A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

අවසානයේ ඔවුහු ඔවුන් සොයා පැමිණිය හ.


ප්‍රේමකුමාර් ගුණරත්නම් සහෝදරයා හෙවත් කුමාර මහත්තයා සහ දිමුතු ආටිගල ස‍හෝදරිය අතුරුදහන් වීමකට ලක්ව ඇත.  දින දෙකකට වරක් එක් අයෙක් අතුරුදහන් වීමේ බහුලතාවයක් ඇති ස්වෛරී රාජ්‍යයේ මොවුන්ගේ අතුරුදහන් වීමෙන් පසුවත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි මාධ්‍ය වල පළ වී තිබුණි. මේ කුමාර මහත්තයලා බලාපොරොත්තු ‍නොවූ අස්වැන්න ඔවුන් විසින් ඉක්මනින්ම නෙලන්නට සිදූ වී තිබෙන ‍ඛේදවාචකය නොවේ ද?

කුමාර හෝ දිමුතු හෝ කිසිවෙකු අතුරුදහන් කරවීමට රජයට හෝ රජයෙන් පිටස්තර කිසිවෙකුට අයිතියක් නොමැත. ජීවත්වීමේ මෙන් ම කැමති දේශපාලනයක නිරතවීමේ අයිතිය ද සියළු පුරවැසියන්ට හිමිවිය යුතුය.  මානව හිමිකම් හෝ සදාචාරවත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින සියළුම දෙනා මේ අතුරුදහන් වෙනුවෙන් පෙළගැසිය යුත්තේ එබැවිනි.

කුමාරලා ගේ දිමුතුලා ගේ දේශපාලණ නිජබිම වූ ජවිපෙ හි සාදර අනුග්‍රහයෙන් දහඩිය මහන්සියෙන්  එහෙමත් නැත්තම් කාපු පට්ට කට්ටෙන් බලයට පත්‍ වූ ගෝඨා/මහින්ද ආණ්ඩුවේ දෙමළ සමූහ ඝාතක යූද්ධයට උපරිම සහයෝගය නොනවත්වා ලබා දුනනෝත් ඔවුහුමය. ‍දේශපාලන විසඳුමක් සඳහා චන්ද්‍රිකා කුමාරතුංගට බලය ලබා දුන් දකුණේ සිංහලයාගේ මනස යුද්ධය සඳහා ලක ලෑස්ති කිරීමේ ජාතිවාදී ගෞරවය මෙන් ම අසූව දශකය අග භාගයේ දී තමන්ගේම සහෝදර සහෝදරියන් හැටදහසක් මරා දැමූ රජයේ හමුදා ඝාතයින් රණවිරු‍වෝ නමින් අබිසෙස් කිරීමේ ගෞරවය ද ජවිපෙට නො අඩුව හිමිවිය යුතුය. පසුගිය කාල වකවාණුවේ දී උතුරු නැගෙනහිර අතුරුදහන් වූ වධ හිංසාවලට ලක්වූ ඝාතනයට ලක් වූ ‍දෙමළ වැසියන් ලක්ෂ ගණනකි.  දරුවන් අහිමි වූ අම්මලා ද ස්වාමිවරුන් අහිමි වූ බිරින්දෑවරන් ද සහෝදරයන් අහිමි වූ සහෝදරියන් ද දස දහස් ගණනකි.  කුමාරගේ අම්මාගේ හා සහෝදරිය ගේ දුක සංතාපය  අඩු තක්සේරුවක් නොකරන නමුදු එවන් දස දහස් ගණනක් කාන්තාවන් උතුරු නැගෙනහිර එදත් අදත් ‍මේ මොහොතේත් වැලපෙන්නේ කුමාරලා ගේ දැණුවත් භාවයෙන් ආශිර්වාදයෙන් සිද්ධ වූ මාණුෂික මෙහෙයුමේ ප්‍රතිඵල නිසාවෙනි. ත්‍රස්වාදීන් යැයි ආණ්ඩුවේ නාමකරණයට ගොදුරුවූ සියල්ලන්ටම දකුණේ දී  කුමාරලා‍ගෙන් බෞතිස්මය කිසිදු පැකිලීමකින් තොරව ලැබුණේය. ‍කොළඹදී සිවරාම් මරාදමණ විට ඔහු ත්‍රස්තවාදියෙ කි. තිස්සනායගම් සිරබත් කණවිට ඔහු ත්‍රස්තවාදීන්ට උදව් කරන්නෙකි. භාෂණ ලාට රටෙන් පිටුවහල් වෙන්න සිදුවනවිට ඔහු එකල කුමාරලා ට බලය හිමි ජවිපෙට අනුව දේශද්‍රෝහියෙකි.

ඝාතකයින් ඹවුන් සොයා පැමිණෙන දිනය වැඩි ඈතක නොවන සරල සත්‍යය අමතක කළේ අවසථාවාදයට ද ජවි‍පෙහි දේශපාලන අම‍නෝඥභාවයට දැයි නො දන්නෙමු. තවමත් කිසිදු තොරතුරක් නැති  ලලිත් හා කූගන් පැහැරගැනීමෙන්  ඔවුන්‍ගේ ම ඔලුවට ඇන පෙන්වාදුන් සත්‍යය කුමාර හා දිමුතු  වැනි දේශපාලන කේඩරයන් දක්වා ම පැමිණිමට වසර තුනක් වත් ගත නොවුණි.

කුමාර ‍මෙන්ම කුමාර‍ගේ රැස් හමුවේ අමතකව යන දිමුතු ආටිගල සහෝදරියව ද කිසිදු වධ හිංසාවකින් ‍තොරව ඉක්මනින්ම හමුවේවා යන්න අප හැම‍ගේත් ප්‍රාර්ථනය යි.