A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ප්‍රභාකරන් නැති පාඩුව - කතා තුනක්


ගොතපු නෙමේ අහපු ඇත්ත කතා තුනක්.

1.
මරණය අතේ තියාගෙන හිටියත් ලොක්කගේ ඉඳලා සොක්කා දක්වාම ආරක්ෂක හමුදාවල හිටය කට්ටියට යුද්දෙ කියන්නෙ හැම ආකාරයකම සැප උල්පතක්. යුද්දෙ ඉවර වුණා විතරයි ලොක්කන්ට සැප ඉතුරු වෙලා සොක්කන්ගෙන් මේ සැප කෑල්ල ගැලවුණා විතරක් නෙමෙයි තැන තැන පීචං වෙන්නත් සිද්දවුණා. පාරවල් හැදිලි, වල් කෙටිලි, බදාම ඇනිලි, මුට්ට කර ගැහිලි එකී මෙකී නොකී සියළු ආකාරයේ කට්ටවල් මේ දවස්වල අපේ රණවිරු සොල්දාදුවෝ කනවා එපා නොකියන්න. කන්දොස්කිරියාවල කෙළවරක් නැහැ. සාජන්ල කැප්ටන්ල සෝල්ජර්ස්ලගෙන් හරකුන්ගෙන් වගේ වැඩ ගන්නකොට අරුං නාහෙන් අඬනවා මොකක්ද සර් මේ කරුමෙ කියලා. ඒ වගේ වෙලාවක ආමි එකේ එක ගජබා කැප්ටන් කෙනෙක් මෙහෙම කිව්වලු.

‘තොපි අපි හැමෝටම තාත්ත කෙනෙක් වගේ සැප සම්පත් දීපු අර මනුස්සයව මරා ගත්තනම් හු.... පුතාල දැං ඉතිං ගල් කඩාපියව්’

තාත්තා කෙනෙක් වගේ කිව්වෙ ප්‍රභාකරන්ට.

2.
උතුරු නැගෙනහිර වනාන්තර කියන්නෙ කොටි සංවිධානයේ දැඩි නීති යටතේ යුද්දය ඉවර වෙනකම්ම හොඳින් ආරක්ෂාවුණු වනානතර කලාපයක් බව කොටි සංවිධානයට එරෙහිව මතවාද දරණ අයගේ වුවත් පිළිගැනීමක්. කපන කපන ගහක් ගානේ නැවත පැල සිටුවීම පමණක් නොවෙයි ඒවා නිසි පරිදි උස මහත් වෙනතම් රැක බලා ගැනීමත් වගකීමෙන් යුක්තව සිදුවුණා. හොරෙන් ගස් කපන්නන්ට දැඩි දඬුවම් ලැබුණා. ඒත් යුද්දෙ ඉවර උනත් හරි සිංහල දේශපාලුවො ආණඩුවේ අනුදැනුම ඇතිව ඒ පලාත් වල ගස් කපන්න ගත්තෙ හිටු කියල. ජාතික වනාන්තර බහුජාතික සමාගම් වලට විකුණල දාන්නෙ අම්මා අප්පගේ බූදලය වගේ.මේ යන විදියට වැඩි කලක් නොගිහින්ම එක පැලයක්වත් ඉතුරු වෙන්නෙ නැති බව මෙන්න මේ ටිකත් එක්කම කිව්වේ ගහකොළ මත්තෙම නැහෙන පරිසර හිතකාමියෙක්.

‘අර යකා රටෙන් කෑල්ලක් ඉල්ලුවා තමයි. ඒ වුනාට මචං රුක් දෙයියෙක් වගේ ඒ මනුස්සය රැක බලාගත්ත කැලෑ ටික....මුං වනසනවා පුතෝ උතුරු නැගෙහිර සහරාව වෙනකම්ම’

3
යූඑන්පී එක ඉවරයි. ෆොන්සේකා ඔරු ක‍ඳේ පාරු කවි කියනවා, ජවිපෙ පණ අදිනවා, වැඩක් වෙයි කියල හිතුවට පෙසපෙ කරන කියන දෙයක් උන් වත් දන්නෙ නැතිව ළදරු මරණනෙකට ගොදුරු වෙලා. මිනිස්සු හැමෝම තම තමන්ගෙ පාඩුවෙ ගතමනාවක් හොයාගෙන පවුලෙ වැඩක් බලාගෙන ටෙලියක් වැඳගෙන ගෙවල් අස්සසෙම ඉන්නවා. කවදාද මේ රාජපක්ෂ කරුමෙන් ගැලවෙන්න කියන බලාපොරොත්තුවක් තියාගන්න මොකෙකුටවත්  පුළුවන් කමක් නැහැ. ඒ වගේ නන්නත්තාර වෙලා ගිය අපේ හිතවතෙක් මෙහෙම කිව්වා.

‘ඉස්සරත් මෙහෙම කාලවල් තිබුණා බං ගැලවීමක් පේන තෙක්මානෙක වත් නැති. ඒත් මොකක්ම හරි බලාපොරොත්තුවක් තිබුණා මරාගෙන මැරෙන එකෙක්වත් ඇවිල්ල බදාගෙන මුංව වාශ්ප කරල දායි කියල. දැං ඉතිං හිටපියව් ඇටි කෙහෙල් කාපු එවුන් වගේ..... හාට් ඇටෑක් එකක් වත් වරෝ.....කියලා හිත හිත’

පාහර ආණ්ඩුව හා පාහර මාධ්‍යය


මහ වනය ගිනි ලෑ මෙන් පසුව නැඟ එන අංකුර ඇත්නම් ඒවාත් විනාශ කිරීම මේ ආණඩුවේ ඒකායන අරමුණයි.  ත්‍රස්ත විරෝධී පනත යටතේ උතුරේ දී ආණ්ඩුව නීති විරෝධී ව සරසවි සිසුන් ඉස්සීමේ හා උස්සා අතුරුදහන් කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාවලියක නිරත වනවිට වන විට දකුණේ ජනමාධ්‍යය නැවත වතාවක් කවදාවත් ඇහැරවන්න බැරි බොරු නින්දට ගොස් තිබේ.

උතුරෙහි සිටින සරසවි ශිෂ්‍ය නායකයින්, සරසවි සිසුන්, හිටපු ශිෂ්‍ය නායකයින්, පාසල් සිසුන් හා අත් අඩංගුවේ සිට පුනරුත්ථාපනය ට ලක්ව නිදහස් කළ කොටි සංවිධානයේ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීම් අමානුෂික වද හිංසාවලට ලක් කිරීම් දෙමළ ජනතාව වෙත වූ නොනවතින සංහාරයේම තවත් දිගුවකි.

ආගමික කටයුතු වෙනුවෙන් පහන් දැල්වීම හෝ මරා දැමූ සිය විරුවන් සමරා පහන් දැල්වීමද සියළු පුරවැසියන් සතු අයිතියකි. එය නොසළකා පසුගියදා මහවිරු දිනය හා සමපාතව වුණු කා(ර්)තිකයි ආගමික කටයුතු වෙනුවෙන් පැවැත් වූ පහන් පූජාවෙන් වියරු වැටී ආණ්ඩුවේ හමුදා යාපනය විශ්ව විද්‍යාලය වෙත බලහත්කාරයෙන් ඇතුළු වී පරීක්ෂා කිරීමත් එයට එරෙහිව පැවැත්වූ ශිෂ්‍ය උද්ඝෝෂණයට එරෙහිව කළ ම්ලේච්ඡ පහර දීමත් සමඟින් මේ සංහාරය ඇරඹිණ.

නැවත එල්ටීටීඊ නැඟිටීමකට ඉඩ දෙන්නේ නැතැයි ගෝඪාභය රාජපක්ෂ වහසි බස් දෙඩුවද  මෙවැනි හැසිරීම් වලින් පෙනෙන්නේ දකුණේ ආණ්ඩුව උතුරේ නිරායුධ දෙමළ තාරුණ්‍යය කෙරෙහි වුවද වූ බිය සුළු බවයි.  ආණ්ඩුව මෙන්ම දකුණේ සිංහල ජනතාවද තේරුම් නොගන්නේ  ‘හේතුව‘ සඳහා පිළියම් නොකර ‘ඵලය‘ කොයි තරම් දුරට විනාශ කළ ද ‘ඵලය‘ නැවත හට නොගනී යැයි සිතීම විකාරයක් බවයි.

මේ වන විට 45 කට අධික තරුණ තරුණියන් අත් අඩංගුවට ගෙන ඇති අතර බොහෝ දෙනෙකු ගැන නිශ්චිත තොරතුරක් නැත. අත් අඩංගුවට පත් වූවන්ගෙන් 7 දෙනෙක් නිදහස් කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වී. බවනන්දන්, ලේකම් පී. දර්ශනාන්ත්, සාමාජික එස්. සොලමන් හා සාමාජික කේ. ජෙනමජෙයන් කෲර වධ බන්ධන හා අමානුෂික ප්‍රශ්න කිරීම් වලට ප්‍රචලිත වව්නියාවේ ජෝශප් කඳවුරේ රැඳවීමෙන් අනතුරුව තවත් එවෙනිම ප්‍රසිද්ධ වධ කවුරක් වූ පොලොන්නරුවේ වැලිකන්ද රැදවුම් කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙම ශිෂ්‍යයින් හතර දෙනා වෙත තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති අතර මේවන තෙක් ඔවුන් මුණ ගැසීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට අවසර ලබා දීම හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. වැලිකන්ද සිර කඳවුර යනු 2009 ජනවාරියේ සිට කොටි සංවිධානයේ සාමාජිකයින් වධ බන්ධනයට ලක් කරමින් මේ වන විටත් හයසියයක් පමණ දෙමළ තරුණියන් රඳවා ඇති ඇඩි ආරක්ෂිත රැකවල් සහිත කඳවුරකි. මෙම කඳවුරෙහි සිටි විශාල සංඛ්‍යාවක් වරින් වර අත් අඩංගුවේදීම අතුරුදහන් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ උවමනාවට මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ ගේ අණට තවදුරටත් ශිෂ්‍ය නායකයින් දඩයම් කිරීම සිදු කෙරෙන යාපනයේ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් වෙත ඇත්තේ දැඩි අවිනිශ්චිත භාවයකි. මෙම අවිනිශ්චිතභාවය මෙවර සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටින සිසුන්ටද දැඩි ව බලපා ඇත. ඒ අතරම අත් අඩංගුවට පත් සිසුන් නිදහස් කිරීමටත් විශ්ව විද්‍යාල පරිශයෙන් හමුදාව හා පොලීසිය ඉවත් කිරීමටත් බල කර පැවැත්වෙන යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ හා ආචාර්ය වරුන්ගේ වර්ජනය 14 වෙනි දිනටත් සිදුවෙමින් පවතී.

නයි නලඟනට නයා ලැබීමේ උත්තම පුවත් කලාව සතු දකුණේ ලැප්ටොප් ජනමාධ්‍යය මේ සිදු කරන්නේ දකුණේ ජනාතව වෙත පසුගිය 2008-2009 වසර වලදී මෙන් නිවරැදි පුවත් ලබා දීම වැලැක්වීමේ කුහක ස්වයං පාලනයක නිරතවීමයි. ජනතාව පෙරට ඒම කෙසේ වෙතත් මෙවැනි ජඩ මාධ්‍ය කලාවක් සඳහා හෙට දවසේත් ඉතිං කැළණියේ මර්වින් සිල්වලා ගේම පිහිටයි.

ජාතික ගැටළුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය



පසුගිය සතියේ මෙන්ම මීට පෙර වතාවකත් දීප්ති කුමාර ගුණරත්න සිය ත්‍රිමාණ වෙබ් අඩවිය මඟින් ජවිපෙන් වෙන් වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ ජාතික ගැටළුව සම්බන්දයෙන් සිය මතය හෙළිකර නොමැති බැව් සඳහන් කර තිබුණා. මේක තරමක ප්‍රචලිත ප්‍රලාපයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයත් ලංකාවේ ඇතුලේ දී ඉන්නේ ‘තාම කිව්වෙ නෑ‘ මතයෙ වගේ. ඒත් ජාතික ගැටළුව ඔවුන් සම්බන්දව සිය මතය පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.  වැඩේ තියෙන්නේ ඒ සම්බන්දව ජවිපෙ මතය හා පෙසප මතය අතර කිසි වෙනසක් නැති කමයි. කොහොමත් විජේවීරට පොරකන පොරකෑමට විජේවීරගෙ මතයෙන් එහාට ගිය යමක් දෙගොල්ලන්ටම තියෙන්න විදිහක් නැහැ. මධුසමය ඉවර වෙලා වමේ අනිත් කට්ටිය පෙසප එක්ක තියෙන ගනුදෙනු අහවර කරන්නත් ඒකම එක හේතුවක්.

ඒ අනුව පෙසප කියන්නේ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් සඳහා ඇති අයිතිය වත් ස්වයං නිර්ණය අයිතියවත් ඔවුන් පිළි නොගන්නා බවයි. පීඩිත ජාතිය සඳහා වූ මෙම අයිතිය ගැන පැහැදිලිවම සඳහන් කලේ 1913 දී ලෙනින්. අඩුම ගණනේ ධනේශ්වර සංකල්පය අනුව වූ සුළු ජාතීන් සඳහා වූ බලය බෙදීමවත් ඔවුන් ප්‍රතික්ශේප කරනවා. එල්ටීටීය සටන් වැදුණු උවමනාව පමණක් නොව එල්ටීටීය විනාශවීම ගැනද ඔවුන් මුළු හදවතින් ම සතුටු වෙන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කර තිබුණා.

පහතින් සඳහන් වෙන්නේ පෙසප ලොකු තැන කුමාර් ගුණරත්නම්, වරුණ දීප්ති හා උදුල් ප්‍රේමරත්න මේ සම්බන්දව පැහැදිලිව ප්‍රකාශ කර ඇති සාක්ෂි සටහන්.


කුමාර් ගුණරත්නම් හා Peter Boyle (Links) සංවාදය - අගෝස්තු 8, 2012:

What exactly is the FLSP's position on the national question in Sri Lanka? Doe the new party recognise the Tamil minority as an oppressed nationality with the rights of national self-determination?

Unlike the JVP, we in the FLSP believe that there is national oppression of the Tamil people and the Muslim people. But in the present circumstances in Sri Lanka we do not believe accepting self-determination or devolution of power for the Tamil majority areas will help to solve the national question. On the contrary, it will worsen the situation. At the same time we believe that there is a national oppression against the minority communities.



වරුණ දීප්ති බෙල්ජියමේ දී කළ කතාව - ජූලි 2012:

....Therefore dear Comrades, we don't believe that the solution to the national question or to the above mentioned national oppression is a separate state for the minorities and or accepting self-determination as a solution. Under the present historical circumstances we do not accept so-called devolution of power in terms of solving national question. The question of whether to maintain Sri Lanka's unitary state concept or constitution is not a question for socialists to answer. It does not matter whether it is unitary or federal, the ruling class, to maintain their system for dominance and exploitation will use any capitalist state or constitution. It will be left to the future revolution to decide what type of socialist constitution to adopt.


උදුල් ප්‍රේමරත්න The Island  - ජනවාරි 07, 2012

".....There is massive repression in the north today. If such repression intensifies, the people of the north are going to fight back at some stage. The LTTE is still active at the international level and is not finished as the government thinks. All that we are doing is to insist on normalization and democratization in the north and we are trying to fight for that together with the people of the north. We can’t just push them aside even if they had links with the LTTE. Even Kugan (one of the two disappeared activists) had worked with the LTTE earlier. We wholeheartedly welcome the destruction of the LTTE because they were promoting Tamil chauvinism......"


මම හිතන්නේ දීප්තිට වෙන කාගෙන්වත් මීට වඩා පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන එකක් නැහැ පෙසප මතය ගැන.

ගහනවා ගැහිල්ලක්......


මේ තරම් දූෂිත ආණ්ඩුවක් - මේ තරම් නිදහසේ හැසිරෙන දූෂිත ආණ්ඩුවක්  - මේ තරම් නිදහසේ හැසිරෙන්නට ඉඩ ලබා දී ඇති දූෂිත ආණඩුවක් ලංකා ඉතිහාසයේ කවරදාවත් තිබී නොමැත. යුද්ධය දිනීම නිසාවෙන් ඕන කෙළියක් කරන්නට අබිසෙස් ලැබූ මහින්ද රාජපක්ෂ හා පවුලේ අතු ඉති තමන් හිතු මතේ කැමති දේවල් කරති. විපක්ෂය හෝ සිවිල් බුද්ධිමතුන් හෝ ජනමාධ්‍යවේදීන් හෝ රටේ ජනතාව කිසිවෙකුත් කිසිවක් නොඅසති. එබැවින් අඩුම ගණනේ ආණ්ඩුවට කිසිදෙයක් කතා නොකරම හේතු ඉදිරිපත් නොකරම විවෘත භාවයකින් තොරවම රටේ සියළුම සේසත යටි මඩි ගැසීමට ඉඩ ලැබී තිබේ.

‘කවුන්ටකරන්ට්‘ හි පළවූ තිසරණි ගුණසේකරගේ ලිපියකට අනුව ලංකාවේ තියෙන 900 කට වැඩි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු දැමීම සඳහා මුදල් නැතැයි කියන මහින්ද රාජපක්ෂ (පසුගිය දා අඹන්පොල අනතුරේ දීද 6 දෙනෙක් මරුමුවට පත් විය) තමන්ගේ නාමය අහසේ දිදුලනවා බලන්නට පවත්වා ගෙන යන මිහින්ලංකා ගුවන් සේවය බිලියන ගණනක් පාඩු ලබන්නට ඉඩ හැර බලා සිටී. පසුගිය වසර 5 ඇතුලත එය ලැබූ පාඩුව බිලියන 8.5 කි.

තාත්තාගේ ආසාව එය වන විට පුත්තුන් ට අභ්‍යාවකාශගත වීමට, බදු රහිත රේස් කාර් පැදවීමට හෝ තමන්ට කැමති ඔනෑම දෙයක් කරන්නට ඉඩ ලැබී තිබේ. පෞද්ගලික සමාගමකට වගකීම පැවරීමට විදුලි සංදේශ නියාමක කොමිසමේ ඉහල නිලධාරීන් තැතනුවත් පසුගියදා යැවූ චීනෙන් යැවූ සැටලයිට් කෑල්ලට මෙන්ම පල්ලෙකැලේ අභ්‍යවකාශ ඇකඩමියට වියදම් කරන රුපියල බිලියන 48 ගැන ද ආණ්ඩුවේ ඇති සම්බන්ධතාවය සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් තොරය. අපැහැදිලිය.

සන්ඩේ ටයිම්ස් කතුවැකියට අනුව පසුගිය වසර 7 සඳහා සංවර්ධන ආධාර වශයෙන් ආණ්ඩුවට රුපියල් බිලියන 480 ක් චීනයෙන් පමණක් ලංකාවට ලැබී තිබේ. ඒවාට සිද්ධ වූයේ කුමක්ද යන්නවත් අඩුම ගණනේ මෙම බිලියන 480 ලැබුණේ ණය හෝ ආධාර වශයෙන්ද යන්නවත් කිසිවෙකු නොදනී. මෙය එක් තොරතුරක් පමණි. මෙවැනි ගනුදෙනු  සිය ගණනින් තිබෙන්නට ඉඩ හැක්කේ යුද්ධයෙන් පසු රටේ සංවර්ධනයට විදෙස් රට වල් අත දිග හැර ආධාර කිරීමට හෝ ණය ලබා දීමට මැලි නොවූ බැවිණි. විශේෂයෙන් ම චීන-ඇමෙරිකා බල පොරයෙහි ප්‍රථිඵලයක් වශයෙන් එම රටවල් දෙක සෘජුවම හා අනෙකුත් රටවල් හරවා වක්‍රාකාරව විශාල ධනස්කන්ධයක් ලංකාව වෙත ලබා දී ඇත. රාජපක්ෂ පවුල් ගස හා ඔවුන්ගේ හෙංචයියන් ගේ මහ ගස් දළු ලා වැඩෙන්නේ සමස්ථ ජනතාවගේම සාරය උරා බොමිනි. සමස්ථ ජනතාව ම බිලියන ගණනින් ණයකාරයන් කරමිනි.

අන්තර්ජාලයේ පළවූ පුවතකට අනුව පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපතිවරයා බලයෙන් පහ කිරීමට එරට අධිකරණය තීරණය කෙරුවේ ඩොලර් 3100 ක් (රුපියල් ලක්ෂ 4ක්) අයථා ලෙස පරිහරණය කිරීමේ වරදටය. එයත් තමන්ගේ පෞද්ගලික උවමනාවක් සඳහා යොදා ගෙන නොව ඔහුගේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ ක්‍රීඩා සමාජයකට නගර සභාවේ අරමුදලෙන් ලබාදුන් වරදටය.

ලෝකයේ දුප්පත්ම ජනාධිපති උරුගුවේ හුසේ මුහිකා ට ‘අසරණ කාලකණ්නියා‘ යැයි පවසිමින් අනුකම්පා කරන අතරතුරේ දී ලංකාවේ අන්ත දූෂිත පාලකයෝ මෙවැනි පුවත් ඇසීමෙන් උඩ පැන පැන නටන්නේ ගැන්ග්නම් ස්ටයිල් එකටය.

තිසරණී ගුණසේකරගේ ලිපිය
සන්ඩේ ටයිම්ස් ලිපිය

ඇය නොදනී, ඇය නිරුවතින් ඇවිදින්නීය - දීපිකා හා පෙසප


දීපිකා ගුසී ‘සාම‘ ත්‍යාගය ලබාගෙන ආපහු වැඩියේත් පරෙටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) දෙමළාට  මහාවිරු දිනයේ පහන් දැල්වීමට ඇති අයිතිය ගැන නිවේදනයක් නිකුත් කළේත් මේ සතියේදීය.

පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ උදවිය දිගින් දිගටම හැසිරෙන්නේ ලංකාවේ දෙමළ සමාජය ද සිංහල දැනුවත්-ප්‍රගතිශිලීන් ද  මෝඩයන් සේ සළකා ගෙනය. අතීතය ඉක්මනින් අමතකවීමේ සිංහල රෝගය මත පිස්සු හුටං අවස්ථාවාදී දේශපාලනය වලංගු යැයි ඔවුන් සිතති.

පසුගිය යුද්ධයේ දී ආණ්ඩුවේ හමුදා විසින් මරා දැමූ අහිංසක දෙමළ වැසියන් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි වේ. එම සංඛ්‍යාව පිළිගැනීමට නොහැකි නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුද්දය අවසන් අදියරේ මරා දැමූ දෙමළ සාමාන්‍ය පුරවැසියන් බේරාගත නොහැකි වූ බැව් සඳහන් වූ අභ්‍යන්තර ලියවිල්ලක් ද පසුගිය දා මාධ්‍යයට නිකුත් වූ අතර මේ වන විට ඔවුන්ගේ අනුමානය ද අඩුම වශයෙන් ඝාතන හැත්තෑ දහසකි. මේ මරා දැමීම පිටුපස එයට ආශිර්වාදය කරමින් ශක්තිය හා ධෛර්යය සපයමින් හුරේ දමමින් අමු ජාතිවාදී ජවිපෙ සමඟ සිටියේ අද මෙම කිඹුල් කදුළු හෙලන  පහත ලැයිස්තුවේ සිටින බුරුත්තයි. එයිනුත් කුමාර් ගුණරත්නම් හෙවත් ගුණ්ඩා මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ රණවිරුකරණය-මහින්දකරණය කිරීමේ ප්‍රධාන වග උත්තර කරුවා වේ. සෝමවංශ-ටිල්වින්ලා අද ලැජ්ජාවට පිළි නොගත්තාට ඔවුන් සියල්ලම හාං හූං ගැවේ එදා ගුණ්ඩාටය.

එයිනුත් නොනැනවතී අහිංසක දෙමළ වැසියන්  මරා දැමීම හේතුවෙන් යුද අපරාධ කරුවෙකු වූ සරත් ෆොන්සේකා ව ජනාධිපතිබවට පත් කිරීමට මේ ලැයිස්තුවේ සිටින සියල්ලම දහඩිය මහන්සියෙන් දිවා රෑ නොබලා ඇප කැප වී කටයුතු කළේය. හදිසියේ නව ලිබරල් වසංගතය වැළඳුණු ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හෙවත් ගැටළුවා මහත්තයා ජනාධිපතිවරණ මාධ්‍ය කටයුතු මෙහෙය වූයේ  සරත් ෆොන්සේකාගේ නිවසේ ඇති කාර්යාලයේ සිටය.

උඩින් බෝම්බ ගසා සරෝජලා මරා දමද්දී රණවිරු ගීතිකා ගැයූ දීපිකා, හද්දා පරණ සරෝජා වෙනුවෙන් ගයන ලද ගීතයක් වෙනුවෙන් ‘සාම’ ත්‍යාගයක් මහත් ආඩම්බරයෙන් රැගෙන ඒමට තරම් විලි ලැජ්ජාවක් නැතිවා සේම ලක්ෂයකට වැඩි දෙමළ වැසියන් මරා දැමීමට දායක වූ පෙසපෙ කිසිදු හිරිකිතයක් නැතිව එම මළ මීනී සැමරීමටම දෙමළාට පහන් දැල්වීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ද විලි ලැජ්ජාවක් කියා දෙයක් නැත.

දේශපාලන මණ්ඩලය

පේ‍්‍රමකුමාර් ගුණරත්නම්
සේනාධීර ගුණතිලක
ජී. කුලරත්න
චම්පික සුදසිංහ
චමීර කොස්වත්ත
පුබුදු ජයගොඩ
දිමුතු ආටිගල
රවීන්ද්‍ර මුදලිගේ
දුමින්ද නාගමුව


ලේකම් මණ්ඩලය

ප‍්‍රධාන ලේකම් - සේනාධීර ගුණතිලක
සංවිධායක ලේකම් - ජී. කුලරත්න
පාලක ලේකම් - චමීර කොස්වත්ත
අධ්‍යාපන ලේකම් - චම්පික සුදසිංහ
ප‍්‍රචාරක ලේකම් - පුබුදු ජයගොඩ
මුදල් ලේකම් - දිමුතු ආටිගල

මධ්‍යම කාරක සභාව

පේ‍්‍රමකුමාර් ගුණරත්නම්
සේනාධීර ගුණතිලක
ජී. කුලරත්න
චම්පික සුදසිංහ
චමීර කොස්වත්ත
පුබුදු ජයගොඩ
දිමුතු ආටිගල
රවීන්ද්‍ර මුදලිගේ
දුමින්ද නාගමුව
ශාන්ත විජේසිංහ
එස්. කේ. සුබසිංහ
ඉන්දික වීරකෝන්
සුනිල් ජයරත්න
ජූඞ් සිල්වා පුල්ලේ
සුජිත් කුරුවිට
ආර්.කේ. ඉන්ද්‍රානන්ද
සමන්සිරි ප‍්‍රනාන්දු
ජමින්ද සිරිවර්ධන

සබැඳි පුවත්



ෂී ජිංපිං අංදුං කුංදුං


ජවිපෙ පසුගියදා චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං හට සුබ පැතුම් පණිවිඩයක් හැරෙන තැපෑලෙන් යැව්වේ‍ය (සමහරවිට පෙසපෙ ඉස්සර වෙයි දැයි බයට විය හැක). ඇත්තටම චීනයේ නව ජනාධිපතිට සුබ පැතීම සඳහා ජවිපෙට ඇත්තතේ ඉතාමත්ම හොඳ සුදුසුකම් සමූහයකි. එහෙත් තමන් මාක්ස්වාදීන් යැයි ලංකාවේ සිංහල සමාජය  අන්දවමින් සිටින ජාතිවාදී සුළු ධනේශ්වර ජවිපෙ මෙමඟින් පෙන්නුම් කර ඇත්තේ ළදරු දේශපාලන මන්ද මානසික ස්වභාවයයි.

චීන පාලක පක්ෂයේ නම ‘කොමියුනිස්ට් පක්ෂය’ වීමද ජාතික කොඩිය රතු පැහැ වීමද දෑකැත්තේ හා මිටියේ සළකුණ ද චීන විප්ලවය යන වචන ද ජවිපෙ හිස නැති කඳට ගෙන එන්නේ චීනය යනු තවමත් සමාජවාදී ක්‍රමයක් සහිත රටක් බවයි. එහෙත් භූ දේශපාලනය ගැන යන්තම් හෝ අව‍බෝධයක් ඇත්තෙකු ඇත්නම් පසුගිය වසර තිහක් ඔස්සේ චීනයේ ඇත්තේ නව ධනවාදයේ ම පැතිකඩක් වන නිලධාරීවාදී ධනවාදය බවත් එය 1949 චීන විප්ලවය හා කිසිදු සම්බන්ධකමක් නැති බවත් තේරුම් ගනු ඇත. රාජ්‍ය විසින් නායකත්වය සපයනු ලබන පාලක පන්තිය සමන්විතව එහි ඇත්තේ දේපල හිමි කණ්ඩායමකින් සැදුණු රෙජීමයකිනි. ඇති නැති පරතරය නොවූ විරූ තරම් ඉතා විශාල වීම ද ඇතුළු ධනවාදයේ ඇති සියළුම ලක්ෂණයන් අඩු වැඩි වශයෙන් එහි ඇත.

හාස්‍යජනක කාරණය වන්නේ ජවිපෙ සුබ පැතුම යවන විට තමන්ගේ රටෙහිම පාලක පන්තිය වන මහින්ද රෙජීමය ද චීනයේ නව ජනාධිපතිට සුබ පැතුමක් යැවීමයි. චීන රජය ලංකාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන ආකාරය හා ලොව බලය තහවුරු කර ගැනීම උදෙසා ලංකාව ඇතුළු දුප්පත් රටවල් සූරාකන ආකාරයවත් ජවිපෙට මේ රට ඇතුලේම හිඳ තේරුම් ගැනීමට නොහැකි නම් තවත් කවර කතා ද.

මහින්ද ගේ හා සෝමවංශගේ සුබ පැතුම් දෙක අතෙහි තබාගෙන චීනයේ නව ජනාධිපති ෂී ජිංපිං දහ අතේ කල්පනා කරන අතරේ හිටපු ජනාධිපති හූ ජිංටාඕ පැමිණ සුබ පැතුම් දෙක උදුරා කුණු කූඩයට ඔබා ෂී ජිංපිං ගේ පිටට තට්ටුවක් දමා උනුත් මරු ෂී මුනුත් මරුකියා මාරු වූ බව ෂිංහුවා පුවත් පත වාර්තා කර තිබුණි.

ඉල කකියන්න හිනා.

අප්පගෙ පුතා


මැනික් ෆාම් කඳවුරෙන් නිදහස් ව තම උපන් බිම වූ මුලතිව් හි කොකුලෛ ගම්මානයේ නැවත පදිංචියට ගිය ගම් වැසියන් ගේ ඉඩම් කොල්ලකෑ පුවත සිංහල ආණ්ඩුව හා ආණ්ඩුවේ අනුදැනුම ඇතුව දේශපාලන/මිලිටරි හෙන්චයියන් විසින් උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ ඉඩම් කොල්ලකා ඔවුන් පලවා හැරීමේ ඛේදවාචාකයේ තවත් එක් කතාවකි. සවිස්තරාත්මක ලිපිය පලවී තිබුණේ ලක්බිමනිවුස් ඉංග්‍රිසි පුවත්පතෙහිය.


ඉතා අවම පහසුකම් සහිතව මෙ‍ම ගම් වැසියන් තමන්ගේ ජීවිතය ගැට ගසාගන්නට ලෑස්ති වූවා පමණකි. බීමට අවැසි ජලයේ සිට හිසට නිවසක් ද ගතට ඇඳුමක් ද දරුවන්ට සුරක්ෂිත වටපිටාවක් ද එදා වේල ගැට ගසා ගැනීම සඳහා මොකක් හෝ රැකියාවක් ද ඇතුළුව සියළුම අත්‍යාවශ්‍ය දෑ මොවුනට ඇත්තේ ගව් ගණනක් දුරිනි. පරම්පරාවෙන් ලැබුණු ඉඩමක මොකක් හෝ වගාවක් කර ගැනීම හැමෝගේම සිහිනය ව තිබුනේ ඉතිරිව තිබුණු දිරියෙන් ජීවිතය කෙසේ හෝ ගැට ගසාගත යුතු බැවිනි.

මේ අතරවාරයේ නාමල් රාජපක්ෂ මේ ගම්වැසියන් ගේ සුවදුක් බැලීම සඳහා කොකුලෛ ගම වෙත ගොස් තිබුණි. ගම් වැසියන් සමඟ කතා බස් කර ඔවුනගේ ප්‍රශ්න අසා නාමල් මහත් කනගාටුවට පත්ව තිබුණි. ඔව්න්ගේ ප්‍රශ්න සියල්ලම ඔහු විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණෙන් ඉතා ඉක්මනින්ම ඒ සදහා පිළියම් යෙදීමට පියවරගන්නා බව පොරොන්දු වී තිබුණි. ගම් වැසියන් පිටත්ව ඇත්තේ නාමල්‍ රාජපක්ෂ ගේ පැමිණීම තමන්ගේ අසරණ කම වෙනුවෙන් පිහිටට පැමිණි දෙවියෙක් දුටුවාක් වැනි හැඟීමකිනි.

පසුවදා උපදිසාපතිවරයාට හදිසි දුරකථන පණිවිඩයකින් දැනූම් දී ඇත්තේ පවුල් 30 කට අයිති කොකුලෛ ගමෙහි අක්කර 20 ක භූමි ප්‍රදේශය ඉලිමනයිට් කැනීම සඳහා ඊස්ට් ඒෂියන් සමාගම සඳහා රජය විසින් පවරා දුන් බවකි. කොල්ලකෑ ඉඩම් නන්නාඳුනන සිංහල කූලී කරුවෝ විසින් ලහි ලහියේ ඉල්මනයිට් කැනීම සඳහා සකස් කරමින් සිටිති. තමන්ගේ පරම්පරා ගණනක් ජීවත් වූ ඉඩ කඩම් කොල්ලකෑවුන් දෙස බලාගෙන ඔප්පු දෑතින් බදා ගත් කොකුලෛ අසරණ ගම් වැසියෝ හූල්ලමින් බලා සිටිති. ඊයේ කඳුළු පිරි දෙනෙතින් තමන්ව මුණගැසීමට ඇවිත් පසුවදා මහපොළව කොල්ලකාගෙන ගියේ රටේ ජනාධිපතිවරයාගේ පුතා බව දන්න ඔවුහු තමන් වෙනුවෙන් කතා කීරීමට කිසිවෙක් නොවන බැව් ද දනිති. සමහරවිට මරණයට මෙහායින් සාධාරණයක් ඔවන් වෙත නොලැබෙණු ඇත.

ලිපිය අවසන්ව තිබුණේ බයිබලයේ සදහන් කතාවකිනි. තමන්ට බිරින්දෑවරුන් විශාල සංඛ්‍යාවක් සිටිය දීත් ඩේවිඩ් රජු තමන්ගේ ජෙනරාල් වරයෙකු  යුද පෙරමුණ තුළ දී මරා දැමීමට ඉඩහැර කුමන්ත්‍රණකාරීව ඔහුගේ බිරිඳ අත්පත් කරගත්තේය. දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් දුන්නේ   පොහොසතෙකු තමන්ට ඕනෑතරම් බැටළුවන් සිටියදීත් තමන්ගේ ආගන්තුකයෙකුට සංග්‍රහකිරීමට දුප්පතෙකු විසින් ආදරයෙන් හදාවඩා ගත් බැටළු පැටියෙකු මරාදැමීම සිහිපත් කිරීමෙනි. දඬුවම වූයේ තම අළුත් බිරිඳට ලැබෙන්නට සිටි දරුවා ප්‍රසූතියේ දී මරණයට පත් කිරීමයි.

රාජපක්ෂ ආණ්ඩුව සිදුකරන්නේත් ඉතිරි වී සිටින අහිංසක දුප්පත් දෙමළ ගම් වැසියාගේ පොඩි ඉඩම් කැබෙල්ලත් කොල්ලකෑමයි.

Image: Michelangelo’s King David statue sits in the Accademia Gallery in Florence, Italy

නිවපියව් පහන්


හින්දූන්‍ ගේ කා(ර්)තිකයි දීපම් (පහන්) පූජාව ශත වර්ෂ ගනණක්  ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. නොවැම්බර් මාසයේ පූර්ණ සඳ අහසෙහි නැගෙන දා වාර්ෂිකව මේ පහන් දැල්වීම සිදුවෙයි. හින්දු කෝවිල් වල මෙන්ම සෑම නිවෙසක ම පහන් වැටි එදිනට නොවැරදීම දැල්වෙන්නේ එය ඔවුන්ට ආගමිකව මෙන්ම සංස්කෘතිකව ද ඉතා ඉහල වටිනාකමක් ඇති බැවිනි. යක්ෂ බලවේගයන් පලවා හැර සෞභාග්‍යය හා සතුට ප්‍රාර්ථනා කිරීම මෙම පහන් දැල්වීමේ ප්‍රධාන අරමුණයි.

අහම්බයක්ව මේ වසරේ පුන් සඳ නැගෙන්නේ කොටි සංවිධානයේ මහා විරු දිනය හා සමපාතව බැවින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හා උතුරු නැගෙනහිර හමුදා පාලනය (යක්ෂ බලවේගයන්) පහන් දැල්වීම තහනම් කර ඇත. ඒ අනුව වසර දහස් ගනණක් පැරණි හින්දූන්ගේ මෙවර කා(ර්)තිකයි දීපම් පූජාවට මහින්ද රාජපක්ෂගේ සිංහල උන්මත්තකකාමී ආණ්ඩුව කෙලවා ඇත.

2009 සමූලඝාතනයෙන් ඉතිරි වූ දෙමළ ජනතාවට දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීමටවත් ඉඩදිය නොහැක. කොහොමටත් සිංහල නොවන කිසිවෙකුටත් සෞභාග්‍යය හා සතුට අවශය නැත.

රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාර


“හැබෑට ජාතිය බිහිවෙන්නෙ ගෑනුංගෙ රෙද්ද අස්සෙන්ද? යකෝ එතකොට ජාතිය බිහිකරන තැන ජාතියටත් වඩා උතුම් නැද්ද? වරෙව් තෙල් මල් සුවඳ දුම් අරං මගෙ ජාතිය බිහිකොරන එක වැඳපුදාගන්ඩ.“

      මේ අපූරු කියමන උපුටා ගත්තේ Rear Gate හි අපූරු බ්ලොග් සටහනකිනි.


පසුගිය කාලයේ ජාතිවාදය කොත් වහන්සේටත් වඩා ඉහලින් ඔසවා තබන්නට හෙළ උරුමයේ හාමුදුරුවෝ ටික පුළුවන් වීම කෙලවර වූයේ ත්‍රස්තවාදය මුවාවෙන් රටේ අනිත් කොනෙහි ජීවත් වූ දෙමළ මිනිසුන් ලක්ෂ ගානක් මරා දමන විට සාදුකාර දෙන්නට සමත් ජාතියක් ඉතිරි කිරීමෙනි. දැං ඉතිං මදිය... තවත් මොනවා හරි කළ යුතුය. ඉනාමළුවේ පරම්පරාව ආගම්වාදය ඇති තරමට පතුරුවමින් සිටී. රොටුඹේ හා ගලබඩ අත්තතේ පරම්පරාව වඳ සැත්කමට හා ගබ්සාවට විරුද්දව පාරට බැසීමට පටන් ගෙන ඇත. ජාතිය-ජාතිය, ආගම-ආගම දෙසා බාමින් පතුරුවන්නේ බුදුන් දෙසු මෛත්‍රිය වෙනුවට වෛරය පමණකි. පොළොවෙ පයගහන්නට දඟලන මිනිසුන්ට නැගිටුවන්නට අත දෙනු වෙනුවට කරන්නනේ පයින් ගැසීම පමණකි.

දකින දකින තැන දණ ගහගෙන වැද වැටුනට ෆෝන් එක තියන කොට බුදු සරණයි තෙරුවන් සරණයි කිව්වට අද ලංකාවේ මුළු සමාජයම කවදාවත් නැති තරමට පිරිහී ඇත. කාන්තාවකට දවාලකවත් තනිව පාරක බැසීමට නොහැක. දූවරුන් දූෂණය වන්නේ පියවරුන්, සීයාවරුන්, ගුරුවරුන් අතිනි. ළමා අපයෝජන ගිහි සමාජය ටත් වඩා සංඝ සාසනය පුරාම පිරී ඇත. හොර කම් මැරකම් නැති තැනක් නැත. ගෙයක් ගෙයක් ගානේ පන්සලක් පන්සලක් ගානේ සුරාවය. සූදුවය. මිනී මරන්නේ විනෝදාංශයකට මෙනි. ලක් පොළොව මතට වතුරට වැඩියෙන් උරනවා ඇත්තේ රුධිරය විය යුතුය. දේශපාලකයෝ බලය ඇත්තෝ ද ජනතාවගේ මුදල් කෝටි ගනනින් පිල්ලි ගසති. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සියළුම ආයතන විනාශ වී ඇත. ඉන්දියන් සාගරය ඇතුලත බල පොරයට චීනය ඇමෙරිකාව ඉන්දියාව පාකිස්ථානය රුසියාව රට ඇතුලට රිංගා ඇත්තේ කාටත් නොදැනෙන්ටය.

මුඬු කළ හිස තුළ ඇති මොළ කඳුල පාවිච්චි කොරල පිං කරන හාමුදුරුවනේ වැඳල ඉල්ලන්නං ධර්මයෙහි හැසිරෙන්න,  ධර්මය වදාරන්න, සාසනය රැක ගන්න මහන්සි වෙලා යහපත් චේතනාවෙන් මේ සමාජය පිරිසුදු කරන එකට පොඩ්ඩක් පාරට බහින්න.

ගිහියන් දරුවො වදන එකයි හදන එකයි ඒ ඒ අයට කැමති විදිහට පුළුවන් ප්‍රමාණයට කොර ගත්තදෙන්... ජාතියට ළමයි නොවදන එක නම් මේ වෙලාවෙ තියෙන ලොතු වින්නැහිය  හාමුදුරුවනේ  ගිහි අපිට කරදර කරන්නෙ නැතිව කරන්න තියෙන්නෙ රටේ තියෙන පන්සල් හයදාහෙ ඉන්න හාමුදුරුවො පහලොස් දාහට ථෙරවාදය වලළලා මහායාන ක්‍රමේට කසාදයක් කරගෙන අන්ලිමිටඩ් ළමයි හද හදා ඉන්නයි ඉතිං.

අපේ නම් කිසි තරහක් නැහැ අපිත් ඇවිල්ල මලක් පහනක් පූජා කරල ළමයෙක් හුරතල් කොරල යන්නම් ඉඩක් තියෙන වෙලාවට.



පින් බිම


සමූල ඝාතන ඇඟට නොදැනෙන සමාජ පුරුද්දක් වූ විට ඝාතකයින්ට එය විනෝදාංශයක් වූ විට බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය යට කළ හැක්කක් නොමැත. ගහක පතක් නොසිඳන්නැයි උගන්වන බුදු දහම මේ රටෙහි මුල් බැස ඇත්තේ වෙන කිසිම රටක ට නොදෙවෙනි ලෙසිනි. එහෙත් ‍මෙවැනි ඝාතන සංස්කෘතියක් ඇති රටවල් ලොවෙහි තව තිබේ නම් එය ඉතා සුළු සංඛ්‍යාවකි. අවාසනාවකට මෙහි රට වැසියන් කිසිවෙක් මේ ඝාතන වලින් සැලෙන බවක් නොපෙනේ. පසු දිනය වන විට සියල්ල සිදුවන්නේ ඉතාමත්ම සාමාන්‍ය පරිද්දෙනි.

පසුගිය දා වැළිකඩ සිර කරුවන් වෙත එල්ල කළ අමානුෂික ප්‍රහාරය හා සමූලඝාතනයද එවැන්නකි.

කිසිදු සමූල ඝාතනයක ඝාතකයින්ට එරෙහිව කිසිදු දඬුවමක් නැත. රජයේ පොලීසිය/හමුදාවන් හෝ මැරයින් හෝ දේශපාලන හෙංචයියන් වේවා සියල්ලෝම මේ මේලෙච්ච ඝාතන වලින් අනතුරුව සිය නිදහස වෙනදාටත් වඩා නිදහසේ භුක්ති විඳිති. රජය පැත්තනේ සිදුවන විට එම ඝාතන ඔවුන් විසින්ම නීත්‍යානුකූල කරනූ ලැබේ. මැරයින් හෝ දේශපාලන හෙංචයියන් සිදු කරණ විට ඒවා කැරලි කෝලාහල ලෙසින් නොසලකා හරිනු ලැබේ. ජාතික තලයේ හෝ අන්තර්ජාතික තලයේ කිසිවෙක් වරදකරුවන් නොවිණි. නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන සඳහා කිසිවෙක් මොනයම් හෝ දඬුවමක ට යටත් කරණු ලැබුයේ නම් තව එක් සමූල ඝාතනයක් සඳහා කිසිවෙක් දෙවරක් හිතන්නට තිබුණි.

ඔවුන් ත්‍රස්තවාදීන්ය
ඔවුන් දෙමළුන්ය
ඔවුන් අපරාධකරුවන්ය
ඔවුන් දේශපාලන විරුද්ධවාදීන්ය
යැයි සැනසුම් සුසුම් හෙළමින් ඝාතකයින් තමන්ගේ දොරකඩටම හෙට අනිද්දා පැමිණෙන තෙක් මේ නිදහස තවදුරටත් ඔබට භුක්ති විඳිය හැක.

1948 නිදහසින් පසු ව සිදු වූ සමූල ඝාතන :

දේශපාලන උවමනාවන් මත වූ කැරලි කෝලාහල

1956 ගල්ඔය කැරලි කෝලාහල (දෙමළ)          - මරණ 150 පමණ
1958 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 300 පමණ
1977 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 300 පමණ
1983 කැරලි කෝලාහල            (දෙමළ)           - මරණ 3,000 පමණ

නිල හා නිල නොවන ආණ්ඩුවේ හමුදා/පොලීසිය

1971 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල)               - මරණ 15,000 පමණ
1988/89 දකුණේ රාජ්‍ය මර්දනය (සිංහල)          - මරණ 60,000 පමණ  
2008/09 උතුරේ රාජ්‍ය මර්දනය (දෙමළ)           - මරණ 140,000 පමණ*          

සිර කඳවුරු ප්‍රහාර

1983 වැළිකඩ ප්‍රහාරය (දෙමළ)             - මරණ 54 පමණ
2000 බිඳුණුවැව ප්‍රහාරය (දෙමළ)          - මරණ 26 පමණ
2012 වැළිකඩ ප්‍රහාරය (සිංහල)             - මරණ 27 පමණ

- වරහන් ඇතුලින් දක්වා ඇත්තේ බහුතරයක් ඝාතනයට ලක්වූ ජන කොට්ඨාශයයි.
- ආණ්ඩුව හා එල්ටීටීය අතර වසර තිහක් වූ යුද්ධයෙන් සිදුවූ 100,000 පමණ දෙපාර්ශවයේම සමූල ඝාතන මෙහි දක්වා නැත.
- සංඛ්‍යාත්මකව අඩුවුවද සිර කඳවුරු ප්‍රහාර මතුකර දැක්වූයේ එයටම ආවෙනික කාළකන්නි සහගත ම්ලේච්චත්වය නිසාවෙනි
*රායප්පු ජෝශප් බි‍ශොප් වරයා විසින් උගත් පාඩම් කොමිසමට ලබාදුන් සාක්කි සටහනෙනි. ආණ්ඩුව මේ වෙනතෙක් මේ සඳහා පැහැදිලි කිරීම් කර නොමැත

එහෙත් අඳෝමැයි, අප ජීවත්වන්නේ ගබ්සාව ද මරණ දඬුවම ද නීතියෙන් තහනම් වූ පින් බිමකය.

ඉල් මහ සමරුව



ආයෙත් නොවැම්බරයක් පැමිණ ඇත. හැට දහසක් මරණයන් ඇවිස්සීමට  රතු සහෝදරයෝ යුහුසුළු වෙති. සැමරුම් අයිතිකර ගැනීමට සටන් වදිති. ගුටි ඇණ ගනිති.

වසරේ අනෙකුත් කිසි දිනෙක මේ මළවුන් ඔවුනගේ හිත් වල ඇත්තේ නැත. හිතේ තිබුණා නම් කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ ආණ්ඩුවට පක්කලි කම් කරන දවස්වල (පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් නවයයි-කැබිනට් ඇමැති ධූර හතරයි-ඇමැතිවරු අටයි), අඩුම ගණනේ මරා දැමූ තම නායකයා වෙනුවෙන් යුක්තිය සොයා වෙහෙසිය යුතුව තිබුණි. මරා දැමූ හැට දහසක තොරතුරු එකතු කර ඔවුනගෙ පවුල් වෙනුවෙන් යමක් ප්‍රබලව කිරීමට උත්සහ දැරිය යුතුව තිබුණි. ස්මාරකයක් තැනීමට උත්සහ දැරීම කෙසේවෙතත් පසුගිය දා ඇඹිලිපිටියේ අතුරුදහන්වූ පාසල් සිසුන් ඇතුළුව අතුරුදහන්වූවන් සිහි කරමින් තැනූ අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ දමද්දී මේ රතු සහෝදරවරු උන්නාද මළා ද නැත. මොවුනගේ සැමරුම් අවස්ථාවා දී වන්නේ එබැවිනි. 

එමෙන් ම ජාතිකවාදය කරපින්නාගත් විජේවීරගේ දෘශ්ටිය කෙළවර විය යුතුව තිබෙන්නේ ජාතිවාදයෙන් මිස වෙන යමකින් නොවන සරළ සත්‍යය පසුගිය කාලයේ කුමාර් ගුණරත්නම්-සෝමවංශ අමරසිංහ විසින් මැනවින් පෙන්නුම් කරණ ලදි. ඔවුනගේ ජාතිවාදය අන්ත ජාතිවාදී හෙළ උරුමයේ ජාතිවාදයටත් එහා ගිය එකක් විය. තමන්ගේ සහෝදර සහෝදරයින් හැට දහසක් මරා දැමූ ආණඩුවේ හමුදාව කිසිදු හිරිකිතයක් නැතිව මොවුන් රණවිරුවන් නමින් අභිසෙස් කරණ ලදි. එවන් සමූල ඝාතක හමුදාවකට  ධෛර්යය සපයන ලදි.

නොවැම්බරය යනු වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් සටන් වැදුණු පරපුරක අවංක භාවය ද කැපවීම ද ජවය ද අධිශ්ඨානය ද සිහිකිරිය යුතු මාසයකි. ඔවුන් කිසිවෙක් තමන්ගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදුනේ නැත.  ම්ලේච්ච වධ වේදනාවන්ට ගොදුරුව අන්තිම මොහොතේත් වචනයක් පිට නොකර තම සගයන් පාවා නොදුන්නෝ බොහෝය. තමන් දැරූ උතුම් අරමුණු වෙනුවෙන් සටන් වැදුණු එම නොවැම්බර් පරපුරට අප සැලියුට් කරන්නේ එබැවිනි.