A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

ඌරු කොටුව



ජනතා විමුක්ති පෙරමුණේ ගොවිපොළක සිටි ඌරු රංචුවක් ජනතා විමුක්ති පෙරමුණේ කැරැළිකාර පාර්ශ්වය විසින් රැගෙන ගිය බවට ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් ප්‍රකාශ කර තිබිණි. මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව වාර්තා කරනු සඳහා ලූප්හෝල්ස් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට දුරකතනයෙන් ආමන්ත්‍රණය කළේය.

ලූප්හෝල්ස් -  "හලෝ... ටිල්වින් සහෝදරයා! මේ ඌරන්ගේ ප්‍රශ්නය ගැන මොකුත් කියන්න පුළුවන්ද?"

ටිල්වින් - "අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක් සහෝදරයා අපි අපේ පක්ෂයේ රහස් ධනපති මාධ්‍ය වලට හෙළි  කරන්නේ නැහැ". 

ලූප්හෝල්ස් - "නැහැ....නැහැ... සහෝදරයා! මම ඇහුවේ අර ගම්පහ ඔබලාගේ පක්ෂයට අයත් ඌරන් පිරිසක්  කැරැලිකාර කන්ඩායමට විසින් අරගෙන ගියා කියන කතාව ගැන.?"

ටිල්වින් - "ඒ ප්‍රවෘත්තිය වැරැදියි. විතරක් නෙවි සියළුම දිස්ත්‍රික්ක වල ඌරන් සිටින්නේ සෝමවංශ සහෝදරයාගේ  නායකත්වයෙන් යුතු පක්ෂය යටතේයි."

ලූප්හෝල්ස් - "ඒ කියන්නේ කිසිම ඌරෙක් තමන්ගේ පිලට එකතුකරගැනීමට කැරැලිකාරි කණ්ඩායම සමත්වුනේ නැහැ  කියන එකද?"

ටිල්වින් - "මම එහෙමම කියන්නේ නැහැ සමහර ඌරෝ ඒ ගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා." 

ලූප්හෝල්ස්  - "ඒ කියන්නේ ඌරන්ගේ බහුතරය ඉන්නේ සෝමවංශ පාර්ශ්වය  සමගද?"

ටිල්වින් - "ඔව්...ඒක ඇත්ත. ඒ විතරක් නෙවෙයි සෝමවංශ අමරසිංහ, අනුරකුමාර, ලාල්කාන්ත, බිමල්,  හඳුන්නෙත්ති වාගේ යන සියලුම අය ඉන්නේ අපිත් සමග."



මේ ගැන කැරැලිකාරී පිලේ පුබුදු ජයගොඩ සහෝදරයාගෙන් විමසුවේය.

ලූප්හෝල්ස්  - "සහෝදරයා... ගම්පහ දිස්ත්‍රික්කයේ සිටි ඌරන් දැන් සිටින්නේ ඔබලා සමගද?"

පුබුදු - "ඔව්! ගම්පහ සිටි සියළුම අය අපත් සමගයි. නමුත් මූලස්ථානයේ සිටි  ඌරන් පක්ෂයේ නිලධාරිවාදී  කල්ලිය සමග තමා ඉන්නේ."

ලූප්හෝල්ස් - "එතකොට පුබුදු  සහෝදරයා, මේ අර්බුදයට හේතුව කුමක් කියල ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?"

පුබුදු - "ඇත්තටම මේකට මූලික හේතුව පක්ෂයේ සෝමවංශ ටිල්වින් ඇතුළු නිලධාරිවාදී කල්ලිය පක්ෂයේ මාක්ස්වාදී රාමුව බිඳ දැමීමයි."

ලූප්හෝල්ස් - "අපගේ පාඨකයන්ගේ පහසුව පිණිස පුබුදු සහෝදරයාට ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?"

පුබුදු - "ඔව්! අපි මෙහෙම කියමුකෝ. ඇත්තටම මේ ගැටුම මතවාදී සහ න්‍යායික ඉදිරි දැක්ම පිලිබඳ ගැටුමක්. දැනට වසර කිහිපයක සිට අපි නිරීක්ෂණය කළා පක්ෂයේ නායකත්වය  යටතේ මාක්ස්වාදී රාමුවට හානි සිදුවෙමින් පවතින බව. ඒ කිව්වේ අපේ පක්ෂ මූලස්ථානයේ තිබූ කාල් මාක්ස් සහෝදරයාගේ පින්තූරයේ රාමුවට හානි වෙමින් තිබුනා. කඩා වැටෙන්න ඔන්න මෙන්න... අපි මේ ගැන පක්ෂ නායකත්වයට විවේචනයක් එල්ල කළා. අපේ පක්ෂයේ මාක්ස්වාදී රාමුව මේ විදියට කඩාවැටෙන්න දෙන්න යන එක වැරදියි කියලා. එතකොට සෝමවංශ සහෝදරයා එකගවුණා මාක්ස්වාදී රාමුව ප්‍රතිසංස්කරණය කරන්න. එයා ඒක අපිට හොරෙන්ම පින්තූර රාමු කරන කඩයකට බාර දී තිබුනා.මේ පිළිබදව දිගටම පක්ෂයේ අභ්‍යන්තර සංවාදයක් පැවතුනා. මාක්ස්වාදී රාමුව ප්‍රතිසංස්කරණය කරනවාට අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදයට විරුද්ධ බොල්ෂේවික්වාදී අය කැමැති වුණේ නැහැ. ඒක අවසාන ප්‍රතිඵලය වුණේ සභාගවාදයටත් ප්‍රතිසංස්කරණවාදයටත් එරෙහිව පිරිසක් මාක්ස්වාදී රාමුව නැවත අර පින්තූර කඩෙන් අත්පත් ගෙන නිවැරදි ලෙස ස්ථානගත කිරීමයි."

ලූප්හෝල්ස් -"බොහෝම ස්තූතියි පුබුදු සහෝදරයා."



මෙම ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයක් වූ ඌරන්ගේ අදහස් දැනගැනීමට යමෙකු සම්බන්ධ කර ගැනීමට තැත් කළ නමුත් එය අසාර්ථක විය.

No comments:

Post a Comment