A day without laughter is a day wasted - Charlie Chaplin

_______________________________________________________________________________________

සිංහලයාට කොන්දේසි විරහිතව සමාව දුන් දෙමළා




මහින්ද රාජපක්ෂව එළවා දැමීමට සිංහලයාට තිබූ අවශ්‍යතාවය උතුරේ හෝ නැගෙනහිරේ දෙමළ ජනතාවට තිබුණු අවශ්‍යතාවයට වඩා සහමුලින් ම වෙනස්ය. දකුණේ සිංහලයා යනු මාධ්‍ය මර්ධනය, මානව හිමිකම් උල්ලංඝනය හෝ රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම වැනි කාරණා විශාල ලෙස දැනෙන කොටසක් නොවේ. එය එසේ නම් පසුගිය කාලයේ ඔවුන් සිටිය යුත්තේ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරමින්ය. ඔවුන්ට වැඩියෙන් ම දැනුණේ අධික ජීවන වියදම හා රාජපක්ෂ පවුල් ගසෙහි අසීමිත ගසා කෑම් කෙලවර ඔවුන්ගේ අසීමිත සුඛිත මුදිත භාවයයි. නැවත බලයට පැමිනියහොත් මුන්ව කවදා එලවගන්න පුළුවන් වේවිදැයි යන බය බිරාන්තකම ම රාජපක්ෂව එලවා දැමීම සඳහා සිංහලයා උසි ගැන්වීමට ප්‍රමාණවත් විය. 

දකුණ ඒ සඳහා සුදානම් වෙද්දී රනිල්-මෛත්‍රී-චම්පික හවුල දෙමළ ජනතාවට කිසිම පොරොන්දුවක් නොදුන්නා පමණක් නොව මහින්ද රාජපක්ෂ පාලනයේ දෙමළාට ඇති සැලකිල්ලේ කිසිම වෙනසක් නොකරනවා යැයි පැවසූව ද මහින්ද රාජපක්ෂව එලවා දැමීමට කිසිදා නොවූ විරූ උනන්දුවකින් කතිරය ගසා පලවා හැර දැමුවේය. ඒ සිංහල මහ ජාතිය විසින් දශක ගණනාවක් පුරා පීඩාවට පත්වී එහි උපරිමය ලෙස 2009 දී 140,000 මරා දමා කෘර වධ දී, ස්ත්‍රීන් දූෂණය කර, සාගින්නෙක් පෙළවා  තමන්ගේ ජන ජීවිතය කුඩුපට්ටම් කරද්දී රූපවාහිනි ඉදිරිපිට ජය ඝෝෂා නැඟූ මැයි දහ අටේ විජයග්‍රහණය සමරා පාරවල් වල කිරිබත් උයාගෙන කෑ දකුණේ සිංහලයාගේ උවමනාව හා සමපාතව කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂව එළවීමට එකතු වෙමිනි. එහි දී ඒ දෙමළ මිනිසුන් වෙත තිබුණේ දකුණේ සිංහලයාගේ උවමනාව හෝ තමන්ට නො වැටහෙන භූ දේශපාලන තත්වයන් නොව තමන්ගේ විනාශයට දායක වූ ළඟම හතුරාව එලවා දැමීමේ කේන්තියයි. මේ පිලිබඳ අපූරු ලිපියක් ජේඩීඑස් වෙබ් අඩවියේ පසුගියදා පලවී තිබුණි.

කවුරු කෙසේ කීව ද මොන ගණිත හරඹ කළ ද මහින්ද රාජපක්ෂ ව  එළවා දැමූවේ මෙරට සුළු ජාතික ඡන්ද විසින් යන්න යථාර්තයයි. උතුරු නැගෙනහිරින් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණු ඡන්ද 978,111 න් සහ මහින්ද රාජපක්ෂට ලැබුණු ඡන්ද 323,600 න් මුස්ලිම් ඡන්ද ඉවත්කර ඉතිරිවන සියළුම දෙමළ ඡන්ද වර්ජනය කරන්නේ යැයි සිතුව හොත් දෙදෙනාටම ලැබෙන්නේ ආසන්නව සමානව 49.5% කිට්ටු අගයකි (මෙහි දී වර්ජනය නොකෙරේ යැයි සැළකිය හැකි වතුකරයේ දෙමළ ඡන්ද නොසළකා ඇත). එහෙත් යථාර්තය නම් ඡන්ද වර්ජනය සඳහා ඇති වූයේ ස්වයං පෙළඹුමක් පමණක් නම් මහින්ද රාජපක්ෂට දෙනු ලැබූ දෙමළ ඡන්ද වර්ජනය විය හැකි ඉඩකඩක් නොමැති වීමයි. එසේ වුවහොත් මහින්ද රාජපක්ෂ එම දෙමළ ඡන්ද සංඛ්‍යාව නිසාවෙන් 50% අධික ප්‍රතිශතයක් ලබන්නේය.  

මෙහිදී මහින්ද ඡන්ද ලබාගත් ආකාරය අමතක කර දැමූයේ සමස්ත ඡන්ද ප්‍රතිළුලයට ඡන්ද ලබාගත් ආකාරයේ වැදගත්කමක් නොමැති බැවිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමත්වරයෙක් වූ චම්පික රණවක පැවසූ පරිදි මහින්ද රාජපක්ෂ මැතිවරණය සදහා වියදම් කළ මුදල රුපියල් බිලියන 250කි. පත්තර පුරා මෙන්ම රූපවාහිනියේ නොනවත්වාම පළවූ ඡන්ද ප්‍රචාරක දැන්වීම් ද ලබා දුන් රැකියාවන් ද මුදල් මෙන්ම සිල් රෙද්දේ සිට යාන වාහන දක්වා බෙදා දුන් හැම සන්තෝසමක් ම සළකා බැලූවිට මෙම රුපියල් බිලියන 250 ක සංඛ්‍යාව ඇත්තක් නොවිය හැක්කක්ද නොවේ. එසේ වුවහොත් ඡන්දය ලබාදුන් 12,264,377 ක් වූ ඡන්ද දායකයින් සළකා බැලූවිට එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් රුපියල් 20,384 ක් වියදම් කර ඇත. මහින්දට ලැබූ ඡන්ද සංඛ්‍යාව වූ 5,768,090 ගත් කළ ඔහුගේ එක් ඡන්දයක් වටිනාකම රුපියල් 43,342 කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ සිංහල ජනතාවගේ ජනාධිපති යැයි කියන එසේ නැතිනම් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ උතුරු නැගෙනහිර හා වතුකරයෙන් යැයි පැවසෙන බහුබූත වලංගු නොවන්නේ එබැවිනි.

එහෙත් ඉහත සඳහන් කළ පරිදි ලබාදුන් සමස්ථ ප්‍රතිඵලය සළකා බැලීමේදී  මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා සෘජු දායකත්වයක් උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද වලින් තිබූ බවයි. එහි දී ඔවුන් පෙන්වා දෙනු ලැබූවේ ඔවුන්ගේ ඇත්ත ශක්තියයි. 

ධනපති පංතියේ පක්ෂයක් එලවා තවත් එම පංතියේම පක්ෂයක් බලයට පත් වූ බව සැබවි. කිසිවෙක් එමඟින් ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙනවා නම් විහිළුවකි. දකුණ තවදුරටත් දිනීම ද දිනාගත් උතුරු නැගෙනහිර දෙමළ ජනයාට කෘතගුණ සළකා එම බලය රුක ගැනීම ද යන්න රනිල්-මෛත්‍රී-චමිපික හවුලට ඉතිරිවී ඇත. ඒ සුළු ජාතිකයින් තවමත් තවමත් ඔය කියන “ඒකීය“ රාජ්‍යයේ පුරවැසියෝය. රාජ්‍යය ඇතුළු දකුණේ සිංහලයා අමතක කර දැමූව ද නොසළකා හිඳීමට උත්සහ දැරූවද උතුරු නැගෙනහිර දෙමළ ජනයා යනු ඔවුන් මෙන්ම අභිමාණයෙන් ගරුසරු ඇතිව ජීවත්විය යුතු ජන කොට්ඨාශයකි. එබැවින් රාජපක්ෂලාව එළවීමට සක්‍රීයව දායකත්වය දුන් දකුණේ ප්‍රගතිශිලියාට අද දවසේ ඇති වගකීම වන්නේ සුන්නද්දූලි කර දැමූ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ජීවිත නැවත ගොඩනංවා ඔවුනට නිදහසේ ජීවත් කිරීමට ඉඩ සැලසීම සඳහා අලුත් රජයට බලකිරීමයි.

ඒ සඳහා

  • විනාශ කර දැමූ පාසැල් හා රෝහල් වැනි රාජ්‍ය සුබ සාධන ආයතන නැවත ගොඩ නැංවීම
  • හමුදාකරණය නැවැත්වීම හා හමුදාව සිවිල් කටයුතු වලින් ඉවත් කිරීම
  • අහිමි වී ගිය ඉඩම් ලබාදී ජනතාව නැවත පදිංචි කිරීම
  • බෞද්ධාගමිකරණය, සිංහල ජනපදකරණය නවතා දැමීම හා බලහත්කාරයෙන් පදිංචි කරවූ සිංහලයින් ඉවත් කිරීම
  • දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා අතුරුදහන් වූවන් ගැන තොරතුරු එලිදැක්වීම
  • යුද අපරාධ චෝදනා සඳහා පරීක්ෂණ පැවැත්වීම හා ජාත්‍යන්තරයට ඒ සඳහා ඉඩ ලබාදීම මඟින් වැරදිකරුවන් සඳහා දඬුවම් ලබාදීම
  • තමන්ගේ මියගියවුන් සැමරීමට මෙන් ම අනෙකුත් සංස්කෘතික, ආගමික හා දේශපාලන අයිතීන් ට ඇති ඉඩ ලබා දීම
  • වෙනම ම පරිපාලන ඒකකයක් ලබාදීම

ප්‍රමුඛව ඇති කාරණාය.

එ මඟින් තමන්ට කොන්දේසි විරහිතව සමාව දුන් දෙමළා ට කෟතගුණ සැළකීමේ අවස්ථාව මේ මොහොතේ ඔබගෙන් නොගිලිහෙණු ඇත.


සබැඳි පුවත්:


ඇයි අවුල් ද?

 


ඉන්දියන් සාගරයේ මුතු ඇටය චීනයේ මුතු මාලයට (String of Pearls - Indian Ocean) ඇමිනීම සඳහා පවරා දෙන්නට ගොස්  නැති වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් නැත්තටම නැති කිරීමේ ඇමෙරිකා-ඉන්දීය නොනවතින ව්‍යාපෘතිය යටතේ, බල හුවමාරු කෙළි තව දුරටත් සිදුවෙද්දී යහපාලනයට පාර කැපූ බොහෝ අයගේ මූණ ඇඹුල් වූ සිද්ධීන් කිහිපයක් ද පසුගියදා සිදුවී තිබුණි.

රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිත පරිපාලන නිලධාරීයෙකු වූ පී.බී. අබේකෝන්  ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත් කිරීමත් ‘මහින්ද චින්තනය‘ සැකසීමට දායකවීම හා වෙනත් ගොටු ඇල්ලීම නිසාවෙන් ශ්‍රීලනිප රත්නපුර දිස්ත්‍රික් සංවිධයක කම 2009 සැප්තැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂට දණ ගැසා වැඳ ලබාගෙන තවදුරටත් වඩාත් කාර්‍යක්ෂමව ගොටු ඇල්ලීම නිසාවෙන් කැනඩාවේ කොන්සල් ජෙනරාල් තනතුරක් ද හෙබවූ අවැසි වෙලාවට අවැසි පරිදි පැනීම හේතුවෙන් චම්පික රණවකගේ ආනුභාවයෙන් කරණාරත්න පරණවිතාන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීමත් ‘ඔව් අපි මහින්දට කඩේ යනවා තමයි‘ යනුවෙන් විවෘතවම කට මැත දෙඩවූ රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට අප්‍රමාණවදායකවූ ගමේ කොල්ලා සෝමරත්න දිසානායක කල්යල් බලා මෛත්‍රීගේ පුරවැසියෙක් වූ නිසාවෙන් එම චම්පික රණවකගේම ආනුභාවයෙන් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට පත්කිරීමත් (විරෝධය හමුවේ රූපවාහිනියෙන් චිත්‍රපට සංස්ථාවට මාරු කර ඇති බවක් ඇසේ)  ඒ ප්‍රසිද්ධ කාරණාය. 

පුද්ගලයින්ගේ හැකියාවන් පිළිබඳ තක්සේරුව පසෙක දැමූව ද ඉහත සඳහන් හැමෝගේම පොදු ලක්ෂණය, මොකාට වුවත් කමක් නැත බලයේ ඉන්නා නායකයාට රෙදි නැතිව කඩේ යෑමයි. එහි දී නායකතුමා සැනසේ යැයි හිතෙන ඕනෑම දෙයක් කිසිම හිරිකිතයක් නැතිව කිරීම මොවුන්ගේ ස්වභාවයයි. අබේකෝන්-සෝමරත්න-පරණවිතානට පමණක් දෙස් දෙවොල් තියා වැඩක් නැත. එවැන්නන් තනතුරු සඳහා පත් කරගැනීම එම පංතියේ අවශ්‍යතාවයයි. එමෙන්ම මෛත්‍රී පෙරලියේ බළකණුවක් වූ  හෙළ උරුමය, සෝමරත්න-පරණවිතාන යොදවා අවශ්‍ය තැනට අවශ්‍ය ඇනය ගසා තම අතෙහි මාධ්‍ය රඳවා ගැනීමට තනන්නේ ද මේ ලෙසින්මයි.

‘දැන් සනීපදැ යි‘ අප නොඅසන්නේ සදාකාලික වීමට නියමිතව තිබූ සංහාරික-දූෂිත-ෆැසිස්ට් රාජපක්ෂ රෙජීමය එලවා දැමීමට ඇති අවශ්‍යතාවය උතුරේ මෙන්ම දකුණේ සිටි බොහෝ ප්‍රගතිශිලීන්ට තිබුණා මෙන්ම උතුර සහ දකුණ එය මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්වා  දී ඇති බැවිනි. මූණ ඇඹුල් වන්නේ හෝ බෙඩ් ෂීට් යට ඔළුව හංගා සිද්ධීන් සාධාරණය කිරීමට සිදුවන්නේ හැම ආණ්ඩු පෙරලියකදීම අවසිහියෙන් මෙන් ලොකු ලොකු පෙරළි බලාපොරොත්තුවෙන් සිටින විටදීය. එය එසේ නොව - මෙය තවත් එක් ධනපති ආණ්ඩුවක් පමණක් වන බවත් මෛත්‍රීපාල සිරිසේනගෙන් මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කීරීම හැරුණුවිට වෙනත් යමක් බලාපොරොත්තු වි නොහැකි බවත් මීට පෙර අප ලියා තැබුවේ  ලංකාවේ තට්ටු මාරු දේශපාලනයේ සුපුරුදු වෙට්ටු වලට වඩා අළුත් යමක් මේ මෙහොතේත් අපට බලාපොරොත්තු නොහැකි බැවිනි. මෛත්‍රීගේ මතුපිට දින සියයේ වැඩ පිළිවෙල යටතේ කොමිෂන් සභා පත් කිරීම්, විධායකය අහෝසිකිරීම හෝ වෙනත් මේ ක්‍රමය ඇතුලත රටට සුබදායී දෑ සිදුවන්නේ නම් ඒවා එම පංතියේ සුබ සෙත පිණිසම සහ අතිරේකව අපට ලැබෙන වරප්‍රසාදයන්ය.

පුරවැසියන්ට ඇහුන්කම් දීමේ නිහතමානී කම  ඡන්දයක් අවසන් වීමත් සමඟම හැමදාමත් බලයට පත්වන පාලකයන් කෙරෙන් ගිලිහෙන බව ඔළුව බිත්තියේ ගසා තේරුම්කර ගතයුත්තක් නොවේ. ආණ්ඩු පෙරළි සිදු කිරීමට සහාය දෙන පුරවැසි බලයට එම පෙරළි සිදුවූ පසුත්  දිගින් දිගටම තම අරමුණු සඳහා අරගල කිරීමට ශක්තිය ඉතිරි කර ගත යුතුව ඇත්තේ එබැවිනි. ඉතිහාසය තුළ බල පෙරළි සිදු කිරීමට පමණක් පෙලහර පෑ හැකි පුරවැසියන්ට අවසානයේ ඉතිරිවන්නේ පෙරලියේ පසු දින සිටම කඳු පිටින් අළුතින් ගොඩ ගසන අසාධාරනයන්ට එරෙහිවීමයි. විරෝධය පෑමයි. සාධාරනය සඳහා සටන් වැදීමයි. නොනවතින අරගලයයි.

ප්‍රාතිහාර්යන් තවදුරටත් සිදුවීමට නියමිතව ඇත.



සබැඳි පුවත්


පුරවැසි බලය වෙත ආදරයෙනි: සමනලීගෙන් ඉගෙන ගන්න



යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීම උදෙසා මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ව සිංහාසනාරූඪ කිරීමේ ව්‍යපෘතියේ පුරවැසි බලය මේ  මොහොත වන විට සැළකිය යුතු මෙහෙවරක් සිදු කරමින් සිටී. තර්කයක් නැත. මහින්ද රාජපක්ෂව පැරදවීමට නම් මෛත්‍රීපාල සිරිසේනව දිනවිය යුතුය. එහෙත් පුරවැසි බලයේ වෙහෙස එතැනින් නිමා විය යුතුද? අප සමනලීගෙන් ඉගෙන ගන්න යැයි කීවේ එබැවිනි.

පසුගිය දා සමනලී-පරාක්‍රම-ධර්මසිරි-අනෝමා ඇතුළු පුරවැසි බලය හා සබැඳි  කලාකරුවන් කිහිපදෙනෙකු උදෙසා ආණ්ඩුවේ වන්දිභට්ටයන් විසින් එල්ල කරන ලද මඩ ප්‍රහාරයකට එරෙහිව පැවති මාධ්‍ය සාකච්චාවේදී කතා කළ සමනලී ෆොන්සේකා පැවසූවේ ඇගේ සටන ජනවාරි 8 වෙනිදායි න් නිමා නොවන බවත් සිංහල මෙන්ම දෙමළ හා මුස්ලිම් කලා කරුවන්ට කලාවෙහි නියැලීමේ අයිතිය වෙනුවෙන් ඈ සැමදාමත් පෙනී සිටින බවත්ය. අපට සමනලීගේ හෙට දවස ගැන වගකීමක් / පැහැදිලි වැටහීමක් නැතත් ඇත්තටම එම ප්‍රකාශය සමස්ත පුරවැසි බලයේ සිටින සෑම කලා කරුවෙකුගේම ලේඛකයෙකුගේ ම මුවින් පිටවිය යුත්තක් නොවෙද? මෛත්‍රීපාල සිරිසේන ව ජනාධිපතිධූරයේ පිහිට වීමෙන් පසු සියලු නපුරු අහෝසි වී රටට නිදහස සෞභාග්‍යය උදාවේ යැයි අහිංසක-මහින්ද හා අහිංසක-චන්ද්‍රිකා ගෙන් පාඩම් ඉගෙන ගෙන තියෙන අපට තියෙන විශ්වාසය කුමක්ද? විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන හෙළ උරුමය සමඟ බද්ධව ගෙන යන ජාතිකවාදී වැඩ පිළිවෙල යටතේ පෙනී සිටි දෙමළාට හා මුස්ලිම් වරුන්ට ඉතිරිවන හෙට දවස ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිද? 

දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි උතුරු නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන්නේත් නැත්තම්, යුද අපරාධකරුවන් ආරක්ෂා කරනවානම්, මහින්දගේ ජාතිවාදී පරපුරම මෛත්‍රීත් වට කරගෙන ඉන්න ගමන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනාවානම්, මහින්ද රාජපක්ෂ වාගේම මිත්‍යා ගුලි මෛත්‍රීත් මිට මොළොවා ගෙන රට වටේ යනවා නම්, සිංහලකරණය කිරීමට අක්කර පනස්දාහකටත් වැඩියෙන් කොල්ලකා ඇති දෙමළ මිනිසුන්ගේ ඉඩම් ආපහු පවරා දෙන බැව් පවස්න්නේත් නැත්තම්, බුද්ධාගම පැතිරවීමට උතුරු නැගෙනහිර හන්දියක් හන්දියක් ගානේ බලහත්කාරයෙන් ඉදිකරන බුදු පිළිම ඉවත් කරන බැව් පවසන්නේත් නැත්තම්, ලක්ෂයකට වඩා සංහාරය කර මංකොල්ල කා ස්ත්‍රීන් දූෂණය කර ජීවිත නැත්තට ම නැති කළ අපේ රටේ ඒ පුරවැසියා ගැන හිතන්නේත් නැත්තම් පුරවැසි බලයේ කාර්‍යය ජනවාරි 8 වෙනිදායින් අවසන් වේද?

මහින්දව පරාජය කිරීමට තමන්ගේ සියළු දෑ කැපකර  මහත් උවමනාවෙන් ඒ හා බැඳී සිටින පුරවැසි බලයේ  බොහෝ දෙනෙකුන් අතීතයේ රටේ තීරණාත්මක අවස්ථාවල ජාතිවාදයට ආගම් වාදයට එරෙහිව මෙන්ම අන් ජාතීන්ගේ ආගමිකයින් සතු අයිතීන් වෙනුවෙන් කොටි ලේබල් වැදී වැදීත් තීරණාත්මකව පෙනී සිටි අය වූ බැවින් ඔවුන් වෙත අප හද තුළ ඇත්තේ ගෞරවාන්විත හැඟීමකි. එහෙත් 

“හරි හරි ඕවා කියලා මේ යකාව (මහින්ද රාජපක්ෂව) එලවන්න පුළුවන්ද? ඉස්සෙල්ල මූව එලවලා ඉමු“ 

වැනි සරල ප්‍රතිචාර පමණක් නො දක්වා ජනවාරි 8 වෙනිදායින් පසුවත් මුස්ලිම් දෙමළ සිංහල යහපාලනයක් සදහා සටන් වැදීම හා එය ප්‍රකාශයට පත් කීරීම පුරවැසි බලයේ වගකීමයි. එය සිදු විය යුත්තයි. 

එමෙන්ම තේරුම් ගත යුතුව ඇත්තේ පුරවැසි බලයට වෙනස් කළ හැක්කේ දැනටමත් මහින්ද සතු ඡන්ද හෝ ඡන්ද ගුණ්ඩු වලට වැනෙන ඡන්ද නොව මහින්ද හා මෛත්‍රී දෙදෙනා කෙරෙහිම විවේචනාත්මකව බලන සබුද්ධික පිරිසගේ ඡන්ද වීමයි. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේනව පුරවැසි බලයේ වේදීකාවට නැග්ගවීමත් පුරවැසි බලයේ අය මෛත්‍රී ගේ දේශපාලන වේදිකාවට නැගීමත්, මෛත්‍රී වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමත් යුධ විජයග්‍රහණයන් හෝ හමුදාවේ කීර්තිය ගැන අතිශෝක්තියෙන් පෙනී සිටීමටත් ඔවුනට අවශය නොවේ. 

සෘජුව පැවසිය යුත්තේ මහින්ද රාජපක්ෂව පරාජය කරන ගමන් ඔළු ගෙඩි මාරුවට එහායින් සියළු ජාතීන් සඳහා යහපාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සිදුවන අරගලයක් මේ ලංකාව තුළ ඊයේ අද මෙන්ම හෙටත් පුරවැසි බලයට හා එහි ක්‍රියා කාරීන්ට ඇති බවයි. එවිට එය තවත් එක් “කලා සංධානය“ ක් නොවී එහි ක්‍රියාකාරිකයින් හට ජනවාරි 8 වෙනිදායින් පසුවත් පණ ඇතිව සජීවී මිනිසුන් ලෙසින් ජීවත් වීමට හැකි වෙයි.