A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළුනි, අහස කඩා වැටේ


යුද්ධයේ බර අවි ප්‍රහාර වලින් පහර දී විනාශ කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් නවතා අවුරුදු තුනකට වඩා ගත වීත් දෙමළ ජනයා වෙත අත්ව ඇති කිසිදු සුගතියක් නැත. සිදුව ඇත්තේ හාත්පසින්ම ප්‍රතිවිරුදධ වූ ක්‍රියාවලියකි. බර අවි ප්‍රහාර වෙනුවට වෙනත් ක්‍රමානුකූල විධික්‍රම මඟින් සියළුම ආකාරයේ කායික හා මානසික පීඩාවන්ට ඔවුන් ව ගොදුරු කරණු ලැබේ.

තවමත් ඔවුන් සිටින්නේ පස් දෙනෙකුට එක් අයෙක් බැගින් වූ නිල හා නිල නොවන මිලිටරි හමුදා තුවක්කු කටවල් තුඩු ගහනයක් මැදය. පුද්ගල පැහැරගැනීම්, අත් අඩංගුවටගැනීම්, ම්ලේච්ඡ වධ දීම් හා අතුරුදහන් කිරීම්  උතුරෙහි සිදුවෙන සාමාන්‍ය දේවල් වේ. මිලිටරි ගහනය වැඩිවීම හේතු කොට ගෙනම සිද්ධවෙන අපරාධ වල සීමාවක් නොමැත. බලහත්කාරකම්, ළමා හා ස්ත්‍රී දූෂණ, සැලසුම්සහගතව සිදුකරණ ගැබ් ගැන්වීම් ලොවෙහි අන් සියළුම රටවලට වඩා බරපතල ලෙස මේ මොහොතේ එම ප්‍ර‍දේශයන් හි සිදුවේ. දේපල හා ඉඩකඩම් කොල්ලකෑම් ආණඩුවේ සිංහල චන්ඩීන් සිය සිතැඟි පරිද්දෙන් කරගෙන යති. උතුරු හා නැගෙනහිර බලහත්කාර සිංහලකරණය හා බෞද්ධකරණය මෙම ආණ්ඩුව විසින් විධිමත්ව මෙහෙයවනු ලැබේ. බොහෝ තරුණ තරුණියන් තවමත් නිල නොනිල හිර කඳවුරු වල නාම ලේඛනයක් පවා නොමැති රැඳවියන්ය.

සදාචාරාත්මකව පරිහානියට පත්වූ දෙමළ සමාජයක් සඳහා වූ සිංහල ආණ්ඩුවේ උවමනාව  වෙනුවෙන් අහිංසක දෙමළ වැසියන් මත පටවා ඇති පීඩනය මේ මොහොතේ ඇත්තේත් උපරිමයෙනි. බොහෝ අයෙකුට ඉතිරිව ඇත්තේ සියදිවි හානිකර ගැනීම හෝ දිවි නොතකා සාගරය හරහා රටින් පලා යෑමයි. ඒ තරමටම ඔවුන් භෞතික, දේශපාලනික හා සංස්කෘතික විනාශයෙහි අභිමුවෙහි සිටී. කවුරුන් හෝ පැමිණේ නම් කවුරුන් හෝ හඬනඟන්නේ නම් කවුරුන් හෝ සටන් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ විනාශය සඳහා ඉඩහැර ඇති මේ දෙමළ ජනතාවගේ අද දවසේ පීඩාවෙන් ගලවා ගැනීමේ සද්කාර්ය වෙනුවෙනි.

එහෙත් අවාසනාවකට වගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ ලවුස් පීකර් ගස් බඳින්නේ ඉන්දියවේ තවමත් ක්‍රියාකාරීව නොමැති කුන්ඩන්කුලම් න්‍යෂ්ටික විදුලිබලාගාරයේ “වෙන්න නියමිත විනාශයක“ හිතළුවෙන් උතුරේ දෙමළ වැසියන් සඳහා වූ එකම ප්‍රශ්නය එය යැයි ඉස්මතු කරවීමටයි. ඉහතින් සඳහන් කළාක් මෙන් මියෙමින් පවතින දෙමළ ජනයාට සටන් කළ යුතු ප්‍රශ්න එමටය. ඔවුනට ඇත්තේ අනාගතයේ දවසක මියෙන්නට සිදුවන දෙයක් ගැන සිතීම ට නොව අද දවයේ ජීවත්වන්නේ කුමකට ද යන ප්‍රශ්නයට උත්තර හෙවීමය. න්‍යෂ්ටික අනතුරක් ගැන බෙරිහන් දිදී දෙමළ ජනයා අතර පත්‍රිකා බෙදන මෙම දේශපාලන උපාය මාර්ගයේ ඇති හාස්‍යය තමන්ට ම තේරුම් නොයෑම සම්බන්ධයෙන් නම් අපට ඇත්තේ දැඩි කනගාටුවකි. තමන් විහිළුවට ලක්වන බැව් තමන් විසින් තේරුම් නොගෙන දිගින් දිගටම සීරියස් පිටම කතා කරමින් සිටීම තරම් දේශපාලන ඛේදවාචකයක් තවත් නොමැත.

එහෙත් එම හාස්‍යජනක ක්‍රියාවලියට එහායින් වූ බරපතල දේශපාලන කාරනාවක් ද ඇත. එනම් පෙසප විසින් මේ සම්පූර්ණ කරමින් සිටින්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්න සියල්ලම නිමාවී ඔවුන් සංවර්ධනය මැද්දදෙන් සිය දෛනික ජිවිතය සුපුරුදු පරිද කරගෙන යන බව ලොවට දන්වා සිටීමේ ආණ්ඩුවේ උවමනාව වීමයි. පෙසප මේ සංතෘප්ත කරමින් සිටින්නේ පහුගිය සමූලඝාතනයන් හා වර්තමාන පීඩාවන් කොන්ක්‍රීට් දමා වසා දමා, ලංකාව භූ දේශපාලනික උවමනාවන් සඳහා ‍ගොදුරු කරගෙන සිටින චීනය හා ඇමෙරිකාව පුමුඛ බටහිර රටවලට සියල්ල සාමකාමී ව සිදුවන බැව් දැන්වීමේ  මහින්ද රාජපක්ෂගේ උවමනාවයි. එමෙන්ම මේ හදිසි නැගිටීම සිදුවෙන්නේ 2009 යුද්ධය අවසන් අදියරේ දී සිදුවූ මානව විරෝධී ක්‍රියා හා යුධ අපරාධ සොයා බැලීම සඳහා වූ ලබන නොවැම්බර් පළවෙනිදාට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව වාරික සමාලෝචනය සඳහා දින කිහිපයක් ඇතිව වීම අහම්බයක් දැයි යන සැකය අපගේ ඔළුවල දඟලමින් තිබේ.

එහෙත් මෙය නියමිත විද්‍යාත්මක දැනුමකින් හෝ හැදෑරීමකින් තොරව අන්තර්ජාලයෙන් හොයාගත් තොරතරුපදනම් කරගෙන සිය දේශපාලන පැවැත්ම හා අවස්ථාවාදය වෙනුවෙන්  සහ ඇඟ ඇතුලේ ඇති විජේවීරගෙන් දායාද කොට ගත් ජානමය ඉන්දියානු විරෝධය නිසාවෙන් “සිදුවෙමින් පවතින නිර්මාණාත්මක දේශපාලන විකාරයක්“  පමණක් බැව් සිත්හි දරාගන්නේ උපන්ගෙයිම මියෙන්නට පෙසපෙට අවංක උවමනාවක් නැතැයි උපකල්පනය කරන බැවිනි.

සටන් පාඨ හොය හොයා සටන් කිරීමේ ළදරු දේශපාලන ක්‍රියාවලීන් තමන්ගේ පැවැත්මට කෙසේ වෙතත්  තවත් ජාතියකගේ පැවැත්මට හානිදායක වීම කොහොමටත්ම දේශපාලන ප්‍රහසනයක් නොවේ.

(න්‍යෂ්ටික විදුලිබල පද්ධතීන් සහ ඒවායේ අනතුරු ගැන පෙසපෙ සමහර නායකයින්ගේ අඩු දැනුම හා ඔවුන් මඟින් ප්‍රකාශිත, විද්‍යාව වෙනුවට වූ සම්ප්‍රදායික දේශපාලනික ගෝරනාඩු වෙනම ම කතා කළ යුතු මාතෘකාවකි)

ළිං බද්දෙන් සැටලයිට් යැවීම



අළුතෙන් ඉදිකරණ ළිං සඳහා වාර්ෂිකව රුපියල් 7,500 සිට 15,000 දක්වා බද්දක් අයකරන බවත් ලංකාව විසින් චීනය හා එක්ව තමන්ට අයිති සන්නිවේදන සැටලයිටයක් අභ්‍යාවකාශගත කරන බවත් මාධ්‍යවල පළ වූයේ එකම සතියකදී ය. අපි කොහොමත් පට්ට සෝබනයට කප් ගැසූවෝ වෙමු. අතේ සතේ නැතත් අපේ ජැන්ඩිය කවදාවත් වැරදුනේ නැත. දහ අතේ ණය වෙවී බාගෙට තැනූ මන්දිර වල අපි වාසය කරන්නේ බොහෝ ආඩම්බරයෙනි.

ළිං සඳහා අයකරන බද්ද ඇඟට දැනෙන කොටසට සන්නිවේදන සැටලයිටයක් වැඩක් නැතුවාක් මෙන්ම සන්නිවේදන සැටලයිටයකින් වැඩක් ඇති අයට ළිං බද්දෙන් ඇති බලපෑමක් ද මේ රටේ නැත. එකම රටක මිනිසුන් කොට්ඨාශ දෙකකි. රට ගොදුරු කර ඇත්තේ කැපී පෙනෙන බෙදුම්වාදයකටයි. ඒ දෙමළ මිනිසුන්ගෙ නිජ භූමිය සඳහා හෝ ස්වයං නිර්ණය සඳහා වූ දේශපාලණික බෙදුම්වාදයක් නොව රටේ ආදායම හා වියදම නිර්ණය කරන ආර්ථික බෙදුම්වාදයකි. ඒ අනුව රටේ පාලකයා ඇතුළු ඔහුගේ සහෝදර පිරිස හා ඔවුන්ගේ ඉතිරි වුණු කටු සූප්පු කරන පරපුර එක් කොටසකටත් රටේ එදිනෙදා ජීවන අරගලය ගැට ගසන සාමාන්‍ය ජනතාව අනෙක් කොටසත් වශයෙන් බෙදී වෙන්ව ඇත. මීට අමතරව පාලකයන් වෙනුවෙන් වෘත්තීමය මෙහෙවරෙහි යෙදෙන ඉහළ මධ්‍යම පන්තියේ ඉතා සුළු පිරිසක් සැටලයිටයක් අභ්‍යාවකාශගත කිරීම ආශ්වාදජනක ව විඳිමින් සිටින බැව් ද අප නොදන්නේ නොවේ (What an achievement for a small country like Sri Lanka!!).

ධනවාදය ඉතා සූක්ෂමවත් නිවරැදිවත් හසුරුවන මෙම රජය යටතේ ඇති නැති පරතරය මේ තරම් වූ, ඉතිහාසයක් නිදහසින් පසු ලංකාවේ තිබී නොමැත. තරුණ පරපුරේ විරැකියාව ඉතා ඉහළය. සියයට විසිපහක් පමණ අවුරුදු පහට අඩු දරුවන් සිටින්නේ මන්දපෝෂණයෙනි. රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ අනෙක් රටවල් හා සාපේකෂව බලද්දී ඉතාමත් අඩු ප්‍රතිශතයකි.  අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඇත්තේ අහස උසිනි. එමෙන්ම ඒවා නැවතීමක් නැතිවම ඉහල නඟී. තෙල් මිල, ගෑස් මිලවිදුලි බිල්, ජල බිල් ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ට දැරිය හැකි සීමාවෙන් එපිටය. රුපියල අවප්‍රමාණ වන්නේ අසීමිතව ය. කීර විකුණමින් දවසකට රුපියල් සියයක් දෙසීයක් හොයාගෙන පවුලක් නඩත්තු කරන්නෝ ජීවත් වෙනවාට වඩා සිටින්නේ මිය යමිනි.

ඒ අතරවාරයේ පාලකයා ඇතුළු සහෝදර පිරිවර රටේ ආර්ථිකය සමඟ සිතැඟි පරිදි සූදු කෙළිමින් හිඳී. රටේ ජනතාව ඒ සඳහා අනුමැතිය දී ඇත්තේ එල්ටීටීය යුධමය වශයෙන් පරාජය කිරීමට හිලව් වශයෙනි. මෙම රෙජීමය ජනතාවගේ ජාතිවාදය දේශපාලන කේවට්ටයන් යොදා අවුස්සන අතර අවසානයේදී රට ජාතිය රැක ගැනීමේ දියසෙන් කුමාර භූමිකාව රඟපා ජනතාව සතු හැම තුට්ටුවකටම විදී. තිරය පිටුපස සහෝදර පිරිවර හිතූ මනාපෙ ට සූරාකමින් සල්ලි ගොඩ ගහද්දී තිරය ඉදිරිපසින් විමල්-මර්වින්-පබා-හිරුණිකා-අනර්කලී-දුමින්ද-ඇල්ලේ-ගුණදාස-නලින් රූකඩ රඟ දක්වයි. ලංකාවේ මාධ්‍ය ද මේ රූකඩවලින් වශිකෘත ව පොල්ගෙඩි අකුරින් පිටු පුරවයි. තිරය පිටුපස සිදුවෙන දෑ දැන සිටියත් උවමනාවෙන්ම සඟවා සිටිනනේ බොහෝ මාධ්‍යයන් රජයේ රෙදි අපුල්ලනන් බැවිණි. පාලකයා තම දරුවන් වෙත සුර සැප මවද්දී අභ්‍යාවකාශ ගත කරන්නට සැලසුම් කරද්දී තම පරපුරට අවැසි සියළුම පහසුකම් වලින් සංතෘප්ත වෙද්දී නගරය දියුණුකර හිඟන්නන් ඉවත් කර පිරිසිදු කර පාරවල් සෝදා තම සුඛෝපභෝගී ජීවිතය ට අවැසි සියල්ල සම්පූර්ණ කරද්දී ඒ අතරවාරයේ තවදුරටත් ජනතාව සතු අන්තිම රුපියලත් පොකැට් ගැසීමට මාන බලයි. මුළු රටේම කෘෂීකර්මාන්තය වෙනුවෙන්  (කෝටි 539) වෙන්කරන මුදලට වඩා වැඩි මුදලක් ජනාධිපතිවරයා තනි වියදම වෙනුවෙන් (කෝටි 732)  ප්‍රසිද්ධියේ අයවැයෙන් වෙන් කරගන්නේ එබැවිනි.

2012 වන විට සහෝදර රෙජීමය සතුව තිබූ වාර්ෂික අයවැයෙන් සියයට හැත්තෑවක පාලනය මේ වන විට 2013 දී දිවිනැඟුමමඟින් සම්පූර්ණයෙන්ම වගේ තමන් සතු කර ගැනීමට මාන බලයි. රුපියල් කෝටි අටසියයක් පමණ වූ මුදලක් තම සහෝදර බැසිල් රාජපක්ෂගේ අතට අධීක්ෂණයකට ඉඩ නොතබා ප්‍රශ්ණ කිරීමකින් තොරවම ලබා දෙයි. ප්‍රශ්ණ කරණ එවුන් හිරගත කිරීමට  එම පණත මඟින් නීතියෙන්ම ඉඩ ලබාදෙයි. එය අනුමත කරගැනීමට බාධාවක්ව පවතින පළාත් සභා අයත්  13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට බෙදීමට මූලික වෙනවා යැයි පවසමින් අහෝසි කළයුතු යැයි අයියාගේ කෝටි අට සීය වෙනුවෙන් වතුරට වඩා ලේ ඝනකම ඇති ගෝඨා මල්ලී වීරෝධාරව කට අරී. එමඟින් කෝටි අටසීයක් තම රාජපක්ෂ පෙළපත වෙනුවෙන් කෙළීමත් ජාතිවාදී දෙමළ ජනයා වෙත පළාත් සභා වෙතින් වූ අවම බලය බෙදීමත් අහෝසි කර ජාතිවාදී උන්මත්තකයින්ගේ දොළ සංසිඳුවීමත් එකවර කරණු ලැබේ.

අවාසනාවකට වගේ බදු ගහන්නේ නම් ළිං නොකපා ඉඳපල්ලා කියන,  ළිං බද්ද ගැන මාධ්‍ය හමු විතරක් තියා දෙස් දෙවොල් තියන වැඩිම උනොත් ඉතාලියේ මිලානො නගරයේ විරෝධතාවක් සංවිධානය කරන ආණ්ඩු විරෝධී සම්ප්‍රදායික දේශපාලණ පක්ෂ විතරක් අපට ඉතිරිව තිබේ. රටක ජනතාවකගේ නොහැකියාව ද නිද්‍රාශීලි බව ද දන්නා, කෝටි ගණනින් ජාතික ධනය හිතුමතේ පරිහරණය කරන රටේ පාලකයා වෙතින් එම ජනතාව අවමානයට ලක් කර ඔවුන් ගේ අභිමානය කීතු කීතු කර දමන මෙවැනි අවඥාසහගත දෑ (මේවට කියන්නේ කින්ඩි කතා) අහන්නට තවදුරටත් අපට සිදුව තිබෙන්නේ එබැවිනි.

"මමත් රණවිරුවෙක්‌ගෙ තාත්ත කෙනෙක්‌. මේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනකොට මටත් මගේ පුතා වෙනුවෙන් මාසෙකට දාහක්‌ බැගින් ලැබෙනවා. අපේ තාත්ත හිටිය නම් ගෝඨාභය මල්ලි රණවිරුවෙක්‌ නිසා එතුමන්ටත් මාසිකව රුපියල් දාහක්‌ ලැබෙනවා“
                                 මහින්ද රාජපක්ෂ, ඔක්තෝබර් 18, 2012

කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වීම



‘මහත්තයෝ අපිත් ඔය සටනට සපෝට් එක දෙනවා හැබැයි පඩිය විතරක් වැඩි කරගෙන සටන නවත්තන්න එපා‘ යැයි ත්‍රීවීල් රියදුරෙකු සරසවි ඇදුරෙකුට කියූ කතාවක් පහුගියදා රාවයේ තිබිණ. අහම්බෙන් මෙන් එම රියදුරා හමුවී,

‘අයියා මොකෝ දැං ලෙක්චර්ස්ලගෙ සටන ගැන කියන්නෙ?‘ යැයි අපි ඇසුවෙමු.

‘මහත්තයලා.... මේකනේ..... කැනහිලුන්ගෙන් ලොකු දඩයම් බලාපොරොත්තු වෙන්න බෑ කියලයි අපේ අත්තා කිව්වෙ. උන්ට පුළුවන් හාවො මීමින්නො වගේ ඇටිකිත්තං සත්තු මරාගන්න විතරයි‘

මේ වගත් එසේම:

ආණ්ඩුවේ පස්ස නොනවත්වා ලෙවන ධම්ම දිසා මිත්‍රයා වීම හේතුවෙන් සිය සොයුරු ජනාධිපති මහින්ද රාජපක්ෂවත් විශ්වාස නොකරන බැසිල් රාජපක්ෂව විශ්වාස කර ෆූටා සභාපති නිර්මාල් විසින් අධ්‍යාපනය වෙනුවෙන් 6% දිනා ගැනීමේ සටන අමු අමුවේ පාවා දෙන ලදි. 

තමන් තනතුරේ සිටින අතරතුර මොකක් හෝ කළයුතු බැවින් වැටුප් වැඩිකර ගැනීමේ අරමුණ පෙරට ගෙන සටන පටන් ගත් නමුත් සරසවි ඇදුරු වැටුප ජනතාව දැනගැනීමෙන් පසුව ආ විරෝධය හමුවේ පෙසපෙ පුබුදුව හෙවත් ගැටළුවා ගේ අනුදැනුම ඇතිව සටන 6% ඉල්ලීම දක්වා වෙනස් වූ බව කවුරුත් දන්නා කාරණයකි. දැනුම තිබුණට සෙනඟ නැති නිර්මාල් සෙනඟ සොයා ගැනීම උදෙසා පෙසපෙ තිරය පිටුපස උපදේශකයෙකු බැවින් පෙසපෙ දේශපාලනය සහතික කරණුවස් මේ සටන භාවිතා කළ මුත් එය අසාර්ථක උත්සාහයක් වූයේ ජවිපෙ සද්දන්ත දඹර අමිල හාමුදුරුවෝ වැඩේ අත් නොහැරිය බැවිනි. වැඩේ පාවා දීමකින් කෙළවර වී නන්නත්තාර වෙන්න කිට්ටුවෙන විට පෙසපෙ (හා එහි අන්තරේ) එතනින් හලා ජවිපෙ නායකයින් හා එජාප නායකයින් සටනට ගොඩ බැස්සවීමට තරම් හාමුදුරුවන්ට හැකි වී තිබුණි.

අන්තිමේ දී රටේ අධ්‍යාපනය සඳහා මෙන්ම අනෙකුත් සටන් සඳහා ද තීරණාත්මක වූ මෙම 6% අරගලය ඛේදවාචකයක් කර පාවා දී නිර්මාල් නව ලිබරල්වාදය තුළම ඉතිහාසගත විය. නිර්මාල්ට සහය දී  අප ද අප වැනිම තවත් බොහෝ අයද ඉතිහාසම ගත විය.

මේ පොරොන්දු ඉටු නොවුනොත් තමන්ගේ තනතුර අනතරේ බව නිර්මාල් පැවසුවත් පොරොන්දු ඉටු කිරීමට පෙම් හසුනට අනුව තව අවුරුදු පහක්ම ගතවන බැවින් ඔහුගේ තනතුර තවත් අවුරුදු පහක් සඳහා සුරක්ෂිත බැව් අපට ඉඳුරාම පැවසිය හැක.

නැත්තටම නැතිවුණේ:
     නිර්මාල්

නැති වුණේ:
     ජානක හා සිසිත් ගේ ජීවිත
     දින සියයක සරසවි සිසුන්ගේ අධ්‍යාපනය
     ආයෙමත් විවි ආචාර්ය වරුන් වර්ජනයකට කැඳවීමේ හැකියාව
     තිබුණු 1.8% (2013අයවැය යෝජනා වලින් 1.5% ට අඩුකර ඇත)
     රාජ්‍ය අධ්‍යාපනය ගැන පුංචිම බලාපොරොත්තුවත්

ඉතිරි වුණේ:
    එස් බී
     අත්දැකීම්
     කකුල් කෙඩෙත්තුව
     කළුපාට කොලර් සහිත තැඹිලි පාට ටී ෂර්ට්
     තැඹිලි පාට කොලර් සහිත කළුපාට ටී ෂර්ට්
     මාස තුනේ පඩිය (පාරවල් වල රස්තියාදුවීම වෙනුවට)
     පීබී ගෙ තුනට නැවූ ලියුම් දෙක

ලැබුණේ:
     බැසිල්ගෙන් අතට අත

අන්තරේ නිරුවත



පසුගියදා මරා දමණ ලද ජානක හා සිසිත සොයුරන් පෙසපෙ බලාධිකාරියට යටත්ව පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නින්දිත ලෙස නොසලකා හැර ඇත. මෙම සහොදරයින් දෙදෙනාම මිය ගියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල සඳහා මූලිකත්වය ගැනීමේ ප්‍රථිඵලයක් වශයෙනි (නිර්මාල්-අමිල සටන පාවා දීම වෙනම ම කතාවකි).

මෙම මරණයන් රිය අනතුරකින් සිදු නොවූවක් මෙන්ම මෙම ඝාතන සඳහා ආණ්ඩුවේ සහ පීඑස්ඩි යේ ඇති සම්බන්ධතාවය ගැන ද බොහෝ ප්‍රසිද්ධ සාක්ෂි ඇත. මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ වාර්තා, සාක්ෂි හා අවශ්‍ය අනෙකුත් තොරතුරු ලබා ගැනීමේ-එකතු කිරීමේ හැකියාව කවදත් හැමෝටම වැඩියෙන් ශිෂ්‍ය ව්‍යාපාරය සතුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා උවමනාව හා කැපවීම පමණි. එහෙත් අන්තරය මේ මොහොතේ ජානක හා සිසිත සෝයුරන්  විරුසිසු නම් ලැයිස්තුවට දමා ඔවුන් සැමරීමට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇත. ඉටි පන්දම් පත්තු කිරීමේ-කඳුළු හෙලීමේ-ආවේගශීලි කතා පැවැත්වීමේ උවමනාව පමණක් ඔවුන්ට ඇත. අඩුම ගණනේ පසුගිය සතියෙ පෙසපෙ ජනරළ පත්තරයට මෙම ඝාතන ගැන විමසීමට  මුල් පිටුවේ සටහනක් දැමීමට තරම් උවමනාවක් වත් නොතිබිණ.

සහෝදරවරුණි මේ මරණයන් නුඹලාට වටින්නේ මෙ පමණද? ජානක හා සිසිත යනු අත්හැර දැමූ සටනක අත්හැර දැමූ ජීවිත දෙකක් පමණද? ඔවුන් නුඹලාගේ විරු සිසු නම් ලැයිස්තුවට තවත් නම් දෙකක් විතරද? තරුණ ජීවිත දෙකක වටිනාකම් මේ තරම් ලේසියෙන් නොසලකා හැරිය හැකිද? ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ජානක හා සිසිත ගේ ආත්මයන් පාවාදෙන්නේ පෙසපෙ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවද?

ශිෂ්‍ය ව්‍යාපාරයේ සෝයුරනි, කේඩරයිනි, ජානක හා සිසිතගේ මරණයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් වදින ලෙස අන්තරේ ශිෂ්‍ය නායකයන් වෙත බල කරනු!! 

හුටා.. ෆූටා මක්කැයි කොළේ....



නිර්මාල් හිටියේ ‘කෝ බැසිල් තාම ආවෙ නෑනෙ“ සිතමින් මඟ බලමින්ය. එස්.බී හිටියේ ‘කෝ තාම බැසිල් ගියෙ නැද්ද‘ පණිවිඩේ හරියට එනකංය. මළදානේ ඉවර වෙන්නෙත් නෑ-මං මළත් ඉවර කරන්නෙ නෑ ජාතියේ මළ කරදර ප්‍රශ්න ඉවර කරන්නට ආණ්ඩුවේ ඉන්න ලෝකෝත්තරයා බැසිල්ය. අටවත් සමත් ද දන්නෙ නැති බැසිල් ආචාර්ය වරුන්ගේ ප්‍රශ්නය විසඳන්නට එද්දි දෙපැත්තම සද්දෙ වහන් හිටියේ ඒ හින්ඳයි. බැසිල් ඇවිත් පාර ඇහුවත් කවුරු කවුරුත් බලන් හිටියේ “හා“ කියන්නටයි.

නිර්මාල් ගේ නොහැකියාවටද බැසිල් ගේ හැකියාවටද මොකකටද අපි දන්නෙ නෑ... වැඩේ කම්මුතුයි කියල ආරංචියි. ආණ්ඩුව වෙනුවෙන් පී.බී ලිව්ව පොරොන්දු ලිපිය අන්තර්ජාලයේ තැන් තැන්වල. ඒකෙ හැටියට ලැබුණ 6% ක් වත් දඩස් ගාල වෙච්ච පඩි වැඩි වීමක්වත් මොන ලබ්බක්වත් නැහැ. පොරොන්දු ගොන්නක් විතරයි. 

ඒක උඩ වැඩේ අත් හැරල දැම්මොත් නිර්මාල් ගොයියෝ.........අධයාපනය ඉතිං නන්නත්තාරම තමයි.  නැටුව නැටිල්ලෙ හැටියට අපි හිතුවෙ මේ පාර නම් තමන්ගෙ කැරැට්ටුව වත් ගොඩදාගනී කියලා. කිසිඳු බලවේගයකට යටත් නොවී රටේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා කියල කිව්ව ඔය උන්නැහෙ මේ පාරත් පච වෙලාම යන්නද ලෑස්තිය?

විමලයගේ මාරාන්තික උපවාසෙන් පස්සෙ, මාරාන්තික උපවාස අහවර උනා වගේ......එහෙම උනොත් අපි වයසට ගියාම අපේ මුණුපුරන්ට කියන්න වෙන්නේ ....

‘එදායින් පස්සෙ විස්සවිද්යාල ආචාරියෝ ස්ට්‍රයික් නම් කරේ නෑ‘

කියලයි.

කියනකං හිටයෙ... විජ්ජො... අපි බහින්නම් පාරට හෙටම


විමානෙ රජ වෙන්න බලං හිටිය යකා හිටියෙ ගුහාවෙ හිරවෙ‍ලා. රතු හැට්ටයො බලං හිටියෙ යකාගෙ පිහිටෙන් ගොඩ යන්න. යකාට කිව්වා ‘යකෝ අපි උදව් කරන්නං වරෙං එලියට’.  නැකැත් බලල ගැහුවා ගිවිසුම් යකත් එක්ක. යතුරු කප්පන්නං, කරෙන් උස්සන්නං බැරි උනොත් දොර කඩන්නං උළුවහුත් බිඳින්නං කිව්වා. නන්නත්තාර වෙලා හිටිය යකාව ගත්ත ගුහාවෙන්. යකා රජ උනා විමානෙ.

යකාට ඇති වෙනකම් රතු හැට්ටයොත් හිටයෙ යකා ළඟින්මයි. අත පය තැව්වා, පවන් ගැහුවා, කොන්ඩෙ කැපුවා, නෑව්වා, පස්සත් ලෙව කෑවා. යකා ඉතිං ඇති වෙනකම් රට කෑවා රට වැසියන්ව කෑවා. යකාට වැඩක් නැතිවෙනකොට රතු හැට්ටයෝ එළියට විසිවුණා.

රට ඉවරයි. යක් රජ හැම තැනම පත බෑවිලා. නීතිය යුක්තිය මනුස්සකම් යට කරගෙන වංචාව දූෂණය වගේම හැම අලුගුත්තේරු වැඩක්ම යකා උඩට ගත්තා. යකාට ඉහළින් කාක්කෙක්ටවත් යන්න දෙන්නෙ නෑ. ලේ වලට පුරුදු වෙච්ච යකා ලේ පිපාසෙන්. ගස්සෝනවා. උස්සනවා. හප්පනවා. මරණවා.

මෙන්න යකෝ එකපාරටම විජිත හේරත් කියපි ‘දැං ඉතිං බලං හිටිය ඇති. ජනතාවට පාරට බහින්නයි තියෙන්නෙ’ කියලා (හත්වලාමේ සෝමවංශ පහුගිය දවසක  ‘ඊජිප්තුවෙ වගේ විප්ලවයක් කරනවා’ කිව්වෙ මේක වෙන්නැති ).

යකාගෙ කෙළියක්නෙ මේක. මුං පොර ටෝක් දිදී මඟුල් බෙර ගහලා එක එකාව බලයට ගේනනයි. මුංගෙ අවස්ථාවාදයට (මේකට කුමාර් මහත්තය අපිට කිව්වෙ ‘උපාය මාර්ගයක් මහත්තයෝ..... උපාය මාර්ගයක්’) කෙළවෙන කොට ජනතාවට පාරට බහින්නයි.

මහින්ද රාජපක්ෂව රජකීරීම සම්බන්දයෙන් සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ ‍දැන් තුන්‍ පොලක හිටගෙන ඉන්න සෝමවංශ-විමල්-කුමාර් තුන් කට්ටුව. තමං කරපු දේවල් වල පල විපාක වලින් මුළු රටම විඳවන කොට, තමුන්නාසෙලාට සදාචාරයක් කියල දෙයක් තියනවද මහත්ත‍යෝ ආයෙමත් අපිට පාරට බහින්නැයි කියන්න.

කියනකං හිටයෙ... විජ්ජො... අපි බහින්නම් පාරට හෙටම...

විජිත් හේරත්ගෙ තපුල්ලෑමෙන් කෑල්ලක්:

“එනිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. රටේ මතුවෙලා තිබෙන තත්වයක් සුළුපටු දෙයක් නෙවෙයි. අභාග්‍ය සම්පන්න තත්වයක් එනිසා මෙම ඇතිවෙමින් තිබෙන අරාජිකත්වයෙන් රට මුදාගැනීම වෙනුවෙන් මැදිහත්වීම ජනතාවගේ වගකීමක් ලෙෂ අපි දකිනවා. වියරු වැටුන ආණ්ඩුවේ මෙවැනි අමානුෂික ප‍්‍රහාරයන් වැලැක්වීමට ජනතාව අවශ්‍ය මැදිහත්වීම සිදුකළ යුතුයි“

තව ඕනෙ අයියා තව ඕනේ.....


ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට මේ වසරේ මුළු අයවැය වියදමෙන් හතරෙන් එකක් වෙන් කර ඇති බැව් රාවයේ කතුවැකියේ ‘බනියි ද දන්නෙ නැහැ‘ න්‍යායයෙන් වික්ටර් අයිවන් මතුකර තිබුණි. යුද්දය ඉවරය. එල්ටීටීය අතුගා හමාරය. උතුරට වසන්තය උදා වී ඇත. එ‍හෙනං මේ සල්ලි අහවල් කෙංගෙඩියකට දැයි මොකෙක්වත් නොඅසන්නේ ඒවා රාජපක්ෂලාගේ රට පාලනයේ මහන්සියට අතමාරුව බව සියල්ලෝම දන්නා බැවිනි.

පහතින් දැක්වෙන්නේ පසුගිය අවුරුදු කිහිපයේ අයවැයෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කළ මුදල් ප්‍රමාණයන්ය.

2009    රුපියල් 177, 100, 000, 000.00
2010    රුපියල් 202, 000, 000, 000.00
2011    රුපියල් 215, 000, 000, 000.00
2012    රුපියල් 230, 000, 000, 000.00
2013    රුපියල් 289, 000, 000, 000.00

එම කතුවැකියට අනුව, 

“2013 වසර සඳහා ආණ්ඩුවේ මුළු වියදම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 1189කි. එයින් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වැඩිම මුදල් ප‍්‍රමාණය වෙන්කර තිබේ. එම මුදල රුපියල් බිලියන 289කි. එය රජයේ මුළු වාර්ෂික වියදමෙන් හතරෙන් එකකට ඉතාම ආසන්නය. හෙවත් සියයට 24.3කි. 2012 වසරට වඩා රුපියල් බිලියන 60ක පමණ මුදලක් එම අමාත්‍යාංශය සඳහා මේ වසරේ වෙන්කොට තිබේ. මේ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය පවත්වාගැනීම සඳහා ලංකාවේ පුරවැසියකුට සාමාන්‍යයෙන් වසරකට රුපියල් 28,900ක පමණ බරපැනක් දරන්නට සිදුවෙයි“ 

යුද්දයක් නැතිව රටේ ආරක්ෂාවට වැය කරන මුදල වසරින් වසර අයියා මලෝ ඉහල නංවා ගන්නා අයුරු හරිම ෂෝක්ය. 


ඒ වගත් මෙසේම....

ලබන වසරේ සිට බල්ලන් ඇතුළු අනෙක් සුරතල් සතුන් වෙනුවෙන් ද ජනතාවගෙන් බද්දක් අය කිරීමට කළුතර නගර සභාව පසුගියදා තීරණය තිබුණි. සාදු කියන්න.... අපි ඉතිං ආසියාවේ ආශ්චර්යය වෙත ලඟා වෙමින් සිටිමු.

ගමේ ගෙදරක ට සෙනෙහෙ පපා හිටි
බලු කුක්කට මොන බදු ද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවි ද නුදුරු දිනේ

ගං කබර ලේඛනය හා දීප්ති ද ජෙන්ට්ල්මන්


ලංකා ඊ නිවුස් හි සඳරුවන් මහින්ද රාජපක්ෂව ගං කබරයා යනුවෙන් හැඳින්වීම ගැන දීප්ති ද ජෙන්ට්ල්මන් පිළිකුලෙන් යුතුව හෙලා දැක තිබුණි.  සඳරුවන්ගේ ගං කබර ලේඛන කලාව අප්‍රසන්න බැව් ඇත්තය. සියළුම වර්ගයේ සතා සිව්පාවුන් නිතරම එහි භාවිතාවෙයි. සඳරුවන් නොවන්නට අසික්කිතම භාෂා විලාශය ගැන කීර්ති වර්ණකුලසූරිය කප්ගැසීමට නියමිතව තිබුණි. හරියට යුද්දය උපරිමව තිබූ වෙලාවේ ජාතිවාදී හෙළ උරුමය නන්නත්තාර කර ජවිපෙ ජාතිවාදයෙන් කප් ගැසූවාක් මෙන් සඳරුවන් දැන් කීර්ති වර්ණකුලසූරිය පරදවා ගංකබර ලේබනයේ කප්පිත්තෙකි. සමහර වෙලාවට ‘මේ යකාට තවත් මේ විදියට ලියන්න පුළුවන් කමක් තියෙනවාදැයි‘ හිතෙන විට ඊළඟ දවසේ අළුත්ම අසික්කිත විලාසයකින් ලියන්නට තරම් ඔහු ඒ භාෂාවේ නිර්මාණශිලීය. දක්ෂය.

සඳරුවන්ගේ ලේඛනය ඔහුට අයිති දෙයකි. ජනගහනයෙන් සියයට 11.8 ක් පමණක් අන්තර්ජාලයේ සිටින ලංකාවේ  ලංකා ඊ නිවුස්  කියවන ප්‍රමාණය විශාල සංඛ්‍යාවක් විය නොහැක.  ප්‍රශ්නය තියෙන්නේ සඳරුවන්ගේ ලේඛනය ගැන නොව ‘මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වූ නායකයා‘ නිසාවෙන් ඔහුට ගංකබරයා යැයි පැවසීම පිළිකුලෙන් යුතුව හෙලා දකින ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති මහතා ගැනය. රටේ ආර්ථිකයෙන් සියයට 70 ක් පමණ පාලනය කරන රාජපක්ෂලා, සියළුම මාධ්‍යයන් හා මාධ්‍යකරුවන් අරලිය ගහ මන්දිරයේ සිට අල්ලේ නටවන රාජපක්ෂලා, නීතිය මැතිවරණ ක්‍රමය සියළුම රාජ්‍ය ආයතන ව්‍යුහයන් තම සිතැඟි පරිද්දෙන් පාලනය කරන රාජපක්ෂලා, විරුද්ධවාදීන් මරාදැමීමෙන් හෝ රටින් පලවා හැරීමෙන් හෝ ස්ව-නිහඬ ප්‍රතිපත්තියකට (යුද්ධය උපරිමයට යද්දී දීප්තිටසිද්ධ වූයේත් එයමය)  තල්ලුකර දැමීමෙන් විනාශකර ඇති රාජපක්ෂලා වෙතින් ‘ඉක්මනින් අමතකවෙන-බත් පැකට් එකට චන්දය වෙනස්කරන-ජාතිප්‍රේමයෙන් ලේසියෙන් උමතු වෙන‘ රටේ බහුතර ජනතාවගේ කැමැත්තට වූ හානිය දීප්ති අමතක කර දමා ඇත්තේ උවමනාවෙන්ද? මැතිවරණ දූෂණ සඳහා කප් ගසා ඇති රාපක්ෂලා රටේ බහුතර ජනතාවගේ කැමැත්තට කෙලවන අයුරු දීප්ති මඟහරින්න හදන්නේ මන්ද? සම්පූර්ණ නාගරික-ගැමි සමාජයෙහි සියළුම සදාචාරයන් විනාශකර දැමූ රාජපක්ෂලා රටේ බහුතර ජනතාවගේ කැමැත්ත සමඟ සූදු කෙලීම ගැන දීප්ති බබා වන්නේ කෙසේද?

අසික්කිත භාෂා විලාශයන් ගැන කතා කරන්නනේ නම් දීප්තිට ඇත්තේත් සඳරුවන්ට නොදෙවෙනි භාෂා විලාසයක් බැව් මතක් කර ගැනීමට ඇත්තේ 2004 දී එක්ස් එකෙන් කඩාගෙන ගිය සෙට් එකට අන්තර්ජාලය හරහා අමු තිත්ත පට්ට කුණුහරුපයෙන් නොනවත්වා බැන වැදුණු අයුරු සිහිකර ගැනීමය.


පිස්සු ගුසි



අන්තර්ජාතික ගුසි (GUSI) සාම ත්‍යාගය පියවි සිහියෙන් දෙදාස් දහය වසරේ දී ලංකා රජයේ හමුදාවේ ඉහළ නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ වෙත පිරිනමන ලදි. ජනඝාතක යුද්දය කිහිපයකට  දායක වූ මේජර් ජෙනරාල්වරයෙකුට සාම සම්මානයක් දීම අරුමයක් නොවේයැයි උපකල්පනය කළේ සාම මණ්ඩලයේ සභාපති බැරී එස් ගුසි සාමය ඉගෙන ගත්තේ ලංකාවේ හෙළ උරුමයෙන් හා දේශහිතෛෂීයන්ගෙන් සිතූ බැවිනි. දෙදාස් දොලහ වසරේ දී දීපිකා ප්‍රීයදර්ශනී ගායිකාව වෙත ඈ ගැයූ මහින්ද චන්ද්‍රෙස්කරයන්ගේ ‘සරෝජා‘ ගීතය වෙනුවෙන් සාම ත්‍යාගය පිරිනමන ගුසි සාම මණ්ඩලය මේ මොහොතේ නම් සිටින්නේ අවසිහියෙනි. එසේ පවසන්නේ දීපිකා ගැන අබමල් රේණුවක් තරම්වත් ඇති අහිතකින් නොවේ. මේ සඳහා වඩාත්ම සුදුසුම  තැනැත්තිය ඈ වන බව නොඅනුමානයි.

එහෙත් සරෝජා මගේ දුවේ.........  සරෝජා මගේ දුවේ.........   යැයි කිඹුල් කඳුළු හෙලමින් බෙරිහන් දුන්න ඇයට මේ සාම සම්මානය ලබාදිය යුත්තේ සරෝජලා දහස් ගානක් ෂෙල් ගසා මරා දැමූ ආණ්ඩුවේ මිනීමරු හමුදාවට ‘මුර දේවතාවා නුඹයි‘ යනුවෙන් ඈ ගැයූ ප්‍රශස්ති ගීතය වෙනුවෙනි.  නැත්තම් මේජර් ජෙනරාල් වයි විශාරද ගායිකාවයි එකට තියන්න බැරි කිචියක් අපේ ඇඟට දැනෙනවා..... දැනෙනවා.....වගේ.

මුර දේවතාවා නුඹයි හිමියනේ
දියගොඩ අහස ලක්බිම පියස
සුරකින දෙඇස නුඹමයි රහස
මගෙ හිමියනේ
මුර දේවතාවා නුඹයි හිමියනේ

අවි වැසි රඳන මහ වන ගහන
රුදු රළ බිඳෙන සමුදුර ගගන
රට ජාතියට උවටැන් කරන
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ

රුපු ඔද බිඳුම පමණම නොවන
මහ පින්කමකි රට දැය රැකුම
ගේ දොර අඩුව ඉවසමි සොඳිණ
මටත් මගෙ දූ පුතුන්ටත්
ආඩම්බරයි නුඹ හිමියනේ

ගීතය ලිව්වේ ‘ආයුබෝවන් මහරජානෙණි‘ ගීතය ලියූ සුනිල් ආර් ගමගේ.

එහෙමත් නැත්තම් අමරසිරි පීරිස් සමඟ ඈ ගයන මේ රණවිරු උපහාර ගීතයට ද (පහලින් ඇති ලින්ක් එකෙන් බලන්න) මේ සාම සම්මානය ලබාදිය හැකිය. දෙන්නටම දෙන්න ඕනෙ නැත්තම් එක්කෙනෙක් ගෙන් නඩුවක් වැටෙන්න පුළුවන්.


ගුසි ට පිස්සු. අපිට පව්.