A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ශිසිත හා ජානක



රුහුණු විශ්ව විද්‍යාලයේ ශිසිත හා කැළණිය විශ්ව විද්‍යාලයේ ජානක යන සහෝදරවරුන් අප අතරින් නික්ම ගොසිනි. පොලිසිය විසින් හදිසි අනතුරක් යැයි හැඳින්වුව ද එම අනතුර ගැන බරපතල සැකයක් ඇතිබැව් අන්තරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. ආණ්ඩුවේ ක්‍රියකලාපයන් සලකා බැලීමේ දී මෙවැනි සැකයක් ඇතිවීම හේතු සහගතය. ලංකාව තුළ වරින් වර අතුරුදහන් වෙන අය සිය ගණනකි. පැහැරගැනීම් හා ඝාතනය කිරීම් වල කිසිදු සාක්ෂියක් නැත. නිල ඇඳුම් රහිත ඝාතක කල්ලි රට තුළ බොහෝය. විරුද්ධවාදීන් මර්ධනය කිරීම මිනීමරු ආණ්ඩුවල ට පහසුවෙන් කල හැක්කකි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඔලුව දේශපාලන පක්ෂ වල අතකොළුවක් වුවද එහි බඳ අවංක හැඟීම් වලින් පිරිපුන් තරුණ තරුණියන්ගෙන් සහිත වූවකි. අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම සමස්ත  ජනතාවගේම අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට ඇත්තේ පිරිසුදු හැඟීමකි. අධ්‍යාපනයේ කප්පාදුවලට එරෙහිව මෙන්ම රටේ ජනතාවට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ද ඔවුන් සටන් කරන්නේ ආදරණිය හැඟීමකිනි. පිටකොටුවෙන් කඩදාසි රෝල් කරගහගෙන නිදිවරාගෙන පෝසටර් අඳිමින් තාප්පයක් ගානේ ඒවා අලවමින් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නොසලකා කට්ට කන්නේ එම අවංක හැඟීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්ලේන්ටිය දිව්‍ය පානයයි. බුලත් විට දිව්‍ය හපයයි. මෝටර් බයිසිකලය දිව්‍ය වාහනයයි. ශිසිත හා ජානක සහෝදර වරුන් මිය ගොස් ඇත්තේත් පසුවදා බෙදන්නට නියමිත පත්‍රිකා තොගයක් රැගෙන එමින් සිටියදීය. ඔවුන්ගේ ඡායාරූප දිහා බැලීමේ දී පෙනෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කට්ට කෑ බොහෝ ශිෂ්‍ය නායකයින්ට උරුම වූ කේඩෑරි සිරුරුයි. ඒ ජවයයි.

කවි ලියන සිරිමල්වත්තයිනි, කුමාර් ඇතුළු ජනරළ කාරයිනි, මේ සහෝදරවරුන්ගේ මරණයට අද නුඹලා චෝදනා කරන මේ මිනීමරු ආණ්ඩුව පසු ගියදා අභිෂේක ලද්දේ නුඹලා අතින්මයි. නුඹලා රණවිරුවන් ලෙසින් නම් කරණ ලද්දේ ත්‍රීමලාට පරාල ඇණ ගැසූ මිනීමරු හමුදාවටයි.

හය විතරක් ඇතිද



අධ්‍යාපනයට හය ඉල්ලන අයයි හය නොදෙන අයයි දෙන්න හදන අයයි විවිධයි. හදිස්සියේ මේ හය මේ අයට මතක් උනත් ජාත්‍යන්තර දර්ශකයක් විදිහට දළ ජාතික නිශ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම කාලයක් තිස්සේ සම්මත දෙයක්. ඊට අමතරව සාක් රටවල අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් යුනෙස්කෝ ඉදිරිපත් කළ වැඩපිළිවෙලට ලංකාවත් 2009 දී මේ සියයට හයේ කතාවට අත්සන් කළා.  

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විනාශ වෙලා ඉවරයි. එය ගොඩගැනීමට සමස්ථය තුළම බුද්ධිමතුන්ගේ රැඩිකල් මැදිහත්වීමක් ඉක්මනින් ම අවශ්‍යයි. සමහරවිට ඒ සඳහා සියයට හයත් මදි වේවි. ඒ වගේම පහතින් සඳහන් වීනාශයේ උපරිමයට ගිය තැන් සළකා බැලුවහොත් මූල්‍ය ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ වැඩපිළිවෙල, ප්‍රමිතිය, කළමණාකරනය හා ව්‍යුහය පිළිබඳ ගැටළුවක්.

උසස් පෙල ප්‍රතිඵල අර්බුදය
සමස්ථ විභාග පරිපාටියේ අර්බුදය
පාසැල් සඳහා ළමුන් ඇතුලත් කිරීමේ අර්බුදය
පෞද්ගලික පාසැල්  ව්‍යාපාරික ස්ථාන බිහිකිරීම
නොමිලේ පාසැල් අධ්‍යාපනයට එරෙහිව ප්‍රමිතියකින් තොර ටියුෂන් අධ්‍යාපනය
පාසැල් ගුරුවරුන් අධ්‍යාපනය ලබාදීම පීළිබඳ තමන්ගේ වගකීම් පැහැරහැරීම
ගමේ කුඩා දුෂ්කර පාසල් වසා දමා නාගරික විශාල පාසැල් සංවර්ධනය
දේශපාලන මැදිහත්වීම්
පෞද්ගලික විශ්ව  විද්‍යාල පිහිටුවීම සඳහා අවසර දීම
යල් පැන ගිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය වර්තමානයට ගැලපෙන සේ වර්ධනය/වෙනස්-  නොකිරීමේ අර්බුදය
පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක නොකිරීම

එජාපයේ දයා ගමගේ හදිසියේම මේ සියයට හය එජාපය බලයට ආවොත් දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා යැයි ඊයෙ මාධ්‍යවල තිබුණා. හය ඉල්ලන්න හදිසියේ කට්ටියට මතක් උනා වගේම හය හය දෙන්න හදිසියේ මතක්වුණ එජාපය බලයේ සිටි ඒ දවස්වල අධයාපනයට වෙන් කරපු ප්‍රමාණය මීට වඩා වැඩි වෙනසක් නැහැ.  රාජ්‍ය අධ්‍යාපනය විනාශකිරීමේ මූලික අඩිතාලම් වැටුනේ එජාපයෙන් බව කවුරුත් දන්න කාරණයක්.

ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස:

1970 - 3.98%
1975 - 2.75%
1980 - 2.70%
1985 - 2.58%
1998 - 3.05%
2005 - 2.59%
2006 - 2.67%
2007 - 2.59%
2008 - 2.27%
2009 - 2.08%
2010 - 1.86%

අධ්‍යාපනයට අවම වශයෙන් දල ජාතික නිශ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම අවිවාදයෙන්ම වියයුතු දෙයක්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ මේ සටන ජයග්‍රහනයෙන් කෙලවර විය යුතුයි. ඒ වගේම හය ඉල්ලන ආචාර්ය සංගමය රාජ්‍ය අධ්‍යාපනය ගොඩ ගැනීමට ඉන් එහාට ගිය වැඩපිළිවෙලක් සහිතව පැමිණීමත් අත්‍යාවශ්‍ය දෙයක්.

ස්‍ත්‍රී දූෂණ වලට එරෙහිව ස්‍ත්‍රී දූෂකයාගේ උද්ඝෝෂණය


අකුරැස්ස ප්‍රාදේශිය සභා මන්ත්‍රී සාරුවා ලියනගේ සුනිල්, දිනෙන් දින ඉහළ යන ළමා අපචාරවලට හා ස්ත්‍රී දූෂණ වලට එරෙහිව ප්‍රාදේශිය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇත. පුදුමයට පත් වන් කාරණය නම් පසුගිය දා අවුරුදු 14 ක දැරිවියක් අපචාරයේ යෙදවූ බැවින් මෙම සාරුවා ලියනගේ සුනිල් අත් අඩංගුවට ගත් අතර තවත් ස්ත්‍රී දූෂණ චෝදනා විශාල සංඛ්‍යාවක ඔහු වෙත එල්ලව තිබීමයි. දූෂණ, ළමා අපචාර ඇතුළුව විවිධ ස්ත්‍රීන් 400 සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සැමරීමට සන්ධානයේ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් යුතුව විශාල සුහද සම්භාෂණයක් මීට මාස කිහිපයකට පෙර ඔහු පැවැත්වූ බවද මාධ්‍යවල සඳහන් විය.
--------

බැලූ බැල්මට මේ ප්‍රවෘත්තියේ මොකක්දෝ අවුලක් ඇත. සාරුවා ලියනගේ සුනිල් මේ කරන්න හදන්න හදන්නනේ මොකක් හෝ යටිකූට්ටු ගේමකට ඕනෑම අයෙකුට සැක සිතේ. මූ නම් පුදුම අවස්ථාවාදියෙකි. නොම්මර එකේ කපටියෙකි. මූ කොහොමද ළමා අපචාරවලට හා ස්ත්‍රී දූෂණ වලට විරුදධ වෙලා කෑ ගහන්නෙ. එතකොට මේ පාහරයා හින්ද අනාථ වෙච්ච ළමයි ගෑණු ගැන මූ මොකද කියන්නේ?...නා නා ප්‍රකාර ප්‍රශ්න ඔබගේ හිතට නැඟෙන බව නො අනුමාණයි.

ඒත් දේශපාලන කාරණාවල දී මේක මෙච්චර සරලව පැහැදිලි නැහැ. සරලව තේරෙන්නෙත් නැහැ. ඔය වගේ සැක සහිත දේවල් එක පාරටම ඔලුවට එන්නේ නැහැ. මොකද ඒක ක්‍රියාවලියක්. යම් දේවල් තවත් දේවල් වලින් යට යනවා. අතීතය අමතක කරවනවා.

ඉහත සඳහන් කතාව සඳහන් කිරීමට උවමනා වුණේ කුමාර් ගුණරත්නම් ගෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය “ජාතිවාදය” ට එරෙහිව උද්ඝෝෂණය කිරීමට යන බැව් ආරංචි වීමෙනුයි. කූමාර් වගේම ඒකෙන් කැඩුණු ඔක්කොම නායකයෝ පහුගිය කාලේ නොම්මර එකේ ජාතිවාදීන් කියල දැං පොඩ්ඩ පොඩ්ඩ අපිට අමතක වෙනවා. අමතක කරවනවා.

දැං ඔක්කකොම පරණ පවු ජවිපෙට දමා අතහෝදගන්න ලෑස්ති උනත් ජවිපෙ ගන්නා තීන්දු තීරණ සම්බන්ධව 90% විතර බලයක් තිබුණෙ කුමාර්ට බැව් ජවිපෙ ගැන දන්න ඕන කෙනෙක් දන්නවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීමයි,  රාජපක්ෂ බලය අස්ථාවර නොකිරීමයි, ඔහු හරහා උතුරු නැගෙනහිර සමූල ඝාතක යුද්ධයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමයි, බලය බෙදීමකට එකඟ වෙලා සිටි දකුණේ සිංහල බෞද්ධ මණස ලේ පිපාසිත යුද්ධයකට ලෑස්ති කිරීමයි යන සියල්ල ජවිපෙ ඇතුලෙ සිද්ධ කෙරුනෙ කුමාර් ගුණරත්නම් ගෙ නායකත්වයෙන් ඕපාත-පුබුදු-චමීර-වරුණ-කුලරත්න-දිමුතු ගෙ සම්පූර්ණ ආශිර්වාදය ඇතුව. එයින් සිද්ධ වුනේ අහිංසක දෙමළ මිනිසුන් ද ඇතුළුව ලක්ෂයකට අධික  පිරිසක් සමූළ ඝාතනය වී උතුරු නැගෙනහිර ලෙයින් තෙත් වීම, දෙමළ තරුණ තරුණියන් කෘර වධ හිංසාවන්ට පත්වීම හා හිර කඳවුරු වලට ගාල් වීම. තාමත් මේ ඉතිරිවුණ දෙමළ ප්‍රජාව රාජපක්ෂ ආණඩුවේ ම්ලේච්ච හමුදාවන්ගේ සියළුම පීඩාවන්ට පත්වෙනවා.

දැන් ඒ පෙරටුගාමී කට්ටිය අය ජවිපෙන් කැඩිල වෙන් වෙලා “ ඒ අපි නෙමේ අපි අළුත්” කියලා ජාතිවාදයට එරෙහිව උද්ඝෝෂණ කරන්න හදනවා.

එතකොට අපි මතක් කර ගන්න ඕනෙ නැද්ද අර සාරුවා ලියනගේ සුනිල් ගැන හිතිච්ච දේවල් ටික. මෙක යටිකූට්ටු ගේමක් ද? මේක දේශපාලණ අවස්ථාවාදය නේද? නොම්මර එකේ කපටිකම ද? එතකොට මේ ගොල්ලොන්ගේ දායකත්වයෙන් මරල දැම්ම ලක්ෂයක් දෙමළ මිනිස්සු ගැන මුං මොකද කියන්නෙ? අනාථ වෙච්ච දෙමළ මිනිසුන්ට මොකද වෙන්නෙ?.......  

මේක සැරින් සැරේ වදයක් වෙන තරමටම මතක් කරල දෙන්න වෙන්නෙ මේ ජවිපෙ-පෙරටු දේශපාලන අවස්ථාවාදය හා කපටි කම් නිසාවෙන් පසුගිය කාලෙ මැරිල ගිය උතුරු-නැගෙනහිර-දකුණෙහි  සිංහල දෙමළ මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ ගානක් නිසාවෙන් (එළුවො නෙමෙයි මිනිසුන්). ඒ වගේම ලංකාව ඇතුලත මේ වන විට විනාශ වෙලා ගිහින් තියෙන සංස්කෘතිය හා සදාචාරය රැක ගැනීමට සිටි තරුණ බලවේගයන්, සුළු ධනේශ්වරයේ සූරා කෑමට එරෙහිව නැගී සිටිමට තරුණ බලවේගයන් ජවිපෙ-පෙරටු දේශපාලන අවස්ථාවාදය නිසා පටු ජාතිවාදය වෙත කොටු කරපු නිසාවෙන් හා තවත් ජාතියක තරුණ පරම්පරාවක් ම්ලේච්ච පාලකයන්ගේ ගොදුරුබවට පත්කරවීම නිසාවෙන්.

ලංකාවේ තරුණ ජවය විනාශ වීමට හෝ විනාශ කරවීමට නැවත වතාවක් මොනම ආකාරයකින් වත්දේශපාලන අවස්ථාවදයට ඉඩ දිය යුතුද? වැඩපිළිවෙලක් නැති නිවරැදි මාක්ස්වාදී දේශපාලන මතවාදයක් නැති; පහල මට්ටමේ සහොදරයින්ට කැරට් අලයක් වූ ‘සමාජවාදය‘ පිහිටු වී විට ප්‍රශ්ණ සියල්ල විසඳීමට බලා සිටින සිහින දේශපාලනයට අප ඉඩ දිය යුතුද? ඕනෑම විකාර සහගත සහ ප්‍රතිගාමී දේශපාලණ තීන්දු තීරණයන් ‘උපාය මාර්ග‘  වශයෙන් පවසා පහල කේඩරය රවටනු ලබන රැවටිලිකාරී දේශපාලණ ව්‍යාපෘතීන් වලට අප ඉඩ දිය යුතුද?

ජවිපෙ-පෙරටු කණ්ඩායම ජාතිවාදී මඩ ගොහොරුවෙන් ගැලවී එන්නේ නම් අපි මේ කඳවුරට සාදරයෙන් පිළිගනිමු. හැබැයි ඔබලා විසින් කරණ ලද පාප කන්දරාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් ඇත. ඔබලා කෙරෙහි වූ විශ්වාසය දේශපාලන අවස්ථාවාදයට එහායින් දෙමළ මිනිසුන් හා සිංහල ප්‍රගතිශීලීන් මත පතිත විය යුතුව ඇත. පහතින් සඳහන් කර ඇති දෑ නොකරන තාක් කල් ජවිපෙ-පෙරටු නායකත්වයන් තුළ ඇත්තේ බලය පිණිස වූ පට්ට අවස්ථාවදය පමණි.

  • වැරදි දේශපාලන තීන්දු පිළිබඳ පාපොච්චාරණයක් සහිතව දෙමළ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ ඓතිහාසික නිවේදනය නිකුත්කිරීම ((((ස්වයං විවේචන හිස් පුස් කොළ ගොන්නවත් චන්දන සිරිමල්වත්තගේ කවි වත් නොවෙයි.)

  • යුද අපරාධ ගැන පරීක්ෂණ කර අදාල පාර්ශවයන් සඳහා දඬුවම් පැමිණවීම සඳහා ජාතිකව හා ජාත්‍යන්තරයව බලපෑම් කිරීම (ඊලඟට පාලකයින්ගේ ම්ලේච්ච හමුදාවන්ගෙන් මියෙන්නට නියමිතව ඇත්තේ දකුණේ සිංහල තරුණ පරම්පරාවයි)

  • උතුරු නැගෙනහිරෙන් හමුදා පාලනය පමණක් නොව සියළුම හමුදා ඉවත් කීරීමට බල කිරීම (දැං ඉතිං ‘ත්‍රස්තවාදියා‘ ඉවරයි නොවැ)

  • හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ද ඇතුළුව අත් අඩංගුවේ සිටින සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බල කිරීම

  • උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා සිංහල ශ්‍රමය දකුණෙන් ආනයනය කිරීම නවතා ශ්‍රමය හා කළමණාකරනය දෙමළ ජනයා වෙත පැවරීමට බල කිරී
  • උතුර නැගෙනහිර ඉඩම් කොල්ලකෑම, සිංහලකරණය හා බෞද්ධකරණය නවතාදැමීමට බල කිරීම

  • ජීවත්ව සිටින දෙමළ කාන්තාවන් ගැබ්ගැන්වීමේ  යුද්ධය අවසානයේ හමුදා විසින් සිදුකරණ  යුගෝස්ලෝවියානු පන්නයේ ස්ත්‍රී දූෂණ නවතා දැමීමට බල කිරීම

  • වෙනම රාජ්‍යය සංකල්පය කෙසේ වෙතත් දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීමෙන් හෝ බලය බෙදීමෙන් ඔවුන්ගේ ජනජීවිතය හා සංස්කෘතිය යථා තත්වයට පත් කිරීමට කටයුතු කිරීම සඳහා සටන් වැදීම. නිර්ධන පංතියේ විප්ලවයක් සිදුවෙනකම් දෙමල ජනයා පීඩාවටපත් වියයුතු නැත. සිංහල පාලනයකින් ඔවුනට අත්වන සුගතියක් නැතිබව ඔබලාම දන්නා කාරණාවකි (If you ruin it. You fix it!!).


තවදුරටත් දකුණේ හෝ උතුරේ තාරුණ්‍යය ‘සමාජවාදය‘ යන වචනය තිබූ පමණින් සීනි-අරගල-බෝල දේශපාලනයට ඔබලාගේ පෝලිම ඉදිරියේ නැවී සිටීමට සූදානම් නැත.

(සාරුවා ලියනගේ සුනිල්ගේ උද්ඝෝෂණ ප්‍රවෘත්තිය උපකල්පනයක් පමණක් වන අතර සඳහන් කර ඇත්තේ ලිපියට උපකාරයක් වශයෙනි)