A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ෂී ජිංපිං අංදුං කුංදුං


ජවිපෙ පසුගියදා චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං හට සුබ පැතුම් පණිවිඩයක් හැරෙන තැපෑලෙන් යැව්වේ‍ය (සමහරවිට පෙසපෙ ඉස්සර වෙයි දැයි බයට විය හැක). ඇත්තටම චීනයේ නව ජනාධිපතිට සුබ පැතීම සඳහා ජවිපෙට ඇත්තතේ ඉතාමත්ම හොඳ සුදුසුකම් සමූහයකි. එහෙත් තමන් මාක්ස්වාදීන් යැයි ලංකාවේ සිංහල සමාජය  අන්දවමින් සිටින ජාතිවාදී සුළු ධනේශ්වර ජවිපෙ මෙමඟින් පෙන්නුම් කර ඇත්තේ ළදරු දේශපාලන මන්ද මානසික ස්වභාවයයි.

චීන පාලක පක්ෂයේ නම ‘කොමියුනිස්ට් පක්ෂය’ වීමද ජාතික කොඩිය රතු පැහැ වීමද දෑකැත්තේ හා මිටියේ සළකුණ ද චීන විප්ලවය යන වචන ද ජවිපෙ හිස නැති කඳට ගෙන එන්නේ චීනය යනු තවමත් සමාජවාදී ක්‍රමයක් සහිත රටක් බවයි. එහෙත් භූ දේශපාලනය ගැන යන්තම් හෝ අව‍බෝධයක් ඇත්තෙකු ඇත්නම් පසුගිය වසර තිහක් ඔස්සේ චීනයේ ඇත්තේ නව ධනවාදයේ ම පැතිකඩක් වන නිලධාරීවාදී ධනවාදය බවත් එය 1949 චීන විප්ලවය හා කිසිදු සම්බන්ධකමක් නැති බවත් තේරුම් ගනු ඇත. රාජ්‍ය විසින් නායකත්වය සපයනු ලබන පාලක පන්තිය සමන්විතව එහි ඇත්තේ දේපල හිමි කණ්ඩායමකින් සැදුණු රෙජීමයකිනි. ඇති නැති පරතරය නොවූ විරූ තරම් ඉතා විශාල වීම ද ඇතුළු ධනවාදයේ ඇති සියළුම ලක්ෂණයන් අඩු වැඩි වශයෙන් එහි ඇත.

හාස්‍යජනක කාරණය වන්නේ ජවිපෙ සුබ පැතුම යවන විට තමන්ගේ රටෙහිම පාලක පන්තිය වන මහින්ද රෙජීමය ද චීනයේ නව ජනාධිපතිට සුබ පැතුමක් යැවීමයි. චීන රජය ලංකාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන ආකාරය හා ලොව බලය තහවුරු කර ගැනීම උදෙසා ලංකාව ඇතුළු දුප්පත් රටවල් සූරාකන ආකාරයවත් ජවිපෙට මේ රට ඇතුලේම හිඳ තේරුම් ගැනීමට නොහැකි නම් තවත් කවර කතා ද.

මහින්ද ගේ හා සෝමවංශගේ සුබ පැතුම් දෙක අතෙහි තබාගෙන චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං දහ අතේ කල්පනා කරන අතරේ හිටපු ජනාධිපති හූ ජිංටාඕ පැමිණ සුබ පැතුම් දෙක උදුරා කුණු කූඩයට ඔබා ෂී ජිංපිං ගේ පිටට තට්ටුවක් දමා උනුත් මරු ෂී මුනුත් මරුකියා මාරු වූ බව ෂිංහුවා පුවත් පත වාර්තා කර තිබුණි.

ඉල කකියන්න හිනා.

අප්පගෙ පුතා


මැනික් ෆාම් කඳවුරෙන් නිදහස් ව තම උපන් බිම වූ මුලතිව් හි කොකුලෛ ගම්මානයේ නැවත පදිංචියට ගිය ගම් වැසියන් ගේ ඉඩම් කොල්ලකෑ පුවත සිංහල ආණ්ඩුව හා ආණ්ඩුවේ අනුදැනුම ඇතුව දේශපාලන/මිලිටරි හෙන්චයියන් විසින් උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ ඉඩම් කොල්ලකා ඔවුන් පලවා හැරීමේ ඛේදවාචාකයේ තවත් එක් කතාවකි. සවිස්තරාත්මක ලිපිය පලවී තිබුණේ ලක්බිමනිවුස් ඉංග්‍රිසි පුවත්පතෙහිය.


ඉතා අවම පහසුකම් සහිතව මෙ‍ම ගම් වැසියන් තමන්ගේ ජීවිතය ගැට ගසාගන්නට ලෑස්ති වූවා පමණකි. බීමට අවැසි ජලයේ සිට හිසට නිවසක් ද ගතට ඇඳුමක් ද දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් ද එදා වේල ගැට ගසා ගැනීම සඳහා මොකක් හෝ රැකියාවක් ද ඇතුළුව සියළුම අත්‍යාවශ්‍ය දෑ මොවුනට ඇත්තේ ගව් ගණනක් දුරිනි. පරම්පරාවෙන් ලැබුණු ඉඩමක මොකක් හෝ වගාවක් කර ගැනීම හැමෝගේම සිහිනය ව තිබුනේ ඉතිරිව තිබුණු දිරියෙන් ජීවිතය කෙසේ හෝ ගැට ගසාගත යුතු බැවිනි.

මේ අතරවාරයේ නාමල් රාජපක්ෂ මේ ගම්වැසියන් ගේ සුවදුක් බැලීම සඳහා කොකුලෛ ගම වෙත ගොස් තිබුණි. ගම් වැසියන් සමඟ කතා බස් කර ඔවුනගේ ප්‍රශ්න අසා නාමල් මහත් කනගාටුවට පත්ව තිබුණි. ඔව්න්ගේ ප්‍රශ්න සියල්ලම ඔහු විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණෙන් ඉතා ඉක්මනින්ම ඒ සදහා පිළියම් යෙදීමට පියවරගන්නා බව පොරොන්දු වී තිබුණි. ගම් වැසියන් පිටත්ව ඇත්තේ නාමල්‍ රාජපක්ෂ ගේ පැමිණීම තමන්ගේ අසරණ කම වෙනුවෙන් පිහිටට පැමිණි දෙවියෙක් දුටුවාක් වැනි හැඟීමකිනි.

පසුවදා උපදිසාපතිවරයාට හදිසි දුරකථන පණිවිඩයකින් දැනූම් දී ඇත්තේ පවුල් 30 කට අයිති කොකුලෛ ගමෙහි අක්කර 20 ක භූමි ප්‍රදේශය ඉලිමනයිට් කැනීම සඳහා ඊස්ට් ඒෂියන් සමාගම සඳහා රජය විසින් පවරා දුන් බවකි. කොල්ලකෑ ඉඩම් නන්නාඳුනන සිංහල කූලී කරුවෝ විසින් ලහි ලහියේ ඉල්මනයිට් කැනීම සඳහා සකස් කරමින් සිටිති. තමන්ගේ පරම්පරා ගණනක් ජීවත් වූ ඉඩ කඩම් කොල්ලකෑවුන් දෙස බලාගෙන ඔප්පු දෑතින් බදා ගත් කොකුලෛ අසරණ ගම් වැසියෝ හූල්ලමින් බලා සිටිති. ඊයේ කඳුළු පිරි දෙනෙතින් තමන්ව මුණගැසීමට ඇවිත් පසුවදා මහපොළව කොල්ලකාගෙන ගියේ රටේ ජනාධිපතිවරයාගේ පුතා බව දන්න ඔවුහු තමන් වෙනුවෙන් කතා කීරීමට කිසිවෙක් නොවන බැව් ද දනිති. සමහරවිට මරණයට මෙහායින් සාධාරණයක් ඔවන් වෙත නොලැබෙණු ඇත.

ලිපිය අවසන්ව තිබුණේ බයිබලයේ සදහන් කතාවකිනි. තමන්ට බිරින්දෑවරුන් විශාල සංඛ්‍යාවක් සිටිය දීත් ඩේවිඩ් රජු තමන්ගේ ජෙනරාල් වරයෙකු  යුද පෙරමුණ තුළ දී මරා දැමීමට ඉඩහැර කුමන්ත්‍රණකාරීව ඔහුගේ බිරිඳ අත්පත් කරගත්තේය. දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් දුන්නේ   පොහොසතෙකු තමන්ට ඕනෑතරම් බැටළුවන් සිටියදීත් තමන්ගේ ආගන්තුකයෙකුට සංග්‍රහකිරීමට දුප්පතෙකු විසින් ආදරයෙන් හදාවඩා ගත් බැටළු පැටියෙකු මරාදැමීම සිහිපත් කිරීමෙනි. දඬුවම වූයේ තම අළුත් බිරිඳට ලැබෙන්නට සිටි දරුවා ප්‍රසූතියේ දී මරණයට පත් කිරීමයි.

රාජපක්ෂ ආණ්ඩුව සිදුකරන්නේත් ඉතිරි වී සිටින අහිංසක දුප්පත් දෙමළ ගම් වැසියාගේ පොඩි ඉඩම් කැබෙල්ලත් කොල්ලකෑමයි.

Image: Michelangelo’s King David statue sits in the Accademia Gallery in Florence, Italy

නිවපියව් පහන්


හින්දූන්‍ ගේ කා(ර්)තිකයි දීපම් (පහන්) පූජාව ශත වර්ෂ ගනණක්  ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. නොවැම්බර් මාසයේ පූර්ණ සඳ අහසෙහි නැගෙන දා වාර්ෂිකව මේ පහන් දැල්වීම සිදුවෙයි. හින්දු කෝවිල් වල මෙන්ම සෑම නිවෙසක ම පහන් වැටි එදිනට නොවැරදීම දැල්වෙන්නේ එය ඔවුන්ට ආගමිකව මෙන්ම සංස්කෘතිකව ද ඉතා ඉහල වටිනාකමක් ඇති බැවිනි. යක්ෂ බලවේගයන් පලවා හැර සෞභාග්‍යය හා සතුට ප්‍රාර්ථනා කිරීම මෙම පහන් දැල්වීමේ ප්‍රධාන අරමුණයි.

අහම්බයක්ව මේ වසරේ පුන් සඳ නැගෙන්නේ කොටි සංවිධානයේ මහා විරු දිනය හා සමපාතව බැවින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හා උතුරු නැගෙනහිර හමුදා පාලනය (යක්ෂ බලවේගයන්) පහන් දැල්වීම තහනම් කර ඇත. ඒ අනුව වසර දහස් ගනණක් පැරණි හින්දූන්ගේ මෙවර කා(ර්)තිකයි දීපම් පූජාවට මහින්ද රාජපක්ෂගේ සිංහල උන්මත්තකකාමී ආණ්ඩුව කෙලවා ඇත.

2009 සමූලඝාතනයෙන් ඉතිරි වූ දෙමළ ජනතාවට දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීමටවත් ඉඩදිය නොහැක. කොහොමටත් සිංහල නොවන කිසිවෙකුටත් සෞභාග්‍යය හා සතුට අවශය නැත.

රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාර


“හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ.“

      මේ අපූරු කියමන උපුටා ගත්තේ Rear Gate හි අපූරු බ්ලොග් සටහනකිනි.


පසුගිය කාලයේ ජාතිවාදය කොත් වහන්සේටත් වඩා ඉහලින් ඔසවා තබන්නට හෙළ උරුමයේ හාමුදුරුවෝ ටික පුළුවන් වීම කෙලවර වූයේ ත්‍රස්තවාදය මුවාවෙන් රටේ අනිත් කොනෙහි ජීවත් වූ දෙමළ මිනිසුන් ලක්ෂ ගානක් මරා දමන විට සාදුකාර දෙන්නට සමත් ජාතියක් ඉතිරි කිරීමෙනි. දැං ඉතිං මදිය... තවත් මොනවා හරි කළ යුතුය. ඉනාමළුවේ පරම්පරාව ආගම්වාදය ඇති තරමට පතුරුවමින් සිටී. රොටුඹේ හා ගලබඩ අත්තතේ පරම්පරාව වඳ සැත්කමට හා ගබ්සාවට විරුද්දව පාරට බැසීමට පටන් ගෙන ඇත. ජාතිය-ජාතිය, ආගම-ආගම දෙසා බාමින් පතුරුවන්නේ බුදුන් දෙසු මෛත්‍රිය වෙනුවට වෛරය පමණකි. පොළොවෙ පයගහන්නට දඟලන මිනිසුන්ට නැගිටුවන්නට අත දෙනු වෙනුවට කරන්නනේ පයින් ගැසීම පමණකි.

දකින දකින තැන දණ ගහගෙන වැද වැටුනට ෆෝන් එක තියන කොට බුදු සරණයි තෙරුවන් සරණයි කිව්වට අද ලංකාවේ මුළු සමාජයම කවදාවත් නැති තරමට පිරිහී ඇත. කාන්තාවකට දවාලකවත් තනිව පාරක බැසීමට නොහැක. දූවරුන් දූෂණය වන්නේ පියවරුන්, සීයාවරුන්, ගුරුවරුන් අතිනි. ළමා අපයෝජන ගිහි සමාජය ටත් වඩා සංඝ සාසනය පුරාම පිරී ඇත. හොර කම් මැරකම් නැති තැනක් නැත. ගෙයක් ගෙයක් ගානේ පන්සලක් පන්සලක් ගානේ සුරාවය. සූදුවය. මිනී මරන්නේ විනෝදාංශයකට මෙනි. ලක් පොළොව මතට වතුරට වැඩියෙන් උරනවා ඇත්තේ රුධිරය විය යුතුය. දේශපාලකයෝ බලය ඇත්තෝ ද ජනතාවගේ මුදල් කෝටි ගනනින් පිල්ලි ගසති. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සියළුම ආයතන විනාශ වී ඇත. ඉන්දියන් සාගරය ඇතුලත බල පොරයට චීනය ඇමෙරිකාව ඉන්දියාව පාකිස්ථානය රුසියාව රට ඇතුලට රිංගා ඇත්තේ කාටත් නොදැනෙන්ටය.

මුඬු කළ හිස තුළ ඇති මොළ කඳුල පාවිච්චි කොරල පිං කරන හාමුදුරුවනේ වැඳල ඉල්ලන්නං ධර්මයෙහි හැසිරෙන්න,  ධර්මය වදාරන්න, සාසනය රැක ගන්න මහන්සි වෙලා යහපත් චේතනාවෙන් මේ සමාජය පිරිසුදු කරන එකට පොඩ්ඩක් පාරට බහින්න.

ගිහියන් දරුවො වදන එකයි හදන එකයි ඒ ඒ අයට කැමති විදිහට පුළුවන් ප්‍රමාණයට කොර ගත්තදෙන්... ජාතියට ළමයි නොවදන එක නම් මේ වෙලාවෙ තියෙන ලොතු වින්නැහිය  හාමුදුරුවනේ  ගිහි අපිට කරදර කරන්නෙ නැතිව කරන්න තියෙන්නෙ රටේ තියෙන පන්සල් හයදාහෙ ඉන්න හාමුදුරුවො පහලොස් දාහට ථෙරවාදය වලළලා මහායාන ක්‍රමේට කසාදයක් කරගෙන අන්ලිමිටඩ් ළමයි හද හදා ඉන්නයි ඉතිං.

අපේ නම් කිසි තරහක් නැහැ අපිත් ඇවිල්ල මලක් පහනක් පූජා කරල ළමයෙක් හුරතල් කොරල යන්නම් ඉඩක් තියෙන වෙලාවට.



පින් බිම


සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන කිසිම රටක ට නොදෙවෙනි ලෙසිනි. එහෙත් ‍මෙවැනි ඝාතන සංස්කෘතියක් ඇති රටවල් ලොවෙහි තව තිබේ නම් එය ඉතා සුළු සංඛ්‍යාවකි. අවාසනාවකට මෙහි රට වැසියන් කිසිවෙක් මේ ඝාතන වලින් සැලෙන බවක් නොපෙනේ. පසු දිනය වන විට සියල්ල සිදුවන්නේ ඉතාමත්ම සාමාන්‍ය පරිද්දෙනි.

පසුගිය දා වැළිකඩ සිර කරුවන් වෙත එල්ල කළ අමානුෂික ප්‍රහාරය හා සමූලඝාතනයද එවැන්නකි.

කිසිදු සමූල ඝාතනයක ඝාතකයින්ට එරෙහිව කිසිදු දඬුවමක් නැත. රජයේ පොලීසිය/හමුදාවන් හෝ මැරයින් හෝ දේශපාලන හෙංචයියන් වේවා සියල්ලෝම මේ මේලෙච්ච ඝාතන වලින් අනතුරුව සිය නිදහස වෙනදාටත් වඩා නිදහසේ භුක්ති විඳිති. රජය පැත්තනේ සිදුවන විට එම ඝාතන ඔවුන් විසින්ම නීත්‍යානුකූල කරනූ ලැබේ. මැරයින් හෝ දේශපාලන හෙංචයියන් සිදු කරණ විට ඒවා කැරලි කෝලාහල ලෙසින් නොසලකා හරිනු ලැබේ. ජාතික තලයේ හෝ අන්තර්ජාතික තලයේ කිසිවෙක් වරදකරුවන් නොවිණි. නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන සඳහා කිසිවෙක් මොනයම් හෝ දඬුවමක ට යටත් කරණු ලැබුයේ නම් තව එක් සමූල ඝාතනයක් සඳහා කිසිවෙක් දෙවරක් හිතන්නට තිබුණි.

ඔවුන් ත්‍රස්තවාදීන්ය
ඔවුන් දෙමළුන්ය
ඔවුන් අපරාධකරුවන්ය
ඔවුන් දේශපාලන විරුද්ධවාදීන්ය
යැයි සැනසුම් සුසුම් හෙළමින් ඝාතකයින් තමන්ගේ දොරකඩටම හෙට අනිද්දා පැමිණෙන තෙක් මේ නිදහස තවදුරටත් ඔබට භුක්ති විඳිය හැක.

1948 නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන :

දේශපාලන උවමනාවන් මත වූ කැරලි කෝලාහල

1956 ගල්ඔය කැරලි කෝලාහල (දෙමළ)          - මරණ 150 පමණ
1958 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 300 පමණ
1977 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 300 පමණ
1983 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 3,000 පමණ

නිල හා නිල නොවන ආණ්ඩුවේ හමුදා/පොලීසිය

1971 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල)               - මරණ 15,000 පමණ
1988/89 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල)          - මරණ 60,000 පමණ  
2008/09 උතුරේ රාජ්‍ය මර්දනය (දෙමළ)           - මරණ 140,000 පමණ*          

සිර කඳවුරු ප්‍රහාර

1983 වැළිකඩ ප්‍රහාරය (දෙමළ)             - මරණ 54 පමණ
2000 බිඳුණුවැව ප්‍රහාරය (දෙමළ)          - මරණ 26 පමණ
2012 වැළිකඩ ප්‍රහාරය (සිංහල)             - මරණ 27 පමණ

- වරහන් ඇතුලින් දක්වා ඇත්තේ බහුතරයක් ඝාතනයට ලක්වූ ජන කොට්ඨාශයයි.
- ආණ්ඩුව හා එල්ටීටීය අතර වසර තිහක් වූ යුද්ධයෙන් සිදුවූ 100,000 පමණ දෙපාර්ශවයේම සමූල ඝාතන මෙහි දක්වා නැත.
- සංඛ්‍යාත්මකව අඩුවුවද සිර කඳවුරු ප්‍රහාර මතුකර දැක්වූයේ එයටම ආවෙනික කාළකන්නි සහගත ම්ලේච්චත්වය නිසාවෙනි
*රායප්පු ජෝශප් බි‍ශොප් වරයා විසින් උගත් පාඩම් කොමිසමට ලබාදුන් සාක්කි සටහනෙනි. ආණ්ඩුව මේ වෙනතෙක් මේ සඳහා පැහැදිලි කිරීම් කර නොමැත

එහෙත් අඳෝමැයි, අප ජීවත්වන්නේ ගබ්සාව ද මරණ දඬුවම ද නීතියෙන් තහනම් වූ පින් බිමකය.

ඉල් මහ සමරුව



ආයෙත් නොවැම්බරයක් පැමිණ ඇත. හැට දහසක් මරණයන් ඇවිස්සීමට  රතු සහෝදරයෝ යුහුසුළු වෙති. සැමරුම් අයිතිකර ගැනීමට සටන් වදිති. ගුටි ඇණ ගනිති.

වසරේ අනෙකුත් කිසි දිනෙක මේ මළවුන් ඔවුනගේ හිත් වල ඇත්තේ නැත. හිතේ තිබුණා නම් කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ ආණ්ඩුවට පක්කලි කම් කරන දවස්වල (පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් නවයයි-කැබිනට් ඇමැති ධූර හතරයි-ඇමැතිවරු අටයි), අඩුම ගණනේ මරා දැමූ තම නායකයා වෙනුවෙන් යුක්තිය සොයා වෙහෙසිය යුතුව තිබුණි. මරා දැමූ හැට දහසක තොරතුරු එකතු කර ඔවුනගෙ පවුල් වෙනුවෙන් යමක් ප්‍රබලව කිරීමට උත්සහ දැරිය යුතුව තිබුණි. ස්මාරකයක් තැනීමට උත්සහ දැරීම කෙසේවෙතත් පසුගිය දා ඇඹිලිපිටියේ අතුරුදහන්වූ පාසල් සිසුන් ඇතුළුව අතුරුදහන්වූවන් සිහි කරමින් තැනූ අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ දමද්දී මේ රතු සහෝදරවරු උන්නාද මළා ද නැත. මොවුනගේ සැමරුම් අවස්ථාවා දී වන්නේ එබැවිනි. 

එමෙන් ම ජාතිකවාදය කරපින්නාගත් විජේවීරගේ දෘශ්ටිය කෙළවර විය යුතුව තිබෙන්නේ ජාතිවාදයෙන් මිස වෙන යමකින් නොවන සරළ සත්‍යය පසුගිය කාලයේ කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ විසින් මැනවින් පෙන්නුම් කරණ ලදි. ඔවුනගේ ජාතිවාදය අන්ත ජාතිවාදී හෙළ උරුමයේ ජාතිවාදයටත් එහා ගිය එකක් විය. තමන්ගේ සහෝදර සහෝදරයින් හැට දහසක් මරා දැමූ ආණඩුවේ හමුදාව කිසිදු හිරිකිතයක් නැතිව මොවුන් රණවිරුවන් නමින් අභිසෙස් කරණ ලදි. එවන් සමූල ඝාතක හමුදාවකට  ධෛර්යය සපයන ලදි.

නොවැම්බරය යනු වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් සටන් වැදුණු පරපුරක අවංක භාවය ද කැපවීම ද ජවය ද අධිශ්ඨානය ද සිහිකිරිය යුතු මාසයකි. ඔවුන් කිසිවෙක් තමන්ගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදුනේ නැත.  ම්ලේච්ච වධ වේදනාවන්ට ගොදුරුව අන්තිම මොහොතේත් වචනයක් පිට නොකර තම සගයන් පාවා නොදුන්නෝ බොහෝය. තමන් දැරූ උතුම් අරමුණු වෙනුවෙන් සටන් වැදුණු එම නොවැම්බර් පරපුරට අප සැලියුට් කරන්නේ එබැවිනි.


යැංකි ගෝඨා



යැංකි ඩිකී කිවිවෙ ජේආර් ට. ලංකාව ඇමෙරිකන් කරන්න ජේආර් ට උවමනාව තිබුණ හින්දත් ජේආර් ඇමෙරිකාව කියන විදිහට නටන්න ලෑස්තිවුණු නිසාත් විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට ජේආර් කීකරුව හැසිරුණ නිසාත් ඔහුට එහෙම කිව්වා.

ජේආර්ගෙන් පස්සෙ ජනාධිපතිවරු කීපදෙනෙක් සිටියත් ඒ හැමෝමත් ඇමෙරිකාව කියනදේට ඇහුම්කන් දුන්නත් එහෙම නාමයක් ඒ අයට පට බැඳුනෙ නෑ. ඇමෙරිකාව සමඟ ඔවුනට තිබුණු සම්බන්ධතාවල දිග පළලක් කාටවත් දැනගන්න ලැබුනෙත් නැහැ. ඒහෙත් අද දවසේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමෙරිකාණු ගැති භාවය දැං දැන් එළියට එන්න පටන් අරන්. විශේෂයෙන්ම ඇමෙරිකාණු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ හරහා ආණ්ඩුවේ ඇමෙරිකාණු සම්බන්ධතා පිළිබඳව විකිලීක්ස් හරහා එලියට ඇවිත් තියෙනවා. විස්තර පළවෙන්නේ “කලම්බු ටෙලිග්‍රාෆ්“ වෙබ් අඩවියේ. අවාසනාවකට සිංහල මාධ්‍ය නම් ඉන්නේ ඒවා ගැන ගල් ගිල්ලා වගේ.

රාජපක්ෂ රෙජීමය හා කේවට්ටයෝ ටික පහුගිය ජන සංහාරක යුද්ධය කළේ එල්ටීටීයට ඇමෙරිකන් බළල් අතක් සී.අයි.ඒ කුමන්ත්‍රණයක් යනුවෙන් පට බැඳල රෙජීමය වටේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමය ඔතාගෙන. නන්දෙඩවීම් හැරෙන්නට එල්ටීටීය-ඇමෙරිකා සම්බන්ධතාවයක් ගැන ඔප්පුකර ගතහැකි කිසිවක් නොතිබුනත් ලංකාවෙ සිංහල මාධ්‍ය දකුණේ සිංහල ඔලු මත අර මතය නිවැරදිව පිහිටෙව්වා. ඉන්දියන් සාගරය නොහික්මුණු ගරිල්ලා සංවිධානයකින් බේරා ගෙන එහි  නාවුක බලය පිහිටුවීම හා භූ දේශපාලනිකව වැදගත් ලංකා භූමිය තුළ එයට අවැසි යටිතල පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව ඇතුළුව ලොව බල පොරයේ ඉදිරියෙන්ම සිටින රටවලට එල්ටීටීය විනාශකිරීමට තිබුණු උවමනාව සත්‍යයක් විදිහට පිළිගන්න කිසිවෙක් කැමති උනේ නැහැ. රාජපක්ෂලගේ දෙබිඩි යටිකූට්ටු ඇමෙරිකාණු ගැති භාවය ගැන තාමත් ලංකාවෙ දකුණ ඉන්නේ “ඇහුන් නෑ“ කියන මනෝභාවයෙන්.

ගෝඨාභයට එල්ටීටීය විනාශ කිරීම නිසා ඔහුට ඇමෙරිකාවෙන් ලැබිය යුතු නිසි ගෞරවය නොලැබුණ බවත් ඔහුගේ ඇති දැඩි ඇමෙරිකාණු බැඳිම නිසාවෙන් ඇමෙරිකාව හා ලංකාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ පෞද්ගලික උවමනාවක් තිබෙන බවත් විකිලීක්ස් වලින් හෙලිවුණූ කේබල් පණිවුඩ වල සඳහන් වෙනවා.


රාජපක්ෂලාගේ යැංකි ආණ්ඩුව තුළ අධිරාජ්‍ය විරෝධී වාසුදේව-විමල්-චම්පික-දිනේශ් ජනතාවාදී ආණ්ඩුවක් ගැන තාමත් පට්ට කෙබර නෙලනවා.

හිලරි නිවපු දැල්ල


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නොනිමෙන පහන් දැල්ල නිවී ගියේ හාම්පුතා හා ඔහුගේ අණට පමණක් බුරණ පුහු අධිරාජ්‍යවිරෝධීන් නගුට ‍දෙකකුල් අස්සේ ගසා ගෙන සිටියදීය. මෙතෙක් කල් දැල්ල දිලුනේ ඉරාණයෙන් ලබාගත් බොරතෙල් වලට පින්සිද්ද වෙන්නය. එහෙත් ඉරාණයට එරෙහිව පනවන සම්බාධක නිසාවෙන් ඉරාණයෙන් තෙල් ආනයනය කිරීම වැලැක්වීමට ඇමෙරිකාව විසින් අනෙකුත් රටවලට සිදුකරණ බලපෑමට යටත්ව අධිරාජ්‍යවිරෝධී යැයි පුරසාරම් දොඩවන රාජපක්ෂ රෙජීමය සද්දයක් නැතිවම දෙකට නැවී ඇමෙරිකාවට අවනතව මෙතෙක් කල් ඉරානයෙන් ලබා ගත් තෙල් සැපයුම නවතා දැමුවේය.

ඇමෙරිකානු ජනාධිපති ඔබාමා විසින් 2011 දී අත්සන් කරන ලද මෙම සම්බාධක නීතිය සෑම මාස හයකට වරක් නැවත විමසා බැලිය යුතුය. ඒ අනුව ලංකාව ඇතුළු තවත් රටවල් හයකට (ඉන්දියාව, දකුණු කොරියාව, තුර්කිය, දකුණු අප්‍රිකාව, මලයාසියාව හා තායිවානය) ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිලරි ක්ලින්ටන් විසින් ඉරාණයෙන් තවදුරටත් තෙල් ලබා ගැනීමට ඉඩ හැර පසුගිය ජුනි මාසයේ ලබාදුන් සහන කාලය අවසාන වීමට තිබුණේ ලබන දෙසැම්බරයේදීය. ඉරාණයෙන් තෙල් ආනයනය කරන ප්‍රධානම රටවල් අතුරින් ජපානය හා යුරෝපයේ රටවල් ඉරාණය සමඟ ගනුදෙනු මේවෙන විට ඉතාමත්ම සීමා සහිතව සිදුකරණ අතර මෙම ඇමෙරිකාණු සම්බාධක වලට එරෙහිව තවදුරටත් සටන් වදින්නේ රාජපක්ෂලාට කෝකටත් සිටින චීනය පමණි.

අපි නම් හිත් නොහොඳ කරගන්නේ මක්කෙටැයි කියමින් කල් තියාම වැඩේ නවත්තලා දැමුවේ තෙල් හොයා ගැනීමට වෙන අතක් බලමිනි. එහෙත් අර්බුදය ඇත්තේ සපුගස්කන්ද පිරිපහදුව ගොඩනඟා ඇත්තේ ඉරානයෙන් ආනයනය කරන සැහැල්ලු බොර තෙල් සදහා පමණක් වීමය. වෙනත් රටකින් ආනයනය කරන බොරතෙල් සඳහා පිරිපහදුව තුළ දැඩි තාක්ෂනික වෙනස් කිරීම් රාශියක් කළයුතුව ඇත. මෙතෙක් රුපියල් බිලියන 3.8 වැය කළ තෙල් සදහා ඉදිරියේදී වසරකට රුපියල් බිලියන 5.0 වැයකරන්නට සිදුවන්නේ එබැවිනි.

මේ අධිරාජ්‍යවිරෝධී ආණ්ඩුව රට ඇතුලත සිංහලයාට පෙන්වන්නේ ඉරාණය සමඟ  දැඩි මිත්‍රශීලිත්වයක් ඇති බවකි. සිටින්නේ කරට අත දමා බඩ බදාගෙන මූණ ඉඹිමිනි. අධිරාජ්‍යවිරෝධීකම අවුස්සන්න ඕනෑවිට කතා කලොත් කියන්නේ ඇමෙරිකාවේ රෙදි ගැලවෙන කතන්දරය. ගිරිය පුප්පාගෙන කෑ ගසන්නේ ඇමෙරිකාවට හයියෙන් කෑ ගැසුවොත් ඇහෙනවා ඇතැයි සිතමිනි. බලන් සිටින්නේ මාරාන්තික උපවාසයක් පටන් ගන්නට හේතුවක් හොයමිනි. ඔබාමාව හිලිරිව ඇමෙරිකන් කොඩියේ ඔතා ගිනිතියන්නට වෙලාවක් හොයමිනි. හාස්‍යය වන්නේ ඔවුන් මෙලෙස හැසිරෙන්නේ ඇමෙරිකාව මෙවුන්ගේ හැසිරීම තඹයකටවත් මායිම් නොකරණ කරුණු කාරණාවලට වීමයි. මොවුන්ද ඒ බව දනී. එබැවින් ඒ වෙලාවට ඇති තරම් බෙරිහන් දෙයි. මැරෙන්න හදයි. දිවයින පත්තරේ ලොකු අකුරින් හෙඩිම් ලියවෙයි. එහෙත් ඇත්ත කාරණාවක් මතු වූ විට සද්දය වහගෙන ඉන්නේ නගුට දෙකකුල් අස්සේ රිංගවාගෙන ඉන්නේ......මේකත් එකක නම් සෙල්ලම් නෑ පුතෝ.. දන්නා බැවිනි.

ලෝකෝත්තර මහින්ද විසින් ලොකු ටෝක් දෙන්න එලියට දාන ගිනිපුක් ගෝඨා සහ නපුංසක ගිරිය පුප්පන විමල්-චම්පික-රතන-ගුණදාස-ඇල්ලේ-නලින් රජවාසල කේවට්ටයන්ගේ අධිරාජ්‍යවිරෝධය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි අපි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැල්ල නිවුණු  චිමිනි තුඩ උඩට වී බලා ගෙන සිටිමු.