෙන් එම විෂමතාවයයි. එම විෂමතාවය නිසා වැඩිපහසුකම් සහිත පාසැලකට තම දරුවා ඇතුලත් කර ගැනීමට දෙමව්පියෝ කළ හැකි සියළුම දෑ කරති. ඇති තරම් මුදල් ඇත්නම් ලංකාවේ ඕනෑම පාසැලක ට දරුවෙක් ඇතුලත් කරවාගැනීමට හැකි බව යථාර්ථයයි. එසේ නොමැති විට ශිෂ්‍යත්වය විභාගය සඳහා තම දරුවන් මරව මරවා ඉගැන්වීමේ සිට මව්වරුන් තමන්ගේ ඇඟ විදුහල්පතිවරුන්ට විකිණිම දක්වා ඕනෑම දෙයක් ඉටු කිරීම මැලි නොවෙති.  තරඟකාරීත්වය කෙසේද යත් එය ලංකාවේ දරුවන් ඇති සෑම පවුලකට ම මේ මොහොතේ ඇති දැවැන්තම අභියෝගයයි.

පාසැලක් සොයා ගැනීම සඳහා දෙමව්පියන් සිදුකරන අරගලයේදී කුඩා දරුවන්ගේ මනස පීඩාවට පත්වන්නේ ශිෂ්‍යත්වය විභාගය නිසා පමණක් නොවේ. හොර ඔප්පු, විදුලි බිල්, ජල බිල් සඳහා දෙමව්පියන් සිදු කරණ සියළු හොර මැරකම් සියල්ල සිදුවන්නේ දරුවන් ඉදිරිපිටය. ඒ සියළු බොරු සඳහා දරුවන් පුරුදු පුහුණු කරවනු ලබයි. දරුවන් ඉදිරිපිටම විදුහල්පති හෝ ඔහුගේ නියොජිතයින්ට පගාව දෙති. නියමිත පාසැල නියමිත කාලයේ දී නොලබෙන විට දෙමාපියන්ගේ සටන අතර තුර දරුවාට නැවත් පාසැලක් ලැබෙන තෙක් ගෙදර නවතිවන්නට පවා සිදුවේ.

5 වසර ශිෂ්‍යත්වය විභාගය නිසා දරුවන් වෙත මෙන්ම දෙමාපියන් වෙතද ඉතා විශාල මානසික පීඩනයක් ඇතිවන බැව් අප ද පිළිගන්නා නමුදු එය එසේ සිදුවී ඇත්තේ එම විභාගය සහ එහි පරමාර්ථයන්ගේ දෝෂයකින් නොව වැඩිපහසුකම් සහිත පාසලක් සොයා ගැනීමේ ඉහතින් සඳහන් කළ අභියෝගය බව යන්න තේරුම් ගැනීම අත්‍යාවශ්‍යව තිබේ. ඉතා සීමිත පිරිසක් දරුවන්ගේ හැකියාවන් බැබලවීමේ අරමුණින් 5 ශිෂ්‍යත්වය විභාගය සඳහා දරුවන් මෙහෙය වූවත් ඉතාමත්ම බහුතරයකගේ අරමුණ වන්නේ හොඳ පාසැලක් සොයා ගැනීමේ අරමුණයි. බන්දුල ගුණවර්ධන බෙරිහන් දිදී පවසන පරිදි ප්‍රාදේශීය පාසැල් සංවර්ධනය කරන්නේ නම් වැඩිපහසුකම් සහිත වෙනත් පාසැල් සොයාගනීමේ මාරාන්තික අභියෝගය වෙනුවෙන් දෙමව්පියන්ට හෝ දරුවන්ට මෙතරම් කැප කිරීමට අවශ්‍ය නොවේ. එවන් පාසැලක් තම ජීවත්වන ප්‍රදේශය ආසන්නයේ තිබේ නම් දෙමව්පියෝ 5 ශිෂ්‍යත්වය විභාගය වෙනුවෙන් තම දරුවන්ව පීඩාවට පත් කිරීමට උනන්දු නොවෙති.

ප්‍රාදේශීය මට්ටමින් පාසැල් සංවර්ධනය කිරීමේ සුපුරුදු  දේශපාලන පොරොන්දු වලට රැවටී මේ මොහොතේ අම්මලාගේ විභාගයඅහෝසි කිරීමේ බන්දුල ගුණවර්ධනගේ තීරණයත් සමඟ අත්වැල් බැඳගැත් බොහෝ දෙනා සිටී. පසුගිය මහින්ද රාපක්ෂ පාලනය තුළ පාසැල් වසා දැමුවා හැරෙන්නට (2012 සැප්තැම්බර් සිට 2013 අප්‍රේල් දක්වා මාස හත ඇතුලත පාසැල් 36 ක් වසා දමා ඇත) සංවර්ධනය කළ පාසැලක් නොමැත. පාසැලක් සංවර්ධනය කිරීම යනු ගොඩනැගිලි සෑදීම නොවේ. එය හා බැදුණු දැවැන්ත පරිපාලනමය ක්‍රියාදාමයකි. ඒ සඳහා අවැසි සම්පත් සිතූ සැනින් පහල නොවේ.

ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා“  යන තර්කයෙන් වැඩි පහසුකම් සහිත පාසැල් සඳහා ඇතුල්වීමට සටන් වැදීමට එරෙහිවන්නෝ ද බන්දුලගේ නිවේදනයෙන් සතුටු වී සිටිති. එහෙත් වැඩි පහසුකම් සහිත (විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ) පාසල් වල අධ්‍යාපනය ලැබීමෙන් ලැබෙන වරප්‍රසාද එහි අත් දැකීම් ඇත්තෝ දනිති. නිර්දේශිත දැනුමට අමතරව අවශ්‍ය බොහෝ බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීමේ පහසුකමේ සිට හෙට දවස සඳහා පාසැල් පරිශ්‍රය තුලින් ලැබෙන සමාජානුගත වීමේ හුරුව ද මේ පාසැල් වලින් නොඅඩුව ලැබේ. සරලව පැවසුවහොත්  වැඩිපහසුකම් සහිත පාසැල් වලින් පිටත්වන බොහෝ දරුවන් ලබා ගත් නිර්දේශිත දැනුමට අමතරව  අළුගසා දමා“ පාසැල් දිවිය අවසන් කර තිබේ.

5 ශිෂ්‍යත්වය විභාගය අහෝසිකිරීම යනු නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ ම එක් පියවරකි. හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට හැකියාවන්ට සුදුසු පරිසරයක් ඇති දැනුම් මධ්‍යස්ථාන අහිමි කිරීමේ වෑයමකි. දෙමව්පියන්ගේ හා දරුවන්ගේ “පීඩාව“ ඉස්මතුකර ගමේ එකාට කෙළවා නාගරික සුළු ධනේශ්වර පන්තිය සතුටු කිරීමේ උවමනාවකි. කොළඹ පාසැලක් සොයාගැනීම නොව බඳගිරියේ සිටින දරුවාට අම්බලන්තොට තේරපුත්ථ මහා විද්‍යාලයට ඇතුල්වීමේ අවස්ථාව ද එමඟින් අහෝසිකර තිබේ.  අද දවසේ අවිශිබම, සශිස, විශිස ආදී එකි මෙකී නොකී ශිෂ්‍ය ව්‍යාපාර හා %6 ඉල්ලා පඩිය විතරක් වැඩිකරගත් ෆූටා කළ යුත්තේ මේ අධ්‍යාපන කප්පාදුව ට එරෙහිව සටන් වැදීමයි. එහෙත් මේ මොහොතේ අවාසානාවකට පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කිරීමේ උවමනාව තිබුණේ ලංකා ගුරු සංගමයට පමණි.


ඩිලාන් - ඩලස් දැන් ඉතිං හොඳින් නිදියන්න


ඩලස් දහම් කුමාර අලහප්පෙරුම තම පුතාගේ නමට නාලන්ද යැයි එකතු කළේ සිය මල්බෙරි මිත්‍රයා වූ නාලන්ද සම්පත් එල්ලාවල අමතක වේ යැයි බියෙනි. පුතාගේ නම දුටු විට කොළඹ නාලන්ද විද්‍යාලය මතක් වුවත් නාලන්ද එල්ලාවල ව නම් මේ වන විට මාතර ඩලස් ගේ මතකයට එන්නේ නැත.

1997 වසරේ පෙබරවාරි මස 11 වන දින රත්නපුර කුරුවිට ප‍්‍රදේශයේදී රත්නපුර දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලන්ද එල්ලාවල ඝාතනය කරණු ලැබුවේ එවකට රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ සහ එවකට හිටපු නගරාධිපති මහින්ද රත්නතිලක විසින් බවට ඇසින් දුටු සාක්ෂිය සතු වූයේ ඔහුගේ හොඳම මිතුරා වූ ඩිලාන් පෙරේරා ටය. වරක් ඔහු මාධ්‍යයට පවසා සිටියේ සුසන්ත පුංචි නිලමේ ට හා මහින්ද රත්නතිලක ට කිසුදු සමාවක් නොදිය යුතු බව සහ ඔවුන් කොටි ත්‍රස්තවාදීන් ට ද වඩා භයානක බවකි.  80 දශකය අගභාගයේ දී වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතානව පරාල ඇන ගසා මරා දැමු බවට චෝදනාවට ලක්ව සිටියේද  මේ සුසන්ත පුංචි නිලමේ සහ ඔහුගේ මැරයන්ය.

අවසානයේ මහින්ද රාජපක්ෂ විසින් එල්ලව ඇති මිනීමැරුම් චෝදනා කේවල් කොට  සුසන්ත පුංචි නිලමේ ව (2006 දී) හා මහින්ද රත්නතිලකව (2007 දී) ආණ්ඩුවට කැඳවා අමාත්‍යධූර වලින්ච පිදූ පසු ඩලස් අලහප්පෙරුම ට හා ඩිලාන් පෙරේරා ට සිය මිතුරාගේ ඝාතයන් හා එකම අමාත්‍යමණ්ඩයේ වාඩි වී සිටීමේ වාසනාව ද හිමි විය. ඩිලාන් - ඩලස් දෙබෑයන්ගේ ජඩ දේශපාලනය වශයෙන් අප දකින්නේ ඔවුන් සමඟ එකම අමාත්‍ය මණ්ඩලයක ඉවසා සිටීමේ අවස්ථාවාදය පමණක් නොව සිය ගණනක් මිනිසුන් ඉදිරිපිට අමු අමුවේ සිදු කළ සිය ප්‍රාණ සම මිත්‍රයාගේ ඝාතනය වෙනුවෙන් සාධාරනය ඉටු කරවා ගැනීමට කිසිම විටෙක මැදි හත් නොවීමය. එය නොතකා හළ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සියළුම වරප්‍රසාද ලබමින් එහි සියළුම දුර්දාන්ත ක්‍රියා අනුමත කරමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සපත්තු ලෙව කෑමේ නිහීන ක්‍රියාවට ඔවුන් කිසිවිටෙකත් මැලි නොවීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ඇතුළේ සිදුවන වංචා දූෂණ මර්ධනය කිරීමේ පරමාර්ථයෙන් ඩිලාන්-නාලන්ද-ඩලස් ප්‍රමුඛව මල්බෙරි කණ්ඩායමනමින් කණ්ඩායමක් ඇතිකර ගෙන රැඩිකල් වීමට තැත් කළ නමුදු වංචා දූෂණ වලින් කප් ගසන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඩිලාන්-ඩලස් යුවල නිසංසලේ නිදහසේ හොරි කසති.

එම මල්බෙරි කණ්ඩායම විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු මංසන්ධියේ ඉදිකර විවෘත කළ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුවට කිසිවකු හානි කළේ යැයි වරක් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වැන්නෙකු පවා වහාම පරීක්ෂණයක් සිදුකළ නමුදු තමන්ම ඉදිකළ තම මිත්‍රයාගේ පිළිරුව පමණක් නොව එම වට රවුම ආසන්නයේ තිබුණු අහිංසකයන්ගේ ආරමයද සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට ගෝඨාභය රාජපක්ෂට නිහඩ අනුමැතිය ලබා දී සිය වරප්‍රසාද කරදරයක් නැතිව බුදීමේ ක්‍රියාවලිය ඩිලාන්-ඩලස් දෙදෙනා තවදුරටත් කරගෙන යති.

ඩිලාන් සතුවූ යම් තරමක සදාචාරයක්වත් ඩලස් දහම් සතුව නැත. 2007 දී මහින්ද රත්නතිලකව ආණ්ඩුවට එක් කරගත් මොහොතේ ඩිලාන් පෙරේරා ආමාත්‍යධූරයෙන් ඉවත් වීමට දැඩි තීරණයක සිටිය දී නාලන්ද එල්ලාවලගේ සොයුරිය විශාඛාව ද සමඟ එකතුවී “අපි මොනව කරන්න ද බං - මෙන්න මෙහෙ ඉමු බං“ න්‍යායෙන් ඔහුව නවතා ගැනීමේ මෙහෙයුම එවකට සිදු කරණ ලද්දේ නාලන්ද එල්ලාවලගේ මිත්‍රයා වූ ඩලස් දහම් ය.

නාලන්ද එල්ලාවල යනු තවදුරටත් සනීපයට බාධාවක් නොවේ. පිළිරුව ඉවත් කර තිබේ. රත්නතිලක මිය ගොස්ය. තම අමාත්‍ය මණ්ඩල සගයා - පුංචි නිලමේ ඊයේ නිදොස් කොට නිදහස් ය.

පුංචි නිලමේ නිදහස් වන්නේ වරක් ඩිලාන් පෙරේරා ම අමාත්‍යධූරය හෙබවූ අධිකරණයකින් වීම පාවාදුන් මිත්‍රත්වයේ අපූරු සිහිකැඳවීමකි. කමක් නෑ ඩිලාන් දැක්කේ නෑ වගේ හොඳින් නිදියන්න.

ඩලස්, දැන් ඉතිං පුංචි නාලන්ද ගේ හිස අතගා අද ඉඳන් ඔබත් හොඳින් නිදියන්න. නින්ද යන් තෙක් ප්‍රදීපා ලවා සිංදුවක් කියවා ගන්න.

“සඳුන් හරය දී කුණු මොර කන මිනිසුනි මීරියා.... නඩු නැති රටකට මොනවට පායනවද සූරියා....“


වර්ග සංහාරය පටිසෝතගාමීව


ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍ය යේ ආණ්ඩුවල සහය ඇතිව  ශ්‍රී ලංකා ආණ්ඩුව “ඊලාම් දෙමළ“ ජනයා වර්ගසංහාරය කළ බවට සහ සිදුකරමින් පවතින බවට Permanent Peoples’ Tribunal (PPT) හි ලොව පිළිගත් විනිසුරන් මඟින් තීන්දු කර තිබියදී ආණ්ඩුවේ කුණු කසල ශෝධක ජාතිවාදී චම්පික රණවක පසුගියදා පසුගියදා මෙරටට පැමිණි ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා වෙත පවසමින් විහිළු සපයා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව ලබාගත් විජයග්‍රහණවලදී කිසිදු ආකාරයක යුධ අපරාධයක් සිදු වී නැති බවයි.
ඔහුට අනුව 2009 වසරේදී උතුරු පළාතේ, ස්වාභාවික නොවන හේතුවලින් මිය ගිය සංඛ්‍යාව 7974 කි. මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිස 5000කි. සියදිවි නසා ගැනීම් ඇතුළු අනෙකුත් හේතූන් මත මියගිය පිරිස 3000 කි.

2011 වසරේදී ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් දෙමළ රාජ්‍ය නිලධාරීන් යොදවා උතුරු පළාතේ කරන ලද ජන සංගණනයේ වාර්තාව පදනම් කරගෙන යැයි චමිපික රණවක මේ අමූලික බොරුව පවසන්නේ 2011 ජනවාරි මාසයේ රායප්පු ජෝශප් බි‍ශොප් වරයා විසින් උගත් පාඩම් කොමිසමට ලබාදුන් සාක්කි සටහනේ සංඛ්‍යා ලේඛණ සම්බන්ධව කිසිදු පැහැදිලි කිරීමක් නො කරමිනි. සියළු දත්ත වාර්තා සමඟින් බිශොප්වරයාගේ උගත් පාඩම් කොමිසමට ලබාදන් වාර්තාවට අනුව ආණ්ඩුවේ දිසා ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛණ අනුව මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රිකයන්හි ජන සංඛ්‍යාව 2008 මුල් වකවානුවේ 429,059 කි. UN OCHA (Office for the Coordination of Humanitarian Affairs) වාර්තා අනුව ආණ්ඩුව පාලනය කළ පෙදෙස් වෙත පැමිණි සංඛ්‍යාව 282,380 කි. ඒ අනුව පුද්ගලයින් 146,679 කට 2008-2009 යුද කාලය අතරතුරේ දී සිදු වූ දෙයක් නොමැත. ඉන් සියයට 20 පමණ ප්‍රතිශතයක් ස්වභාවික මරණ හා වෙනත් ප්‍රදේශ වෙත පලායෑම් දක්වා ඉවත් කළ ද ලක්ෂයකට අධික සංඛ්‍යවක් යුද කාලය අතරතුරේ දී මරා දමා ඇත. මේ වන තෙක්ම  චම්පික රණවක හෝ ඔහු කුණු අපුල්ලන ආණ්ඩුව මේ චෝදනා ගැන කිසුදු පැහැදිලි කිරීමක් සිදු කර නොමැත.

කොටි සංවිධානය ට එරෙහි යුද්ධය අතරමඟ නතර කිරීම අධිරාජ්‍යවාදී උවමනාව බවට උඩු බුරමින් තමන්ගේ හවුල්කාර ධනපති ආණ්ඩුවට ප්‍රගතිශිලි බවක් ලබා දීමට කටයුතු කරමින් දකුණේ සිහල ජනයා මුලා කරමින් සිටි චම්පික-විමල්-සෝමවංශ ජාතිවාදීන්ගේ දේශපාලන නිරුවත පෙන්වා දෙමින් Permanent Peoples’ Tribunal (PPT) මඟින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වර්ගසංහාරක ක්‍රියාවලිය සඳහා ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍ය යේ සහාය ලැබුණු බව තීන්දු කිරීම ඓතිහාසිකය. මෙම තීන්දුව මඟින් වරද කරුවන් හට දඬුවම් දීම හෝ වෙනත් ක්ෂණික බලපෑමක් සිදු වේ යැයි සිතීමට තරම් අප සර්ව ශුභවාදී නොවන නමුත් 1971 දී හා 1987-1989 දී එවකට වූ ආණ්ඩු මඟින් සිදු කරන ලද දකුණේ සමූල ඝාතනයන් අතීතය සමඟම වැලලී යද්දී පසුගිය උතුරේ සමූළ ඝාතනයන් ට අදාලව ජාත්‍යන්තර තලයේ දී  ශ්‍රි ලංකා ආණ්ඩුව වරදකරුවන් කරවීම සමස්ත ප්‍රගතිශිලී ලාංකිකයින්ගේම ජයග්‍රහණයකි.

දූපත තුළ කෙතරම් වහිසි බස් දෙඩූවද මේ මොහොතේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව ට හා එහි කසළ ශෝධකයන් ට සිදුව ඇත්තේ යුද අපරාධ චෝදනා වලින් නිදොස් වීම නොව එල්ල වී ඇති වර්ග සංහාරක චෝදනාවලින් ගැලවීමටය.

මන්නාරමේ බිශොප් වරයා වූ රායප්පු ජෝශප් උගත් පාඩම් කොමිසට ලබාදුන් වාර්තාව

අවනීතියට හුරේදාන පුරවැසියෝ අවනීතියෙන්ම නැසෙති


අප ලෝක මානව හිමිකම් දිනයේත් ගුටි කන ජාතියක් වෙමු.

ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, මිනී මැරුම්, කොල්ලකෑම්, පැහැරගැනීම්, වංචා සහ හොරකම් අපගේ ආසියාවේ ආශ්චර්යයට ඇති තරම් ඇත. රටේ නීති පද්ධතිය අග විනිසුරුගේ සිට පහලින් සිටින තෝල්කයා දක්වාම විනාශ වී කුඩුපට්ටම් වී ඇත. අධිකරණයේ මෙහෙයුම් කටයුතු කරන්නේ රෝම ලන්දේසි නීතියට වුව එම නීතිය මුදමුලන කර හසුරවන්නේ ජනාධිපතිවරයා සහ සිය ලේකම් සහෝදරයා විසිනි.

හික්මීමක් නැති විනයක් නැති ජනඝාතක යුද්ධයක අවසානයේ යුද්ධයට දායක වූ ම්ලේච්ච සොල්දාදුවෝ ඔද්දල් වූ මනස් සහිතව ගම් වල් නිවාඩුවට ඇවිත් වැඩියෙන් ගැවසෙති. ගැහැණු ශරීර, ලේ, මළකුණු, මර ලතෝනි හිසින් බැහැරව නොගිය ඔවුහු පහසුවෙන් ගමේ දඩයම් සොයති. “මේවා ආණ්ඩුවේ බඩු (උණ්ඩ) තියපල්ලා ඇති වෙන්න“පවසමින් හිසට වෙඩි තැබූ ඔවුන් “මට හිතෙනවා මේකිට ආයෙමත් ****“ නිරුවත් කාන්තා මළ සිරුරු දැකත් පවසන ඔවුන් (චැනල් 4) දකුණේ සිංහල සමාජයට ද දැන් මුදා හැර තිබේ. ඔවුහු සැබැවින්ම යුද්ධයකින් පසුව මනස නිරවුල් කිරීමේ උපදේශන සේවා අවැසි පුද්ගලයෝ වෙති. එහෙත් එය එසේ නොවේ. ඔවුහු සිවිල් අඳුමින් සැරසී යුධෝන්මාදයෙන් සැරි සරන්නේ අපගේ දරුවන් අතරය.

රාජ්‍යයේ මැදිහත් වීමෙන් රජයේ හා පුද්ගලික සියළුම මාධ්‍යය වසර කීපයකට පෙර ක්‍රියාත්මක වූයේ ජන ඝාතක යුද්ධයක විජයග්‍රහණය හා වීරත්වය ඇවිස්සීමටයි. මරා දැමූ දෙමළා දැකීමෙන් උත්සන්න වූයේ අභිමානය යි. පාසැල් තුළ ගුරුවරුන් දරුවන්ට ඉගැන්වූයේ සැබෑ සාමය ගැන නොව ම්ලේච්ච යුද්ධයක් රැගෙන එන සාමය ගැන යි. ආණ්ඩුව සුරකින මිනීමරු සොල්දාදුවෝ රණවිරැවෝ නමින් අපේ දරුවන් වෙත හඳුන්වාදුන් අතර අපේ දරුවන් වෙතින් ඔවුන් පිදුම් ලද්දේ ද වෙයි.  

පසුගියදා හෙළිදරව් වුණු ප්‍රභාකරන්ගේ දොළොස් වියැති පුතා හමුදාවෙන් වෙඩිතබා මරා දැමූ බැව් දන්නා මුත් අපි එය තරයේ ප්‍රතික්ශේප කරමු. අහිංසක දරුවෙකු ඝාතනය කිරීම ගැන පැහැදිලි විමර්ශනයක් ආණ්ඩුවෙන් ඉල්ලනවා වෙනුවට “ඕකගේ දරුවෙක් වත් තියන්න එපා“ යැයි මුරුග සාධාරණය කිරීමකින් අපි අපේ වැඩක් බලාගෙන සිටිමු. ලක්ෂ ගණනක නිරායුධ වැසියන් ඝාතනය කිරීම ද සුදු කොඩි රැගෙන පැමිණි කොටි දේශපාලන අංශයේ සාමාජිකයින්ගේ ඝාතනය ද අපි දන්නා මුත් ප්‍රතික්ෂේප කරමු. දෙමළාට නීතියක් අවශ්‍ය නැත. එම “අනවශ්‍ය“ නීතිය ආණ්ඩුව සිංහලයාගෙන් ද උදුරගන්නා බව පස්ස ඇණගන්නා තෙක්ම අප තේරුම් ගන්නේ නැත. ඝාතන සංස්කෘතිය හෙළා දකිනවා වෙනුවට ඝාතනයන් ගෙන් ත්‍රිල් ගැනීම ට අප හුරුවී ඇත. අවි බලය, බලහත්කාරය හැර නීතියක් නැති කම යුද්ධය කෙළවර අපට උරුම වී ඇත.

බස් ගිනි තැබීම්, ගෙවල් ගිනි තැබීම්, ගහලා මැරීම් ආදී දඬුවම් සමාජය විසින්ම දීමේ අවනීතිවලින් රට පුරාම පිරී ඇත. කඹුරුපිටියේ පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ජනමාධ්‍ය විසින් ඇති දැඩි කොට මවන ලද “සැකකාරයෝ“ මේ අයුරින්ම සමාජගත අවනීතිය යටතේ පොලිසිය විසින් මරා දමන ලදි. බටහිර රටවල චෝදනා වලට වැරදිකරුවූවන්ට පවා අභියාචනයන්ට රජයේ (මහජනයාගේ බදු) වියදමින් නීතිඥ ගාස්තු ගෙවිම් පවා සිදු කරන කල අපේ ධර්මද්වීපයේ සැකකරුවන් මරා දමන්නේ මහා දහවලේ පොලිසිය විසිනි. සමහරවිටෙක මාධ්‍යය මඟින් උස්ස උස්සා මැවීමට අමතරව මේ ඝාතනයන්ට මෙම සැකකරුවන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබෙන්නට පවා පුළුවන. එහෙත් “මුන්ට දුන්නා මදි“ න්‍යායෙන් අපි හුරේ දමමු. මාධ්‍යය පුවත් මඟින් ඇවිස්සුනු අපේ රටේ ජනතාව එය සමරන්නේ මරා දැමූ එක් සැකකරුවෙකුගේ මවගේ නිවස ගිනි තැබීමෙනි. කිරිබත් උයා පාරට විසි කිරීමෙනි. ඔහුගේ ආදාහනය පවා සිදු කිරීමට බාධා කරමිනි.පොලීසිය වෙත සැකකරුවන්ට දඬුවම් කිරීමට බලය දෙන අවනීතියක් වූ මේ ඝාතන ප්‍රශ්න කිරීමට කිසිම මානව හිමිකම් සංවිධානයක්, වාමාංශික ව්‍යාපාරයක්, රාජ්‍ය නොවන සංවිධානයක්වත් අවාසනාවකට අපට නොමැත.

මේ සමාජය මියෙන්නට නියමිත තරමටලෙඩය. එහි ජිවත්වීමට සිදුව ඇත්තේ ඔබගේත් අපගේත් දරුවන්ටය.

මුරලි චක් නොකරන්නේ පන්දුව පමණි


ටෙස්ට් කඩුළු 800 ක අනගි වාර්තාවකට හිමිකම් කියන මුත්තයියා මුරලිදරන් පළාතම අමන්දානන්දයට පත් කරන සිය සුපුරුදු පොල් අඩි පහරවල් හා සමාන ප්‍රකාශ කිහිපයක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහිව ප්‍රතාශ කර තිබුණි. ඔහුට අනුව ඔහු දෙමළෙකි. එහෙත් ඔහු වැනි දෙමළුන්ට කරදරයක් නැත. උතුරු නැගෙනහිර දෙමළුන් ද ඉතා සාමකාමීව උතුරු වසන්තයේ අරුණළු දකිමින් සිටිති.

එහෙත් තත්වය එසේ නොවන බැව් මුරලි පවා දන්නා බැව් නො අනුමානය.  2009/10 බර අවි යුද්ධයෙන් අනතුරුව මේ වන තෙක්ම ස්ත්‍රී දූෂණ, අතුරුදහන් කිරීම්, ඉඩම් පැහැර ගැනීම් ඇතුළු සියළුම ආකාරයේ මර්දනයන් හා මානව හිමිකම් අහෝසි කරවීම් රාජ්‍යය හා මිලිටරිය අනුග්‍රහයෙන් උතුරු නැගෙනහිර සිදුවන බැව් අවදියෙන් සිටින සියල්ලන් දන්නා කාරණාවකි.

අපට අනුව නම් මුරලි දෙමළ අනන්‍යතාවක් හිමි සිංහලයෙකි. ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් සහිත මුරලිගේ දෙමාපියන් සඳහා සිංහල සමාජයේ සාර්ථක වෙළෙන්දන් වීමට හැකිව ඇත්තේ ඒ සිංහල බවට අනුගත වීම තුළිනි. එමෙන්ම ධනේශ්වර පන්තියේ දී ජාතිය සාධකයක් නොවී ගැට ගැසීම සිදු වන්නේ මුදල් මතය. කදිරගාමර් ගේ දෙමළ බව ධනපති සිංහල පංතියට අදාල නොවන්නේ එබැවිනි. රාජ්‍යය ජාතිය පොදු සාධකයක් බවට පත් කරන්නේ පීඩක හා පීඩිත පන්තිය එකට ගැට ගැසීමට අවශ්‍ය වූ විටිය. එවිට ජාතිවාදයෙන් අන්ධ වන්නෝ තමාගේ නිවැරදි සතුරා වූ පීඩක පන්තිය හඳුනාගත නොහැකිවීමේ රෝගයෙන් පෙළෙති. ඒ මායිම නොහඳුනති. සමස්ත දෙමළ ජනතාව කදිරගාමර් හා මුරලි තුළින් දකිති.

1994 දෙසැමිබර් සුනාමියේ දී මුරලි සියල්ල රැගෙන සිය සුබ සාධන කටයුතු සඳහා හනිකව දිව ගියේ සුනාමියෙන් දැඩිවම හානියට පත් එමෙන්ම තම සහෝදර දෙමළා සිටි නැගෙනහිර පළාතට නොව දකුණු පළාතටය. තමන්ගේ ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් ඇති පරපුර තවමත් තේ වතු වල “ලැයින්“ පේලීයේ ඉතා දුක්ඛිත තත්වයක සිටිති. ඔවුන් හට ජීවත් වීමේ අවම පහසුකම් නැති අතර මුරලි එය නො දකින්නේ වෙයි. මේ මොහොතේ සිය පරපුරෙහි ලක්ෂගාණක් මරා දැමූ යුද අපරාධ කරුවන් ආරක්ෂ කිරීමට අසත්‍ය ප්‍රකාශ කිරීමේ ඇම්බසඩර් බවට ද පත්ව සිටී.

මුරලි හා ප්‍රමෝද්‍ය එකතුව ආරම්භ කරන ලද ඇමෙරිකාණු බහුජාතික සමාගමක් වූ ඩෝල් කෙසෙල් ව්‍යාපාරය සඳහා සෝමාවතියේ රක්ෂිත වනාන්තර වලින් අක්කර 5000 ක් ආරක්ෂක හමුදා ආධාරයෙන් ලබා ගෙන සිදු කර ඇති භුමිය සූරා කෑම ට මෙන්ම සිය සහෝදරයාගේ නීති වීරෝධී එතනෝල් ව්‍යාපාර සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය නිසාවෙන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ට වීම අනිවාර්‍යය විය හැක. එහෙත් තමන්ගේ සගයා වෙත ලැයින්“ පේලීයේ පොඩි ටීවී දෙස බලාගෙන හුරේ දමපු  පරපුර සහ යුද්ධය අතර තුරේදී පවා පෝර්ටබල් රේඩියෝ කණ අස්සේ ගසාගෙන විසිල් ගහපු පරපුර ද  ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් ලෝකය තුළ බබලවා ගෙන සිටි කීර්ති නාමය නොදන්නා දෙමළෙට යාමෙන් මුත්තයියා මුරලිදරන් තවදුරටත් විනාශ කරගෙන තිබේ.


සබැඳි ලිපි:

අපගේ විරුවන් හැමදාමත් ආණ්ඩුවට ත්‍රස්තවාදීන්ය


ජාතිය රඳවා ඇත්තේ ජාතික හෙළ උරුමයේ නායකයින් ගේ පස්සා පැත්තේ බැවින් විවේකයකට ඉඳහිට වාඩි වන වාරයක් වාරයක් ගානේ ජාතියට රිදේ. මහ විරු දිනයේ දී දෙමළ ජාතිකයින් තමන්ගේ විරුවන් සැමරීමට පරළව  'කොටි' මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලූ දෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර දඩුවම් කරන ලෙසත්, නීතිය ප‍්‍රමාණවත් නොමැති නම් නීති සම්පාදන කරන ලෙස ජාතිවාදී ආගම්වාදී ජාතික හෙළ උරුමය තමන්ගේ ම ආණ්ඩුවට පත්තර පිටු මඟින් බල කර සිටින්නේ එබැවිනි.

පීඩනයට එරෙහිව නැඟී සිටින්නන්ට ‘ත්‍රස්තවාදීන්‘ යැයි නම් කරන්නේ රාජ්‍යය හා එහි බලු ගැත්තන් විසිනි. ඒ අනුව 71 දී  මෙන්ම 88-89 දී ද සිංහල ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍යය විසින්, ත්‍රස්තවාදී ලේබලය අලවන ලදි. 83 දී දෙමළ කොටි සංවිධානය ට ද රාජ්‍යය විසින් එය එසේ ම සිදු කරණ ලදි. ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂ වලට හා රාජ්‍ය අතකොළු  මාධ්‍යයට  සිංහල ජාතිවාද ය පහසුවෙන් ඇවිලිය හැකි වූ බැවින් දකුණේ සිංහලයා අතර ද කොටි සංවිධානය වෙත වූ ත්‍රස්තවාදී ලේබලය ඉතා පහසුවෙන් ස්ථාපිත කිරීමට හැකි විය. 71, 88-89, 2008-2009 සමූල ඝාතනයන් හී දී  රාජ්‍යය පවසන ලද්දේ එය ත්‍රස්තවාදය පරාජය කිරීමක් වශයෙනි. ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරා ගැනීමක් වශයෙනි. මරා දැමීමට ලක් වූවෝ ත්‍රස්තවාදීයෝය. අනෙක් අතට රට ජාතිය බේරා ගැනීමට දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන් මරා දැමීමට සිදු වේ නම් එය ම්ලේච්චත්වයෙන් ඔබ්බට ගිය වීරත්වයකි. ඒ අනුව ඝාතක හමුදාවෝ ජාතියේ විරුවන් ය.

රාජ්‍යය ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද්දන් තවත් ජන කොට්ඨාශයකට විරුවන් වේ. සිංහල හෝ දෙමළ හෝ වේවා  තම තමන්ගේ විරුවන් සටන් වැදුණේ පරපුරේ උතුම් අරමුණු වෙනුවෙන් බැවිනි. ඔවුනට ආණ්ඩුවේ හමුදාවන් යනු වැටුපට සේවය කරණ මිනීමරුවන් වේ. ඒ හමුදාවන්ගේ එකම අරමුණ රාජ්‍යය සුරුකීමට රාජ්‍යයේ අණ පිළිපැද තමන්ගේ සහෝදර සහෝදරියන්, දූ පුතුන් වෙත වෙඩි උණ්ඩ නිකුත් කිරීම පමණක් බැවිනි.

එ දවස රාජ්‍යය විසින් ත්‍රස්තවාදීන්‘ යැයි නම් කරණ ලද ජනතා විමුක්ති පෙරමුණට නොවැම්බරයේ දී සිය සටන් සගයින් ගේ වීරත්වය උත්සව ශ්‍රීයෙන් සැමරීමට කිසිදු බාධාවක් නැත්තේ ද එවිට ජාතික හෙළ උරුමයේ පස්සා පැත්ත නොරිදෙන්නේ ද ඒ ඔවුන් දූපතේ මහ ජාතියේ සිංහලයන් බැවිනි. ඒ නොවැම්බරයේදී ම දෙමළ ජාතිකයින් සිය වීරයින් සැමරීමේ දී පහනක් දැල්වීමට එරෙහිවන්නේ ඔවුන් දූපතේ මහ ජාතියේ සිංහලයන් නොවන බැවිණි. එ මෙන්ම දෙමළා නැවත නැගිටියි යන් බිය ජනක සිහිනයේ ඔවුහු තැවෙති. බියෙන් ජීවත් වීමට සිදුවීම සිංහල ජාතිවාදීයාගේ උරුමයයි. අවාසනාව වන්නේ වරෙක ත්‍රස්තවාදි යැයි හැඳින් වූ පීඩිත සිංහලයාට මේ යථාර්ථය නොපෙනීම යි.

වීරයින් පැණ නඟින්නේ පුද්ගලයින් ගේ හදවත් තුළය. වීරයින් බලහත්කාරයෙන් බිහි කළ නොහැකි වා මෙන්ම වීරයින් මිනිසුන්ගේ බලහත්කාරයෙන් හදවත් තුළින් විනාශ කිරීම ද සිදු කළ නොහැක.  හෙළ උරුමයේ පස්සා පැත්තේ රුදාවට තේරුම් නොගන්නේ තහනම් කිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් දෙමළ ජනතාවගේ සිත් තුළ දැල්වෙන නොවැම්බරයේ පහන කිසිදා නිවා දැමිය නොහැකි බවය.
__________________________________


විරුවන් වෙත පමා වී හෝ දල්වන පහන ගැන එ දවස (89/90) නන්දන වීරසිංහ ලියූ කවියක් පහතින් අමුණමි. (එහෙත් මේ නන්දන වීරසිංහ වෙනුවට අද ඇත්තේ ජන සංහාරක යුද්ධයකට ආශිර්වාද කළ ආණ්ඩුවට කඩේ යන වෙනත් නන්දන වීරසිංහ කෙනෙකි)

තුනී වී මැකී යන තුරු
කොවුල් ගී සර
රහසිව පිපී හිනැහී
මැළෑවන තුරු කුසුම් එරබදු
බලා සිටියෙමි මල්ලියේ මම
නුඹේ සොහොන ළඟ
පහනක් අවුළුවන්නට

දස මුතු පරපුරක
මිසදිටු ඇඳිරියෙහි නැඟ
පුරා පුරුෂ ප්‍රතිමා
මහා මුරගල් සොලවා
ගල් දොර දැදුරු කළ
මල්ලියේ නුඹ සිහිකර
පමා වූ මේ පහන
නොපමාව දල්වමි

ලෝකයට මතක නැති කර
බතල කඳු අතර සඟවා
රැක බලාගත් නුඹේ සොහොනත
අවසන් වසත් පවනැලි
විසුළ වන පස මල් ඇත
වැටුණු පෙති මත කඳුළු යට
මදහස සුබ ලකුණකි

පිරිවරා බතල කඳු
නුඹ නිදන බිම් කඩ වට
සුසුම් කෙඳුරුම් ලමින
පවන් සළනා දිළිඳු ගහ වැල
මේ පහන ගැන කිසිවක්
ලෝකයට නොකියනු ඇත

රොද බැඳ හිඳින සිව් දිග
නපුරු විසකුරු අඳුරෙහි
පාවා දෙන උගුල් අටවන
අවගති කැවුණු අඳුරෙහි
දැල් වූ මේ අහිංසක පහන ගැන
ඔත්තුව දිව යන්නට පෙර
නිවා සඟවමින් එය

හිරු මඬල සේ පසිඳුව
මිණි පහන දැල්වෙන තුරු
භෂමාවශේෂ විසිරුණු
පොදු සුසානය තුරුලෙහි.


නන්දන වීරසිංහ

දෙමළාට කෙළ‍වෙන තෙක් ආයෙමත් බලා සිටීමට සිදුවීම


“දෙමළා ඉවරයි“ කියා සිතාගෙන සිටිය උම්මත්තක සිංහල ජාතිවාදීන් නන්නත්තාර වූයේ පසුගිය දා පලාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ උතුරේ දෙමළ ජනතාව අළුගසා දමා නැඟිටීමෙනි. රාජපක්ෂලාගේ සිට රණවක-වීරවංශලා මූලික “අපි කියන විදියට ඉන්නවනම් හිටු“ පන්නයේ දෙමළ විරෝධී දකුණේ සිංහලයා දැන් ඇසිපිය නොහෙළා උතුර දෙස බලා සිටින්නේ ඒ දෙමළා ට කෙළවෙන්නේ කොයි මොහොතේ ද යන්න දැන ගැනීමටයි. දැන් ඔවුන්ට වෙන වැඩක් නොමැත. “දිවුරුම් දෙන දවසට අරයා ආවේ නැහැ - ඇමතිකම් වලට වලි - අරයා දිවුරුම් දුන්නේ අරහේ - මහ ඇමති ආයෙමත් අරලියගහ මැදුරේ“ වැනි හිත හදාගන්නා නියායේ ප්‍රවෘත්තීන් වලින් ඔවුහු සැනසෙති.

ඒ අතරතුර තවදුරටත් මරා දමා කෙළවර නොවුණු ඒ දෙමළාගේ කෙළවීම කෙළවර කිරීම සඳහා විවිධාකාරයෙන් දකුණ ලැහැස්තිවෙති. යුද හමුදාපති දයා රත්නායක දෙමළාගේ බෙල්ල ගලවන බවට තර්ජනය කරන විට මහින්ද රාජපක්ෂ සුපුරුදු මොර්තේ න්‍යාය යොදවා මහ ඇමති විග්නේශ්වරන් ව බා ගැනීමේ මානුෂික මෙහෙයුමට අවතීර්ණ වී සිටී. ඒ අනුව විග්නේශ්වරන්ට සමූහ ඡායාරූප ලබා දීමේ සිට  කැබිනට් රැස්වීම වලට රැගෙන ඒමේ හරහා පොදු රාජ්‍ය මණ්ඩල සැසිය ඇමතීම දක්වා මෙහෙයවීමට ඔහු සමත් වී ඇත.

If you can't beat 'em, join 'em යනු ඉංග්‍රිසියේ ප්‍රකට කියමනකි. අවැසි පරිදි එය දෙ ආකාරයකට අරුත් ගැන්විය හැකිය. පළමු වැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී නිහඬවම ඔවුන් අනුගමනය කිරීමයි (දයාසිරි ක්‍රමවේදය). දෙවැන්න වන්නේ යමෙකුට අනෙකෙකුව එක් වර පරාජය කිරීමට නොහැකි නම් අනෙකාගේ පිළිවෙතට එකතු වී ඔවුන් අනුගමනය කරන බැව් පෙන්වා කෙමෙන් කෙමෙන් කුමන්ත්‍රණ මඟින් විනාශ කර දැමීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රකට මොර්තේ න්‍යාය අර්ථ නිරූපනය කරන්නේ දෙවැන්නයි. යුද සංහාරය හා මැතිවරණ ප්‍රතිඵල මඟින් විනාශ කර දැමිය නොහැකි වූ දෙමළා ව යටින් ගේම දී කෙළවා දැමීම ඔහුගේ වෑයමයි.

යුද හමුදාපති දයා රත්නායක තවදුරටත් දෙමළාගේ බෙල්ල ගලවන බවට පවසන්නේ, ඇමෙරිකාව ඇතුළු ලොව සියළුම පෙර අපෙර දිග රටවල් හා ජවිපෙ ඇතුළු දකුණේ සියළුම වාම-දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයන්ගේ සහයෝගය ඇතිව වන්නිය වසර හතරකට ඉහත දී වර්ග සංහාරයකට ලක් කිරීමෙන් ද අනතුරුවය. එ ලෙස බෙලි ගලවා රිටි වල හිටුවා හිස සුන්කඳ දෙස බලා සිටීමට සැලැස්වූ ලංකා හමුදාවේ අතීතය දකුණේ අපට ද හොඳින්ම මතකය. එයට බිලි වූයේ හැට දහසක් වූ ජවිපෙ ක්‍රියා කාරීන් හා හිතවාදීන් පමණක් නොව දකුණේ ද අහිංසක පුරවැසියන්ය.

සිංහලයා යනු එතරම් කාලකණ්ණි අත් දැකීමක් ඇතිව එම ඝාතක හමුදාවම යොදවා තවත් සහෝදර ජනතාවක් විනාශ කිරීම සඳහා ආශිර්වාද කළ ජාතියකි. අප, 1987-1989 දී දකුණේ හත්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළ මිනීමරු හමුදාව ලවා තුන්සියයක් පමණ හාමුදුරුවරුන් ඝාතනය කළා යැයි පවසන කොටි විනාශ කිරීම සඳහා බෝධි පූජා පැවැත්වූ ජාතියකි. 1983 ජූලියේ දී දවස් හතරක දී තුන් දාහකට වැඩි දෙමළුන් මරා අවුරුදු 17 කදී සිංහලයින් තුන් දාහක් ( චම්පික රණවකගේ “කොටි විනිවිදීම“ ට අනුව 1983-2000 දක්වා කොටි සංවිධානය සිදු කළ ඝාතන සංඛ්‍යාව 3042 කි) මරා දැමූ දෙමළාට සාප කළ ජාතියකි. දෙමළා විනාශ කිරීමට අවැසි වූ විට ඉතිහාසය පුරාම අපි සිදු කර ඇත්තේ ජාතියක් ජම්මයක් ඇති එවුන් නොකරනා වැඩය. කොහොමටත් අපිට හරියනවාට ත් වඩා සතුටක් දෙමළාට කෙළවෙන විට අපිට ලැබේ. ඒ අපේ සිංහල කමය. ජාතියේ ස්වභාවය ය.

ප්‍රභාකරන් හට ලියුම් විතරක් ලියූ ආනන්ද සංගරී හා ඩග්ලස්-කේපී-කරුණා යන දේශපාලන මළකුණු අත්හැර දැමූව ද ජනප්‍රිය දේශපාලනයේදී දෙමළා හා සිංහලයා කියා වෙනසක් නොමැත. එබැවින් ටීඑන්ඒ හෝ වාසුදේව-මස්සිනා විග්නේශවරන් යනු කෙතෙක් දුරට සිය නිජබිමේ දෙමළා ගේ උරුමය වෙනුවෙන් පෙනී සිටිනු ඇත්දැයි යන්න හෙට දවසේ අවිනිශ්චිත ය. රාජපක්ෂ වරුන්ගේ හැකියාවේ තරම අනුව ටීඑන්ඒ දෙදරීමේ වේගය තීරණය වන්නේ නම් එය දෙමළාගේ ම අවාසනාවය.

පසුගිය මැතිවරණයේ දී ටීඑන්ඒ සඳහා, ප්‍රභාකරන් වීරයෙකු බැව් පැවසීමට සිදුවීමෙන් හෝ කොටි සංවිධානයේ විරු ගීතිකා වේදීකාවල ගැයීමට සිදුවීමෙන් හෝ ප්‍රභාකරන්ගේ ඡායාරූප මුද්‍රණය කර බෙදා හැරීමට සිදුවීමෙන් හෝ අද ඉතිරී වී සිටින කුඩුපට්ටම් වී ගිය දෙමළාගෙන් සියයට අසූවක් මහ පොළොව දෙදරවා පෙන්වා දුන්නේ මරණය මතින් වුව තමන් පිළිගන්නේ කොටි සංවිධානයේ දේශපාලන මතය බවයි. එනම් දෙමළා සතු වෙනම රටක ජීවත් වීමේ හෝ ස්වයං නිර්ණය අයිතියයි. 

පසුගිය වසර තිහ ඇතුළත මෙන්ම අනාගතයේ දී ද උතුරේ දේශපාලනය මෙන්ම දකුණේ දේශපාලනය ද තීරණය කරණු ඇත්තේ ඒ සදාකාලික සත්‍යය යි. එම සත්‍යය වටහා නොගෙන එම   යථාර්තය පිළිනොගෙන කොළඹ දේශපාලනය ක්‍රියාත්මක වන තාක් කල් සාමයේ සමාදානයේ හා සමගියේ හිරු මේ භූමියට පායනු ඇත්තේ දහවල් කිහිපයකට පමණය. එවිට “කෙළවීම“ සඳහා වූ මාලිමාවේ සූචිකාවේ දිශානතිය වෙනස් වීමට ගත වනු ඇත්තේ ද මොහොතක කාලපරාසයකි.