Male pregnancy හෙවත් පුරුෂ
ගර්භණිතාවය මේ වන විට සාර්ථකව අත් හදා බලා ඇති හෙයින් ජාතිය වඳ නොවී බේරා ගැනීමට
කෑ ගසන ගිහි හා පූජ්‍ය පිරිමින් ට දරුවන් මාස නවයක් කුසේ දරා වදන්නට ඉදිරිපත් වෙන්නැයි
අප යෝජනා කරමු.
පසුගියදා පකිස්ථාන ජාතිකයෙක් අල ගෝනි තුළ රහසිගතව
අසුරා උපත් පාලන එන්නත් තිස් දහසක් හොර රහසේ ලංකාවට ගෙන ආ පුවත සමඟම මේ වීරයෝ
නැවතත් කෑ ගැසීම පටන් ගත්හ. පාකිස්ථාන ජාතිකයෝ සිංහල දේශපාලකයින්ගේ ආනුභාවයෙන්
මුළු ජාතියේ තරුණ පරපුරම විනාශ කරන මත්ද්‍රව්‍ය රැගෙන ඒම ගැන කිසිවක් කතා නොකර
එහෙමත් නැතිනම් ලාංකිකයන් වෙත සිංහල රාජ අනුහසින් සිදු වී ඇති සියළු උපද්‍රව ගැන
කිසිදු සඳහනක් නොමැතිව හදිසියේ උපත් පාලනය ගැන කතා කිරීම බොදු බල පන්නයේ අසික්කිත
විහිළුවකි. ඥාණසාර වර්ගයේ මරිසියකි.
දරුවන් හැදීම සඳහා අහවල් වැඩේ කිරීමට
පිරිමියාට ගතවන්නේ නිමේෂයකි. එහෙත් දරුවන් දැරීමේ සිට වැදූ පසු දරුවන් ලොකු මහත්
කිරීම දක්වා වූ අවුරුදු ගණනාවක් සකල දුක් විඳිම ඉවසන්නේ ගැහැණියයි. එබැවින් දරුවන්
හදපල්ලා යැයි කෑ ගැසීමට පිරිමින් ට හා ඊටත් වඩා ගිහි ජීවිතයෙන් ඉවත් වී සිටින
භික්ෂූන්ට පහසුය. ජාතිය වඳ වීම ගැන කැක්කුමක් ගැහැණියට නැත්තේ ඒ වේදනාව හා අමාරුකම
දන්නේ ඈ පමණක් බැවිණි.
ගැහැණියගේ ශරීරය ඈ සතු අයිතියකි. දරුවන්
හැදීමේ/දැරීමේ/වැදීමේ අයිතිය එබැවින් ඈ සතුය. උපත් පාලනය මෙන්ම ගබ්සාව පිළිබඳව ද පිරිමියාට
වඩා අයිතියක්ව තිබිය යුත්තේ ගැහැණියටය. ජාතිය වඳ නොකිරීමේ පිරිමි ව්‍යාපාර උපත්
පාලනයට මෙන්ම ගබ්සාවට එක සේ විරුද්ධය. ගබ්සාව නීතිගත නොවූ බොහෝ රටවල එය නීතිගත
කිරීම සඳහා බල කෙරෙන ව්‍යාපාර බිහිවීමත් එම රාජ්‍යයන් එම අයිතිය නීතිගත කිරීම
සඳහාත් යොමු වන විට ලංකාව ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මේ වන විට ලංකාව
තුළ ගබ්සා කිරීම සිදු කළ හැක්කේ ගැබ් ගැනීම හේතුවෙන් හෝ දරුවා බිහිවිමේ ක්‍රියාවලිය
හේතුවෙන් මවට අනතුරක් ඇත්නම් පමණි. ස්ත්‍රී දූෂණයක දී සිදුවන දරු ගැබ් හෝ නිශ්චිතව
දැනගත් රොගී දරු ගැබ් විනාශ කිරීම ද ලංකා ආණ්ඩුවේ නීතිය තුළ තහනම් ය. බොහෝ රටවල්
වල විවිධාකර තත්වයන් යටතේ ගබ්සාව සදහා අවසර ඇති අතර කියුබාව ද ඇතුළුව ලෝකයේ රටවල්
වලින් සියයට තිහක පමණ ප්‍රමාණයක ගැහැණියගේ තනි කැමැත්ත මත පමණක් වුව ඒ සඳහා නීත්‍යාණුකූලව
ඉඩ ඇත.
සෑම දරුවෙකුටම නිසි ආරක්ෂාව හා ආදරය අවශ්‍යය.
එය සැපයිය නොහැක්කේ නම් ගැබ් නොවී සිටීම ද බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීමක දී කළලය විනාශ කිරීමේ අයිතිය එම මව
හා පියා සතුය. මෙම ජාතිය වඳ නොකිරීමට එරෙහි පිරිමින් තේරුම් ගත යුත්තේ හදන්නන්
වාලේ මේ ජාතියට දරුවන් වදනවාට වඩා මනුෂ්‍ය සංහතියට වැඩදායි එක දරුවෙකු හෝ හැදීමට සුදුසු
සමාජයක් හා සංස්කෘතියක් බිහි කිරීම වනුවෙන් කෑ මොර දීම වඩා වැදගත් බවයි. එය නොකරන
තාක් කල් ඔවැනි බෙරිහන් දීමෙන් සිදුවන්නේ ඔය කියන මහ ජාතියට ද රටට ද සිනහාවීමට ඔබ
වහන්සේලාගේ මුවින් විහිළු සැපයීම පමණකි.









