A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

රාවය


විකල්ප පත්තරකාර‍යෙකුට වෙන්න හැකි අවසානාවන්තම සිදුවීම තමන්ගෙ ලිපියක් ලේක්හවුස් පත්තරයක පළවීමයි. වික්ටර් අයිවන්ට ඒකත් මෑතකදී සිදුවිය. ඔක්කොටම වඩා වික්ටර් අයිවන් වගේ ලේක්හවුස් එකේ සභාපති වෙන්න බලා‍ගෙන හිටිය කෙනෙකුට!!. ඒක නමි වස සවුත්තුව.


ඒ ලිපිය ඕනම නම් ‍මෙතනින් බලන්න

රාවය යනු අපූරු ගණයේ පුවත් පතකි. හරියට ඔළු ‍දෙකේ සත්වයෙක් වැනිය. වික්ටර් අයිවන් බාගය ආණ්ඩුවට කඩේ යනවිට ජනරංජන-විමලනාත් බාගය විකල්ප පත්තර කලාවක් කරගෙන යන්න දඟලයි (අයිවන් රාවයේ සංවත්සරයට මහින්ද රාජපක්ෂ ව ගෙන්නන් හදන බවකුත් ‍කොහේද තිබුණා).  වික්ටර් අයිවන් ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් රාවයට අර‍ගෙන එන කොට (දැන්නම් ඒවාවත් ලැබෙනවා දැයි සැකයි) ජනරංජන පත්තර විකිනෙන්න හිතාගෙන ලියයි. ලියන්‍නන් සොයයි. වික්ටර් අයිවන් ඒ අස්සේ මොනවා‍දෝ පිටුවක් දෙකක් පත්තරයට ලියයි.  කතුවැකියක් කියා දෙයකුත් ලියයි. කියවන්නෙ කවුරුදැයි දෙයියෝ දනිති. රාව‍යේ එඩිටෝරියල් එක බැලුවාදැයි කාගෙන් හරි ඇහු‍වොත් ඒ අහන්‍නේ ජනරංජනගේ තීරු ලිපිය ගැන බව කවුරුත් දන්න දෙයකි.  වික්ටර් අයිවන්ගේ එඩිටෝරියල් එක කවුරුත් නොබලන තීරු ලිපියකි.

රාව‍යේ දැං වික්ටර් අයිවන් නොවන බාගයත් වැඩක් ඇති වැඩක් කරනවාදැයි සැක හිතෙන්නේ පත්ත‍රේ දැං තියෙන දේවල් අනුවය. සම්ප්‍රදායික ආණ්ඩු විරෝධය හා එදිනෙදා විරෝධතා කැරළි ගිනි තැබීම් ගැන දෙස් දෙවොල් ඇරුනාම ලාවට ගෑවිලා යන රැඩිකල් බවක් විතරයි එතන තියෙන්‍නෙ (ආයෙමත් මම  මේ කියන්නෙ වික්ටර් අයිවන් බාගෙ ගැන නෙමෙයි). එහෙම නැතුව අඩුම ගා‍නේ මතාවදීමය ‍ගොනුවක් වත් ලංකාවේ නිවරැදි ලිබරල් හෝ වාම දේශපාලනයේ කතිකාවක් වත් එතන සිද්දවෙන්නෙ නැහැ. රාවය වගේ පත්තරයකින් එවැන්නක් සිද්දනොවීම ලංකාවේ කුරවල් දේශපාලනයට උඩ ගෙඩි දීමක්.

ලංකා‍වෙ ජනප්‍රියම වචනය “යුද අපරාධ” උනාට කවුරුවත් ඒක අඳුනගෙන තියෙන බවක් ‍පේන්න නැහැ. මහින්ද රාජපක්ෂ ඇතුළු ‍කොට්ටාසය යුද අපරාද ‍චෝදනා වලට තල්ලු කරන්න ඕනෙ රටේ ‍හෙට දවසෙ සිද්ධ කරන්න ඉඩ තියෙන විනාසය වලක්වගන්න මිසක් ලංකාවෙ ස්වාධිපත්‍යයවත් ‍වෙන කෙහෙල්මලක් වත් නැති කරන්න ‍නෙමෙයි. විශේෂයෙන්ම තුන්වන ‍ලෝකයේ රටක අරගල සිද්ධවෙන එක වත් විරෝධතා නැ‍ගෙන එකවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලංකාවෙ උතුරෙත් දකු‍ණේත් ඒක සිද්ධවෙනවා. ආණ්ඩුව එතකොට උන්ට ත්‍රස්තවාදීන් කියල හංවඩු ගහනවා. ජනතාවගේ සහාය ඇතුව ‍හෝ නැතිව මරලා දානවා. පිළිගත්තා හො නොගත්තා හැබැයි ඒ සංහාර වලට බටහිර රටවල සහයෝගය නම් නොඅඩුව ලැබෙනවා.  හැත්තෑ එකේදි  සිංහල විසි දාහක් සහ අසූඅට අසූනවයේදී හැට දාහක් දකුණේත් දෙදහස් නවයේදී උතු‍රේ දෙමළ ලක්ෂයකුත් මරලා දැම්මෙ ඒ විදිහට. අපි හැත්තෑ එකේදිත් ඒ සමූල ඝාතනයන්ට මුකුත් කළේ නැහැ. අසූඅට අසූනවයේදීත් කළේ නැහැ. මෙච්චර ඇසින් දුටු සාක්ෂි, වීඩියෝ, ඡායාරූප, තිබෙද්දිත්  මේ පාරත් ‍මුං දෙමළ කියලා නොකර ඉන්නවද? තවත් අවුරුදු කීපයකින් තව සංහාර වටයකට ධනපති ආණ්ඩු වලට අවශ්‍ය ඉඩකඩ ඉතිරි කරලා තියෙනවද? හැබැයි මේ පාර ලක්ෂයකින් නතර‍ වෙන්නෙත් නැහැ. සිංහල කියල බලන්නෙත් නැහැ. එදාට ඔය රණ විරුවෝ ගහලයො බවට පත්වෙයි. ඒකට ගොදුරු වෙන්න වැඩියෙන්ම ඉඩකඩ තියන්නෙ අද සද්ද නැතිව ඉන්න සිංහල මිනිස්සුන්ගේ දරුවන්ව. ‍මේ දවස්වල ගෝඨාභය-මහින්ද ලෑස්තිවෙන ආකාරයට එච්චර මහ කාලයක් යන එකකුත් නැහැ. ‍ ගෝඨාභය-මහින්දලාට අද දඬුවම් දෙන්න ඕන කාරනය අන්න ඒක. එල්ටීටීය විනාස කරපු එක් ගැන සතුටින් ඉන්න අය පවා හිතන්න ඕන ඒක. එල්ටීටීය විනාස කරන්න මිසක් අහිංසක මිනිස්සු ලක්ෂයක් මරන්න අපි ඉඩ දුන්නේ නෑ කියන එක් මතක් කරන්න ඕන අන්න ඒ මිනිස්සු. මම හිතන්නෙ රාවය වගේ පත්තරයක් ගොනු වෙන්න ඕන අන්න ඒ වගේ තැනකට. ස්වයං වාරණයක් ඇතිව නිස්සද්දව ඉන්නවට වඩා එහෙම නැත්තම් වික්ටර් අයිවන්ගේ හික නොරිද්දනවට වඩා ඒක අද දවසේ වැදගත්.

එහෙම නැතුව දීප්ති කුමාර‍; විමලනාත් ට ඉස්සර මඩ ගහපු හින්ද දැං දීප්තිත් එක්ක තියෙන තරහට දීප්තිගෙන් කැඩිච්ච සුමිත් චාමින්ද ට දැං රාවයේ වැඩි ඉඩක් ‍දෙන එකවත් සුමිත් චාමින්ද දැං ජවිපෙ කුමාරගෙ ‍සෙට් එකත් එක්ක ඉන්න හින්ද ඒක ජනප්‍රිය කරන එකවත් නෙමෙයි (ඒකත් හරියට කරන්නෙ නැහැ ඒකට අදාල ඉන්ටර්වීව් ටික කර‍ගෙන් එන්න කියන්නේත් කුමාරගෙ ‍සෙට් එකේ කට්ටියටමයි. කිව්ව කෙනාගෙ අදහස් නෙමේ බැලුවම තියෙන්නෙ ප්‍රශ්න අහපු කෙනාගෙ අදහස්). ‍

2 comments:

  1. /* එදාට ඔය රණ විරුවෝ ගහලයො බවට පත්වෙයි. ඒකට ගොදුරු වෙන්න වැඩියෙන්ම ඉඩකඩ තියන්නෙ අද සද්ද නැතිව ඉන්න සිංහල මිනිස්සුන්ගේ දරුවන්ව. */ ‍

    ඝණසාරප්ප දිත්තේන
    දීපෙන තම ධං සිනා

    ReplyDelete
  2. රාවය ගැන ලියල තියන දේවල් සහතික ඇත්ත...රාවය යනු ඔලු දෙකක් ඇති සත්වයෙකි..."අයිවන්" ඔලුව කියවීම මම අත හැරලා හුඟක් කල්...අපරාදේ පිටු ගානක් නාස්ති කරනවා...ඒවා කියවනවට වඩා හොඳයි දිනමිණ කියවීම...මේ දවස්වල ලය විරේක ගන්නේ නැති නිසා දෙකම කියවන්නේ නෑ...ජන රංජන+වීරරත්න ඔලුව පත්තරය පවත්වා ගන්න පොඩි ක්රිටිකල් පාරක් දානවා...ඊට වඩා දෙයක් නැහැ...මේ පත්තරය ලියනවට වඩා සුගතියක් වහල දනවා නම්...මොකද මේක සේවය කරන්නේ පාලක පෙලන්තියට...රාවය පත්තරේට ලිපි ලියපු කෙනෙක්

    ReplyDelete