A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

දෙමළුනි, අහස කඩා වැටේ


යුද්ධයේ බර අවි ප්‍රහාර වලින් පහර දී විනාශ කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් නවතා අවුරුදු තුනකට වඩා ගත වීත් දෙමළ ජනයා වෙත අත්ව ඇති කිසිදු සුගතියක් නැත. සිදුව ඇත්තේ හාත්පසින්ම ප්‍රතිවිරුදධ වූ ක්‍රියාවලියකි. බර අවි ප්‍රහාර වෙනුවට වෙනත් ක්‍රමානුකූල විධික්‍රම මඟින් සියළුම ආකාරයේ කායික හා මානසික පීඩාවන්ට ඔවුන් ව ගොදුරු කරණු ලැබේ.

තවමත් ඔවුන් සිටින්නේ පස් දෙනෙකුට එක් අයෙක් බැගින් වූ නිල හා නිල නොවන මිලිටරි හමුදා තුවක්කු කටවල් තුඩු ගහනයක් මැදය. පුද්ගල පැහැරගැනීම්, අත් අඩංගුවටගැනීම්, ම්ලේච්ඡ වධ දීම් හා අතුරුදහන් කිරීම්  උතුරෙහි සිදුවෙන සාමාන්‍ය දේවල් වේ. මිලිටරි ගහනය වැඩිවීම හේතු කොට ගෙනම සිද්ධවෙන අපරාධ වල සීමාවක් නොමැත. බලහත්කාරකම්, ළමා හා ස්ත්‍රී දූෂණ, සැලසුම්සහගතව සිදුකරණ ගැබ් ගැන්වීම් ලොවෙහි අන් සියළුම රටවලට වඩා බරපතල ලෙස මේ මොහොතේ එම ප්‍ර‍දේශයන් හි සිදුවේ. දේපල හා ඉඩකඩම් කොල්ලකෑම් ආණඩුවේ සිංහල චන්ඩීන් සිය සිතැඟි පරිද්දෙන් කරගෙන යති. උතුරු හා නැගෙනහිර බලහත්කාර සිංහලකරණය හා බෞද්ධකරණය මෙම ආණ්ඩුව විසින් විධිමත්ව මෙහෙයවනු ලැබේ. බොහෝ තරුණ තරුණියන් තවමත් නිල නොනිල හිර කඳවුරු වල නාම ලේඛනයක් පවා නොමැති රැඳවියන්ය.

සදාචාරාත්මකව පරිහානියට පත්වූ දෙමළ සමාජයක් සඳහා වූ සිංහල ආණ්ඩුවේ උවමනාව  වෙනුවෙන් අහිංසක දෙමළ වැසියන් මත පටවා ඇති පීඩනය මේ මොහොතේ ඇත්තේත් උපරිමයෙනි. බොහෝ අයෙකුට ඉතිරිව ඇත්තේ සියදිවි හානිකර ගැනීම හෝ දිවි නොතකා සාගරය හරහා රටින් පලා යෑමයි. ඒ තරමටම ඔවුන් භෞතික, දේශපාලනික හා සංස්කෘතික විනාශයෙහි අභිමුවෙහි සිටී. කවුරුන් හෝ පැමිණේ නම් කවුරුන් හෝ හඬනඟන්නේ නම් කවුරුන් හෝ සටන් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ විනාශය සඳහා ඉඩහැර ඇති මේ දෙමළ ජනතාවගේ අද දවසේ පීඩාවෙන් ගලවා ගැනීමේ සද්කාර්ය වෙනුවෙනි.

එහෙත් අවාසනාවකට වගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ ලවුස් පීකර් ගස් බඳින්නේ ඉන්දියවේ තවමත් ක්‍රියාකාරීව නොමැති කුන්ඩන්කුලම් න්‍යෂ්ටික විදුලිබලාගාරයේ “වෙන්න නියමිත විනාශයක“ හිතළුවෙන් උතුරේ දෙමළ වැසියන් සඳහා වූ එකම ප්‍රශ්නය එය යැයි ඉස්මතු කරවීමටයි. ඉහතින් සඳහන් කළාක් මෙන් මියෙමින් පවතින දෙමළ ජනයාට සටන් කළ යුතු ප්‍රශ්න එමටය. ඔවුනට ඇත්තේ අනාගතයේ දවසක මියෙන්නට සිදුවන දෙයක් ගැන සිතීම ට නොව අද දවයේ ජීවත්වන්නේ කුමකට ද යන ප්‍රශ්නයට උත්තර හෙවීමය. න්‍යෂ්ටික අනතුරක් ගැන බෙරිහන් දිදී දෙමළ ජනයා අතර පත්‍රිකා බෙදන මෙම දේශපාලන උපාය මාර්ගයේ ඇති හාස්‍යය තමන්ට ම තේරුම් නොයෑම සම්බන්ධයෙන් නම් අපට ඇත්තේ දැඩි කනගාටුවකි. තමන් විහිළුවට ලක්වන බැව් තමන් විසින් තේරුම් නොගෙන දිගින් දිගටම සීරියස් පිටම කතා කරමින් සිටීම තරම් දේශපාලන ඛේදවාචකයක් තවත් නොමැත.

එහෙත් එම හාස්‍යජනක ක්‍රියාවලියට එහායින් වූ බරපතල දේශපාලන කාරනාවක් ද ඇත. එනම් පෙසප විසින් මේ සම්පූර්ණ කරමින් සිටින්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්න සියල්ලම නිමාවී ඔවුන් සංවර්ධනය මැද්දදෙන් සිය දෛනික ජිවිතය සුපුරුදු පරිද කරගෙන යන බව ලොවට දන්වා සිටීමේ ආණ්ඩුවේ උවමනාව වීමයි. පෙසප මේ සංතෘප්ත කරමින් සිටින්නේ පහුගිය සමූලඝාතනයන් හා වර්තමාන පීඩාවන් කොන්ක්‍රීට් දමා වසා දමා, ලංකාව භූ දේශපාලනික උවමනාවන් සඳහා ‍ගොදුරු කරගෙන සිටින චීනය හා ඇමෙරිකාව පුමුඛ බටහිර රටවලට සියල්ල සාමකාමී ව සිදුවන බැව් දැන්වීමේ  මහින්ද රාජපක්ෂගේ උවමනාවයි. එමෙන්ම මේ හදිසි නැගිටීම සිදුවෙන්නේ 2009 යුද්ධය අවසන් අදියරේ දී සිදුවූ මානව විරෝධී ක්‍රියා හා යුධ අපරාධ සොයා බැලීම සඳහා වූ ලබන නොවැම්බර් පළවෙනිදාට පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව වාරික සමාලෝචනය සඳහා දින කිහිපයක් ඇතිව වීම අහම්බයක් දැයි යන සැකය අපගේ ඔළුවල දඟලමින් තිබේ.

එහෙත් මෙය නියමිත විද්‍යාත්මක දැනුමකින් හෝ හැදෑරීමකින් තොරව අන්තර්ජාලයෙන් හොයාගත් තොරතරුපදනම් කරගෙන සිය දේශපාලන පැවැත්ම හා අවස්ථාවාදය වෙනුවෙන්  සහ ඇඟ ඇතුලේ ඇති විජේවීරගෙන් දායාද කොට ගත් ජානමය ඉන්දියානු විරෝධය නිසාවෙන් “සිදුවෙමින් පවතින නිර්මාණාත්මක දේශපාලන විකාරයක්“  පමණක් බැව් සිත්හි දරාගන්නේ උපන්ගෙයිම මියෙන්නට පෙසපෙට අවංක උවමනාවක් නැතැයි උපකල්පනය කරන බැවිනි.

සටන් පාඨ හොය හොයා සටන් කිරීමේ ළදරු දේශපාලන ක්‍රියාවලීන් තමන්ගේ පැවැත්මට කෙසේ වෙතත්  තවත් ජාතියකගේ පැවැත්මට හානිදායක වීම කොහොමටත්ම දේශපාලන ප්‍රහසනයක් නොවේ.

(න්‍යෂ්ටික විදුලිබල පද්ධතීන් සහ ඒවායේ අනතුරු ගැන පෙසපෙ සමහර නායකයින්ගේ අඩු දැනුම හා ඔවුන් මඟින් ප්‍රකාශිත, විද්‍යාව වෙනුවට වූ සම්ප්‍රදායික දේශපාලනික ගෝරනාඩු වෙනම ම කතා කළ යුතු මාතෘකාවකි)

1 comment:

  1. මුංට තව කලු තෙල් ගහපියාව්

    ReplyDelete