A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළෙක් වෙනවාට වඩා එ‍ළුවෙක් වෙන එක හොඳය


කීයක් මරල හරි වැඩේ ඉවර කරල එන්නැයි පවසා දෙමළ මිනිසුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරා දැමීම පිණිස මීට වසර කීපයකට පෙර අණ දුන් ශ්‍රී රාජපකිෂ්ලන්තයේ සේනාධිනායක ඊයේ වාර්ෂික මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව වෙනුවෙන් එළුවන් සියගණනක් මරා දැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමුවේය. එදවස සේනාධිනායකගේ අණ පිළිගත් ඔහුගේ මලයන්ඩිය හා සරත් ෆොන්සේකාවන් සිය හේවායන් යොදවා ඇති පදං දෙමළු මරා “වැඩේ හරි“ කියා අන්තිමේදී සේනාධිනායකට ලක්ෂයක මරණ සහතික එකට ලියා සන්නසක් බාර දුන්නෝය. තවමත් උණු මිනිස් ලේ පුසුඹ ඇති වන්නියේ තුන් සනුහරේ හේවායෝ එළුවෙක් තරමටවත් මායිම් නොකර එදා දෙමළුන්ට වධ දුන්නේය. දූෂණය කළෝය. සෙල්ෆෝන් යන්තරයෙන් පින්තූර ගත කළෝය.

නාමල් කුමරු සර්වඥ ධාතුව අහසින් වඩම්මන්නේය. එක දෙමළෙක් බේරා ගන්නට සර්වඥ ධාතුව තියා මොනම වර්ගයේ දතක් වත් ඒ දවස්වල අහසින් නොවැඩියේය. සර්වඥ ධාතුව මහිමයෙන් සේනාධිනායකට සානුකම්පාව පහළ වී එළුවන් බේරු‍ණේය. දෙමළුන් මරපු රජතුමාට  ජනතාව සාදු සාදු කිව්වෝය. එළුවන් බේරපු රජතුමාටත් ජනතාව සාදු සාදු කියන්නෝය.

රාජ නියමයෙන් එළුවන් නිදැල්ලේය. ඉතිං ලංකාවේ දී දෙමළෙක් වෙනවාට වඩා එ‍ළුවෙක් වෙන එක හොඳය.

(කරුණාකර මරා දැමූ දෙමළ මිනිසුන් සංඛ්‍යාව ගැන මූලාශ්‍ර මොනවාදැයි විමසීමේ පෙරටුගාමී ප්‍රශ්න නොඅසන්න. මෙම සංඛ්‍යාව රජයේ සහ පල්ලිය ආශ්‍රිතව කරණු ලැබූ සංගණන දෙකක් අවසන ලැබුණු හිඩැසක හිඟයන් හි සාධාරණ මධ්‍යනය යි. පෙරටුගාමීන්ට අනුව මරා ඇත්තේදෙමළුන් දිල්රුක්ෂාන් හා නිමලරූබන් දෙදෙනා පමණි. අතුරුදහන් කර ඇත්තේ ලලිත් හා කූගන් පමණි. ජවිපෙට අනුව නම් එකම දෙමළෙක් වත් මරා දමා නැත. ලෙයින් යකඩින් දිවි දුන් දකුණෙ හැට දහසටද මූලාශ්‍ර නැත. මූලාශ්‍ර තියාගන්න විදියට ආණ්ඩුව මරන්ණේ නැත)

නෙපටිස්ම් (Nepotism) හෙවත් ඥාතිසංග්‍රහවාදය



අපි කොච්චර උඩ පැන්නත් ලෝකය ලංකාව හඳුනන්නේ ක්‍රිකට්, සුනාමිය හා යුද අපරාධ  තුළින් පමණි. එහෙත් ඊට අමතරව ලෝකයේ අනෙකුත් රටවල් විශේෂයෙන්ම ඒවායේ දේශපාලන ස්ථරයන්හි ලංකාව  මේ වනවිට හඳුනා ගැනෙන්නේ දේශපාලන ඥාතිසංග්‍රහය ඉතාමත්ම ඉහලව පවතින රටක් වශයෙනි. දේශපාලන විද්‍යවේදී වර්තමාන රාජපක්ෂ පාලනය ‘දේශපාලන ඥාතිසංග්‍රහවාදය’ පැහැදිලිකිරීමේදී ප්‍රබල උදාහරණයකි.

මහින්ද රාජපක්ෂ මේ චෝදනාවට ලක්වෙන්නේ ඔහුගේ සහෝදරයින් දරුවන් හා ඥාතීන් හැකියාවන් හෝ කුසලතාවයන් නොසලකා අමාත්‍ය මණ්ඩලයට හා අනෙකුත් දේශපාලන හා ආර්ථික ආයතනයන් සඳහා පත් කිරීමෙනුයි. විකිපීඩියා තොරතුරු අනුව ලංකාවේ අයවැයෙන් 70% කටත් වැඩියෙන් මේ වනවිට පාලනය කරන්නනේ රාජපක්ෂවරුන් විසිනි. ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක, මුදල්, වරාය හා ගුවන්, මහාමාර්ග, මාර්ග සංවර්ධන හා පොදු කටයුතු අමාත්‍යාංශ පවතින අතර ආර්ථිකයේ වැඩි බරක් උසුලන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඔහුගේ සොහොයුරු ඇමෙරිකාණු ග්‍රීන්කාඩ් හිමි බැසිල් රාජපක්ෂ උසුලයි. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලයේ විවිධ තනතුරු  සඳහා පත් කර සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මේ වන විට පාර්ලිමේන්තුවේ කතානායක පදවිය දරයි.

ඇමෙරිකානු පුරවැසිභාවය සහිත බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් දේශපාලන පත්වීමක් ලැබ සිටී. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ වෙරළ ආරක්ෂක බලකාය පවතින අතර ආගමන හා විගමන කටයුතු පිළිබඳ සියලු බලතල පවතින්නේද ඔහු සතුවයි. යුද්ධය ඇතිව හො නැතිව ජනපතිවරයා අයවැයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්නනේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙනුයි. මෙම පත්වීම් ලැබීමට මත්තෙන් ඔහු යුධ හමුදා වෙන් ඉවත් වී ඇමෙරිකාවේ වසර 17 පදිංචිව සිට ඇති අතර රැකියාවක් වශයෙන් කර ඇත්තේ විවිධ ආයතනයන්හි අයකැමි තනතුරු දැරීම බැව් විකිපීඩියාවල තවදුරටත් දැක්වේ.

ජනපතිගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ, හෙළි නොකරන විවිධ රාජ්‍ය ආයතනයන් හී තනතුරු හොබවන අතර නිල නොවන මට්ට්මින් සියලු අමාත්‍යාංශයන් පාලනය කරණු ලබයි.‍‍

ජනපතිගේ බෑනනුවන් ඌව පළාත් සභාවේ මහ ඇමති ධූරය දරණ අතර, මස්සිනාවරුන් වන ජාලිය වික්‍රමසූරිය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති හා උදයංග වීරතුංග රුසියාවේ  ශ්‍රී ලංකා තානාපති වේ. මීට අමතරව ඉතා ලඟ හා දුර ඥාතිවරුන් විශාල සංඛ්‍යාවක් බැංකු, සංස්ථා හා අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් වශයෙන් පත්කර ඇත.

පහතින් දැක්වෙන්නේ රාජපක්ෂවරුන්ගේ සෘජු පාලනය යටතේ පවතින ආයතන හා බලතල පිළිබඳ අවම සාරාංශයකි. මෙහි මඟහැරුණු තැන් තිබෙන්නට බොහෝ ඉඩ ඇත. එමෙන්ම වක්‍රව පාලනය වෙනත් ආයතන හා වෙනත් නිල නොවන බලතල සළකා බැලුවහොත් ඇත්ත තත්වය මීට වඩා බොහෝ දරුණු බැව් වැටහෙනු ඇත.

මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
සුරාබදු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
ලංකා බැංකුව
මහජන බැංකුව
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
නිවාස සංවර්ධන සහ රක්ෂණ සංස්ථා බැංකුව
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
ජාතික ලොතරැයි මණ්ඩලය
සංවර්ධන ලොතරැයි මණ්ඩලය
ලෝහාර් ආර්යා අරමුදල
ජාතික රක්ෂණ භාර අරමුදල
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණඩලය
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ මණ්ඩලය
දේශීය ණය හා සංවර්ධන අරමුදල
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය
මිලෝදා ආයතනය
වරාය හා ගුවන් අමාත්‍යාංශය

ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ශ්‍රී ලංකා පොලිස් සේවය
රාජ්‍ය බුද්ධි අංශය
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
ජාතික කැඩෙට් බලකාය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක (ග්‍රාමාරක්ෂක) දෙපාර්තමේන්තුව
රණවිරු සේවා අධිකාරිය
අන්තරායක ‍‍ ඖෂධ පාලක ජාතික මණ්ඩලය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
නාගරික සංවර්ධන අධිකාරිය

වරාය හා ගුවන් සේවා

ශ්‍රී ලංකන් ගුවන් සේවය
මිහින් ලංකා ගුවන් සේවය
වරාය අධිකාරිය
සිවිල් ගුවන් සේවා අධිකාරිය
සීමාසහිත ලංකා නැව් සංස්ථාව
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම
නැව් හා ගුවන්සේවා තොරතුරු සහ පර්යේෂණ ආයතනය
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
වෙළඳ නැව් අංශය


ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව
ග්‍රාමීය සංවර්ධන හා පුහුණු පර්යේෂණ ආයතනය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුව
දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා එහි අනුබද්ධිත ආයතන
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය
ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්ව උද්‍යාන
සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
සියලු ප්‍රදේශ සංවර්ධන වැඩසටහන්

පාර්ලිමේනතුවට ඉදිරිපත් දිවිනැඟුම පනත මඟින් පළාත් සභාවල සියළුම බලතල අවම කර මෙම අමාත්‍යාංශය වෙත එම බලතල පවරා ගැනීමට නියමිතය.

වරාය හා මහාමාර්ග ව්‍යාපෘති

හම්බන්තොට තෙල් මෙහෙයුම් පද්ධතිය සහ ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය
කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය (අදියර 1)
ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතිය
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය
ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය
කොළඹ පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය
උතුරු- නැගෙනහිර (කොළඹ - නුවර) අධිවේගී මාර්ග ව්‍යාපෘතිය
ජාතික මහාමාර්ග ආංශික ව්‍යපෘතිය
ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතිය - අතිරේක මුල්‍ය ප්‍රතිපාදනය
ත්‍රිකුණාමලය ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතිය
උතුරු මාර්ග පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
ප්‍රමුඛ මාර්ග ව්‍යාපෘතිය 1
ප්‍රමුඛ මාර්ග ව්‍යාපෘතිය 2
ලෝක බැංකු ආධාර මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය - II
නැගෙනහිර පළාතේ දුගී දුප්පත් ජනයා සඳහා වූ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
නැගෙනහිර පළාතේ පාලම් පහ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය
ගැටුම් වලින් හානියට පත් ප්‍රදේශවල හදිසි සංවර්ධන ව්‍යාපෘතිය
බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය
පාදෙනිය - අනුරාධපුර මාර්ගය වැඩදියුණු කිරීම
හැටන් - නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
අරාබි ආර්ථිකය සංවර්ධනය සඳහා වු කුවේට් අරමුදල


වෙනත්

කාල්ටන් ක්‍රීඩා නාලිකාව

මෙයට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය, අයි.ටී.එන්, ලේක්හවුස් පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන සෘජුවම පාලනය කරන අතර අනෙකුත් සියළුම මාධ්‍ය ආයතන වක්‍රව දැඩිලෙස පාලනය කරයි.

(ඉහත පින්තූරය ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාවෙනි)

දකුණේත් සිය ගණනක් අතුරුදහන්



1987 අග භාගයේ “දකුණේත් සිය ගනණක් අතුරුදහන්“ යනුවෙන්  හෙඩිමක් සහිත විවරණ සඟරාවක් මතකයේ ඇත. එහි වූයේ මාසයක් ඇතුළත සිය ගණනක් සිංහල තරුණ තරුණියන් දිවයිනේ දකුණු ප්‍රදේශයේ අතුරුදන් බැව් දැක් වූ විස්තරාත්මක ලියවිල්ලකි. ඉන්පසුව 1988 හා 1989 කෙළවර වන්නේ 60,000 අධික සිංහල තරුණ තරුණියන්  එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ම්ලේච්ඡ නිල හා නිල නොවන රජයේ ආරක්ෂක හමුදා අතින් කුරිරු වධ බන්ධනයට ලක්ව ඝාතනය වීමෙනුයි. තවත් විශාල පිරිසක් දරුණු වධ බන්ධන සහිතව බන්ධනාගාර සහ හමුදා කඳවුරු වල සිර ගත කොට තබන ලදි. පසුගිය කාලයේ ආරක්ෂක හමුදාවන් දකුණ විසින් රණවිරුවන් නමින් අබිසෙස් කර බෝධිපූජා පැවැත්වුවද මරා දැමූ වන් අතර 600 කට අධික තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටි අතර එම සංඛ්‍යාව සිංහල ජාතිවාදීන් බෙරිහන් දෙන පරිදි පසුගිය ඊලාම් අරගලය ඇතුලත මරණයට පත්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවටත් වඩා ඉතා වීශාල සංඛ්‍යාවකි.

මෙය මතක් වූයේ පසුගියදා මාධ්‍ය වල සඳහන් වූ “මාස හයක් ඇතුලත පැහැරගැනීම් 650 ක්“ පුවත දැකීමෙනි.  එය නැවතත් 1987 අග භාගය මෙනි. මාසයකට සිය ගණනක් එහෙමත් නැතිනම් දවසකට 4 දෙනෙක් අතුරුදහන් වීමට පටන් ගෙන ඇත. එයින් වැඩිහරියක් දකුණේය. මේ මොහොතේ දකුණේ දේශපාලනය ද අවතැන් නමුත්  සියල්ල වෙනස්වීමට ගත වෙන්නේ කෙටි කාලයකි. යුද්ධයේ විජයග්‍රහණයේ සතුට හීන වී බඩගින්න විරැකියාව හා සමාජ අසාධාරණය හා පීඩාව විසින් දකුණ රත් වෙමින් ඇත. ඉදිරි දෙවසර එතරම් සාහසික වේ යැයි කිසිවෙකුටත් 1987 දී සිතෙන්නට නැතිව ඇත. දකුණට එළඹිමට නියමිතව ඇත්තේ තවත් 1988 ක් හා 1989 ක් ද?

සිංහල මාක්ස්වාදී, සමාජ ප්‍රජාතාන්ත්‍රවාදී, ලිබරල්, ජාතිවාදී, ජාතිකවාදී  සියළුම දෙනාගේ ආශිර්වාදය සහිතව සිදු කරණ ලැබූ ලේ පිපාසිත යුද්ධයකින් අනතුරුව මේ දිනවල රජයේ ආරක්ෂක හමුදා පාරවල් තනමින්,  එලවළු කොටු වවමින් සිටී.

රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීමේ අරගලය රැකගනිමු


රාජ්‍ය අධ්‍යාපනය විනාශකර දැමීමේ උච්චතම අවස්ථාවට පැමිණ ඇත්තේ වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේය. එය විනාශකර දැමීමෙහි මූලික අඩිතාලම් ජයවර්ධනගේ එජාප ආණ්ඩුව දැමූ අතර පැවති සියළුම ධනපති ආණ්ඩු විසින් ම උත්සහ දැරුවේ එහි මළගම සනිටුහන් කිරීමටයි. විරුද්ධ පක්ෂවලට එය බලයට ඒම සඳහා වූ චන්ද සටන් පාඨයක් විතරකි. බලයට පත් වූ පසු ඔවුන් සිදු කලේ ද සිදු කිරීමට බල කරන ලද්දේද එයමයි. එවකට එය ලෝක බැංකුවේ උවමනාවක් වූ අතර අද මෙම විනාශය ලෝක ධනවාදයේ ගඩාෆි පන්නයෙ රූකඩයක් වූ මහින්ද රාජපක්ෂව සුද්දවන්තයා කර බන්දුල-එස් බී දෙබෑයන් කරන තකිතීරු වැඩකි.

පාසැල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විභාග ක්‍රමය මේ වන විට විනාශකර දමා ඇති අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය හා දේශපාලනීකරණය උපරිමයට ලඟාවී ඇත. වරෙක ලංකාවේ ප්‍රගතිශීලි දේශපාලනයේ දැවැන්තම ආයතනය වූ ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙ හා හෙළ උරුමය විසින් කඩා භේද බින්න කර දැමූ පසු  මේවන විට කෑලි කෑලි පෙරටුගාමීන් විසින් අහුලමින් සිටී. ශිෂ්‍ය ව්‍යාපාරයට ජාතික බලවේගයක් වීමේ හැකියාවක් පෙනෙන තෙක් මානයේ නැත. එබැවින් මේ මොහොතේ අධ්‍යාපනය රැක ගැනීමේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ගේ සටනට ඇත්තේ ඉතා විශාල වැදගත්කමකි.

ලංකාවේ අරගලවලට අයිතිකංකාරයෝ සිටිති. බොහොවිට ඔවුන් වෙනවෙනම  සිතන්නේ ඔවුන්ගෙන් තොරව සටන් ජයගතයුතු නැති බවයි. හරියට ලංකාවේ විප්ලවය කළයුත්තේ සිංහලයා විසින් විතරක් යැයි සිතන ජවිපෙ-පෙරටු  සටන්කාමීන් මෙනි. එමෙන්ම සටන් සඳහා සහය දැක්වීමේදී  සිද්ධවන්නේද පංගුපේරුවට වැඩකිරීමේ කුහක පිළිවෙතකි. එය හොඳින්ම පහුගියදා එකම අරමුණ වෙනුවෙන් වෙනවෙනම පැවැත්වූ රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීමේ උද්ඝෝෂණ රැළි වලින් පෙනුණි. මේ අරගලය ජවිපෙ මළකුණට පණ ගැස්සවීමට දඹර අමිලගේ උනන්දුවට හෝ නිර්මාල්ගේ තිබෙන හිතවත්කමට මැරෙන්නට නියමිත පෙරටුගාමී නොමේරු ළදරුවාගේ අහුලාගත් අන්තරේට වටිනාකමක් ලබාදීමට හෝ යොදාගන්නේ නම් සිදුවන්නේ අවාසනාවකි. මේ වනවිට විශ්ව විද්‍යාල මාස දෙකක් වසා ඇත. උසස් පෙළ ප්‍රථිඵල මෙන්ම විභාග ද විහිලුවක් වී ඇත. රාජ්‍ය අධ්‍යාපනය ක්‍රමය ප්‍රතික්ෂේප ව පෞද්ගලික අධ්‍යාපනය වෙත නැඹුරු වීමේ ධනපති ආණ්ඩුවල උවමනාව උච්චස්ථානයටම පැමිණ ඇත. ඔන්න අපි මේක ජනතාවට බාර කළා යැයි ඉන්නේ නැතුව සිදුවිය යුතුව ඇත්තේ නින්දේ සිටින සිවිල් සමාජය ඇහැරවා (ජාතිය බේරාගැනීමට ඇහැරුණු මේ කට්ටිය ආයෙත් නිදි) අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිතීන් (වෛද්‍ය, සුවසේවා, ගුරු, වරාය ඇතුළුව)  කැඳවා පුළුල් ජනතා ව්‍යාපාරයක් සඳහා යොමුවීමයි.  

රාජ්‍ය අධ්‍යාපනය පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මේ මොහොතේ මේ අරගලය ජයගත යුතුව ම ඇත.

විමලයා වගේ



‘මහත්තයෝ ධනපති දේශපාලඥයෝ කලාන්තයක් හැදුනත් ඉස්පිරිතාලෙට අරං යන්නෙ හෙලිකොප්ටරෙන්. ඔහෙලගෙ තාත්ත වගේ ගමේ දුප්පත් මිනිහෙකුට මරණාසන්න වෙන පපුවෙ අමාරුවක් හැදුනත් අරං යන්න ඇම්බියුලන්ස් එකක්වත් පළාතක හොයාගන්න නැහැ‘ මේ විමල් අවුරුදු විස්සකට විතර කලින් කොකු ගහන කාලෙ කිව්ව කතාවක්. මතක් වුනේ ඊයේ විමල් වීරවංශට ක්ලාන්තයක් හැදිලා හෙලිකොප්ටරෙන් කොළඹ ඇවිල්ලා.

මේක වෙනම ම පරණ කතාවක්.

පහුගිය දා හිරේ හිටිය සරත් ෆොන්සේකාව ‘නිදහස්’ කිරීම හොදම පන්නයේ විහිළුවක් බව හැමෝම දන්න දෙයක්. ඕකට විමල් වීරවංශ උපමාවක් හදලා ජනාධිපති සහ අනිත් ඇමැත්තොත් එක්ක කියව කියවා පණයනකම් හිනා උනා කියල පත්තරේක තිබුණා. උපමාව උනේ ‘හරියට  ෆොන්සේකාව නිදහස් කළා වගේ’ කියලයි. ඒ දැකලා අපිට මතක් උනේ ගමේ නගරයේ බාල වැඩිමහල් උගත් නූගත් හැමෝම ‘හරියට විමලය වගේ’ කියන උපමාව. ඉඳල හිටල එක එකාට අහු උනාට සාමාන්‍ය සමාජය හරිම ඥාණවන්තයි... නැද්ද මං අහන්නෙ?  ඒ අය හරියට විමලය වගේ කියල කියන්නෙ මෙන්න මේ වගේ අයට.

  • වාචාල කටක් තියෙන වෙනත් කිසිම ගතයුත්තක් නැති අයට
  • දිය යටින් ගින්දර ගෙනියන ආත්මාර්ථකාමී ඇම්ඩන්ට
  • ලොක්කට පන්දම් අල්ලලා, කේළාම් කියලාල පක්කිලි වැඩ කරල ඉහල නගින අයට
  • අදාල තැනට අදාල මොහොතට ගැලපෙන්නෙ නැතිව ජාතික ඇඳුම-සන්ග්ලාස්-මාල-මුදුකරාබු-සෙල්ෆෝන්-හෙයාර් ජෙල් වලින් ජැන්ඩියට හැඩවෙච්ච සොබ්බන්ට
  • නොදන්න දැනුම, නොදන්න දේවල්, නොදන්න ඉංග්‍රිසි කියවන්න ගිහින්  මෝඩකම් ප්‍රදර්ශනය කරන ‍අයට
  • හැමෝම දන්නවා උනත් ඇඟට නොදැනෙන්න ඇත්ත වගේ බොරු කියන ඇ‍ඬෙන්න තරමට රඟපා විහිළු සපයන කෝලමුන්ට
  • අතීතය අමතක කර තමන්ගේ පෞද්ගලික වර්තමානය සල්ලිවලට අළුතින් මවාගන්න දඟලන අයට
  • රට-ජාතිය-ආගම-මාක්ස්වාදය-විප්ලවය-මනුස්සකම-ගෑනු-දරුවන්-මිත්‍රයින්-බල්ලන් යන ඕනෑම දෙයක් තමන්ගේ යහපත පිණිස විකුණන්න පුළුවන් අයට


ඔක්කොමත් හරි රුපියල් එකසිය පණහෙ රතු කැකුළු බත් එකක් ගන්න නන්දාවතී අක්කගෙ බත් කඩේට ගියාම නන්දක්කා මෙන්න මෙහෙම කෑ ගහනවා පිළිකන්න පැත්තෙන් ඇහුනා.

“ජරාව... ගන්දස්සාරෙ බෑ බං... හරියට විමලයගෙ කට වගේ.. ඔන්න ඔය ටොයිලට් එක හෝදල දාපං කුසුමෝ..”

අපි බත් ගත්තෙ නෑ.

හෙටත් මේ තරමටම කළුවරය



අපේ රට වැසියෝ අමුතුම තාලයේ තේරුම් ගත නොහැකි වර්ගයකි. අද මේ මොහො‍‍තේ දිවි හිමියෙන් විරෝධය පාන දේවල් හෙට උදෑසන ඇස් පනා පිට සිද්දවෙන විට දන්නේ නැති ගානට සිටී. පරිසරවේදීන්, රාජ්‍ය‍ නොවන සංවිධාන, දේශමාමක බලවේග, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර හෝ ආගමික බලවේග ඉතා පහසුවෙන් මෙවැනි විරෝධතා සඳහා රට වැසියන් උසිගන්වා ගෙන පාරට බහින අතර අදාල ව්‍යාපෘති අවුරුද්දකින් දෙකකින් කල් දමා නැවත හෙමිහිට ආරම්භ කළහොත් වැඩේ ඉවර වෙනකම් කවුරුවත් දන්න පාටක්වත් නැත. අපි උපතින්ම ‘එදා වේල’ ජාතියකි. කන්ඩලම හෝටලය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, ඉරණවිල ගුවන් විදුලිය, දක්ෂිණ අධිවේගී මාර්ගය, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය එවැනි ඉරණම් අත්වූ උදාහරණ කීපයක් පමණී. රෑට කළුවරේ ඉන්නවාට දවාලෙත් බනින නොරොච්චෝලේ තාප බලාගාරය ඒ අතර ප්‍රධාන එකකි. බොහෝ විරෝධයන් සඳහා අතිශය සාධාරණ හේතු සාධක තිබුණත් (ජයග්‍රහණයක් දක්වා සටන් නොකිරීමෙන් ලැබෙන ප්‍රථිඵල සාමාන්‍යකරණය වී ඇත)  සමහරක් විරෝධයන් සඳහා විරෝධතාවයම හැරෙන්නට වෙනත් තාර්කික පදනමක් නොවීය. වැරැදි හෝ නිවැරැදි සියළු විරෝධයන් කිසියම් ආකාරයකින් මඟහැර යම් නිශ්චිත මොහොතක අදාල පාර්ශවයන්, විශේෂයෙන්ම ජනතා විරෝධී රජයන් ජයගෙන ඇත.

මුහුණ දෙන්නට නියමිත අර්බුදකාරී යථාර්තය නොසළකා ගල් අඟුරු බලාගාර බිල්ලාට එරෙහිව එදා පැවති එම විරෝධය නොවෙන්නට අද මේ මොහොතේ නොරොච්චෝලේ තාප බලාගාරය වෙත මෙවැනි ඉරණමක් අත් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. අවසානයේ ජයග්‍රහණයකින් තොරව නිමවූ එම විරෝධය සාධාරණ විය යුතුව තිබුණේ, ඒ ව්‍යාපෘතියේ ගුණාත්මක බව ඉහළදමා පාරිසරික හානිය අවම කරගැනීමට හා ව්‍යාපෘතියෙන් අවතැන් වූ ගම් වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම වෙනුවෙනි. කරන්නන් වාලේ කළ විරෝධය හේතුවෙන් සිදුවූයේ රාජපක්ෂලා විසින්, දුර්වල මූලික සැලසුම් සහිත, ප්‍රමිතියෙන් දුබල, ගුණාත්මක බවින් අඩු අමුද්‍රව්‍ය වලින් නිමැවූ  බාල අටමගලක් විදුලිය උපැද්දවීමට කියා පුත්තලම් දිස්ත්‍රික්කයේ මහපොළොව මත අතහැරීමයි. අධීක්ෂණය ලංකා විදුලිබල මණ්ඩලය හා ස්විට්සර්ලන්තයේ ඉංජිනේරු ආයතනයක් මඟින් දැරුවත් අවසාන ප්‍රථිඵලය සුදු අලියෙකි. යකඩ ගොඩකි. කිසි දෙයක් විමසා බැලීමකින් තොරව උසිගැන්වීම් වලින් කිති කැවෙන රට-ජාතිය ගැන ඇසිල්ලකින් උත්තේජනය වන ජාන වලට උරුමකම්පෑමෙන් අපි විසින් සංවර්ධනාත්මකව හා සදාචාරාත්මකව විනාශකර ගත් මෙවැනි දෑ නම් බොහොමයි.

ආරක්ෂක හේතූන් මත ත්‍රිකුණාමලයෙන් ඉඩ නොලැබූණු  - දේශපාලන හේතුමත දකුණෙන් ඉඩනොලැබුණු මෙම තාප බලාගාරය අවසානයේ පුත්තලමේ නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටුවීමට තීරණය කළ ද පරිසරවේදීන්ගේ  සහ  හලාවත කතෝලික බිෂොප්වරයා  ප්‍රමුඛ ප්‍රදේශයේ ගම් වැසියන්ගේ විරෝධය නිසා චන්ද්‍රිකා ආණ්ඩුව විසින් විවිධ මැතිවරණ සඳහා චන්ද රැකගැනීම වෙනුවෙන්කිහිපවරක් කල් දමන ලදි. 1995 දී  ජපානය තාප බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය අදාල  මූලික අධ්‍යයනයන් එම පුදේශය ආශ්‍රිතව සිදු කරණු ලැබූ අතර ඔවුහු බලාපොරොත්තුව සිටියේ ඒ සඳහා රජයේ අනුමැතිය පමණි. වසර 1997 දී ජපානය විසින්ම එහි ඉදිකිරීම් ආරම්භකිරීමට නියමිතව තිබුණි. එහෙත් අවසානයේ සිදුවූයේ රුපියලේ අවප්‍රමාණය හා ඉහළගිය නිශ්පාදන වියදම සළකා බැලීමේදී වැඩි මිලට ලබා ගත් චීන මොඩලයේ බාල බලාගාරයක් ඇමති පාඨලීට කරගැහීමට සිදුවීමයි.

අද මේ මොහොතේ පැන නැඟී ඇති විදුලිබල අර්බුදයට එදා ඉංජිනේරුවන් විසින් පෙර දුටු - වඩාත් ලාබදායි ලංකාවට වඩාත් සුදුසුම ඉක්මනින්ම නිමකළහැකි ව්‍යාපෘතිය වූයේ ගල් අඟුරු තාප බලාගාරයයි. ජලවිදුලි බලය සීමා සහිත වී තිබුණි. ගෑස් සහ ඩීසල් බලාගාර වල විදුලිය මිල අධිකය. සුළං හා සූර්ය බලාගාර බලාපොරොත්තු වන පරිදි ප්‍රථිඵලදායක නොවේ. කුඩා ප්‍රමාණයේ න්‍යශ්ටික බලාගාර පිහිටුවීම ලෝකයේ ඒ වනවිට අත්හදා බලා නොතිබුණි. එසේ තිබුණත් ලංකාව වැනි දුර්වල කළමාණාකරණයක් සහිත දේශපාලනය හැමතැනකටම රිංගූ රටකට න්‍යශ්ටික බලාගාර පිහිටුවීම අතිශය මාරාණ්තිකය. අවම පරිසර හානියක් සහිත අඩු පිරිවැයක් සහිත එකම විසඳුම වූයේ ගල් අඟුරු තාප බලාගාරයයි. එය දේශපාලකයන් අත ගැසූ එහෙත් දේශපාලකයන්ගේ නොව වෘත්තීය දක්ෂතාවයෙන් පිරිපුන් විදුලි ඉංජිනේරුවන්ගේ අනුමැතිය ලැබූ ව්‍යාපෘතිය යි.

අවසානයේ සිදු වූයේ සුපුරුදු ‘මල්ලී’ තියරියෙන් දේශපාලනය කරන - මාධ්‍ය හුරතල් කරන රාජපක්ෂලා තාක්ෂණයෙන් පිරිපුන් එමෙන්ම නිවැරැදි ඉදිකිරීම් සඳහා පළපුරුදු ජපානය මඟහැර සංතෝසම් ඇති පදං බෙදන ලාබ ව්‍යාපෘති වලට කප් ගැසූ බලය සඳහා වෙනමම ‍ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරණ චීනය සමඟ 2005 දී එකඟතාවයකට පත්වීමයි. චීන බැංකුවකින්  ලබාගත් ඇ.ඩො. මිලියන 450ක ණය මුදලින් චීන ඉදිකිරීම් සමාගමක් මඟින් චීන ශ්‍රමය සහිතව බලාගාරය ඉදිකරණු ලැබූ අතර රාජපක්ෂලාට එයින් දිව්‍යාලෝකය පහලවුණ අතර ගිනිඑළිය වැටුණු රට වැසියාට කළුවර විය.

මේ වනවිට දොළොස්වතාවකට වඩා ඇනහිට ඇති මෙම බලගාරය පූර්ණ ක්‍රියාකාරීත්වයක් සදහා නැවත ගොඩනැංවිය නෙහැකි බව විදුලි බල මණ්ඩලයේ හා ඉන් පිටත විදුලි ඉංජිනේරුවන්ගේ මතය වන අතර ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය බරපතළ ලෙස ඉහල ගොස් ඇති වර්තමානයේ ජල වදුලි බලාගාර නිසි පරිදි ක්‍රියාත්මක වූවද නොවූවද පෞද්ගලික ඩීසල් විදුලිබලාගාර වලින් විදුලි ඒකකයක් සදහා හතර ගුණයක මුදලක් ගෙවා විදුලිය සැපයීමට සිදූවීමෙන් හෙට විදුලි බිල දකින රට වැසියා ‘කළුවරේ ඉන්නවා හොඳයි’ කියනු ඇත. ඉන්දියාවට විදුලිය දෙන්න සිටි අපි ඉන්දියාවෙන් විදුලිය නොගෙනාවොත්, ඕනෑම එකකට පත්කරණ  - දැනට පත්කර ඇති කෝකටත් කමිටුව දේශප්‍රේමී පාඨලී ඉදිරිපිටට මහා ප්‍රාතිහාර්යයක් නොගෙනාවොත්, තාවකාලික විසඳුමක් නැති මේ සඳහා නැවතත් අලුතින් තාප බලාගාරයක් ඉදිකරණ තෙක් වරින් වර පායන කළුවරේ ඉවසා සිටිය යුතුව ඇත. 

කල්‍යා - ලෝකයේ පැරණිම වෘත්තිය - දීප්ති


මේ දිනවල අන්තර්ජාලයේ සතපතල පුවත වන්නේ එක්ස් එකේ හිටපු  “වමේ කල්‍යා” මසාජ් ක්ලිනික් එකක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන යෑමේ වරදට දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවයි. මේ දවස් වල පරණ එක්ස් එකේ කට්ටියගෙ කටවල් වම් කනේ සිට දකුණු කණ දක්වා ම දික්ව ඇති අතර ප්‍රචාරක කටයුතු නොමිලේම බාරගෙන ඇත. ගහට බයිසිකලය හේත්තු කළා සේ ඹ්නෑම මාතෘකාවට කල්‍යාව අලවා ලිපියෙහි බ‍ඳෙන් ඔහු ට නෙලනු ලැබේ. දීපතිගේ ‘පෙරටුගාමී’ නම හොරෙන් ගත්ත ජනරළ සෙට් එක කල්‍යාව ලඟින් ආශ්‍රය කළ කරුමයට මේ දවස්වල ඒ පවු ගෙවනු පෙනේ.

ආරංචියේ හැටියට කල්‍යාගේ හිතවතියකට අයත් ‘අදාල සේවය’ සැපයූ මසාජ් ක්ලිනික් එකක් එම නමින්ම කල්‍යා මිලදී ගෙන අදාල සේවය දිගටම කරගෙන යාමේදී කාගේදෝ බල්ලෙකු‍ගේ ඔත්තුවකට වැඩේ පොලීසියට මාට්ටු වී ඇත (මෙය වැරදි නම් නිවරැදි කළ හැක. ඇවැසි නම් තවත් විස්තර සැපයිය හැක). වමේ කල්‍යා මොන එහෙකට මේ වැඩේට බැස්සාදැයි දැන ගන්න නිර්මාල්වත් වංගීසවත් සුමිත් චාමින්දවත් එක පෙරටුගාමී (අළුත්) එකෙක් වත් අල්ලාගන්න බැරි විය. සමහර විට සෝමවංශ අමරසිංහගේ අක්කට හොඳනම් මට ‍බැරි මොකද කියල හිතෙන්නට ඇතිය. උන්මාද වූ නළු කමලයත් කරන එකේ මං කලාම මොකදැයි හිතුනාද දන්නෙත් නැත. ආර්ථික අහේනිය වැඩිකමට ආදයමක් උපයනවානම් ලංකාවෙ මේ වෙලාවෙ රස්සාවක් නැති කල්‍යාට තිබුණ එකම බිස්නස් එකත් මේකම වෙන්නත් පුළුවන්ය. එහෙමත් නැත්තම් පහුගිය මැතිවරණයකින් චන්දය ඉල්ලූ කල්‍යා මේ වැඩේ ඒකට සුදුසුකමක් ලෙස දකින්නටත් ඉඩ තිබෙන්නටත් පුළුවන්ය.


ගණිකා වෘත්තිය හා ගබ්සාව නීතිගත නොවෙන්නේ ලංකාවේ සිංහල බෞද්ධ පසුගාමී සමාජය තුළ ඒ සඳහා ඉඩක් නොමැති බැවින් මිස ඒවායේ ඇති වැරැද්දකින් නොවේ. දියුණු යැයි සම්මත හැම රටකම ඒවා නීතිගත කර ඇති අතර ඒ ආශ්‍රිතව ඇති අපරාධ-අනතුරු-ලෙඩ රෝග සැළකියයුතු මට්ටමකින් පාලනය කර තිබේ. ඒ අතින් කල්‍යා කර ඇත්තේ රාජ්‍යවිරෝධී කටයුත්තක් පමණකි. රාජ්‍යවිරෝධී කටයුතු වාමාංශිකයින්ට අළුත් දෙයක් නොවේ. ගැටළුව ඇත්තේ ‘බිස්නස් කල්‍යා ‘ අතින් අදාල සේවය සැපයීමේදී අදාල කාන්තාවන්ගේ ලිංගික ශ්‍රමය සූරා කෑමකට ලක්ව ඇද්ද යන්නයි. කවුද දන්නේ නියමිත වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකරල, ශාරීරික හා මානසික ආරක්ෂාව සපයල, ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවලා, වෘත්තීය අයිතිවාසිකම් දීලා පැය අටේ වැඩේ අරගත්ත නම්.....කිව්වා කියල හිතාගන්න....දීප්තිලට කට උත්තරත් නැහැ. මොකද දීප්තිගේ දේශපාලනය තුළ ගණිකා වෘත්තිය හා ගබ්සාව ට විරුද්දවීමට ඉඩක් තියෙනවැයි.

2004 එක්ස් එකෙන් කඩාගෙන ගිය ගොඩෙන් නිර්මාල්-බුද්ධික-ප්‍රභා-සුමිත් නොවෙයි දීප්තිට ලොකුම අවුල තිබුනේ කල්‍යාත් එක්ක. මොකද එක්ස් එක හදන්න පණහට පණහ දායක උනේ කල්‍යා බවත් කල්‍යා සතුව පවතින බර ඇදීමේ හැකියාවනුත් දීප්ති දන්නවා. ඒ වගේම කල්‍යා කරන දේවල් වලට කල්‍යාගේ ජීවිතයට උත්තේජනයක් ලැබුණානම් ඒක ලැබුනේ සිංහල බෞද්ධයාගේ කුහක සදාචාරයට එරෙහිව නිරුවත හා ලිංගිකත්වය දෙස සාධනීය දැක්මක් තිබුණු එක්ස් එකෙන් - දීප්තිගෙන්. පෞද්ගලික ජීවිතවල ලිංගිකත්වය සම්බන්ධ විවධාකාර කුණු අවුස්ස අවුස්සා දීප්ති විසින් පහර දෙන තර්ජනය කරන නිර්මාල් ලා වංගීසලා  කල්‍යාලා සුමිත්ලා ඔක්කොම දීප්තිත් එක්ක කරට අත දාගෙන හිටිය කට්ටිය. කල්‍යා වටේ ඉන්න අයගෙ ලිස්ට් අළුතින් දීප්ති හදන විට දීප්තිට මතක නැහැ කල්ප කාලයක් දීප්ති හිටියෙ කල්‍යාගේ කර උඩ කියලා. මේ වගේ සිද්ධි දීප්තිට ස්වීප් විදිහට ඇදුන නිසා බඳින ගහ දීප්තියි මේ මොහොතෙ තීරණය කරන්නෙ. ඒත් මේ වගේ සිද්ධීන් වල දි කුමාර් ගූණරත්නම් ට දිමුතු ආටිගල ට තිබුණ අනුකම්පාවවත් දීප්තිලාගේ දේශපාලනය තුළ කල්‍යා වගේ මිනිස්සු වෙත තිබුණා නම් හොඳයි. දීප්ති කවදාවත් තේරුම් නොගන්නනේ එකස් එකෙන් කඩා‍ගෙන ගිය කට්ටියට නොනවතින ලෙස ගගහා (2004 සුනාමිය වගේ) කටු අත්තවගේ එල්ලි එල්ලී යන්නේ නැතුව තමන්ගේ අදාල දේශපාලන කර්තව්‍ය කිරිම කාට කාටත් වැඩදායක බව සහ අදාල චරිත අවශ්‍ය නම් ස්වභාවිකවම  දේශපාලණිකව මිය යන්නට ඉඩහැරීම සමාජයට හොඳ බවයි.

කවුද දන්නේ කල්‍යා එළියට ඇවිත් ‘අපිට ඒදවස්වල එක්ස් එකේ කියාදුන්නේ මේව තමයි’  කියයි ද දන්නෙත් නෑ !!

පිළිවෙලින් දීප්ති-කල්‍යා-නිර්මාල් සිටින ඉහත ඡායාරූපය දීප්තිගේ ත්‍රිමාණ වෙබ් අඩවියෙන්.

බාහුට නෝ කතා



වික්‍රමබාහු සහෝදරයාට චෙන්නායි සමුළුවේ දී කතාවක් ලබාදුන්නේ නැතැයි පසුගියදා මාධ්‍යවල ප්‍රචාරයක් ගිය ද ඇත්තවශයෙන්ම ඔහුට කතාවක් ලබා නුදුන්නේ පසුගිය ජූලි 15 දා  ජනරළ/පෙරටුගාමී (අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය) මූලිකත්වයෙන් සිදු කරණලද “නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළගැසෙමු“ යන තේමාව යටතේ පැවැත්වුණ රැලියේ දීය. පෙනෙන විදියට බාහු-පෙරටු දීගය දැං හමාරය.

මෙච්චර කල් ජාතික ගැටළුව සම්බන්ධව හොර ගල් ඇහුළූ ජනරළ/පෙරටුගාමී සෙට් එක පහුගිය දා ඔවුනගේ මතය වැදුවේය. පළමුව වරුණ දීප්ති බෙල්ජියමේදී ද දෙවනුව කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ දී ද මෙය ඉංග්‍රිසියෙන් ප්‍රකාශකර තිබුණි (සිංහලෙන් ලංකාවේ දී කියන්න පොඩ්ඩක් කිචි වගේ මං හිතන්නෙ - වටේ ඉන්න කට්ටිය දාල ගියොත් එහෙම). සරලව කිව්වොත් ඔවුන් කියන්නේ ‍දෙමළ ජනයා වෙත ස්වයං තීරණ අයිතිය ලබාදීමෙන් හෝ දෙමළ බහුතරයක් ජීවත් වෙන ප්‍ර‍දේශ වෙත  බලය බෙදා හැරීමෙන් ජාතික ගැටළුව විසඳාලිය හැකි බව පවතින තත්වය තුළ තමන් නොපිලිගන්නා බවයි. එමෙන්ම සමාජවාදී සමාජ ක්‍රමයක් තුළ ජාතික ගැටළුව විසඳන බවයි (ඒත් ක්‍රමය නම් කියන්නෙ නෑ...... පුතෝ.....ඕක නොකියම ඉඳතෑකි.. මොකද සමාජවාදය බිහිකරන එක අද හෙට කරන්න පුළුවන් එකක්කැයි).

මෙය සම්පූර්ණයෙන්ම බාහු සහෝදරයාගේ මතයට ප්‍රතිවිරුද්ද මතයයි. දැං ඉතිං බාහුට මුහුණ දෙන්න පුළුවන් කමක් නැති අතර බාහුව තියාගෙන ඉඳීමෙන්වවත් දැං සෙට් එකට වැඩක් නැත. අපිට තියෙන ප්‍රශ්නේ මොන එහෙකට ද කුමාර්ලා ජවිපෙන් කැඩුණෙ කියලයි. ජවිපෙ දෙමළ ජනයා පීඩාවට පත්ව සිටිනවා කියන එක පිළිගන්නේ නෑ යනුවෙන් කුමාර් ගුණරත්නම් අමූලික බොරුවක් පවසා තිබුනත් කුමාර් හිටිය කාලේ මෙන්ම දැනුත් ජවිපෙ කියන්නේ දෙමළ ජනයා පීඩාවට පත්ව ඇති බවයි.  වෙනස තියෙන්නේ ජවිපෙට දෙමළ ජනයාගේ ඇති පීඩාවෙන් වැඩක් නැති කමයි ඒකෙන් කැඩිච්ච ජනරළ/පෙරටුගාමී සෙට් එක දැං දැං දෙමළ මළගෙවල් වල යන එකයි විතරයි.

අපරාදේ ගෝඨා මඟ බලන් හිටිය අලුත් ‘සතුරා‘ .... අප්පේ ලාමක පූස් පැටියෙක් නෙ...නිකං බොරුවට දේශද්‍රෝහී ලේබල් ගැහුවේ.. කුමාර්ව රට පැටෙව්වෙ..

බලන් ඉන්න තියෙන්නේ කතා වලට සෙනඟ හොයං ස්ටේජ් වලට ආපු අනිත් වාමාංශික කට්ටිය දැං ජනරළ/පෙරටුගාමී සෙට් එක එක්ක තව දුරටත් දීග කන්නෙ කොහොමද කියලයි.

බිම්බරක් සෙනඟ නිදි


ලංකාවේ ඉඩකඩම් විදේශිකයින්ට විකුණාදැමීම රාජපක්ෂ ආණ්ඩුව යටතේ කවරදාවත් නැති විදිහට සිද්දවෙනවා. පෞද්ගලිකව විදේශිකයන්  සඳහා මෙන්ම විදේශ සමාගම් හා කෙළින්ම විදේශ රාජ්‍යයන් අතර මේ ගනුදෙනු සිදුකරණු ලබනවා. දකුණු පලාතේ වෙරළට මුහුණපා පිහිටි ඉඩම් හා මෑතකදී එල්ටීටීඊ පාලනයෙන් මුදාගත් ඉඩම් වලට අමතරව කොළඹ පිහිටි කේන්ද්‍රීය ඉඩම් සඳහා තමයි වැඩිවශයෙන් ඉල්ලුමක් තියෙන්නෙ. එකකට එකක් ගෙවන්න තියෙන බදු වංචා කිරීම සඳහා ගනුදෙනු සිද්දවෙන්නෙ 99 අවුරුදු බද්දට හෝ එම සමාගම් විසින් දේශීය ඒජන්තයින් යොදා තාවකාලිකව පිහිටුවාගන්නා ශාඛා සමාගම් හරහායි. ගාලුමුවදොර ඉදිරිපස පිහිටි ඉඩම ෂැන්ග්‍රී ලා සුඛෝපභෝගී හෝටලය සහ නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා චීන සමාගමකට විකිණීම කතාබහට ලක්වූ එක් ගනුදෙනුවක් පමණයි. වැඩි හරියක් හොර රහසේ ම සිද්දවෙන අතර සමහරක් ගනුදෙනු ඉංග්‍රිසි පුවත්පත් වල පමණක් යාන්තමින් පළවෙනවා.

ගාලුපාර හා කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාර අතරමැද පිහිටි පර්චස් 287 ඉඩම (ෂෝ වොලස් සහ හෙජස් පිහිටි) තවත් චීන සමාගමකට විකුණා දැමූ පුවතක් පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තිබුණා. ඉන්දියාවට පර්චසයක් රුපියල් මිලියන 7 බැගින් සියල්ල මිලියන් 2009 කට විකිණිමට සූදානම් කර තිබුණු මේ ඉඩම ඊටත් වඩා වැඩිගණනකට එම චීන සමාගමට විකිණීම නිසාවෙන් ඉන්දියාව සිය බරපතළ අප්‍රසාදය පළකර තිබෙනවා. මෙම ඉඩම පෙරාතුව ඇමෙරිකාණු රජයට විකිණිමට සුදාණම් කර තිබුනත් සාගරය හරහා මෙම ඉඩම වෙත කෙළින්ම ලඟා වීමට නොහැකි නිසාවෙන් ඔවුන් ප්‍රතික්‍ෂේප කර තිබු බවද එහි සඳහන්වෙනවා.


එල්ටීටීය තිබුණ කාලෙ එන්න බයවෙච්ච බලයට කෑදර පෙර අපර දෙදිග රාජ්‍යයන් දැන් කිසි බයක් සැකයක් නැතුව වැඩේට බහිනවා. කට්ටියම එල්ටීටීය විනාශ කරන්න අතදිගෑරලා වියදම් කලේ අපිට ආදරේට නොවෙන බව තේරෙන්න සිංහලයාට ඉපදෙන්න ඉන්න දරුවන්ට චීන මුහුණු එනකම්ම ඉන්නවෙනවා. රාජපක්ෂලාට මෙහිදී  ගනුදෙනුකරණ රටවත් එම ඉඩම් වල කරන්න හදන දේවල්වත් වැඩක් නොවේ. අවශ්‍ය එකම කාරණය කොච්චර මිලියන ගානක් අතට හම්බ වෙනවද කියන එකයි. මැදමුලනෙ මහ ඉඩම හැරුණාම ඔක්කොම ඉඩම් වලින් ඩොලර් පේනවා ඇත්තෙ. මේ කටයුතු ඔක්කෝම සිද්දවෙන්න ජාත්‍යාලය ගැන දෙපැත්තෙන්ම බෙරිහන්දෙන හෙළ උරුමය හා ජානිපෙ ඔක්කොම උගත් නූගත් සිංහල බෞද්ධ බැලයන් රාජපක්ෂලාගේ ගෙවල් පිළිකනු වල ඉන්න අතරෙ. කියන්නෙ නම් සුද්දෙක් දැක්කාම කට්ටියගෙ මවිල් කෙළින් වෙනවා කියලා.

ඉස්සර නන්දා-සුනිල් කිව්වෙ‍;

රට වටකර වැට බඳින්න කැති මන්නා ගන්න වෙනවා
වැටඩ උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා

කියලයි.

සල්ලි යටිමඩි ගහගන්න පුළුවන්නම්  දැං වැටවල් ගලවලා කට්ටියට පාවාඩ දාල එන්න දෙන්නේ නන්දා-සුනිල් ලා කඩේ ගිහින් බලයට ගෙනාපු රාජපක්ෂලාම තමයි.