A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ළිං බද්දෙන් සැටලයිට් යැවීම



අළුතෙන් ඉදිකරණ ළිං සඳහා වාර්ෂිකව රුපියල් 7,500 සිට 15,000 දක්වා බද්දක් අයකරන බවත් ලංකාව විසින් චීනය හා එක්ව තමන්ට අයිති සන්නිවේදන සැටලයිටයක් අභ්‍යාවකාශගත කරන බවත් මාධ්‍යවල පළ වූයේ එකම සතියකදී ය. අපි කොහොමත් පට්ට සෝබනයට කප් ගැසූවෝ වෙමු. අතේ සතේ නැතත් අපේ ජැන්ඩිය කවදාවත් වැරදුනේ නැත. දහ අතේ ණය වෙවී බාගෙට තැනූ මන්දිර වල අපි වාසය කරන්නේ බොහෝ ආඩම්බරයෙනි.

ළිං සඳහා අයකරන බද්ද ඇඟට දැනෙන කොටසට සන්නිවේදන සැටලයිටයක් වැඩක් නැතුවාක් මෙන්ම සන්නිවේදන සැටලයිටයකින් වැඩක් ඇති අයට ළිං බද්දෙන් ඇති බලපෑමක් ද මේ රටේ නැත. එකම රටක මිනිසුන් කොට්ඨාශ දෙකකි. රට ගොදුරු කර ඇත්තේ කැපී පෙනෙන බෙදුම්වාදයකටයි. ඒ දෙමළ මිනිසුන්ගෙ නිජ භූමිය සඳහා හෝ ස්වයං නිර්ණය සඳහා වූ දේශපාලණික බෙදුම්වාදයක් නොව රටේ ආදායම හා වියදම නිර්ණය කරන ආර්ථික බෙදුම්වාදයකි. ඒ අනුව රටේ පාලකයා ඇතුළු ඔහුගේ සහෝදර පිරිස හා ඔවුන්ගේ ඉතිරි වුණු කටු සූප්පු කරන පරපුර එක් කොටසකටත් රටේ එදිනෙදා ජීවන අරගලය ගැට ගසන සාමාන්‍ය ජනතාව අනෙක් කොටසත් වශයෙන් බෙදී වෙන්ව ඇත. මීට අමතරව පාලකයන් වෙනුවෙන් වෘත්තීමය මෙහෙවරෙහි යෙදෙන ඉහළ මධ්‍යම පන්තියේ ඉතා සුළු පිරිසක් සැටලයිටයක් අභ්‍යාවකාශගත කිරීම ආශ්වාදජනක ව විඳිමින් සිටින බැව් ද අප නොදන්නේ නොවේ (What an achievement for a small country like Sri Lanka!!).

ධනවාදය ඉතා සූක්ෂමවත් නිවරැදිවත් හසුරුවන මෙම රජය යටතේ ඇති නැති පරතරය මේ තරම් වූ, ඉතිහාසයක් නිදහසින් පසු ලංකාවේ තිබී නොමැත. තරුණ පරපුරේ විරැකියාව ඉතා ඉහළය. සියයට විසිපහක් පමණ අවුරුදු පහට අඩු දරුවන් සිටින්නේ මන්දපෝෂණයෙනි. රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ අනෙක් රටවල් හා සාපේකෂව බලද්දී ඉතාමත් අඩු ප්‍රතිශතයකි.  අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඇත්තේ අහස උසිනි. එමෙන්ම ඒවා නැවතීමක් නැතිවම ඉහල නඟී. තෙල් මිල, ගෑස් මිලවිදුලි බිල්, ජල බිල් ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ට දැරිය හැකි සීමාවෙන් එපිටය. රුපියල අවප්‍රමාණ වන්නේ අසීමිතව ය. කීර විකුණමින් දවසකට රුපියල් සියයක් දෙසීයක් හොයාගෙන පවුලක් නඩත්තු කරන්නෝ ජීවත් වෙනවාට වඩා සිටින්නේ මිය යමිනි.

ඒ අතරවාරයේ පාලකයා ඇතුළු සහෝදර පිරිවර රටේ ආර්ථිකය සමඟ සිතැඟි පරිදි සූදු කෙළිමින් හිඳී. රටේ ජනතාව ඒ සඳහා අනුමැතිය දී ඇත්තේ එල්ටීටීය යුධමය වශයෙන් පරාජය කිරීමට හිලව් වශයෙනි. මෙම රෙජීමය ජනතාවගේ ජාතිවාදය දේශපාලන කේවට්ටයන් යොදා අවුස්සන අතර අවසානයේදී රට ජාතිය රැක ගැනීමේ දියසෙන් කුමාර භූමිකාව රඟපා ජනතාව සතු හැම තුට්ටුවකටම විදී. තිරය පිටුපස සහෝදර පිරිවර හිතූ මනාපෙ ට සූරාකමින් සල්ලි ගොඩ ගහද්දී තිරය ඉදිරිපසින් විමල්-මර්වින්-පබා-හිරුණිකා-අනර්කලී-දුමින්ද-ඇල්ලේ-ගුණදාස-නලින් රූකඩ රඟ දක්වයි. ලංකාවේ මාධ්‍ය ද මේ රූකඩවලින් වශිකෘත ව පොල්ගෙඩි අකුරින් පිටු පුරවයි. තිරය පිටුපස සිදුවෙන දෑ දැන සිටියත් උවමනාවෙන්ම සඟවා සිටිනනේ බොහෝ මාධ්‍යයන් රජයේ රෙදි අපුල්ලනන් බැවිණි. පාලකයා තම දරුවන් වෙත සුර සැප මවද්දී අභ්‍යාවකාශ ගත කරන්නට සැලසුම් කරද්දී තම පරපුරට අවැසි සියළුම පහසුකම් වලින් සංතෘප්ත වෙද්දී නගරය දියුණුකර හිඟන්නන් ඉවත් කර පිරිසිදු කර පාරවල් සෝදා තම සුඛෝපභෝගී ජීවිතය ට අවැසි සියල්ල සම්පූර්ණ කරද්දී ඒ අතරවාරයේ තවදුරටත් ජනතාව සතු අන්තිම රුපියලත් පොකැට් ගැසීමට මාන බලයි. මුළු රටේම කෘෂීකර්මාන්තය වෙනුවෙන්  (කෝටි 539) වෙන්කරන මුදලට වඩා වැඩි මුදලක් ජනාධිපතිවරයා තනි වියදම වෙනුවෙන් (කෝටි 732)  ප්‍රසිද්ධියේ අයවැයෙන් වෙන් කරගන්නේ එබැවිනි.

2012 වන විට සහෝදර රෙජීමය සතුව තිබූ වාර්ෂික අයවැයෙන් සියයට හැත්තෑවක පාලනය මේ වන විට 2013 දී දිවිනැඟුමමඟින් සම්පූර්ණයෙන්ම වගේ තමන් සතු කර ගැනීමට මාන බලයි. රුපියල් කෝටි අටසියයක් පමණ වූ මුදලක් තම සහෝදර බැසිල් රාජපක්ෂගේ අතට අධීක්ෂණයකට ඉඩ නොතබා ප්‍රශ්ණ කිරීමකින් තොරවම ලබා දෙයි. ප්‍රශ්ණ කරණ එවුන් හිරගත කිරීමට  එම පණත මඟින් නීතියෙන්ම ඉඩ ලබාදෙයි. එය අනුමත කරගැනීමට බාධාවක්ව පවතින පළාත් සභා අයත්  13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට බෙදීමට මූලික වෙනවා යැයි පවසමින් අහෝසි කළයුතු යැයි අයියාගේ කෝටි අට සීය වෙනුවෙන් වතුරට වඩා ලේ ඝනකම ඇති ගෝඨා මල්ලී වීරෝධාරව කට අරී. එමඟින් කෝටි අටසීයක් තම රාජපක්ෂ පෙළපත වෙනුවෙන් කෙළීමත් ජාතිවාදී දෙමළ ජනයා වෙත පළාත් සභා වෙතින් වූ අවම බලය බෙදීමත් අහෝසි කර ජාතිවාදී උන්මත්තකයින්ගේ දොළ සංසිඳුවීමත් එකවර කරණු ලැබේ.

අවාසනාවකට වගේ බදු ගහන්නේ නම් ළිං නොකපා ඉඳපල්ලා කියන,  ළිං බද්ද ගැන මාධ්‍ය හමු විතරක් තියා දෙස් දෙවොල් තියන වැඩිම උනොත් ඉතාලියේ මිලානො නගරයේ විරෝධතාවක් සංවිධානය කරන ආණ්ඩු විරෝධී සම්ප්‍රදායික දේශපාලණ පක්ෂ විතරක් අපට ඉතිරිව තිබේ. රටක ජනතාවකගේ නොහැකියාව ද නිද්‍රාශීලි බව ද දන්නා, කෝටි ගණනින් ජාතික ධනය හිතුමතේ පරිහරණය කරන රටේ පාලකයා වෙතින් එම ජනතාව අවමානයට ලක් කර ඔවුන් ගේ අභිමානය කීතු කීතු කර දමන මෙවැනි අවඥාසහගත දෑ (මේවට කියන්නේ කින්ඩි කතා) අහන්නට තවදුරටත් අපට සිදුව තිබෙන්නේ එබැවිනි.

"මමත් රණවිරුවෙක්‌ගෙ තාත්ත කෙනෙක්‌. මේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනකොට මටත් මගේ පුතා වෙනුවෙන් මාසෙකට දාහක්‌ බැගින් ලැබෙනවා. අපේ තාත්ත හිටිය නම් ගෝඨාභය මල්ලි රණවිරුවෙක්‌ නිසා එතුමන්ටත් මාසිකව රුපියල් දාහක්‌ ලැබෙනවා“
                                 මහින්ද රාජපක්ෂ, ඔක්තෝබර් 18, 2012

8 comments:

  1. Who wrote the news, should understand the real points.
    It's like rabbit. Run and say sky coming down.
    So who read the news act like the other animals.
    See the truth. Don't be panic and run like hanuman

    ReplyDelete
    Replies
    1. panic? nothing to panic about anyway! everything this country had and stood for are already destroyed. now we pay exorbitant taxes to support a small group.

      Delete
  2. උදිත තාම මේ පැත්තේ ආවේ නැද්ද ?

    ReplyDelete
  3. ජනාධිපති තුමාට අර කියන රුපියල් 1000 ලැබෙන්න විදිහක් නැහැනේ.මේ දීමනාව ලැබෙන්නේ මියගිය හෝ අබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෙමව්පියන්ට කියලයි ජනමාද්‍ය වල කියන්නේ.ගෝටාභය මහත්තයත් නිරෝගී සුවයෙන් නේ ඉන්නේ.

    ReplyDelete
  4. ""ධනවාදය ඉතා සූක්ෂමවත් නිවරැදිවත් හසුරුවන මෙම රජය යටතේ""

    සම්පූර්ණයෙන්ම වැරදි කියමනක් . මොවුන් ධන්වාදය හසුරුවන්නේ ගොරහැඩි , හා රලු ලෙස. ඔවුන්ට ධනවාදයවත් නිවැ‍රැදිව හසුරුවා ගන්න බැහැ. අජිත් නිවාඩ් කබ්‍රාල් ව්වැනි උන් සමග එය කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. ලංකාවේ කොටස් වෙලඳපොල මේ ගැන ඇති හොඳම උදාහරනයයි. මේ රජයේ ප්‍රතිපත්තිය ධනවාදය නොවේ , වැඩවසම් චින්තනයයි.

    ReplyDelete
    Replies
    1. කොටස් වෙලඳපොල සාර්ථක වීම යනු ධනවාදය නිවැරදිව හැසිරවීම නොවේ. ධනවාදයේ අනිවාර්ය ප්‍රථිපලය එය කඩා වැටීමයි. එහෙත් වැඩවසම් ක්‍රමය සතු ගුනාංග මීට පෙර ආන්ඩු වල තිබුනා සේ මේ රාජපක්ෂ ක්‍රමය තුල පූර්නව නැහැ. එය වඩාත්ම සමීප වෙන්නෙ ධනවාදයේ ලක්ෂන වලට. සූක්ෂම ව හැසිරවීම කියන එකට වඩා නිවරුදි වෙන්නෙ ධනවාදය තුන්වෙනි ලෝකයේ රටකට වඩා හොඳින් ගැලප්පවීම කියන එක. මොකද මහින්ද රාජපක්ෂ ඒක නිවරැදිව කෙරුවා. ඒක නිසා ලංකාවේ කවදාවත් නැති විදිහට ධනපති පංතියක් ස්ථාපිතව වර්ධනය වෙමින් පවතිනවා. එම පංතිය එම අවශ්‍යතාවය වෙනුවෙන් මහින්ද ව ආරක්ෂා කරනවා. එම පංති‍යට අවශ්‍ය ප්‍රකාශිත නායකත්වය නිවරැදිව ලැබුනෙ මහින්දගෙන්. ඉරානයේ ඉස්ලාම් මූලධර්මවාදී ධනපති පංතියට ලැබුනු මහමුද් අහමදිනෙජාද් වගේ.

      Delete